තරුණ ප්‍රජාව අතර එච්.අයි.වී. වර්ධනයක්


(අසුන්තා එදිරිසූරිය)   

වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ පිරිස් අතර එච්.අයි.වී ආසාදනය වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.   

පුත්තලම සායනයේ වැඩබලන ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේ දී ප්‍රකාශ කළේ 2014 වසරේ සිට මේ තත්ත්වය දක්නට ලැබෙන බවයි.   


තරුණ දරුවන් සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කර නාඳුනන පුද්ගලයන් සමග සබඳතා ඇතිකර ගැනීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ද විශේෂඥ වෛද්‍ය ජයවීර මහතා කීය.   


සෑම වසරකම කාර්තුවකදී 100 කට ආසන්න තරුණ පිරිසක් අලුතින් එච්.අයි.වී. රෝගයට ගොදුරු වන බව හඳුනාගෙන ඇති අතර රටක අනාගතය භාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව ජීවිත කාලයක් පුරාවට ප්‍රතිකාර ගත යුතු මෙවැනි භයානක රෝගයකට ගොදුරු වීම ඛේදවාචකයක් බව ද විශේෂඥ වෛද්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   


එච්.අයි.වී. වෛරස් ආසාදනයට ගොදුරු වන්නන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ තරුණ පිරිමින්ගෙන් බව ද හඳුනාගෙන ඇත.   


 මෙලෙස අඩු වයසින් එච්.අයි.වී. ආසාදනයට ගොදුරු වන්නන් අතර අතරමග පාසල් හැර ගිය අධ්‍යාපනයක් නොලැබූ තරුණ පිරිස් මෙන්ම උසස් අධ්‍යාපනයක් ලැබූ උසස් රැකියාවල නියුතු වූවන් ද සිටින බව හඳුනාගෙන ඇත. මෙය තරමක් අවධානය යොමුකළ යුතු කරුණක් බවට හඳුනාගෙන තිබේ.   


ලංකාව තුළ එච්.අයි.වී. ආසාදනය වැඩිපුර සිදුවන්නේ (සියයට 86 පමණ) අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මගිනි. ඒ අතරින් පිරිමි පිරිමි අතර පවත්නා (සමලිංගික) අනාරක්ෂිත ලිංගික හැසිරීම හේතුවෙන් රෝගීන් වැඩිපුර වාර්තා වේ.