ජවිපෙ ජනපති අපේක්ෂක අනුර කුමාර නම් කිරීම අද


(පද්මිණි මාතරගේ)   

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නම අද (18) ගෝල්ෆේස් පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන මහ රැලියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.   

.විද්වතුන්, වෘත්තිකයින්, සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන්, ගොවි, කම්කරු ඇතුළු සංවිධාන 30කින් සමන්විත ජාතික බලවේගය ඇතුළු විශාල පිරිසක් මෙයට එක් වීමට නියමිතය. එහිදී විශේෂ සංස්කෘතික උළෙලක් ද පැවැත්වීමට නියමිතව ඇත.   


නව ජනාධිපති අපේක්ෂකයා පත්කිරීමට අදාළව මේ වෙන විට නම් කිහිපයක්ම කියැවෙමින් පවතින අතර, රටට අවශ්‍ය නව දේශපාලන පෙරළිය බිහිකරන එම නව නායකයා ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිත බව බොහෝ දෙනාගේ ප්‍රබල විශ්වාසය වී ඇත.   


මෙම ජාතික ජන බලවේගය ඉකුත් ජූලි 14 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මුල්වරට එක්වීමෙන් අනතුරුව දූෂණයෙන් තොර පිරිපුන් පෞරුෂයකින් යුත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේම නායකයෙක් රටට ඉදිරිපත් කිරීමට තීන්දුවක් ගෙන තිබිණ.   


මනා සැලසුමෙන් තොර සංවර්ධන ව්‍යාපෘති, පුරසාරම් දොඩන පවුල් ව්‍යාපෘති, රටට අහිතකර සුපිරි බලවතුන්ගේ මැදිහත්වීම් සහ දූෂණයෙන් පොහොසත් නායකයන්ගෙන් පිරුණු මෙවන් රටකට අවශ්‍ය ඒ සියල්ලම නැවත නොඑන ලෙස අතුගා දැමිය හැකි පාලන ක්‍රමයක් බවත්, ඒ සඳහා අවශ්‍ය පරිණත දේශපාලන දැක්මෙන්, සමාජ සංස්කෘතික අවබෝධයෙන් සහ පිරිස් බලයෙන් පරිපූර්ණ විය යුතු බව ද එම ජාතික ජනබලයේ විශ්වාසය වී ඇත.