ජනපති අපේක්ෂකයා ගැන එජාපයේ මත ගැටුම් අපටත් බලපානවා


අමාත්‍ය පලනි දිගම්බරන්   

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මතභේදකාරී තත්ත්වයක් මතුවී ඇතැයි දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. එම පක්ෂය තුළ වෙන් වෙන් වශයෙන් එකිනෙකා බලවේග ගොඩනගමින් කණ්ඩායම් වශයෙන් වෙන්වී කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ද දකින්නට ඇති බවත් එවැනි බෙදීමක් එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිවීම වැළැක්වීමට පක්ෂ නායකයා වගබලා ගතයුතු බවද ඔහු ප්‍රකාශ කළේය.   

මෙලෙස වෙන්වී බෙදී කටයුතු කළහොත් පක්ෂයට ලැබෙන ජයග්‍රහණ ලබාගත නොහැකි බව අමාත්‍යවරයා පවසයි.   


එසේ වුවහොත් තම සන්ධානයේ සහය ලබාදෙන්නේද? නැද්ද? යන්න පිළිබඳව සිතා බැලිය යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් එකඟත්වය පළකරන අපේක්ෂකයෙකුට තම සහය ලබාදෙන බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ සම නායක අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.   


එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ තීරණය කළ යුත්තේ එම පක්ෂය බවත් ඊට තම සන්ධානය බලපෑම් නොකරන බවත් ඔහු සඳහන් කළේය.  දැනට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, පාඨලි චම්පික රණවක යන මහත්වරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවට රාවයක් පවතී.   


එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි ගමනක් යාමට හැකි ඕනෑම කෙනෙකුට සහය ලබාදෙන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව දිගම්බරම් අමාත්‍යවරයා පැවසීය.