කොළඹ නගරාධිපති රෝසිගේ තනතුර අනතුරේ - අමාත්‍ය මනෝ ගනේෂන්


 

(නිශාන්ත කුමාර බණ්ඩාර) 
එක් මන්ත්‍රී ආසනයක වැඩි ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ තනතුර අවදානම් තත්ත්වයක පවතින බව වාර්තා වේ. 

නගරාධිපතිනියගේ තනතුර ආරක්ෂා කර ගැනීමට නම් තම සංවිධානය නියෝජනය කරනු ලබන සභිකයන් 10 දෙනාගේ සහාය ගත යුතුව ඇති නමුත් ඒ සම්බන්ධව මෙතෙක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෝ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය හෝ සාකච්ඡා කර නොමැති බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. 


කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූයේ එක් මන්ත්‍රී ආසනයක වැඩි ඡන්දයෙනි. 


හදිසියේ හෝ එම නගර සභාවේ අය වැය විවාදයේදී එම මන්ත්‍රීවරයාගේ සහාය නොලැබුණහොත් නගරාධිපතිනිය එම ධුරයෙන් ඉවත්වීමේ අවදානමක් පවතියි. 


ඒ නිසා තම සන්ධානයේ මන්ත්‍රීවරු 10 දෙනාගේ සහාය ලබා ගැනීමට වහාම සාකච්ඡා කළ යුතු බවත් මෙතෙක් එවැනි සාකච්ඡාවකට කාලයක් හෝ ඉඩකඩක් වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. 


පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී මාස එකහමාරකට අධික කාලයක් ගතවී ඇතත් එය දෙමළ ප්‍රගතිශීලි සන්ධාන මන්ත්‍රීවරුන් සමග හෝ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායකයා වශයෙන් තමන් සමග හෝ සාකච්ඡා නොකිරීම නිසා තමන් එක්සත් ජාතික පක්ෂය කෙරේ කළකිරී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.