කොරෝනා වයිරසයේ ලංකාවේ ඇති වර්ගය හඳුනා ගන්න උත්සාහ කරනවා


කොරෝනා රටින් රටට වෙනස්  

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය  

(දයාසීලි ලියනගේ)  

කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ප්‍රභේද තුනකින් යුක්ත වෙන අතර, ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව හඳුනා ගැනීමට උත්සාහ දරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියයි.  

ලැබී ඇති තොරතුරුවලට අනුව එක් එක් රටවල පැතිරෙන වයිරසය මෙම ප්‍රභේදවලින් යුතු වෙන අතර උදාහරණ වශයෙන් චීනයේ ‘බී’ ප්‍රභේදය ද, අැමෙරිකාවේ ‘ඒ’ ප්‍රභේදය ද වශයෙන් වර්ග කර ඇතැයි ද වෛද්‍ය පාදෙණිය මහතා කීය.  


මෙතෙක් මෙම වයිරසය පාලනයට ඖෂධයක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, එවැන්නක් ක්ෂණිකව කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.  


ඉතිහාසය දෙස බැලීමේ දී අපේ රටේ ජනතාව මනා ප්‍රතිශක්තියකින් සමන්විත බව පෙනී යන අතර ඒ සඳහා ආහාර, ධාන්‍ය, අල-බතල, පලතුරු, එළවළු, කුළුබඩු, අත්බෙහෙත් උපයෝගී වෙන්නට ඇතැයි ද ​වෛද්‍ය පාදෙණිය මහතා කීය. 


කොවිඩ් 19 වයිරසය සඳහා බෙහෙත් නොමැති නිසා, දැනට යොදා ගන්නේ උපකාරක බෙහෙත් පමණි.  
ආයුර්වේද අත්බෙහෙත්වලින් රෝගියාට හානියක් වී නැති නිසා එම අත්බෙහෙත් පිළිබඳව යම් පර්යේෂණයක අත්හදා බැලීමක් ඉතාම යෝග්‍ය බව ද ඔහු කීය. දේශීය හෝ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වුවත් සුදුසු ඖෂධ පාවිච්චි කිරීම සුදුසු බව ද වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.