කොරෝනා මර්දනයට රජය-වෛද්‍ය සංගමය ගැටුමක


(දයාසීලි ලියනගේ)  

කොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.  

මෙම රෝගය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ අහඹු ලෙස සිදු කළ යුතු බවටත්, දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 2500 ක් වත් සිදුකළ යුතු බවටත් කරන ලද ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.  


මීට අමතරව කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පවත්නා නිශ්චිත දත්ත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට හරියාකාරව නොලැබෙන නිසා මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වී තිබෙන බව ද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.  


ප්‍රාදේශීය මට්ටමින් කොරෝනා මර්දන කටයුතුවලට මූලික වෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් නිසා නිවැරදි දත්ත ලබා ගැනීම වැදගත් වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.  
විශේෂයෙන් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම බෙහෙවින් වැදගත් වෙන නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් විධිමත් පියවර ගෙන නැතැයි ද ඔහු කීය.