එජාප සභා 21ක බලය ගන්න පොහොට්ටු-ශ්‍රීලනිප මෙහෙයුමක්


(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව බලය පිහිටුවා ගෙන තිබෙන පළාත් පාලන ආයතන 21ක බලය ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් එක්ව යළි ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ ගම් මට්ටමේ සාමාජිකයින් අතර විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පළාත් පාලන ආයතන 21 බලය එම පක්ෂ දෙකට ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.  


ශ්‍රීලනිපයෙ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර ඉකුත් බ්‍රහස්පතින්දා පක්ෂ නායක කාර්යාලයෙ පැවැති සාකච්ඡාවේදී පොදුජන පෙරමුණ පාර්ශ්වයෙ නියෝජිතයින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ගේද එකඟතාව පළවී අැතැයි වාර්තාවේ.  


ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව පුළුල් සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉහළ මට්ටමින් කොතරම් සාකච්ඡා පැවැත්වුවද පහළ තලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට නොහැකි වුවහොත් එය සාර්ථක නොවන බවත් එබැවින් විශ්වාසය ගොඩනැගීමේ පියවරක් ලෙස මෙම පළාත් පාලන ආයතන 21ක බලය ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව ලබාගත යුතු බවට එහිදී අදහස් හුවමාරු වී ඇත.  


ඉකුත් 2017 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන අති බහුරයක බලය පොදුජන පෙරමුණට හිමිවිය.  


බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන ගණනාවක බලය ශ්‍රීලනිපයත්, එක්සත් ජාතික පක්ෂයත් එක්ව පිහිටුවා ගනු ලැබූ අතර ඉන් ආයතන 21 ක බලය ශ්‍රීලනිපය හා පොහොට්ටුව එකතු වුවහොත් යළි ලබා ගත හැකි බව බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවට සහභාගි වූ දෙපාර්ශ්වයේම නියෝජිතයින් පෙන්වා දී ඇත. ශ්‍රීලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුද පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුද එම සාකච්ඡාවට සහභාගි වූහ. 


මාතලේ, පොලොන්නරුව යන මහනගර සභා දෙකෙන් හලාවත සහ බලංගොඩ යන නගර සභා දෙකේත් උඩුදුම්බර අඹන්ගඟ කෝරළේ උකුවෙල, හොරොව්පොතාන, වැලිකන්ද, මහියංගනය, කොරණාතොට කන්දකැටිය, ඇල්ල, වැලිමඩ, අරණායක, මාංතෙයි නැගෙනහිර, දිඹුලාගල, හිඟුරක්ගොඩ, තිරප්පනේ, පුත්තලම සහ මාවනැල්ල යන ප්‍රාදේශීය සභා 17 ක් බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව දැනට පිහිටුවනු ලැබ ඇත.


එම සභා 21 න් සභා 13 ක සභාපතිධුර එක්සත් ජාතික පක්ෂයටද උපසභාපතිධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද හිමිව ඇති අතර ඉතිරි සභා අටේ සභාපති ධුර ශිලනිපයටත් උපසභාපතිධුර එජාපයටත් හිමිව ඇත.


ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මෙම පළාත් පාලන ආයතන 21 න් බහුතරයක් ජයග්‍රහණ්‍ය කරනු ලැබුවේද පොදුජන පෙරමුණ විසිනි.