උසාවියට අපහාස කළ වරදට ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම


එක එක කාලවලදී විවිධාකාර කතා මතුවේ......... 
කතානායකයින් මතු වේ......... 
හුළං අත බලා ගින්න පැතිරේ............ 
මේ රටේ හැටිය............. නැහැ........... මෙය ලෝකයේ හැටිය......... 


කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය මෙන්ම, එම සිද්ධිය සම්බන්ධයෙන් කිරිවෙහෙර මහසෙන් දේවාලයේ සේවයේ යෙදී සිටියදී සේවය අත්හිටුවන ලද කපුවකු සම්බන්ධයෙන් මේ රට තුළ කතා පැතිරෙන විට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනාධිපති උන් මහතා අතර වූ හමුව පිළිබඳව ලෝකය තුළ කතා පැතිරෙන්නට විය. 


පසුගිය රාජ්‍ය පාලන සමය තුළ කතා මවන්නෙකු බවට පත්ව සිටි, රටේ සියලුදෙනාගේ ගෞරවාදරයට පත්ව සිටි රජෙකුගේ නමින් පෙනී සිටි එක්තරා දේශපාලකයකු කතා මවද්දී මහ සඟරුවනේ හිමිනමක්ද එම දේශපාලකයා මෙන්ම කතා පවත්වන ලදී. 


එම හිමිනම එදා පමණක් නොව මෙදාත් කතාවක් මැව්වේය. මුල් කාලයේදී සිවුරේ සිටියදී රිය පදවා අනතුරක් සිදුකොට කතා මැව් උන්වහන්සේ පසුගිය රාජ්‍ය පාලන සමයේදී නිරන්තරයෙන් කතා මැව්වේය. මාලබේ ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පහර දීමේ සිද්ධියක්, දකුණු පළාතේ සිදුවූ ආගමික කෝලහාල සිද්ධියක් ඇතුළු සිද්ධි බොහෝමයක් උන්වහන්සේගේ නමට බැර විය. 


කාලාන්තරයක් පුරා සිදුකළ විවිධාකාරයේ සිද්ධි සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව බොහෝදෙනා සඳහන් කළ අතර එසේ නොවුනාම කියා කීමට නොහැකි ඇතැම් උදාහරණද තිබිණි. 


එක් උදාහරණයක් වශයෙන් තලංගම ප්‍රදේශයේ යාච්ඤා මධ්‍යස්ථානයකට කඩා වැදී එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ පවරා තිබූ නඩුව පෙන්වා දිය හැක.

 
කෙසේ වෙතත් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ නඩුවේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති බව සඳහන් කරමින් නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනාම නිදොස්කොට නිදහස් කළේය. 


කෙසේ නමුත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනා නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් නඩු තීන්දුව ඉවත දමා ඔවුන්ට එරෙහිව නිසි දඬුවම් ලබා දෙන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම විභාග කිරීමට නියමිතව ඇත. 


එහෙයින් එම නඩුව සම්බන්ධයෙන් කිසිදු කරුණක් සඳහන් නොකරන නමුත් මේ ටිකවත් සඳහන් කළේ එසමයෙහි උන්වහන්සේට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව බොහෝදෙනා සඳහන් කළ කරුණු අතිශෝක්තියක් බව දැක්වීමට පමණය. ඒ සඳහා උදාහරණ ද වශයෙනි. 


රාජපක්‍ෂ පාලන සමයෙන් අනතුරුව බලයට පැමිණි ආණ්ඩුව විසින් රාජපක්‍ෂ පාලන සමයේදී සිදුවූ දූෂණ සිද්ධීන්, මිනීමැරීම්, පැහැරගෙන යෑම් ආදීන් පිළිබඳව පරීක්‍ෂණ කිහිපයක්ම ආරම්භ කෙරිණි. 


එලෙස ආරම්භ කළ පරීක්‍ෂණවලදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය ද විය. සමාජයේ දැඩි කතාබහට ලක්වූ එම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඇඟිල්ල දිගුවිය. 


රහස් පොලිසියට එන තරමක් එන්නේ කුණු ලෙඩ බව බොහෝ දෙනෙකුගේ අදහසයි. එලෙස එන කුණු ලෙඩවලින් බොහෝමයකට කර තියන වර්තමානයේ රහස් පොලිසියේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ කරපිට මේ කුණු ගොඩත් පැටවිණි. ශානි අබේසේකර මහතා ඇතුළු රහස් පොලිස් නිලධාරීන් ඉතා වෙහෙසකර පරීක්‍ෂණවලින් අනතුරුව යුද හමුදා බුද්ධි අංශ නිලධාරීහූ කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත්හ. 


අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිස රිමාන්ඩ් බාරයේ රඳවා තබා ගනිමින් ඔවුන් පරීක්‍ෂණ සිදු කළහ. පොලිස් නිලධාරීන් විඳින දුක වැනිම දුකක් විඳිමින් අධිකරණය හමුවේ පොලිස් නිලධාරීන් විඳි දුකට සාධාරණයක් ගෙන එන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතරින් අනුන්ගේ නඩුවලට රට වටේ යන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතාද කර ගැසුවේය. නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවීම සඳහා දිලීප පිරීස් මහතා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 


පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා රහස් පොලිස් නිලධාරීන් පිරිසක්ද සමඟ පෙනී සිටි අතර පැමිණිල්ලට සහයවීම සඳහා නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් එවකට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා සැකකරුවන් යළිත් වරක් රිමාන්ඩ් බාරයට පත් කළේය. ඒ 2015 වසරේ ජනවාරි මස 25 වැනි දාය. 


ඒ අතර තවත් භික්ෂූන් වහන්සේ පිරිසක්ද සමඟ අධිකරණ ශාලාවට කඩා වැදුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස විනිශ්චයාසනාරූඪ වී සිටි රංග දිසානායක මහතා දෙසට ඇඟිල්ල දිගු කරමින් දීර්ඝ දේශනයක් පැවැත්වූහ. 


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මෙන්ම අනෙකුත් රහස් පොලිස් නිලධාරීන් ද නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ද මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා ද ඔවුන්ගේ ක්‍රියා කලාපයන්ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිර්දය විවේචනයට ලක්විණ. 


අධිකරණය දෙසට ඇඟිල්ල දිගු කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ බුද්ධි අංශ නිලධාරීන් රණවිරුවන් ලෙස දක්වමින් ඔවුන් රිමාන්ඩ් බාරයෙන් මුදාහරින ලෙස ඉල්ලමින් දීර්ඝ දේශනයක් ඉදිරිපත් කළහ. එවකට එය සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. 


තම සැමියා වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමේ අරමුණින් එහි පැමිණ සිටි ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය මේ සිදුවීම වෙනවිට ඒ අවට ස්ථානයක සිටි අතර ඇය වෙත හැරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ, ප්‍රගීත් එක්නැළිගොඩ කොටි හිතවාදියකු බව පවසමින් ඇයට ද දොස් නඟන්නට වූහ. 


මෙම දොස් නැඟීම කොපමණ තීව්‍ර වූයේද යත් අවසානයේදී එම දොස් නැඟීම අවසාන වූයේ ඇයට මරණීය තර්ජනද එල්ල කරමිනි. ඒ දිනවල මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධාකාර කතා පැවසූ අතර ඇතැමෙකු මෙය සාධාරණීකරණය කළහ. ඇතැමෙක් එය වැරදි බව පවසමින් නිර්දය ලෙස විවේචනය කළහ. 


ඒ අනුව අධිකරණ කටයුතුවලට බාධා කිරීම මඟින් අධිකරණයට අපහාස කළ බවට ද ඒ සම්බන්ධයෙන් දැඩි දඬුවම් ලබාදෙන ලෙසද ඉල්ලමින් මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කළ අතර එම නඩුව මේ වන විටත් විභාග කරමින් පවතී. 


තම සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වන නඩු කටයුතු නැරඹීම සඳහා පැමිණ සිටි තමාට ඥානසාර හිමියන් මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය හෝමාගම පොලිසියට පැමිණිලි කළ අතර, එම පැමිණිල්ල විභාග කළ හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව එම අධිකරණයේ නඩු පැවරූහ. 


දීර්ඝ කාලයක් පුරා විභාග කළ එම නඩුවේදී සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් අධිකරණය හමුවේ සාක්කි දුන්හ. 


අපට ඉහළින් බොහෝ දෙනෙකු සිටිනා බව නොදැන සියල්ලන්ට ඉහළින් අපි සිටින්නන් ලෙස හිතාගෙන ඉන්න සියලු දෙනාට මෙය ඉතාම හොඳ පාඩමකි. 


කුමක් නිසාද යත් ඔවුන් සියලුදෙනා මල් යහන්වලින් බිමට බැස්සවීමට මෙම තීන්දුව ඉවහල් වන නිසාවෙනි.


මෙවැනි චෝදනාවකට වරදකරු වූ අයෙකුට උපරිම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා, විනය ආරක්‍ෂා කළ යුතු බවත් එසේ නොවුණහොත් ශාසනයද විනාශ වන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කොට ඇති බව පෙන්වා දුන්නේය.   


“ඔවුන් එක් යුදෙව්වකුගේ නිවසට පැමිණියා, නමුත් මා ඒ ගැන සොයා බැලුවේ නැහැ. ඔවුන් තවත් යුදෙව්වකුගේ නිවසට පැමිණියා, මා ඒ ගැනත් සොයා බැලුවේ නැහැ. අවසානයේදී ඔවුන් මාගේ නිවසට පැමිණියා. ඒ වන විට මා ගැන බැලීමට එක් යුදෙව්වකුවත් ඉතිරිව සිටියේ නැහැ” යනුවෙන් සඳහන් කරමින් ‘මාර්ටින් නීමෝරල්’ නමැති කවියා ලියූ කවියක් අධිකරණයේ කියවමින් ‘අපි අද එම ස්ථානයට පැමිණ ඇතැ’යි පෙන්වා දුන්නේය.   
මෙම අධිකරණ ශාලාව තුළ සිටින කිසිවෙකුත් ඊයේ ඉපදුණු අය නොවන බවත් අප රට වෙළාගෙන තිබූ කුරිරු යුද්ධය දුටු ඊට මුහුණ දුන් අය මෙතැන සිටින බවත් යුද්ධය වෙනුවෙන් කැප වූ, යුද්ධයට තම ජීවිතය, අතපය දන් දුන් අයටත් යුද්ධය වෙනුවෙන් කැප වූ අයට මෙන්ම ඒ සඳහා උදව් උපකාර කළ අයටත් තමන් හිස නමා ආචාර කරන්නේ යැයිද එසේ ආචාර නොකිරීමට තරම් තමන් කුහක නොවන බවත් හිත් කියවමින් පෙන්වා දුන් ජනක බණ්ඩාර මහතා, යුද්ධයේ සිටින හොඳම රණවිරුවා වුවත් අපරාධයක් කළ විට ඔහුට රණවිරුවා ලෙස නොකියන බව මෙන්ම එවිට ඔහුට කියන්නේ අපරාධකරුවා යනුවෙන් බවට හිටපු නාවික හමුදාපතිවරයාත් යුද හමුදාපතිවරයාත් කළ ප්‍රකාශයක්ද අධිකරණයට සිහිපත් කළේය.   


අපරාධයක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි රණවිරුවන් පිරිසකට එරෙහිව පැවැති නඩුවකදී විත්තිකාර හිමියන් මෙම උසාවියට පැමිණ පැමිණිලිකාරිය අමතා “තෝ දැනගනින්, තොගේ මිනිහා කොටියා. “තෝ ගිහිං හිඟාකාපිය’ යනුවෙන් පවසමින් දකුණු අත මිට මොළවමින් තර්ජනය කළ සිද්ධිය සිහිපත් කළේය.   


මේ වන විට බොහෝ දෙනෙකුට අමතකව ඇති තවත් වැදගත් බොහෝ දේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙලෙස සිහිපත් කළේය.   


යම් වරදකට පුද්ගලයකුට දඬුවම් දෙන්නේ සමාජයේ ආරක්‍ෂාවට, විත්තිකරු වෙනත් වරදවල් කිරීමට අධෛර්ය කිරීමට, සමාජයේ සෙසු පුද්ගලයින් වැරදි වැඩ කිරීමට නොපෙළඹවීම සඳහා ඔවුන්ට පාඩමක් වන අන්දමටයි. නමුත් ලෝකයේ වෙනත් රටවල් දඬුවම් කිරීම විද්‍යාවක්, කලාවක් බව හඳුන්වා දී තියෙනවා. වරදක් කළ යම් පුද්ගලයකු ඒ සම්බන්ධයෙන් පසුතැවෙමින් එයට වරද පිළිගනිමින් සමාව ඉල්ලනවා නම් ඊට ලිහිල් දඬුවම් නියම කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණයන් පෙන්වා දී ඇතත් මහ පාරේ දෙනෝදාහක් බලාසිටියදී ලේ විලක් මැද යමෙක් මරා දමනවා නම්, උසාවියකට පැමිණෙන යමෙක්ට තර්ජනය කරනවා නම් එය ඉතා බරපතළ තත්ත්වයක්. එවැනි අයෙකුට උපරීම දඬුවම් ලබාදිය යුතුයි. අපරාධ වින්දිතයින්ට, සාක්කිකරුවන්ට වන්දි ලබාදිය යුතතුයි.   


මේක සුද්දගේ නීතිය වෙන්නත් පුළුවන්. ඒත් දැන් අපේ රටේ ස්ථාපිත වෙලා තියෙන නීතිය මේකයි. මේ නීතියේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්, වැරදි තියෙන්න පුළුවන්, කෙසේ නමුත් එලෙස නීතිය ස්ථාපිත වී ඇති මේ අධිකරණ ශාලාව තුළට පැමිණ නඩුකාරයාට කෑගහලා, සාක්කිකාරයන්ට කෑගහලා යනවා නම් මොකක්ද මේකේ තත්ත්වය. සියල්ලට පෙර යම් විනයක් තිබිය යුතුයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන තත්ත්වයට පත්වීමට ඉඩ නොතැබිය යුතු බව නීතිඥවරයා කීය.   


මේ උසාවිය ඉදිරිපිටට ගමේ චණ්ඩියෙක් වගේ ඇවිත් හයිරං දානවා නම් මේ උසාවියේ තත්ත්වය මොකක්ද? අධිකරණ පද්ධතියේ පිහිට සොයා ගෙන පැමිණි කාන්තාවකට උසාවිය ඉස්සරහදීම තර්ජනය කරනවා නම්, මෙය සරලව හිතන්න පුළුවන් කාරණයක් නෙමේ. මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. මෙවැනි වරදක් කළ මේ හිමිනමට එළියට අච්චු කළොත්, හෙට සරමක් ඇඳගෙන මේ උසාවිය ඉස්සරහට එන කෙනෙක් මේ උසාවියට බැණ වැදුණොත් ඔහුට දඬුවමක් දිය හැකිද? ඔහුත් කියයි අර හාමුරුවන්ට එළියට අච්චු කළ නිසා මටත් එළියට අච්චු කරන්න කියලා. එය පූර්වාදර්ශයක් වෙනවා.   


මෙය හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාටවත්, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියටවත් කළ වරදක් ​ෙනමේ. සමස්ත අධිකරණ පද්ධතියට මෙන්ම එම අධිකරණ පද්ධතියේ පිහිට සොයා ගෙන එන පුද්ගලයන්ට කළ වරදක්.   


උසාවිය තුළ දුරකථනය නාද වූ විට කූඩුවේ දාන්නේ ඇයි? කමිසයේ බොත්තම දාගෙන ආවේ නැහැ කියලා කූඩුවේ දාන්නේ ඇයි? උසාවියේ ගෞරවය ආරක්‍ෂා කර ගැනීමටයි එහෙම කරන්නේ. සාවියට පැමිණෙන අයගේ විනය හදන්නයි එහෙම කරන්නේ. එවැනි තත්ත්වයක් තිබියදී අධිකරණය ඉදිරිපිටදීම අධිකරණයේ පිහිට සොයාගෙන පැමිණී කාන්තාවකට තර්ජනය කළ අයෙකුට ලිහිල්ව දඬුවම් නියම කරනවා නම් මේ උසාවියේ තත්ත්වයට එහි විනයට වෙන්නේ කුමක්ද?   


මෙවැනි වරදක් සිදුකළ අයට යළි මෙවැනි වරදක් නොකිරීමට මෙන්ම අනාගතයේදී මෙවැනි වැරදි කිරීමට හිතාගෙ ඉන්න අයට එවැනි වරදක් නොකිරීමට සිතෙන ආකාරයට දඬුවම් නියම කළ යුතුයි.   


එහෙයින් මෙම විත්තිකාර හිමියන්ට සෙසු අයටද ආදර්ශයක් වන ආකාරයට දැඩි දඬුවමක් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවන රටේ තිබූ ප්‍රශ්න සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා කළ අයකු බවත් අසාධාරණයට එරෙහිව නැගිටින, කතා කරන කෙනාට ගහලා, බිමට සමතලා කරලා දාන එක අපේ රටේ හැටියක් බව අනගාරික ධර්මපාලතුමාත් කී බව අධිකරණයට පෙන්වා දෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල මාකුඹුර මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනිණ.   
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල මාකුඹුර මහතා කරුණු ඉදිරිපත් කරමින් රජය මිනිසුන්ගේ ප්‍රශ්නවලට කන් නොදෙන විට මිනිසුන් ඊට කන්දෙන අය ළඟට එන බවද අවධාරණය කළේය.   


අපේ රටට අමිල මෙහෙවරක් කළ බුද්ධි අංශ නිලධාරීන් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින බව ඔවුන්ගේ ඥාතීන් මගේ සේවාදායකයාට දැනුම් දීම නිසා තමයි උන්වහන්සේට මේ සිද්ධියට මැදිහත්වීමට සිදුවී තියෙන්නේ. මෙම සිද්ධිය සිදුවූ දින උන්වහන්සේ මෙම අධිකරණයේ සිටින විට බුද්ධි අංශ නිලධාරීන් රිමාන්ඩ් බාරයට පත් කළ විට ඔවුන් කඳුළු පිරි නෙතින් යනවා දුටු උන්වහන්සේගේ හදවත උණුවීම නිසා මෙම සිද්ධියට මැදිහත් වී ඇති බවද පෙන්වා දුන්නේය. 

 

 

 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා රිමාන්ඩ් බාරයට පත් කළ හමුදා නිලධාරීන්ගේ ඇස්වල කඳුළු දුටු නිසා විත්තිකාර හිමියන් ආවේගයට පත්වූ නමුත් පියා නැති සොවින් මානසික කම්පනයට පත් වී සිටින දරුවා ඇතුළු දරු දෙදෙනෙකු බලාගෙන දරුවන්ගේ පියා සොයන තම සේවාදායිකාව පත්ව සිටි තත්ත්වය ගැන බැලීමට විත්තිකාර හිමියන් කටයුතු නොකළ බව පෙන්වා දුන්නේය.   


පැහැරගෙන ගොස් අතුරුදන් කොට සිටින සිය සැමියා සොයන දරු දෙදෙනෙකුගේ මවක වන ඇය 2011 වසරේ සිට 2015 දක්වා තම දරුවන්ගේ පියාට සිදුවූයේ කුමක්ද යන්න සොයා ගැනීමට ලංකාව පුරාම ඇවිද්දත් ඇයට රජයෙන්, පොලිසියෙන් හෝ උසාවියකින් කිසිම සාධාරණයක් සිදුවුයේ නැති බව මෙන්ම ප්‍රගීත් එක්නැළිගොඩට ඔහුගේ බිරිඳට විවිධාකාර තැන්වලදී එල්ල වූ විවිධාකාර චෝදනා අතර මෙම සිද්ධිය වූ දිනයේදී මෙම උසාවිය ඉදිරිපිටදීම ඇගේ මුහුණටම එම තර්ජනය එල්ල කළ අන්දමද හෙළි කළේය.   


තනිකරම කම සේවාදායිකාවගේ මහන්සියෙන් මෙම සිද්ධියට අදාළ පරීක්‍ෂණ ඇදගෙන ගියේ තම දරුවන්ගේ පියා සොයා ගැනීමට බවද හෙළි කළේය.   


සියලු දෙනාගේ කරුණු සලකා ඥානසාර හිමියන්ට දුන් දඬුවම ඔබ සියලු දෙනා දනිති. අපට ඉහළින් බොහෝ දෙනෙකු සිටිනා බව නොදැන සියල්ලන්ට ඉහළින් අපි සිටින්නන් ලෙස හිතාගෙන ඉන්න සියලු දෙනාට මෙය ඉතාම හොඳ පාඩමකි.   


කුමක් නිසාද යත් ඔවුන් සියලු දෙනා මල්යහන්වලින් බිමට බැස්සවීමට මෙම තීන්දුව ඉවහල් වන නිසාවෙනි.


මේ සම්බන්ධයෙන් වූ දීර්ඝ සාක්කි විභාගය අවසානයේදී ඥානසාර හිමියන්ට එරෙහි සියලුම චෝදනාවන්ට උන්වහන්සේ වරදකරු බව හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග මහතා තීරණය කළේය.   


දණ්ඩනීති සංග්‍රහය යටතේ වූ චෝදනාවකට වැරැදිකරු වූ ඥානසාර හිමියන්ගේ ඇඟිලි සළකුණු පවා ලබාගත් මහෙස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් උන්වහන්සේට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය මාස හයකින් ගෙවීයන ලෙස නියම කළේය.

 

 

 

 

සටහන 
මනෝප්‍රිය ගුණසේකර
ඡායාරූප - ළහිරු හර්ෂණ