උතු​රු මුහුදේ ධීවර කොල්ලය මෝදි පැමිණීමෙන් පසු උග්‍රවෙලා


(දයාසීලි ලියනගේ)  

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉන්දීය ධීවර යාත්‍රා 4000 ක පමණ ප්‍රමාණයක් පසුගිය දින කීපය තුළ උතුරු මුහුදේ නීති විරෝධි ලෙස මසුන් අල්ලන බවට උතුරේ ධීවරයන් පිරිසක් ලිඛිතව රජයට පැමිණිලි කර ඇති බව සඳහන් වේ.  

තහනම් ආම්පන්න භාවිතා කරමින් මෙම ධීවරයන් මසුන් ඇල්ලීම නිසා උතුරු මුහුදේ මත්ස්‍ය බිත්තර පවා විනාශ වෙන බව ද ඔවුන් සඳහන් කර ඇත.  
 මීට පෙර බෝට්ටු 30 ක 40 ක ප්‍රමාණයක් උතුරු මුහුදේ හොරෙන් මසුන් ඇල්ලීම සිදු කරන විට නීතිය ක්‍රියාත්මක වුවත් දැන් බෝට්ටු 4000 ක පමණ ප්‍රමාණයක් පැමිණ මසුන් ඇල්ලීම සිදු කළත් නීතිය ක්‍රියාත්මක නොවන බව ඔවුන් චෝදනා කර ඇත.  


 මෙම බෝට්ටු අත්අඩංගුවට නොගන්නා ලෙසට අද‌ාළ අංශවලට නියෝගයක් ලැබී ඇති බවට තොරතුරු ඇතැයි ද උතුරේ ධීවර පිරිස සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.  
 මෙරට ධීවරයන්ගේ දැල් විනාශ කරමින් ඉන්දීය ධීවරයන් මසුන් ඇල්ලීම කරන අතර ඔවුන් මෙරට ධීවරයන්ට ජීවිත තර්ජන කරනු ලබන බව ද සඳහන් කර ඇත.