උතුරේ ජන හදවත් හැඬවූ හමුදාවේ කර්නල් රත්නප්‍රිය


 

යුද හමුදාවේ සේවයේ නියුතු උසස් නිලධාරියෙකු උතුරෙන් දකුණට ස්ථාන මාරු ලබා යන බව දැනගත් උතුරේ දමිළ වැසියෝ එය දරාගත නොහැකිව හඬා වැටෙන පුවත පසුගිය සතියේ උතුරේ හා දකුණේ පමණක් නොව විදේශ රටවල ජනතාවගේ ද බොහෝ අවධානයට ලක්විණි. 


බොහෝ දෙනෙක් තම කදුළු මතින් තැනුණු මල් මාලා ගෙල වටා පලඳවමින්, තෑගි බෝග ලබාදෙමින් නැවත වරක් උතුරේ තමන් සමග ජීවත්වන්න එන ලෙස ඉල්ලා හඬා වැටෙමින් ඔහු හා ගතකළ ඒ සංවේදී මොහොත ඇතැම් පාර්ශවයකට අසතුටක් ගෙන දෙන්නා වූ කාරණයක් බවට පත්ව ඇති බව පෙනේ.


උතුරේ සේවය කළ යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකු නැවත උතුරට ඉල්ලා එසේ හඬා වැටුණේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනයාට වඩා උතුරුකරයේ දරුණුම ලෙස යුද්ධය පැවති කිලිනොච්චිය යාපනය මුලතිව් ආදී ප්‍රදේශවල අවි අත දරා ගෙන සිටි එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පිරිස වීම විශේෂත්වයකි. 


ඔවුන් හඬා වැටෙමින් කියා සිටියේ මීට පෙර තම අම්මා තාත්තා සහ නායකයා බවට පත් වූයේ ප්‍රභාකරන් බවය. පසුව පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව තමන්ගේ ජීවිත ගොඩනැඟූ අම්මා තාත්තා නායකයා බවට පත්වන්නේ මෙම හමුදා නිලධාරියා බවය. ඔවුන්ගේ හදවත්වල ඇති සංවේදීම ස්ථාන පාරන්නට තරම් ඔහු සමත් වූ බව හඬා වැටෙමින් කියන්නට වූහ. 


යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සේවය කළ කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මෙම කතාවේ කතා නායකයා වෙයි. මේ සියලු ගරු බුහුමන් ලැබ දමිළ ජනතාවගේ හදවතේ රැඳී සිටින්නේ ඔහුය. යුද්ධය සඳහා උපරිම දායකත්වයක් ලබාදුන් රත්නප්‍රිය බන්දු මහතා උතුරේ දමිළ වැසියන්ගේ මෙතරම් ආදරයට පාත්‍ර වීම බොහෝ දෙනෙකුට විමතිය ගෙනදෙන්නකි. එහෙත් සත්‍යය මෙන්ම බොරු බේගල් ඇදබාන සංහිඳියාවට වඩා සැබෑ සංහිඳියාව මෙය යැයි පසක් කරමින් මුලතිව් කිලිනොච්චි සහ යාපනයට ගොස් කළ ඔහුගේ ක්‍රියාකාරකම් හා මෙම සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ පසුවය. 


කිලිනොච්චියේ විශ්වමඩු හි පිහිටි සිවිල් ආරක්ෂක බළකායේ යාපනය, මුලතිව් කිලිනොච්චි අණදෙන නිලධාරී කාර්යාලයට යන ඕනෑම අයෙකුට එහි මනාව අවබෝධ වනු ඇත. 


කර්නල් රත්නප්‍රිය බන්දු මහතා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී මෙන්ම යුද්ධයේ දරුණුතම අවස්ථා ළඟා වෙද්දී සිදුකළ ක්‍රියාකාරකම් පිළිබඳ මාධ්‍යවේදියකු වන මට අතීතයේ සිටම අත්දැකීම් රැසක් පැවතුණි. එනිසාම ඔහුගේ ක්‍රියාකාරකම් දන්නා නිසාම ඔහු වසර පහමාරකට පසු උතුරෙන් දකුණට ස්ථාන මාරු ලබා යෑම මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව නැවතත් යුද හමුදාවට එක් වීම ආදී තොරතුරු සමඟ ඔහුගේ නික්ම යන දිනයේ දී කිලිනොච්චියට ගමන් කිරීමටද මට අවස්ථාව උදා විය. මා සමග ගමනට ගලේවෙල දුමින්ද බණ්ඩාරනායක මහතා ද එක්විණි. 


 කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ගලේවෙල ප්‍රදේශයේ ඉපිද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මේ වන විට මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහුගේ ගම මෙන්ම වාසස්ථානය ජීවිතය සියල්ල වූයේ උතුරු කරයයි. 


 යුද්ධය පැවති සමයේ දාමිණී නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය වී තිබිණි. එය බොහෝ දෙනෙකු නැරඹූ චිත්‍රපටියකි. ගමේ ඉන්න තරුණයන් ඒකරාශි කොට ඔවුන්ට විනය අවිය ආදී සියල්ල පුහුණු පුරුදු කොට රට බේරා ගැනීමේ ක්‍රියාවලිය අහිංසක මිනිසුන්ගේ හදවත්වලට ළං වෙන ආකාරයත් එහි පිළිබිඹු වෙයි. චිත්‍රපටයේ එන ප්‍රධාන යුධ හමුදා නිලධාරියාගේ චරිතය වන්නේ කර්නල් රත්නප්‍රිය බන්දු මහතාය. 

 

 

කර්නල් රත්නප්‍රි බන්දු ගල්කිරියාගම උසස් පුහුණු විද්‍යාලයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවය කරන කල්හි ඉතා ප්‍රබල භයානකම ප්‍රහාරක කණ්ඩායමක් ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භටයන්ගෙන් නන්දමිත්‍ර බළකාය නිර්මාණය කළේය. නන්දිමිත්‍ර බළකාය සේවයට එක් කරන මොහොතේ එම පුවත වාර්තා කිරීමට ද හැකි වූයේ මා හට ය. එදින ඒ මහතා හඳුනා ගත් පසු මේ වන විට ඔහුගේ ක්‍රියාකාරකම් රැසක් මම සොයා බැලුවෙමි. 


යුද්ධය අවසන් වීමෙන් පසු සාමයේ අරුණලු එක දෙක මිහි මත වැටෙමින් පවතිද්දී යුද හමුදාවේ අනුමැතිය පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ රත්නප්‍රිය බන්දු මහතා වෙත යාපනය කිලිනොච්චිය මුලතිව් ආදී දිස්ත්‍රික්කයන්හි අණදෙන නිලධාරීවරයා ලෙස පත්වීම් ලැබ එම ප්‍රදේශයේ බිඳුණු හදවත් ඒකරාශි කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් ජනගත කිරීම ආර්ථිකය සංවර්ධනය ආදී ක්‍රියාදාමයන් රැසක් පැවරුණි. 


ගිනි අවි අත දැරූ මෙම ප්‍රදේශවල ජනතාව ඒකරාශී කිරීමට රත්නප්‍රිය බන්දු මහතා කිසිදු ගිනි අවියක් භාවිත නොකළේ ය. ඔවුන්ගේ හදවත්වලට කතා කළේය. එමෙන්ම විශ්වමඩු එල්.ටී.ටී කඳවුර තම වාසස්ථානය කර ගත්තේය. එහි සිට උතුරේ සෑම ස්ථානයකම පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිස් මෙන්ම ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතාවන් ගෙන් පිරී ජීවත්වීමේ අරගලයක නිරතව සිටින හාරදහසක් පමණ දෙනා මොහු වටා එක් වූහ. 


ඔවුන්ගේ දක්ෂතා හඳුනාගත් කර්නල් රත්නප්‍රිය ඇතුළු කණ්ඩායම ප්‍රදේශයේ පෙර පාසල් උපකාරක පංති වගා බිම් හස්ත කර්මාන්ත ආයතන බාබර් සාප්පු බ්ලොග් ගල් නිෂ්පාදන ආයතන ආදී රැකියා රැසක් බිහි කරන්නට වූහ. 


මෙම රැකියා බිහි කිරීමේදී ඔහුට එකම බාධකය බවට පත් වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ බලාපොරොත්තු තවමත් මල්ඵල ගන්වන්නට ක්‍රියා කරන ඇතැම් සංවිධානවලින් ලැබුණු බාධක කරදර පමණි. ඒ සියල්ලටම ඔහු මුහුණ දුන්නේ රටේ ජනතාවගේ සංහිඳියාව ඇති කිරීම සඳහා ය. 


මේ වන විට උතුරුකරයේ පෙර පාසල් පමණක් 260කට වඩා පවතී. එමෙන්ම ජීවිත කාලය පුරාම යුද්ධයෙන් බිහිසුණුකම අත්විඳි දරුදැරියන් 60,000 කට අධික ප්‍රමාණයකට අධ්‍යාපන ලබාදෙන්නට ද ඔහුට හැකි වීම විශේෂත්වයකි. 


2012 වසරේ ආරම්භ කළ මෙම උත්සාහයේ මල්ඵල ගැන්වූ ස්ථාන ගණනාවකටම එනම් දඹුල්ලේ සිට කිලිනොච්චිය යාපනය මුලතිව්හි ප්‍රදේශවලට මාගමන් කළෙමි. රත්නප්‍රිය බන්දු මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනරුත්ථාපනය වූ මේ තරුණ තරුණියන්ට සමීපව කටයුතු කරන ආකාරය ගැන අත්දැකීම් ලදිමි. පසුගිය 2015 වසරේ දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවශ්‍යයයි රට පුරා කතාබහකට ලක් විණි. ඒ අවස්ථාවේ දී උතුරේ නිදහස් දිනය සමරද්දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනරුත්ථාපනය වූ පිරිස සියලු දෙනාටම අභියෝගයක් කරමින් සිංහලෙන් ජාතික ගීය ගායනා කරමින් නිදහස් දිනය සමරනු ලැබූහ. එදින ද මා සිටියේ ඔවුන් සමග ය. 
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රමුඛ පෙළේ නායකයෙක් පුනරුත්ථාපනය වීමෙන් පසු තවත් කණ්ඩායමක් එක්ක ඔහුගේ ජවය පෙන්වීම සඳහා කිලිනොච්චි ධර්මපුරම් ප්‍රදේශයේ වැවක් නිර්මාණය කිරීම විශේෂත්වයකි. අහස් දියෙන් ගලා එන ජලය ඒකරාශී කිරීමට ඔවුන්ට හැකි විණි. යුද්ධය වෙනුවෙන් වැය කළ එම ශක්තිය රටේ සංවර්ධනය ආර්ථිකය වෙනුවෙන් ඔවුන් කැප කළහ. එම වැව විවෘත කරන අවස්ථාවේදී ද ඔවුන් සමග එක්වීමට මට අවස්ථාව උදා විණි. 

 

 

කර්නල් රත්නප්‍රිය බන්දු මහතා එකවරම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව අඹේපුස්ස යුධ හමුදා කඳවුරට ස්ථාන මාරු ලබා යන බව සැලවීමත් සමග පසුගිය දහවන දින කිලිනොච්චියට මම ගියෙමි. 
අලුයම 3ට දඹුල්ලෙන් පිටත් වූ මා උදෑසන 7. 30 පමණ වන විට විශ්වමඩු පිහිටි යාපනය කිලිනොච්චිය මුලතිව් අණදෙන කාර්යාලයට ළඟා වුණෙමි. ඒ වනවිටත් විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක් කඳවුර ඉදිරිපිට පෝලිමේ සිටිනු දැක ගැනීමට හැකියාව ලැබිණි. අතේ විවිධ තෑගි පාර්සල්ය. රත්නප්‍රිය බන්දු මහතාගේ රුව සහිත ඡායාරූපය. තවත් පිරිස අතේ විශාල දිගැති ඇදුණු මල් මාලා ය. තවත් පිරිස මල් වට්ටිය. වැඩිහිටි අම්මලා තාත්තලාද දෑස්වල කඳුළු පුරවාගෙන කඳවුර ඉදිරිපිට රැස්ව සිටින ආකාරයද දර්ශනය විණි. 


 පසුව උදෑසන 8.30 ට පමණ වසර පහමාරක් සේවය කළ විශ්වමඩු අණදෙන කාර්යාලයෙන් නික්ම යන්නට කර්නල් රත්නප්‍රිය බන්දු සූදානම් විය. එම අවස්ථාවේ තනිකරම ස්ථානය මළගෙයක ස්වරූපය ගත් හැටි දැක ගැනීමට හැකියාව ලැබිණි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනරුත්ථාපනය වූ බොහෝ පිරිස් රත්නප්‍රිය බන්දු මහතාගේ පාද සිඹිමින් ඔහු වැලඳ ගනිමින් හඬාවැටෙන්නට වූහ. ඔවුන්ගේ එකම විලාපය බවට පත්වූයේ ”යන්න එපා යන්න එපා සර් යනුවෙනි”. 


දීර්ඝ වේලාවක් එම ස්ථානයෙන් පිටත් වීමට නොහැකිව රැඳී සිටිමින් පසුව ඔහු අඹේපුස්ස යුධ හමුදා කඳවුරට එන්නට පිටත් විණි. විශ්වමඩු සිට කිලිනොච්චි නගරයට පැමිණෙනවාත් සමග කිලිනොච්චි නගරයේ විවිධ පාටින් කොඩි දමා සරසා තිබිණි. කිලිනොච්චිය සමුපකාර ශාලාව ආසන්නයේ කාන්තාවන් විශාල පිරිසක් තරුණ තරුණියන් සමඟ මඟ රැකගෙන සිටින අයුරු අපි දුටුවෙමු. රත්නප්‍රිය බන්දු මහතා සමු දීමට යන අවස්ථාවේ ඔහුට කළගුණ සලකන්නට ඔවුන් උත්සවයක් සංවිධානය කර තිබිණි. 


වාහනෙන් බහිනවාත් සමග කාන්තාවෝ රැසක් පැමිණ බන්දු මහතාගේ මුහුණ වැසෙන ආකාරයට මල් මාලාවලින් ඔහුව පුරවන්නට විය. සමුපකාර ශාලාවට රැස් වූ මෙම පිරිස රත්නප්‍රිය බන්දු මහතාගේ ගුණ වයන්නට කවි සින්දු නාට්‍ය නිර්මාණය කොට තිබිණි. දමිළ භාෂාවෙන් ඔහුගේ ගුණ කථන රැසකි. පැය ගණනාවක් සමුපකාර ශාලාවේ ගත කරන්නට විය. බොහෝ දෙනා ඔහුට විවිධාකාරයෙන් පැසසුමට ලක් කරද්දී කුඩා දරු දැරියන් රැසක් පැමිණ හඬා වැටෙන අයුරු ද අපි දුටුවෙමු. 


මෙම කණ්ඩායම පුටුවක් ගෙන ඒ මත රත්නප්‍රිය මහතා වාඩි කරවා ඔවුන් පුටුවේ කකුල්වලින් ඔසවාගෙන සමුපකාර ශාලාවේ සිට කිලිනොච්චිය නගරය වෙත පාගමනින් රැගෙන ඒම ද විශේෂත්වයකි. එන අතරමගදී බන්දු මහතාට මල් මාලා පැලඳ වීම මෙන්ම මල්වලින් ඉසීම ද විශේෂත්වයකි. විනාඩි කිහිපයකට කිලිනොච්චිය යාපනය ප්‍රධාන මාර්ගය අවහිර කිරීමටද ඔවුහු ක්‍රියාත්මක වූහ. 


මහ හයියෙන් නගරය දෙදරුම් කන්නට තරම් කාන්තාව විලාප තබන්නට විය. තරුණ තරුණියෝ විලාප තබන්නට වූහ. යන එන වාහන නවතා ජනතාව සිදුවන්නේ කුමක්දැයි ඒ දෙස බලා සිටින ආකාරය අපි දුටුවෙමු. කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාව රත්නප්‍රිය බන්දු මහතා හොඳින් හඳුනන නිසා ව්‍යාපාරික ප්‍රජාවත් අවට පදිංචිකරුවෝ 2000 කට අධික පිරිසක් නගරයට ඒකරාශී වී සිටීම විශේෂත්වයකි. පසුව ඔහු වාහනයකට නැග පිටත්වන්නට වනවිට ඉර අවරට ගොස් තිබිණි. එහෙත් නැවතත් කණ්ඩායමක් පැමිණ වාහනයේ නැගී රත්නප්‍රියට යන්නට නොදී අත් අදින්නට වූයේ හඬා වැටෙමින්ය. ප්‍රදේශයේ බොහෝ දෙනෙකුට දරාගත නොහැකි දුකක් බවට පත්ව තිබිණි. ඒ අවස්ථාව වනවිට කිහිපදෙනෙකු ක්ලාන්තය සෑදී ඇද වැටී තිබීම ද විශේෂත්වයකි. 


රත්නප්‍රිය බන්දු මහතාට සහ නිලධාරීන් කිහිප දෙනෙකුට දිවා ආහාරය සූදානම් කර තිබුණේ කිලිනොච්චියට මඳක් දුරින් පිහිටි කුඩා හෝටලයකය. කණ්ඩායම ආහාර ගැනීමට සූදානම් වෙද්දී එක වැරම කාන්තාවන් සහ පිරිමින් කණ්ඩායමක් ඒ තුළට කඩා පැන්නෝය. ඔවුන් කෑ කෝ ගසමින් කියන්නට වූයේ රත්නප්‍රිය මහතාට උතුරෙන් පිටව නොයන ලෙසය. පිටව යන්නේ නම් නැවත තමන්ගේ හදවත් වෙනත් අතකට ගමන් කිරීමට හැකි බව ඔවුහු හඬාවැටෙන්නට වූහ. ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලා සිටින්නේ වහාම තමන්ගේ ජීවිත ගොඩනැගූ මෙම පුද්ගලයා නැවත උතුරට ලබා දෙන ලෙසය. එසේ නොවෙන්න එනම් ඇතැම් විට වෙනත් ක්‍රියාකාරකම් මඟින් හෝ ඔහු තමන් වෙත ලබා ගන්නා බව අභියෝගයට ද ලක් කරන්නට තරුණ කණ්ඩායමක් පසුබට නොවූහ. 

 

 

මේ අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ සාමාජිකයෙක් අප සමග මෙසේ පැවසීය. 


 ”මම එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු කෙනෙක්. ඒ වගේම තමයි අපි එදා අම්මා තාත්තා නායකයා හැටියට සැලකුවෙ ප්‍රභාකරන්ට ඒ යුද්ධය කාලෙදි. හැබැයි අපිට යුද්ධය ගැනත් රට ගැනත් කියලා දීපු අපේ සර් තමයි දැන් අපේ අම්මා තාත්තා නායකයා බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා සර් උතුරෙන් අරන් යන්නේ ඇයි කියල අපි හිතාගෙන හිටියේ රත්නප්‍රිය සර් මේ උතුරේ නායකයා කරන්න. මොකද අපේ බිඳුණු හදවත් එකතු කළේ රත්නප්‍රිය සර්. ඒ නිසා ලක්ෂ ගණනාවක් මිනිසුන්ගේ ජන හදවත් මෙහෙම කාටවත් දිනා ගන්න බෑ. 


 ප්‍රභාකරන්ට වත් මේ ආදරය දෙන්න බැරි වුණා. හැබැයි අද අපි කාලා ඇඳලා සතුටෙන් ඉන්නේ රත්නප්‍රිය සර් නිසා. කිලිනොච්චිය යාපනය මුලතිව් ප්‍රදේශවල අපිට හැඳුනුම්පතක් වත් තිබ්බෙ නෑ. ඒ වගේම තමයි අපේ දරුවන්ගේ උපතේ ඉඳලා මහල්ලාගේ විපත දක්වාම අපිට උදව් පදව් කළේ සර්. එයා තමයි අපේ විවාහ මංගල්‍යවලට අත්සන් පවා කරන්නේ. ඒ වගේම අපේ හැම උපන් දිනයකටම සුබ පතනවා. අපේ දරුවන්ගේ උත්සවවලට සර් එනවා. අපට ආදායමක් හදලා දීලා, ස්ථිර රස්සාව තියෙනවා, රට ගැන කියලා දීලා තියනවා ඒ නිසා අපි බොහෝ දෙනෙකුට අද සිංහල කතා කරන්න පුළුවන්කම තියෙනවා. 


හැබැයි තවමත් යුද්දේ ඉල්ලන කණ්ඩායම්වලට වගේම අපේ පාලකයන්ටත් මේක තේරෙන්නේ නෑ. එහෙම තේරෙනවනම් රත්නප්‍රිය සර් අපෙන් අරගෙන යන්නේ නෑ. අපි ඉල්ලන්නේ දෙමළ නායකයෙක් නෙවෙයි. අපි ඉල්ලන්නේ අපේ සිංහල නායකයෙක් හමුදාවේ කෙනෙක්. ඇයි ආණ්ඩුවට ඒක කරන්න බැරි. 


අපි වෙන දෙයක් ඉල්ලුවා නම් කමක් නෑ. හැබැයි අපිට මෙහෙම කරන්ඩ එපා කියලා තමයි අපි කියන්නේ. මේ ස්ථාන මාරුව අවලංගු කරන්න කියලා අපි මහ ඇමැතිට කිව්වා. ආණ්ඩුකාරවරයාට කිව්වා. ඒත් කිසිම කෙනෙක් මේක කළේ නෑ. සමහරවිට අපි ඉදිරියේදී යම් යම් ක්‍රියාමාර්ග වලට එන්න සූදානමින් ඉන්නේ මොකද මේ බිඳුණු හදවත් ආපහු බිඳුණම භයානක ප්‍රතිඵල තමයි අත්විඳින්න වෙන්නේ. 


අපි කැමති නෑ අපේ පුංචි දරුවන්ගේ සිත් කඩල බිඳල බලාපොරොත්තු සුනුවිසුනු කරන්න. ඒ බලාපොරොත්තු රැසක් අපි ළඟ තියෙනවා. අපි දරුවන්ට ආයෙත් යුද්ධයක අමිහිරි අත්දැකීම් තියන්න අපි කැමති නැහැ. අපි විඳපු දුක අපි දන්නවා. ඒ නිසා අපි දැන් ඉන්න පුංචි දරුවෝ යුද්ධය ගැන දන්නේ නෑ. ඒ අයගේ හදවත් වලට ඒව කියල දෙන්න වත් අපි අකමැති. ඒවා ස්මරණය කිරීම නෙවෙයි ඒවා සදාකාලිකව අමතක කරලා හොඳින් ඉන්න තමයි අපි උත්සාහ කරන්නේ.” 

 

 

එමෙන්ම මෙම සමුදීම පිළිබඳව රත්නප්‍රිය බන්දු මහතා අප සමග කියා සිටියේ ඉතා සංවේදී කතාවකි. 


 “දකුණේ අය උතුර ගැන මවාගෙන ඉන්න චිත්‍රයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් උතුරේ චිත්‍රය. ඒ මිනිස්සු යුද්ධය කියන වචනයක්වත් නැවත අහන්න කැමති නැහැ. සාමය තමයි ඒ අයගේ බලාපොරොත්තුව. ඒ අය ඉතාම කැමැත්තෙන් ඉන්නේ දකුණත් එක්ක සහයෝගයෙන් අත්වැල් බැඳගන්න. ඒත් ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය හා විවිධ පිරිස් ආයෙමත් ජාතිවාදය වපුරන්න හදනවා. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ මිනිසුන්ගේ හදවත් සුවපත් කරන්න බොහොම කාලයක් ගියා. දැන් ඒ අයගේ සිහිනය බවට පත්වෙලා තියෙන්නේ ජීවත්වීම. දරුවන් හට ඉගැන්වීම. එ් විතරක් නෙවෙයි අනාගතය. එනිසා මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගෙන ඒ අයට සිදුකරන්න පුළුවන් හැම දේම අපි ඉටුකළා. මේ සියලු දේ කරන්නට මට ශක්තිය බවට පත් වුණේ ඔබයි. 


 අපේ යුද හමුදාව විනය නීතිය ඒ වගේම තමයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරු සියලු දෙනාම මට දැක්වූ සහයෝගය. යුද හමුදාපතිවරුන් මට දැක්වූ සහයෝගය යුද හමුදාවේ ඉහළ නිලධාරීන් මට දැක්වූ සහයෝගය අද වන විට උතුරේ ප්‍රධානතම හා ශක්තිමත් රාජ්‍ය සේවක බළකායක් හැටියට විශාල පිරිසක් ඉන්න එකම ආයතනය තමයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව. උපතේ ඉඳලම විපත දක්වා ම ඔවුන්ට සේවා කරන ස්ථාන මේ වනවිට හදලා තියෙන්නේ. ඒ නිසා උතුරේ ඕනෑම වේලාවක රාජ්‍ය සේවකයන් හැටියට ඔවුන් රටේ සංවර්ධනයට උර දීලා කටයුතු කරනවා. 


වසර පහක පමණ කාලයක් ඉතාමත් අපහසුවෙන් මේ පිරිස කිසිදු අවියක් නැතුව අඩුම තරමේ බ්ලේඩ් තලයක්වත් පාවිච්චි නොකර හදවත් තුළට කතා කරලා මේ තත්ත්වයට පත් කළා. ඒ නිසා අද මට මේ ස්ථාන මාරුවෙලා යන්න සතුටුවෙන්න පුළුවන්. යමක් කරලා තවත් ස්ථානයකට ගමන් කරන්න ඒක තමයි අපේ අරමුණ.” 


යුද්ධය නිමා වී රට එක්සත් වුණාට මිනිසුන්ගේ හදවත් එකතු කරන එක ඉතා අමාරු ක්‍රියාවකි. කර්නල් රත්නප්‍රිය වැනි චරිත වෙහෙස දරන්නේ එසේ වෙන්වූ උතුර - දකුණු හදවත් යා කිරීමේ ක්‍රියාවලියටය. එනිසාම රත්නප්‍රිය බන්දු උතුරුකරයේ වැසියන්ගේ මතකයේ සදා නොමැකෙන අමරණීය මතකය බවට පත්ව හමාරය.

 

 

 

 

සටහන සහ ඡායාරූප දඹුල්ල
කාංචන කුමාර ආරියදාස