ඉන්ධන මිල වැඩි කිරීමේ නිලධාරී කුමන්ත්‍රණයක්?


(දයාසීලි ලියනගේ) 
මිල සූත්‍රයත් සමඟ සංස්ථා තෙල් මිල වැඩි කරන ලෙසට ඉන්දියානු තෙල් සමාගමෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවට ඛනිජ තෙල් අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත. 

ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉන්දියානු තෙල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් දැඩි අලාභයක් ලබමින් සිටින නිසා තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වල තෙල් මිල ඉහළ දමා මිල සම මට්ටමකට ගෙන ඒමේ උත්සාහයක නිරතවෙන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. 


මිල සූත්‍රයත් සමඟ තෙල් මිල ඉහළ දැමීමෙන් ඉන්දියානු තෙල් සමාගම දැන් ලබන පාඩුව අවම කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන අතර ඒ සඳහා සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇතැයිද එම නිලධාරියා ප්‍රකාශ කළේය. 


මේ අතර ඉහළ පිරිසකට මුදල් ලබාදී තෙල් මිල ඉහළ දැමීමට එකඟ කරවා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරීමට ඇමැති අර්ජුන රණතුංග මහතා තීරණය කර ඇත.