ඉක්මන් මැතිවරණයක් ගැන මහින්ද-රනිල් සාකච්ඡා


(නාලක සංජීව දහනායක)  

අගමැති මහින්ද රාජපක්ෂ හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් පසුගිය සිකුරාදා මහා මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

වත්මන් අගමැතිවරයා හා හිටපු අගමැතිවරයා පසුගිය සිකුරාදා පෙරවරුවේ දී පාර්ලිමේන්තු පුස්තකාලයේදී මුණ ගැසී මෙම සාකච්ඡාව පවත්වා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.  


ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි එහිදී අගමැතිවරයා විසින් හිටපු අගමැතිවරයාට යෝජනා කර තිබේ.  
එහෙත් මේ මොහොතේදී මැතිවරණයකට තමන් සූදානම් නැති බවත් ලබන වසරේ ජුනි මාසයේ දී මහා මැතිවරණයක් පැවැත්වීමට තමන් එකඟ යැයිද හිටපු අගමැතිවරයා මෙහිදී පවසා ඇත.  


එතරම් කාලයක් මෙම අර්බුදය පැවැතීමට ඉඩ හැරීමෙන් රට තවත් අරාජිකවන බව අගමැතිවරයා පවසා තිබේ.  


එහෙත් හිටපු අගමැතිවරයාගෙන් එයට නිසි පිළිතුරක් ලැබී නැතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  කෙසේ වෙතත් මෙම සාකච්ඡාව විනාඩි 10 ක් පමණ පැවැති අතර අනතුරුව අගමැතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටවී ගොස් ඇත.