අලුතින් ගල් අඟුරු බලාගාර හදන යෝජනාවට ඇමැති පිරිසකගේ විරෝධය


(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)   
ගල් අඟුරු බලාගාර අලුතින් ඉදිකිරීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් අතර මත ගැටුමක් ඇති වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

2020 වනවිට ශ්‍රී ලංකාව විදුලි අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවන බැවින්, ගල් අඟුරු බලාගාර කඩිනමින් ඉදිකළ යුතු බව ඇමැතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇති අතර, ගල් අඟුරු බලාගාර ඉදිනොකර, ස්වාභාවික ද්‍රව බලාගාර ඉදිකළ යුතු බව තවත් ඇමැතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත.  


මෙගාවොට් 1200ක ධාරිතාවෙන් යුත් ගල් අඟුරු බලාගාර දෙකක් අලුතින් ඉදිකිරීම සඳහා ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට අාචාර්ය සරත් අමුණුගම සහ රංජිත් සියඹලාපිටිය යන ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් සංදේශයක් සමග ඇමැතිවරුන් අතර මෙම මත ගැටුම ඇතිව තිබේ.   


ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට විරුද්ධව රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා යන ඇමැතිවරුන් අදහස් දක්වා ඇත.  ඒ අනුව ගල් අඟුරු බලාගාර යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව නැවත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමට ද තීරණය වී තිබේ.