අමාත්‍යංශ ඇති ගොඩනැගිලිවලට මාසික කුලිය කෝටි 15 යි


(දයාසීලි ලියනගේ)
අලුතෙන් පිහිටුවන ලද අමාත්‍යංශ සහ පැවැති අමාත්‍යංශ කිහිපයක් පවත්වාගෙන යාමට කුලී පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිලිවලට මාසිකව රුපියල් කෝටි 15 ක මුදලක් ගෙවනු ලබන බවත් එම ගොඩනැගිලිවලට ගෙවා ඇති අත්තිකාරම් මුදල රුපියල් කෝටි 100 ක් බවත් අනාවරණ වේ.


මෙයින් අමාත්‍යංශ 25 ක් සහ රාජ්‍ය අමාත්‍යංශ 11 ක් රජයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන අතර ඒ සඳහා ද කුලී ගෙවනු ලබයි.


කුලී පදනම මත ලබාගත් ගොඩනැගිලිවල රාජ්‍ය අමාත්‍යංශ 10 ක් පවත්වාගෙන යයි.


මෙම අමාත්‍යංශ ගණනාවක ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරිය සතුවන අතර ඒවාට ද කුලී ගෙවනු ලබයි.


රජයේ ගොඩනැගිල්ලකම අමාත්‍යංශයක් පවත්වා ගෙන යාමේදී කුලී අයකිරීම සම්බන්ධයෙන් මහනගර සභා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ නාගරික සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිල්ලක් කාට ලබා දුන්නත් ඒ සඳහා නියමිත කුලිය ලබා ගන්නා බවයි.


මීට අමතරව පෞද්ගලික අංශයෙන් හා තවත් ආයතන ගණනාවකින් කුලී පදනම මත අමාත්‍යංශ පවත්වා ගෙන යනු ලබයි. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලට මිලියන 24.570 ක් ද සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශ ගොඩනැගිල්ලට මිලියන 11.958 ක් ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ලට මිලියන 14.05 ක් ද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශ ගොඩනැගිල්ලට මිලියන 11.331 ක් ද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට මිලියන 9.990 ක් ද වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට රුපියල් මිලියන 7.075 ක් ද වශයෙන් කුලියක් ගෙවනු ලබයි. මෙම ගොඩනැගිලි බොහොමයක අයිතිකරු නාගරික සංවර්ධන අධිකාරිය බව ද වාර්තා වේ.


අඩුම කුලියක් ගෙවනු ලබන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට වන අතර එම මුදල රුපියල් 70,000 කි.
කර්මාන්ත හා වානිජ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ කුලිය ලක්ෂ 4 කි. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුලිය ලක්ෂ 6 කි. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ (කොටසක්) කුලිය රුපියල් ලක්ෂ 8 කි.