ලංකාවෙන් මතුවූ ලෝකයේ ලස්සනම බිරිය


කැරොලින් සිය සැමියා සහ දරුවා, පුහුුණුකරු රුක්මාල් සේනානායක, විවාහක රූ රැජින ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සමග

 

 

ජගත් විවාහක රූප රාජිනිය ලෙස දහස් ගණනක් ඔල්වරසන් මැද, සතුටු සිනහා මැද, ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස්හී දි අභිෂේක ලබන අතිශය සුන්දර මොහොතේ දී ඔහුට හිතුණේ “මම, මගේ ආදරිය වෙනුවෙන් ඇයගේ සතුට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා” යන ආදරණීය සිතුවිල්ල ය. ඇයගේ සතුටු කඳුළු, සිනා පිරි මුව, ඇය හිස මත රැඳුණු රන් කිරුළටත් වඩා වටින බව ඔහුට දැනෙන්නට විය.   


විශ්වයේම රූමත් විවාහක ලලනාව ලෙස කිරුළු පළන් ජූරිගේ ආදරණීය රෝමියෝ කුමාරයා එනම් නිශාන්ත දීපාල්, සුරූපී විවාහක රූප රාජිනිය කැරොලින් ජූරිගේ ආදරණීය සැමියා ය. වසර ගණනාවක ආදරවන්තයා ය. දහසක් බාධක දුක් කඳුළු කම්කටොලු මැද බොහෝ සෙනෙහසින් ඇයගේ අතින් අල්ලාගෙන ඇය යන ඒ මගට දිරිය දුන් මිනිසා ය. බොහෝ දෙනා විශ්වයේ රූමත් විවාහක ලලනාව ලෙස කිරුළු පළන් කැරොලින් ජූරි ගැන කතා කරද්දී, ඇයට ශක්තියක් ධෛර්යයක් පමණක් නොව දයාබර සැමියෙකු ලෙස ඔහු කළ මහා කැපවීම මෙන්ම සැබෑම වූ ප්‍රේමය මේ යැයි කියා දෙන බොහෝ යුවතියන්, කාන්තාවන් කතා කරන ඔහු සමග අපි කතා කළෙමු.   


“මමයි කැරොලිනුයි ඉගෙන ගත්තේ කඳාන සෙන්ට් සෙබස්තියන් විද්‍යාලයේ. එයා ඒකේ කොන්වන්ට් එකේ ඉගෙන ගත්තා. මම බෝයිස්කුල් එකේ. ඒත් පාසල් කාලෙදි අපි අතර හමුවීමක් වුණේ නැහැ. මට කැරොලිනිව හමුවන්නේ ඩුබායිවල රස්සාවල් කරන කාලෙදි. එහෙදි තමයි අපි අතර ආදරයක් ප්‍රේමයක් ඇතිවෙලා පසුව විවාහ වෙන්නේ. ඇය ඉතාම ආදරණීය බිරිඳක්. මගේ ජීවිතයේ ලොකුම සතුට එයාව සතුටින් තියන එකයි. නිශාන්ත බොහෝ සෙනෙහසින් පවසයි.   


“එයා නිරූපණ ක්ෂේත්‍රය හෝ වෙනත් කිසිම දේකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ මම අඳුනගත්ත කාලේදි. එයාට ඒකට සම්බන්ධ වෙන්න ආසාවක් හීනයක් තිබුණා. ඒ ආසාව තමයි ඔය ඉෂ්ට කරගත්තේ. එයා පොඩි කාලේ ඉඳලම මේ නිරුපණ ක්ෂේත්‍රයට ආශාවක් තිබුණත් ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා. එයා ඒ ගැන පුංචි දුකකින් හිටියා. ඒත් පසුකාලීනව ඒ ආශාව ඇයට ඉටුකර දෙන්න මට හැකිවුණා.   


නිරූපණ ක්ෂේත්‍රය කිසියම් පටු තැනක තිබීමත්, රූමත් ගැහැනු ළමයෙක් එවැනි දේට සම්බන්ධවීම සමහරුන් අනුමත නොකරන හෙයින් ඇය පිළිබඳව ඔහුගේ විශ්වාසය කෙසේ වීදැයි අප ඇසූ විට ඔහු කියා සිටියේ, තමන්ට ඇය මහත් සේ විශ්වාස බව ය.   


“ඇත්තටම එයා ඉතාම විශ්වාසනීය කෙනෙක්. ආදරණීය කෙනෙක්. අපි අතරේ තිබුණු ඒ විශාල අවබෝධය විශ්වාසය නිසා තමයි මේ වගේ දේකට වුණත් යන්න ඉඩ පසුබිම හැදෙන්නේ. එයා ඒක උපරිමයෙන් කරපු කෙනෙක්. මට මගේ වයිෆ් ගැන විශ්වාසයක් නැතුව නිරූපණ ක්ෂේත්‍රයට යවනවා කියන්නේ ඒක නිකම් බොරු වැඩක්නේ.   
‘‘කැරොලින්ගේ පවුලේ පස් දෙනයි. අම්මායි තාත්තයි අයියල දෙන්නයි අක්කා සහ නංගි කෙනෙකුයි ඉන්න ආදරණීය පවුලක්. එයා පාරිභෝගික සම්බන්ධීකාරක කෙනෙක් විදියට වැඩ කළේ. අපිට දුවෙක් ඉන්නවා. අවුරුදු 2 යි වයස. එයා එලිසා කැරොලින්. රූප රැජිනක් විදියට කටයුතු කරද්දි විශාල කැප කිරීමක් කරන්න වෙනවා. ඉතින් වැඩ අතපසු වෙනවද කියලා සමහර අය අහනවානේ. ඇත්තටම කැරොලිනා අතින් එහෙම අතපසු වීමක් කවදාවත් වෙලා නැහැ. එයා හුඟාක් සැලසුම් සහිතව වැඩ කරන කෙනෙක්. හැබැයි මමත් එයාට හුඟාක් උදව් කරනවා. එයා වැඩට යද්දිත් ඒ දවස්වල එයාගේ අතින්ම තමයි ගෙදර සියලු වැඩ කටයුතු කළේ. එයාට ගෙදර වැඩ කටයුතු හොඳට පුළුවන්. මම දුන්නේ සහයක් විතරයි. ප්‍රෙජෙන්ඩා එකට යන දවස්වල පොඩි ගැටලු ටිකක් ආවා. මොකද එයා හදිසියේම ලංකාවට එනවා. එතකොට අපිට නිවාඩු නැහැ. මම කල්පනා කරලා එයාට කිව්වා “බබා මේක ඔයාගේ ආසාවක්. ඔයා කල්පනා කරලා කැප කිරීමක් කරන්න වෙනවා මෙතනදි. ඒ වුණාට ඔයාට කිසි දේකට බය වෙන්න දෙයක් නැහැ. ඒ හැම දේටම මම ඉන්නවනේ. මම දුවව බලා ගන්නම් කියලා එයාගේ හිත ශක්තිමත් කළා. එතකොට මගේ අම්මත් එහේ හිටියේ. අම්මත් එක්ක එකතු වෙලා මම බලාගන්නම් කිව්වා. සතියක්වත් ගියේ නැහැ. දවස් 5 ක කාලයකට තමයි ගියේ. හැබැයි ලෝක රූ රැජින තරගයට ගිහිල්ලා තමයි එයා දුව ළඟ නැතිව වැඩිම කාලයක් හිටපු දවස් තිබුණේ. දවස් 10 ක් හිටියා.’’ ඔහු පවසයි.   


අප දන්නා විදියට ශ්‍රි ලංකීය සමාජය තුළ නැන්දම්මා ලේළි ගැටුම අළු යට ගිනි පුපුරු මෙන් දැවි දැවී ඇවිළෙන සියුම් ගින්නකි. රූප රාජිනියක වූ කැරොලින් මහත් වූ සෙනෙහසින් තමන්ගේ ගමනට දිරිදුන් පිරිස ගැන කියන විට එහි උඩින්ම කියන්නේ සිය නැන්දම්මා ගැනය. මේ තැනට එන්න නැන්දම්මාගෙන් සහයක් ලැබුණා කියලා. අපි දන්නේ නැන්දම්මා ලේළි අතර ගොඩක් ගැටුම් තියෙනවා කියලනේ. හැරුණත් වැරදියි. හිනා වුණත් වැරදියි. හිනා වුණේ නැතත් වැරදියි. ඉතින් කොහොමද මේ තරම් සෙනෙහසක් දෙන්නා අතර තිබුණේ? අපි විමසුවෙමු.   


“මගේ අම්මා බී.ඒ. දීපානි. ඇත්තටම ඒ දෙන්නා යාළුවෝ දෙන්නෙක් වගේ. දෙන්නාටම එකිනෙකා තේරුම් ගැනීම හොඳටම තිබුණා. දෙන්නම කල්පනා කරන විදිය හිතන විදිය බොහෝ විට එකයි. මගේ අම්මා තමයි මට කිව්වේ මේ වගේ දේවල්වලට දුව ආසයි. එයාට හැකියාව තියෙනවා. ඇයි ඔයා යවන්නේ නැත්තේ කියලා කම්ප්ලේන් එකක් වගේ ඇහුවා. මම හිනාවෙලා කිව්වා මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම යවනවා එයාව. ඇත්තටම මුලින්ම කැරොලින්ගේ ඔළුවටත් මේ අදහස දැම්මේ මගේ අම්මා තමයි. ඔයාට මේ වගේ දෙයක් කරන්න පුළුවන්නේ කියලා. තම තමන්ගේ කරදර ප්‍රශ්න නැතුවම නෙමෙයි. නමුත් දෙන්න හරිම එකතුයි. නැන්දම්මලා ලේලිලා එකට සෙට් වුණාම ගෙදර ඉන්න සැමියාගේ ඔලුව කන එකනේ වෙන්නේ. හැබැයි වාසනාවට මට එහෙම වුණේ නැහැ. මට හිතෙනවා මේ ලෝකේ හොඳම සතුටින් ඉන්න සැමියන් අතරින් කෙනෙක් මම කියලා.’’ ඔහු සිනාසෙමින් පවසයි.   


ෆේස්බුක් හරහා අප දැකපු දෙයක් තමයි රූප රැජින ගැන කතා කරනවාටත් වඩා එයාගේ සැමියා ගැන කතා කරනවා. හුඟාක් තරුණ ගෑනු ළමයි ප්‍රාර්ථනා කරන සිහින කුමාරයා ඔයා වෙලා තියෙනවා. තමන්ගේ නපුරු සැමියාට වක්‍රව ගහන්න ඔයාගෙ හොඳ වඩ වඩාත් කියනවා. හොඳම ස්වාමි පුරුෂයා ඔයා කියලා. ඒක එහෙමද.’ අපි ඔහු විමසුවෙමු.   
“ඇත්තටම ඒක එහෙමද? මට ඒ ගැන තනි වචනයකින් කියන්න තියෙන්නේ මෙච්චරයි. මෙතැන තියෙන්නේ අන්‍යොන්‍ය විශ්වාසය විතරයි කියලයි. එතනදි එයා ඉදිරියට යද්දි එයාට ශක්තියක් වෙන්න ධෛර්යක් වෙන්න මට පුළුවන් වුණා. ඕනෑම සැමියෙක් තමන්ගේ බිරිඳව හොඳින් තේරුම් ගන්නවා නම් ඇයට සැබෑ ලෙසම ආදරය දක්වනවා නම් ඇයව විශ්වාස කරනවා නම්, ඇය ඒ විශ්වාසය රකිනවා නම් ඒ පවුල ඉතාම ආදරණීය පවුලක්. මම ඇයට ගොඩාක් ආදරෙයි. ඇය ආසයි කියලා හිතන, යහපත් හැම දෙයක්ම ඉෂ්ට කරන්න මම හැමවිටම උත්සහා කරලා තියෙනවා. හැමදාමත් උත්සහ කරනවා.   


සුන්දරම කාන්තාව විදියට කැරොලින් මේ කිරුළ ලබන විට ඔයාට ඇත්තටම දැනුණ හැඟීම මොකක්ද. අපි විමසුවෙමු.   


“කැරොලින් ලංකාවේදි දිනපු වෙලාවේදී මුලින්ම මගේ හිතට ආවේ අනේ මගේ කැරොලින් එයාගේ විශාල ආසාවක් ඉෂ්ට වුණා කියලා තමයි. එයා බලාපොරොත්තු වුණු දේ එයාට කරගන්න පුළුවන් වුණා කියන දේ විතරයි. පස්සේ එයාගේ ඔළුවටත් ආවා. ඇයි අපිට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගිහින් මොනවා හරි කරගන්න බැරි කියලා. එතනදි අපේ හිතට ආපු දේ තමයි අපිට රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන්නම් කොච්චර ලොකු දෙයක්ද කියල. එතනදි ප්‍රෙජෙට්වලට යද්දි අපිට විශාල දැනුම්වත් භාවයක් ලැබුණා. රෝසි මැඩම් මේ කිරුළ ලංකාවට ගෙනාව. ඊට පස්සේ කවුරුත් ලංකාවට මේ කිරුළ ගෙනැවිත් නැහැ. අන්තිම 15 දෙනාටවත් ඇවිල්ලා නැහැ. අපිට වුවමනා වුණේ අඩුම තරමින් අන්තිම 15 දෙනා අතරට වත් යන්න. නැතුව ජයග්‍රහණයම ලබන්න කියලා හිතාගෙන නෙමෙයි ගියේ. රටට පොඩි දේකින් හරි කීර්තියක් ගේන්නයි අපිට වුවමනා වුණේ. නමුත් ඇය විශ්ව විවාහක රූ රැජින වුණා. එයා මාස දෙකකින් ලෝකයක් ජයගෙන ආවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. එයාගෙ ටැලන්ට් එකට මම සාධාරණයක් කරා කියලා මම හිතනවා. මම කිව්වා නම් ඔයාට ඕවා ඕනේ නැහැ. ඔන්න ඔහේ ගෙදරට වෙලා ඉන්න කියලා ඒක කොයිතරම් අසාධාරණයක් ද. මම එයාට සාධාරණයක් කළා.   


අනාගතයේ අපි චැරටි සර්විස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පැත්තෙන් ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. අනිත් එක රටට අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් අනිවාර්​ෙ‌යන්ම ඒකට සහභාගි වෙනවා. මට ඒ ගැන ගැඹුරින් කියන්න තේරෙන්නේ නැහැ. රට ඉල්ලන ඕනේම යහපත් දෙයක් අපි කරනවා. අපිට පේනවා ලස්සනට රට යන බවත්. අපි නැවත යන්නේ නැහැ. මේ තියෙන දෙයින් අපිට ලොකු දේවල් ගොඩක් කරන්න තියෙනවා. එයා ඒ ගැන ඒ කන්ටෙස්ට් එකේදිත් කිව්වා. අපි අනිවාර්​ෙ‌යන්ම ලෝකෙට පෙන්නලා දෙන්න ඕනේ අපි ඒ දේවල් කරනවා කියලා. ඇත්තටම ලෝක රූ රැජින කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්තටම මෙයා මේ ටොප් මොඩල් කෙනෙක් කියලා නෙමෙයිනේ. මෙයා ඇත්තටම අම්මා කෙනෙක්. හොඳ බිරිඳක්. එයා ඉතින් මුළු ලෝකෙටම ආදර්ශවත් අම්මා කෙනෙක් වෙන්න එපායැ. අසරණ දරුවන්ට උදච් කරන දේවල්, ප්‍රශ්න වලදි කොහොමද ඒවට මැදිහත් වෙන්නේ කියන දේවල්, කතා බහ කරන දේවල්, අසරණ ළමයින්ට සලකන දේවල් මේ සියලු දේ තුළ මෙයා ආදර්ශයක් විදියට ඉන්න එපායැ.   


ලෝකයේ ඉන්න ලස්සනම කාන්තාව විදියට කිරුළ පලඳිනු ලැබූ කැරොලින් ජූරි තමන් ආ ගමන් මග ගැනත්, තමන්ගේ ජීවිතයට ශක්තියක් ධෛර්යයක් දුන් අය ගැනත්, ජීවිතයේ කඩා වැටුණු තැන් ගැනත්, තමන්ගේ ඉදිරි සැලසුම් ගැනත් විටෙක හිනැහෙමින්ද, විටෙක අතිශය සංවේදීවද, තවත් විටෙක අධිෂ්ඨානශීලීව ද එසේම බොහෝ ආදරණීය සහ මිත්‍රශීලීව ද පැවසූ කාරණා රැසක් ම විය. එසේම දෙවියන් වහන්සේ ගැන පූර්ණ විශ්වාසයකින් සහ භක්තියකින් යුතුව ඇය කියා සිටියේ තමන්ට ධෛර්යය ලැබුණේ තමන් විශ්වාස කරන එම දෙවියන් වහන්සේ විසින් බව ය. මෙහිදී ඒ සියල්ල මැද ඇය පුන පුනා ඉල්ලා සිටි එකම ප්‍රබල ඉල්ලීම වූයේ ලංකාවේ කවුරුන් හෝ ජාත්‍යන්තරය නියෝජනය කරන දේකට ඉදිරිපත් වන්නේ නම්, ඔවුන්ට කොන්දේසි විරහිතවම සියලු දෙනා උදව් වන ලෙසට ය.   


ඇය නර්තනය, නිරූපණය, රංගනය සියල්ලට එකසේ දක්ෂය. ඒ සියලු කාරණා මැද ඉතාම ආදරණීය අම්මා කෙනකු ලෙසත්, දයාබර බිරිඳක ලෙසත් තමන් කටයුතු කරන්නේ විශාල සතුටකින් බව ද ඇය කියා සිටියේ කඩා හැලෙන මල් වැස්සක් සේ සිනාසෙමින් ය.   

 

කැරොලින් සිය සැමියා සහ දරුවා සමග

 


“අසරණ ළමයින්ට උදව් කරන්න මගේ මහන්සිය ශ්‍රමය සියලු දේම යොදවනවා. මම අම්මා කෙනෙක්. මට හුඟාක් හුරතල් දුවෙක් ඉන්නවා. මම එයාගේ සතුට ගැන දන්නවා. එයා සතුටට පත්වෙන දෙයින් අනික් බොහෝ දරුවොත් සතුටට පත්වෙන බව මම දන්නවා. මගේ දරුවගේ ආසාවන් මම දන්නවා. අනික් දරුවෝ ආසා දේවලුත් මට තේරුම් ගන්න පුළුවන්. හැම දරුවෙක්ම සතුටින් සහ නිරෝගීව ඉන්න බව දකින එක තමයි මගේ සතුට. මම ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරනවා. ක්‍රිස්මස්වලට මම ප්ලෑන් කරලා තියෙන්නේ බෝම්බ ප්‍රහාරයෙන් අසරණ වුණු දරුවන්, දෙමව්පියන් නැතිවුණු දරුවන් පිළිබඳව පල්ලියේ කට්ටියත් එකතු කරගෙන ඒ දරුවන්ට සතුටක් ලබා දෙන්න ඔවුන් වෙනුවෙන් ගතකරන්න සැලසුම් කරල තියෙනවා. මම කුවින් කියන්නේ කුමක්ද. අනික් අයට උදව් කරන කෙනා. හැම දරුවෙකුටම උදව් කරන්න. මම ඉස්කෝලේ යන කාලේදි නිශාන්තව දන්නෙම නැහැ. අපි හමුවෙන්නේ ඩුබායි වලදි.   


දරුවා කියන්නේ අපි දෙන්නාගෙම. විවාහ වුණා කියන්නේ දෙන්නාගෙම වගකීම. නැන්දම්මලා සහ ලේළිලා අතර විශාල ගැටුම් ප්‍රශ්න තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. මිනිස්සුන්ට වැරදීම් වෙනවා. මම තේරුම් ගන්න ඕනේ එයා මගේ නැන්දම්මා. නිශාන්ත මගේ හස්බන්ඩ්. නමුත් නිශාන්ත එයාගේ දරුවා. ඒ තමයි එයාගේ අම්මා. අපි කැමැති අකැමැති දේ නැතුවා නෙමෙයි. අපි දෙන්නට දෙන්නා ඒවාට ගරුකරගෙන ජීවත් වෙනවා. සිවෙනිතුමාරා සහ නෙවිල් කියන මගේ යහළුවන් දෙපළ මට විශාල ශක්තියක් වුණා. සෙවැනැල්ල වගේ, මුල් පටන්ගැන්මේ සිට උදව් කළා. මට උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ. මම ඉල්ලන ඉල්ලීම ලංකාව වෙනුවෙන් මෙවැනි දේකට සහභාගි වෙන හැම දෙනාටම මිනිස්සු උදව් කරන්න කියලා. මම රස්සාවත් නැති කරගෙන ලංකාව වෙනුවෙන් තරග කරද්දි ඒකට ගරු කරලා අපිට උදව් කරන්න කියලා මම කියන්නේ. මම විඳපු වේදනාව දුක වෙන කිසිම කෙනෙක් විඳිනවා දකින්න මම කැමැති නැහැ. ඊළඟ අවුරුද්දේ ලංකාව නියෝජනය කරන මිසිස් වර්ල්ඩ්ට ඒ විදියට දුකක් වේදනාවක් විඳින්න ඉඩක් තියන්න එපා කියන ඉල්ලීම මම කරනවා.   


විවාහක රූ රැජින ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ   


මේ තරගය කරද්දි අපි කළ ලොකුම දේ තමයි මේ තරගකාරියන්ව පුහුණු කිරීම සහ අවසන් මහ තරගය ලංකාවේ කිරීම. ඒ සඳහා විශාල මුදලක් වියදම් වෙනවා. මුලින්ම අපි ස්තුති කරන්න ඕනේ ඒ සඳහා උදව් කළ අපගේ සියලුම අනුග්‍රාහක භවතුන්ට. ඒ අය නිසා තමයි ශ්‍රී ලංකාවේ තරගය ඉතාමත් ලස්සනට ඉතිහාසයේ කවදාවත්ම නොකරපු තරගයක් ලෙස කරන්න පුළුවන් වුණේ. ඊට අමතරව තරගයට ආපු ළමයින්ගෙන් එක රුපියලක්වත් අපි ගත්තේ නැහැ. කිසිම අයකිරීමක් කළේ නැහැ. මිසිස් ශ්‍රී ලංකා එකේ ළමයින් 16 දෙනෙකු සිටියා. ඔවුන්ට මාස තුනක කාලයක් සම්පූර්ණයෙන්ම නොමිලේ සියල්ල කළේ. කැරොලින් ජූරි ජාත්‍යන්තර තරගයට සහභාගි වෙද්දි එයාගේ ගුවන් ටිකට් පත පවා නොමිලේ ලබා දීමට කටයුතු කළා. ජාතික අධ්‍යක්ෂවරයා වශයෙන් ඒ යුතුකම මම කළා, සහ තරගය සඳහා එයාගේ අනෙකුත් සියලු දේ සොයා බැලීමට මම එයත් සමග සිටියා. අවසාන දවසේ එයා ලංකාවෙන් පිටවන දවසෙත් මම සහ විවාහක රූ රැජින තරගයේ නිල පුහුණු කරු රුක්මාල් සේනානායක ගුවන් තොටුපළට ගියා. එතනදිත් ඇයව දිරිමත් කරලා ඇයව ජාත්‍යයන්තරයට යැව්වේ. ඇය ජාත්‍යන්තරයට එනකම් අපි ඇයත් සමග, ඇයගේ පසුපසින් සිටියා. ඊට අමතරව ඉදිරියේදී රාජ්‍ය අනුග්‍රහයත් සමග 2020 වර්ෂයේ ලෝක විවාහක රූ රැජින තරගය ශ්‍රී ලංකාවේ පවත්වන්න සුදානමින් සිටිනවා. රූ රැජිනක් ලෝකයේ කිසියම් රටක බිහිවෙද්දි, ඒ රටට එනම් ප්‍රධාන කිරුළ ගන්නා රටට මූලිකත්වය දෙනවා. ඒකත් එක්ක ඒ අවස්ථාව අපිට තියෙනවා.   


කැරොලින්ගේ වේදනාවට සාධාරණ හේතු තිබුණා. වීසා දෙසැරයක් රිජෙක්ට් වුණා. අද එයා වටා ගොඩක් දෙනා හිටියට ඒ කාලේ හිටියේ නැහැ. එයයි නිශාන්තයි රස්සාවල් දාලා ලංකාවට ආවේ. ජාත්‍යන්තර තරගයට යද්දි රජයෙන් හෝ වගකිවයුතු ආයතනවලින් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. එයා රට යන දවසේ එයාර්පෝර්ට් එකේදි හඬා වැටෙමින් ගියේ. මම සහ රුක්මාල් ගොඩාක් හිත හැදුවා. එයාට සියලු දෙනාගේ සහයෝගය තිබුණා නම් මීට වඩා ශක්තිමත්ව ඒ තරගයට එයාට මුහුණ දෙන්න පුළුවන් වෙන්න තිබුණා. කෙසේ වුවත් අද එයා ජයග්‍රහණය කර තිබෙනවා. එය විශාල සතුටක්.   


විවාහක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවේ නිල පුහුණුකරු රුක්මාල් සේනානායක   


මම 2019 වර්ෂයේ විවාහක රූ රැජින ශ්‍රි ලංකාවේ නිල පුහුණුකරු. මේ පැජෙන්ඩා එක අධ්‍යක්ෂණය කළේ චන්දිමාල් ජයසිංහ. ඔහු මට බාර දුන්නා මව්වරුන් 16 දෙනෙකුගේ වගකීමක්. මට තෝරා දෙන්න කිව්වා විවාහක රූ රැජින තරගයට යන කෙනා ඒ අයගෙන් 15 දෙනෙකුම කිසිම නිරූපණ ක්ෂේත්‍රයට නැහැ. මේ මගේ පළවෙනි පැජෙන්ඩා එක නෙමෙයි. මම රාශියක වැඩ කරලා තිබුණා. මගේ සිසුන් විශාල පිරිසක් ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනත් තියෙනවා. මම මෙහෙදිත් ජාත්‍යන්තර තරගයකට කියලා වෙනම පුහුණුකරන්න අවශ්‍ය වුණේ නැහැ. මම මාසයක පමණ කාලයක් ඇතුළත සියලුම දේ මේ ළමයින්ට පුරුදු කළා. අපි කොහොමද ඇවිදින්නේ අපි කොහොමද ඉන්ටර්නැෂනල් පැජෙන්ඩා එකක කතා කරන්නේ, දැනුම මේ සියල්ල ලබා දී මම මේ අවසන් තරගයට සුදානම් කරන්නේ. ලංකාවම ඒක බලා හිටියා. රුපවාහිනී මාධ්‍ය තුළ ඒ බව සියල්ල දකින්න ඇති. කැරොලින් ඔඩිෂන් එකේදි මගේ ළඟමයි වාඩි වුණේ. මම කිව්වා එයාට තිබුණේ බ්ලෝ හෙයාර් එකක් නිසා පුතා ඔයා පළමුවෙන්ම හෙයාර් එක වෙනස් කරන්න කියලා. එයා ඒක වෙනස් කළා. කැරොලින් අනන්ත අප්‍රමාණව අඬන කල් බැනුම් අහලා තියෙනවා නර්තන, ගමන් විලාසයන් වැනි විවිධ අංගයන් නිර්මාණය කරද්දි. අනික් අයත් එහෙමයි මගෙන් බැනුම් අහපු අය කියනවා ඔයා බැනපු නිසා තමයි අපි හැදුනේ කියලා. තෑන්ක්ස් කරනවා. කැරොලින් ඉන්ටර්නැෂනල් කරද්දි අන්තිම දවසෙදි මම ඇහුවා ඔයාට දැන් මොනවද හිතෙන්නේ මම කරපු දේ ගැන කියලා. එයා මට කිව්වේ ඔයා මට දීපු පුහුණුව නිසා කොරියෝක්‍රාප් එක මට දැන් නතිං කියලා. එච්චරට මම මගේ ක්ෂේත්‍රයේදි හරිම ඇඩ්වාන්ස්. ඒක හැමෝම දන්නවා. ජාත්‍යන්තරව කවුරු කොරියෝක්‍රාෆ් කරද්දි අන්තිමට ඒ සඳහා සූදානම් කරලා තියෙන්නේ මම. කැරොලින් නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් නෙමෙයි. මගේ යටතේ මාස තුනක කාලයක් පුරුදු පුහුණු වුණා. මම ලංකාවේදි උගන්නපු ඒවා ලංකාවේදිත් අවසන් මහ තරගයේදි සියල්ල ජාත්‍යන්තරයේදිත් එයා කළා. මම ඒ වීඩියෝ දෙක බලද්දි මට ගුරුවරයෙක් විදියට ඇස් දෙකට සතුටු කදුළු ආවා. එයාගෙන් ලැබුණු සහයෝගයත් අගය කරන්න ඕනේ. එයා කිසිම නිරූපණ ක්ෂේත්‍රයකට සම්බන්ධ දෙයක්වත් රූපරාජිනි තරගවලට සම්බන්ධ දේකටවත් ඉඳලා නැහැ. එයා හරිම නැවුම්. ඉගෙන ගන්න විශාල උත්සාහයක් ගත්තා. ඇය ඉතාම නිහතමානි වුණා. මේ මගේ සර් මෙයා තමයි මට කියලා දුන්නේ කියලා. ඒ ළමයාගේ නිහතමානිකම ගැන මට ලොකු පැහැදීමක් තියෙනවා. සමහරුන්ට මුල අමතක වෙනවා. මුල අපි හැම තිස්සෙම මතක තියාගන්න ඕන. මුල මතක තිබුණොත් ඒ සියල්ල ඇයට ආශිර්වාදයක් වෙනවා. සහතිකයි. වරප්‍රසාද ලැබෙන විට මුල අමතක වෙනවා ඇයට එවැන්නක් නොවේවි කියලා මම විශ්වාස කරනවා. ජයග්‍රහනයට පියවරු ගොඩයි ඔබ මුලින් කිව්වා වගේ. පරාජය අවජාතකයි කියලා. මම හිතනවා ඇය අනවශ්‍ය පියවරු මව්වරුන් ළං කර ගන්නෙ නැතිවේවි කියලා.   


විවාහක රූ රැජිනක් වුණාට පසුව වගකීම තමයි පළමුව එයාගේ කිරුළත් සමග එයා රටට ලෝකයට සේවයක් කරන්න ඕනේ. ඒ සේවයේ දි එයා තෝරා ගෙන තියෙනවා මානසික ආතතියෙන් පෙළෙන කුඩා දරුවන්ට මානසිකව බිඳ වැටී සිටින දරුවන්ට උදව් කරන්න. ඒ වගකීමට ඇය බැඳී සිටිනවා. මම බලාපොරොත්තු වෙනවා රූ රැජිනක් වුණාම මුල අමතක වෙනවා. තමන්ට උදව් කරපු මිනිස්සු කවුද කියලා අමතක වෙනවා. තමන් රටට කළ යුතු සේවය අමතක වෙනවා. නමුත් මම මේ රූ රැජිනගෙන් බලාපොරොත්තු වෙනවා මේ ගත්තු කිරුළෙන් අපේ රටට ලෝකයට හදවතට අවංකව සේවයක් කරාවි කියලා. එයා සමාජ සේවයක් විදියට මෙවැනි දරුවන් සිටින ගම් නියම්ගම්වලට යන්න ඕනේ. පුනරුත්ථාපන කටයුතු කරන්න ඕනේ. මෙවැනි දේ ගැන ශ්‍රී ලංකා රජයෙන් පසුවිපරමක් කරන්න ඕනේ. එයා ලංකාවට විතරක් නෙමෙයි ජාත්‍යන්තර එම කමිටුව විසින් එයාව හැමතිස්සේම නිරීක්ෂණය කරනවා. අපිත් නිරීක්ෂණය කරනවා එයා එහෙම කරනවාද කියලා.   

 


පද්මිණි මාතරගේ