20 ට සුසිල්ගේ ඡන්දෙ නෑ


(අජන්ත කුමාර අගලකඩ)  
සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට තමා විරුද්ධ බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ‘ඉරිදා ලංකාදීප’යට කීය.

සංශෝධනය නොකරන්නේ නම් මෙවැනි පනත් කෙටුම්පතකට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැකියාවක් නැතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. පළාත් සභා විසුරුවීමේ දිනය තීරණය කිරීමේ සහ ඡන්දය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීම බරපතළ ගැටලුවක් බව කී ඇමැතිවරයා මෙයට තමාට කිසිසේත් එකඟවිය නොහැකි බවද සඳහන් කළේය.  


උතුරු සහ නැගෙනහිර පළාත් සභා හැර අනෙකුත් සියලු පළාත් සභාවල බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුව පවතින බව කී ඇමැතිවරයා එසේ තිබිය දී මෙවැනි සංශෝධනයක් ගෙන ඒමේ දේශපාලන වුවමනාව කුමක්ද යන්න ශ්‍රීලනිප තේරුම් ගතයුතු බවද කීය. ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන්නේ, 20 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ එකඟතාව මත බව කී ඇමැති ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කිරීම පසෙකින් තබා දැන් 20 වැනි සංශෝධනය ලෙස ගෙනැවිත් ඇත්තේ පළාත් සභා මැතිවරණ කල් දැමීම යැයි ද කීය.