​බෙන්තර ගඟෙන් එගොඩ මෙගොඩ කතා


 

 

‘බෙන්තර ගඟෙන් එගොඩ 
ගොඩේ සිට බළල් පැටවෙකු ගෙනෙතත් 
ඇහැ අරින්ට ඉස්සර වෙලා ගෙනෙන්න


ඕනෑලු’ යනු ප්‍රස්ථා පිරුළකි. ඩේවිඩ් කරුණාරත්න විසින් ලියනලද ‘‘සිංහල සාහිත්‍ය විශ්ව කෝෂයේ’’ එන පරිදි මේ ප්‍රස්ථාව පිරුළ නිර්මාණය වී ඇත්තේ බෙන්තර ගඟෙන් එගොඩ දකුණු පළාතේ අය කෛරාටිකයනැයි කී සැටියක්වත්ද? විශේෂයෙන් බෙන්තර ගඟෙන් එගොඩ සිටි ගැහැනුත් සරණ පාවා නොගත යුතු යැයි කී සැටිය. කරුණාරත්නයන් කියන්නේ මේ ප්‍රස්ථාව පිරුළෙන් බස්නාහිර පළාතේ ප්‍රචලිතව පවත්නා විශ්වාසයක් හා කීමක් පමණක් බවය.  


බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෘතහස්ත ලේඛකයකුව සිටි ටී.ඇස්. ධර්මබන්ධු මහතා විසින් ලියූ ‘‘පිරුළු මිණි’’ කෘතියේ ‘‘බෙන්තර ගඟෙන් එගොඩ ගොඩේ සිට බළල් පැටවකු ගෙනතොත් ඇස් අරින්න ඉස්සර වෙලා ගෙනෙන්ට ඕනෑලූ’’ යන පිරුළ දක්වමින් මෙසේ සඳහන් කර ඇත්තේද මෙයට සමාන ආකාරටය.  
‘‘බෙන්තර ගඟෙන් එගොඩ දකුණු පළාතේ අය කෛරාටික යයි කී සැටියක්ද? මේ පිරුළ බස්නාහිර පළාතේ අය දකුණු පළාතේ වැඩියන්ට උපාය මුඛයෙන් කියනකි’’  
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අභාවප්‍රාප්ත ඇස්. පියසේන මහතා මගේ වැඩිහිටි මිත්‍රයෙකි. ඔහුගේ එක් පුතෙකු වූ රුවන් සේනාධීර ආනන්දයේ මගේ පන්ති සගයෙකි. පියසේන මහතා පැරණි කතා මතකයෙන් කීමට සූරයකුව සිටියේය. බෙන්තර උපන් ඔහු  ‘‘බෙන්තර ගඟෙන් එගොඩ සිට ඇස් නොඇරපු බළල් පැටියෙක්වත් ගෙනෙන්නට එපා’’ යන කියමනට සම්බන්ධ ජනප්‍රවාද කීපයක් අපට කියා තිබුණි. ඊට ප්‍රථම ඔහුට බොහෝ කලකට ප්‍රථම උඩරට පළාතට ගිය ගමනක දී හමුවූ මුදලාලි කෙනෙකු සමඟ කතා කරමින් සිටි අවස්ථාවක ඔහු ඇසූ ප්‍රශ්නයක් ගැනද සඳහන් කළේ එයත් බෙන්තරට සම්බන්ධයක් තිබූ නිසාය.  


‘‘මහත්තයා කොයි පළාතෙද?’’  
තලතුනා උඩරට මුදලාලි පියසේන මහතාගෙන් අසා ඇත්තේ වත ගොත ඇසීමෙන් පසුවය.  
‘‘මම බෙන්තර’’ යි පියසේන මහතා පිළිතුරු දී ඇත්තේ තමාගේ ගම බෙන්තර නදියේ උතුරු තීරයේ ගමක් නිසාය.   
‘‘බෙන්තර? බෙන්තර ගඟෙන් එගොඩද මෙගොඩද?’’  
මුදලාලි අසා ඇත්තේ නළල රැළි ගන්වමිනි.  
‘‘ඇයි මුදලාලි. මම ගඟ අයිනෙම, එහෙත් ගඟෙන් මෙගොඩ’’  
‘‘නැහැ නිකම්’’


මුදලාලි කට කොනකින් සිනා සී ඇත. සිනාවත් සමඟම මුදලාලිගේ ඇස් දෙක අඩක් පිය වී ඇත්තේ ගඟෙන් එගොඩ බළල් පැටවාගේ ඇස් දෙක ​අඩක් පිය වී ඇත්තේ ගඟෙන් එගොඩ බළල් පැටවාගේ නොඇරිය යුතු ඇස සිහිවීමෙන් බව තේරුම් ගැනීම ගඟ අයිනේ උපන් ඇස්. පියසේන මහතාට කෙසේ නම් දුෂ්කර වෙන්නට ඇද්ද?  
එස්. පියසේන නොහොත් සේනාධීර පියසේන (1922-2017) පුවත්පත් කලාවේදියකු, පාර්ලිමේන්තු කතා පරිවර්තකයකු, දේශපාලන විශ්ලේෂකයකු, ලේඛකයකු ලෙස ප්‍රකටව සිටියේය. ඔහු විසින් ලියූ මාරක කතා, රහස් පරීක්ෂක කතා අප පාසල් වියේ කියවූයේ කුතුහලයෙනි. ඔහුගේ පුත්‍රයකු වන සුගීශ්වර පී. සේනාධීර ඉංග්‍රීසි මධ්‍යවේදියකු වන අතර දැනට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.  


පියසේන මහතා කියන ආකාරයට ‘‘බෙන්තර ගඟෙන් එගොඩ සිට ඇස් නොඅැරපු බළල් පැටියෙක්වත් ගෙනෙන්නට එපා’’ යන කියමනට සම්බන්ධ ජනප්‍රවාද කිහිපයක් වෙයි. ඉන් එක ජනප්‍රවාදයක් ‘නවයුගය’ සඟරාවට 1957 දී පමණ ලියා තිබුණි.  


ගඟේ උතුරු තීරයේ ගමක මැහැල්ලක් සහ ඇගේ මුනුපුරා ද වාසය කළහ. මැහැල්ල කුකුළන් ඇතිකරන්නියකි. ගඟෙන් එගොඩ ඈට නෑදෑයින් ඇත. මැහැල්ලගේ තනි නොතනියට ඉන්නා මුනුපුරා දිනක් එගොඩ වසන තම පුංචිඅම්මා බලන්නට ගියේය. එබඳු ගමන්වලට ‘‘එගොඩ යනවා’’ කීම සාමාන්‍යයෙන් ගඟබඩ වසන ගැමියන්ගේ සිරිතය.  
එගොඩ ගිය මුනුපුරාට එහිදී අරුම පුදුම සතෙකු දකින්නට ලැබුණේය. මේ සතා කෙරේ ‘‘ආලයෙන්’’ මත් වූ මුනුපුරා කෙසේ හෝ ඥාති සහෝදරයා පොළඹවා ඌ ලබා ගත්තේය. ලබාගෙන ‘මෙගොඩට’’ ගෙන අාවේය. එහෙත් ඇස් හොඳට නොපෙනෙන තම මිත්තනියට ‘‘සතා’’ හඳුන්වා දීමට මුනුපුරා එඩිතර නොවීය.  


‘‘මොකාද පුතා මේ?’’ ඇගේ ප්‍රශ්නයට, මුනුපුරා මෙසේ කීවේය.  
‘‘මම එගොඩින් බළල් පැටියෙක් ගෙනාවා’’  
‘‘ඌ ඇස් ඇරලද පුතේ, නැත්නම් හදන්න අමාරුවේවි’’  
‘‘ඇස් අැරල අත්තම්මේ’’  
‘‘එහෙනම් කමක් නැහැ’’  


එද‌ා රාත්‍රී කුකුල් කූඩුවෙන් නැඟුණේ මර ළතෝනියකි. කුස්සිය මුල්ලේ කිකිළියක් මර හඬ තළයි. අන්ධකාරයට ඇස් පුරුදු මැහැල්ලට දකින්නට ලැබුණේ ‘‘බළල් පැටවා’’ කිකිළියගේ තටු අදින බවය. මැහැල්ලගේ හැරමිටි පහර කිකිළියගේ පණ බේරීමටත්, ‘‘බළල් පැටවා’’ගේ පණ නැසීමටත් සමත් වූයේ කෙසේද යනු කවරෙක්වත් තීරණය කළේ නැත.  
‘‘අනේ මගේ බළල් පැටියා’’ කියමින් මුනුපුරා අඬන්නට පටන් ගත්තේය.  
‘‘අඬන්න එපා පුතේ. වළලා දාපන්. එගොඩ බළල්ලු මහා වස එවුන්. මීට පස්සේ එගොඩින් ඇස් ඇරපු පළල් පැටියෙක්වත් ගේන්න එපා’’ කියමින් මැහැල්ල ළමයාගේ හිස අත ගෑවේ ඔහු සැනසීමට මිස ප්‍රස්ථාව පිරුළක් ඇති කිරීමට නොවේ.  
එද‌ා පටන් බෙන්තර ගඟෙන් එගොඩ ඉන්න අහිංසක බළල් පැටියා ඇස් ඇරි ද‌ා පටන් බිළාල වර්ගයට අයත් කොටි, ව්‍යාඝ්‍ර ආදී සියලුම සතුන් අතුරින් ඉතාමත් භයානක සතා වශයෙන් නමක් ලබා ගත්තේලු.  


පියසේන මහතා කලකට ඉහත අපට කීවේ ලංකාවේ සමහර කෝරල වාසීන් පිළිබඳව තිබෙන උපහාස, අපහාස කතා නිසා තමා කොයි කෝරලේ දැයි හෙළි කිරීමට මැළිවෙන බවය. දකුණේ මිනිස්සු එසේ නොවන බව කියන ඔහු දකුණේ මිනිස්සු තම ගම ගැන තිබෙන ජනප්‍රවාද තුළින් ආස්වාදයක්ද ආඩම්බරයක්ද ලබන බව ද කීවේය. ඔවුන් තම උපන් ගම ගැන කියන්නේ උජාරුවෙන් මෙන්ම තමන් ඒ සුළඟ වැදීමෙන් අාඩම්බරයක් ලබන බවද ඔහු කියා ඇත.  
‘‘ගම කොහේදැයි’’ දකුණේ උපන් කෙනෙකුගෙන් ඇසූ විට එය පිළිතුරු ලැබෙන්නේ කොස්ගොඩ, වැලිගම, මාතර, කඹුරුපිටිය, ගන්දර, දෙවුන්දර ආදී වශයෙන් බව අපි අසා අැත්තෙමු. මෙසේ අපට මුණ ගැසෙන සෑම සිංහලයෙක්ම බෙන්තර ගඟෙන් එගොඩ උපන් අයය. කොළඹ මෙන්ම කුරුණෑගල, මහනුවර, බදුල්ල ආදී නගරවල අධිකරණවල කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් සිංහනාද නැංවූ අධිනීතිඥවරු හැමදෙනාම පාහේ ගඟෙන් එගොඩ පදිංචි අය බව කියන පියසේන මහතා ගඟෙන් එගොඩ උපන් අයගෙන් දුසිමක් 1956 පාර්ලිමේන්තුවට පත් වූ බව පවසා ඇත. මේ ආකාරයෙන් මෙගොඩ වැසියෝ ‘‘බළල් ඇස්’’ කතාව ගැන තමන්ගේ කිසිම තැකීමක් නැති බව රටටම පෙන්වා ඇති බව ද ඔහු කියා ඇත. ඔහු තම ගම ගැන අභිමානයෙන් කියූ තවත් කතාවකි මේ.   


කොටුගොඩ ප්‍රසිද්ධ සූදු පොළක් 1950 දී පමණ පොලීසිය විසින් වටලන ලදී. සූදුකාරයන් බොහෝ දෙනෙකු පොලීසියට අල්ලා ගත හැකි වූ නමුත් එක් තරුණයෙක් කම්බි වැටවල් උඩින් පනිමින් මනා ජවසම්පන්න වේගයෙන් දුවන්නට පටන්ගෙන ඇත. එහෙත් එවැනිම ශක්තිමත් තරුණ ගැටවරයෙකු වූ උප පොලිස් ඉන්ස්පැක්ටර් තැන ද නිකම් බලා සිටියේ නොවේ. ඔහු ද සූදුකාරයාව සැතපුමක් පමණ දුර ලුහුබැඳ ගොස් අල්වා ගත්තේය.  
‘‘උඹ හිතුවද ඉලන්දාරියා මගෙන් බේරිලා යන්න. උඹ දැන ගනින් මම බෙන්තර ගඟෙන් එගොඩ කොල්ලෙක්.’’ කියමින් තරුණ ඉන්ස්පැක්ටර් අනෙකාට මාංචු දැම්මේය.  
ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, සාහිත්‍ය විචාරකයකු වූ කලක් ‘‘ඉරිදා ලංකාදීප’’ පුවත්පතේ උප කතුවරයකුව කටයුතු කළ අධිනීතිඥවරයකු ද ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකුව සිටි සියුම් උපහාස රස මවන ලිපි ලියූ ආර්. පල්ලවෙල මහතා 1924-1992 ‘‘බෙන්තර ගඟෙන් එහා’’ ගැන අපූරු කතා ලියා ඇත. ඔහු බෙන්තර ගඟ ගැන වරක් ලියූ හැටිය මේ.  


‘‘ලංකාවේ නොයෙකුත් ගංගා තිබේ. මහවැලි, වළවේ, කැලණි ආදී වශයෙනි. ලංකාවේ නොයෙකුත් ගංගා ඇතත් ඒ සියල්ලකගේ නම් මම නොදනිමි. ගංගා ගණන කොතෙක්ද යන වග හෝ දැන ගැනීමට මට වුවමනා නැත. එමෙන්ම එකක් හැර අනික් කිසිම ගඟක් සමඟවත් මගේ ආරවුලක්, පැටලැවිල්ලක් හෝ විරෝධයක් නැත. මගේ ගමන මා යන අතර ඒ ගංගාවලුත් තම තමන්ට කැමති කැමති පරිද්දෙන් හා ඉඩ ලැබෙන ආකාරයට ගලා ගෙන යයි. එහෙත් බෙන්තර ගඟ එසේ නොවේ. මේ ගඟ නොයෙක් විට මට අපහාස කරයි. මට පමණක් නොව තවත් විශාල පිරිසකට අපහාස කරයි.’’
මේ අපහාසය ජන්ම දෝෂයෙන් සිදුවන්නක් බවයි පල්ලවෙල මහතාගේ අදහස, ඔහු කියන්නේ ජන්මයෙන් සිදුවන්නා වූ අඩුපාඩු මඟ හැරවීම අමාරු බවත් සමහර විට කිසිසේත් නොහැකි බවය. ‘‘කළොත් කළාමය’’ යයි එක බමුණෙක් ද කීවේ ඒ නිසා බවත් මෙයට හේතුව මේ බෙන්තර ගඟින් එහා ඉපදීමයි. හොඳ මව්පියන් තෝරා ගත යුතු යයි මානව විද්‍යාඥයන් අතර මතයක් තිබෙන බව ඔහු කියයි.  


‘‘ගඟෙන් එහා සිට ආවාදැයි’’ ඇසූ විට එ් ප්‍රශ්නයේ අර්ථවල කෙළවරක් නැත. බෙන්තර ගඟින් එහා යයි කියන විට එය එක්තරා ගෞරවයක් දීමට හෝ ලැබීමට කියන්නක් යයි මම වරක් සිතුවෙමි. එහෙත් මෙහි තත්ත්වය කිසිසේත් එසේ​ නොවේ. මෙයින් අදහස් කරන්නේ ලොව නරක දේවල් යම්තාක් ඇද්ද ඒ සියල්ලක් ශරීරයෙන් දරාගෙන ආ බවයි. මේ ගඟින් කොළඹ පැත්ත අැති පාරිශුද්ධ වූ ජනයාගෙන් යුක්ත ප්‍රදේශයයි. මේ ගඟින් දෙවුන්දර පැත්ත සියලු පාපයන්ගෙන් යුක්ත වූ ප්‍රදේශයයි. මෙය දක්ෂිණද්‍රවය තෙක් පැතිරී යනවාද විය හැකිය. ගඟින් එහා යයි මා මෙහිදී කීවේ එ් යෙදුම ඇති පැත්තේ හෙවත් උතුරු පැත්තේ සිට මෙය ලියන නිසාය.  
ආර්. පල්ලවෙල මහතා පවසා ඇත්තේ මේ ගඟින් එහා කතාව ආරම්භ වූ දිනය සෙවීම බෙන්තර ගඟ ගලන්නට පටන් ගත් දිනය සෙවීම වැනි වැඩක් බවය. කතාව දැන් තිබෙන නිසාත් මෙය මේ කවද‌ා හෝ පටන් ගත් බව අපි දන්නා නිසාත් මෙය මහා පාපකර්මයක් පටන් ගත් දිනයක් බවයි ඔහු සිතන්නේ. අහිංසක පිරිසකට සිරිතක් වශයෙන් අපහාස කිරීම සෙල්ලමක් දැයි ඔහු ප්‍රශ්න කරයි.  


‘‘ඇස් ඇරුණ බළල් පැටියකු පවා බෙන්තර ගඟින් එහා පැත්තෙන් ගෙනෙන්ට එපා’’යයි අපේ විරුද්ධකාරයෝ කියති. මේ කතාවේ හැටියට පෙනෙන්නේ යමක් කර ගන්නට පුළුවන් බළලකු පවා පැමිණිය යුත්තේ ගාල්ල හෝ මාතර පැත්තෙන් බවයි. ඇස් ඇරෙන්නට කලින් බළල් පැටියා ගෙනාවොත් ඌ ඇස් අරින්නේ ගඟෙන් මෙහා පැත්තේදීය. ඒ කියන්නේ කොළඹ පැත්තේදීය. එවිට ඌ තුප්පහි පැටියෙක් වෙයි. ගාල්ල පැත්තේදී ඇස් ඇරුණු පැටියාගේත් කොළඹ පැත්තේදී ඇස් ඇරුණ පැටියාගේත් වෙනස කුමක්ද?  
කොළඹ දී ඇස් අැරුණොත් ඌ පාසල් යන වයසේ සිටම පොත්වල තිබෙන දේවල් ඉගෙන ගන්නවා වෙනුවට බැළලියන් පස්සේ යන හැටි ඉගෙන ගනී. එක මීයකු අල්ලා ගතහොත් තවත් මීයකු දෙදෙනකු ණයට ගෙන එක වේලටම කා දමා අවසන් කරයි. අනාගතය ගැන කල්පනා කොට, එක තරමකින් ජීවත්වන බළලුන්ට සිනාසෙති. හෙට මැරුණත් අදට සැපයි කියමින් බළල් නාම්බන් හා බැළලි නෑම්බියන් අල්ලාගෙන රෑ තිස්සේ පළාතක කෙනෙකුට නින්දක් නොදී හඬයි. ගාල්ල පැත්තේදී ඇස් ඇරුණු එකා එසේ නොවේ. අනාගතය ගැන කල්පනා කරයි. අපහාස විඳී. දුක් විඳී. තමා ඉන්නා පළාතේ මීයන් පමණක් නොව මුළු පළාතමත් අල්ලා ගනී. නාඳුනන බළලුන් දෙස බලා නිහතමානීව සිනා සී උගේ සියලු සම්පත්ද තමා වෙතට ඇද ගනී. රටවල් කෙළින්ම ආණ්ඩු නොකරයි. ආණ්ඩු කරනවාට වඩා එය ලාබයි.  

 

 


පල්ලවෙල මහතා ගඟෙන් එහා පැත්තෙන් එන අය ගැන ගඟෙන් මෙහා පැත්තේ අය මේ තරමට විරුද්ධ වෙමින් අපහාස කරන්නේ ඇයිදැයි විස්තර කර තිබුණි. එහි ප්‍රධාන හේතුව සිතීමේ, කීමේ හා කිරීමේ ශක්තිය බව ඔහු පෙන්වා දෙයි. දකුණු පළාතේ මිනිහා ඉක්මනට සිතන බවත්, එහෙත් කිසිත් සිතන්නට බැරි බව පෙන්වන බවත්, සිතුවිලි අනුව ක්‍රියා කිරීමට ඉඩ කඩ ලබා ගන්නේ ඒ අන්දමට බවත් කියා ඇති ඔහු ඒ සඳහා අපූරු නිදසුනක්ද දක්වා ඇත.  


තේ කඩයක තේ ගැසීමට හෝ සිල්ලර කඩේ ලූණු සුද්ද කිරීමට පැමිණ ටික කාලයකින් ඒ අසල ඊට වඩා ලොකු කඩයක් දමා ගන්නේ ඒ ක්‍රමයටයි. මේ ක්‍රියාමාර්ගය වරදක්ද? අනික් මිනිහාට දියුණු වෙන්නට බැරි වීමට අපේ මිනිස්සු පළිද? දකුණෙන් එන මිනිහා දියුණුවක් ලබන්නේ අනන්ත දුක් විඳීමෙනි. මෙසේ දුක් විඳීම වරදක්ද? ගඟෙන් මෙහා උතුමන්ට එසේ දුක් විඳින්නට එපා යයි කිසිදාක කිව්වාද? වාහනයක් පවා යන්නට බැරි ඈත කැලෑවක හෝ කඩයක් තිබුණොත් ඒ ගාල්ලේ හෝ මාතර මිනිහෙකුගේ කඩයක් යයි කොළඹ පළාතේ පමණක් නොව උඩරට අයද මහ රුද‌ාවකින් මෙන් කියති. ගාල්ලෙන් හෝ මාතරින් ආ පාත්තයා කඩේ දමා නොගත්තා නම් ඒ ස්ථානයේ කඩේ දමා ගන්නේ කොළඹ කෝකිලයා හෝ උඩරට රදල හංසයා නොවන බව අමතක නොකළ යුතුය. ඒ අයට ඊට අවශ්‍ය දුක වින්ද නොහැක. ඒ වෙනුවට ආවොත් එන්නේ යාපනේ හිරිගල් තට්ටුවක සියලු සැප බෝග වවන්නා වූ දෙමළ සහෝදරයාය. ගඟෙන් මෙහා සිංහලයින් ගඟෙන් එහා අයට අපහාස කරන්නේ මේ කිසිත් නොදැනය.  


මේ සියලු දේ කියූවද පල්ලවෙල මහතාට මතක් වී ඇත්තේ අර අපහාස කතාවයි. බෙන්තර ගඟය. තම අත්තලා මුත්තලා එකතු වී දවසක මෙහෙම කිව්වොත් කොහොම හිටී දැයි ඔහු උපහාස රසය කැටි කරමින් මෙසේ මතක් කර ඇත.  


‘‘උඹලා එක එකාගෙන් කතා අහන්නේ නැතිව ගමට ඇවිත් පුළුවන් හැටියකට හිටපල්ලා’’  


ගඟෙන් මෙහා අයට වැඩේ තේරෙන්නේ එද‌ාටලු. ඉතිහාසයේ ලොකුම ගෙදර යාම එද‌ා තමා. ගඟෙන් මෙහා පැත්තට තේරෙන අන්දමට කියනවා නම් ‘‘මහා හෝම් කමිං’’ එක තමා එද‌ා. හිටියේ කවුද යන වග ඉතිරි වූ අයගෙන් පෙනේවි. බෙන්තර ගඟත් උඩහට ගලාවි.

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර  
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්