​දෙව් මැදුරක් හා සුසාන භූමියක් ඉවත් කොට ගොඩනැගූ ලංකාවේ මහ තැපැල් හල


සිහිවටනයක පසුබිම් කතාව

පසුගිය දා පැවැති තැපැල් වර්ජනයේ දී අමුතුම ප්‍රවෘතියක් දැන ගන්න වූයේ තැපැල් දෙපාර්තමේන්තුව දෙසිනි. සාමාන්‍යයෙන් වර්ජනයක දී යම් ​ෙස්වාවකින් පාඩු ලැබීම සාමාන්‍ය සිදු වීමකි. නමුත් අපේ තැපැල් සේවයේ වාර්තා වූ ප්‍රවෘත්තිය ඊට හාත්පසින්ම වෙනස්ය.  
 
එම විශ්මයජනක පුවතින් කියැවුණේ තැපැල් වර්ජනය නිසා තැපැල් සේවාව කෝටි ගණනක ලාභයක් නොහොත් ඉතිරියක් උපයා ඇති බවය. සමහරුන්ගේ අතිකාල පිරික්සීමේ දී ඔවුන් දෙපාර්තමේන්තුවේ නිත්‍ය පදිංචිකරුවන් ලෙස ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයට පවා ඇතුළු වීමට සුදුසුකම් ලබා තිබුණි.   


ලෝකයේ තැපැල් සේවයේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ එය ක්‍රි.පූ. 2000 තරම් ඈත දිව යන්නක් බවය. ලෝකයේ බොහෝ දේ ආරම්භකයන් චීන ජාතිකයන් ලෙස හැඳින්වෙතත් චීනයටයත් වසර දහයකට පෙර තැපැල් සේවාවක් අරඹා ඇත්තේ ඊජිප්තුව බවට සාක්ෂි තිබේ. බොහෝ දෙනා සිතා සිටින්නේ රෝම අධිරාජ්‍ය තුළ පැවැති තැපැල් සේවාව ලොව පළමු තැපැල් සේවාව ලෙසය. රෝම අධිරාජ්‍ය තුළ පැවති පණිවුඩ හුවමාරුව සහ බඩු භාණ්ඩ හුවමාරුවට තැපැල් සේවයක් තිබුණත් එය රාජකීයන්ට සහ ප්‍රභූ පවුල්වලට සීමා විය.   


ඉතාලියේ තියඩොරික් රජු ද තැපැල් සේවාවක් විශිෂ්ඨ ලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ ක්‍රි.ව. 493 සිට 526 දක්වා කාලවකවානුවකය. එය ලෝකයේ මොන තැපැල් සේවාවන් ගැන කිව්වද අපේ මේ ‘සිලෝන්’ එකේ අපට වැදගත් වන්නේ එංගලන්තයේ තැපැල් සේවාවයි.   


1516 දී එංගලන්තයේ අට වැනි එඩ්වඩ් රජුගේ යුගය එරට තැපැල් සේවාව ගුණාත්මක ලෙස වර්ධනය වූ යුගයක් ලෙස සැලකිය හැකිය. ඔහු විසින් තැපැල්පතිවරයෙක් පත්කොට තිබුණි.   


එම තැපැල්පතිවරයාගේ වගකීම වූයේ ලන්ඩන් නුවර සමීප මාර්ගවල නිවැසියන්ට විධිමත් ආකාරයේ තැපැල් සේවාවක් පවත්වාගෙන යාම විය.   


ලංකාවේ පළමු පුද්ගලික තැපැල් කන්තෝරුව ලෙස බොහෝ දෙනා සිතා සිටින්නේ ජේ.ආර්. ජයවර්ධන යුගයේ බලපත්‍රයක් ගත් හෙට්ටියාවත්තේ ගෝතමී තැපැල් හලය. නමුත් ලොව තැපැල් සේවාව ක්‍රමවත් ලෙස අරඹා ඇත්තේ පුද්ගලික අංශය විසින් බව අැසුවොත් ඔබ පුදුමයට පත්වනු නියතය.   


​ෙමයින් වසර 383 කට පෙර 1635 දී එංගලන්තයේ පෞද්ගලික සමාගමක් විධිමත් තැපැල් සේවාවක් ආරම්භ කරන ලදී. එම ව්‍යාපාරිකයා තෝමස් විතෙරින් නම් විය. ඔහු ලන්ඩනයේ සියලු මාර්ගවලට ලිපි ලැබෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ඇත්තේ රැජිනගේ තැපැල් සේවාව මන්දගාමීව සිටියදීය. ​තෝමස් විනෙරින්ගේ තැපැල් සේවාව ඔහුට සරුඵල ගෙන එන්නක් විය. මෙහි සාර්ථකත්වය දුටු එංගලන්ත ආණ්ඩුව අවුරුදු 22කට පසු පනතක් මගින් එම ව්‍යාපාරය රජයට පවරා ගත්තේ 1657 දීය.   


තෝමස්ගේ ව්‍යාපාරයේ දැවැන්තයා සෙවණැල්ලක් මෙන් ක්‍රියාකාරිකයකු වූ විලියම් ඩොක්ටාරා නම් ව්‍යාපාරිකයා ඊට තෙවසරකට පසු තවත් පෞද්ගලික තැපැල් සේවාවක් ආරම්භ කළමුත් එයට ද වැඩි ආයුෂ තිබුණේ නැත. එංගලන්ත ආණ්ඩුව එය ද රජයට පවරා ගන්නා ලදී. මෙය එවකට එංගලන්තයේ පුවත්පත් හඳුන්වා ඇත්තේ පෞද්ගලික අංශයේ තැපැල් සේවාවේ කාර්යක්ෂමතාව නොඉවසූ එංගලන්ත ආණ්ඩුව රාජකීය අංශයේ සුරක්ෂිතතාව නමැති ලේබලයට මුවා වී පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගන්නා බවය.   


1830 වන විට පයින් ඇවිද ගෙන යන හෝ දුව යන තැපැල් පියුන්ලා වෙනුවට තැපැල් වාහන යෙදවීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන තිබුණි. එම වාහන පැයක් තුළ සැතපුම් දහයක ලියුම් බෙදීම එදා විශ්මකර්ම වැඩක් ලෙස හඳුන්වා තිබුණි. නමුත් ලොව තැපැල් සේවාව ශීඝ්‍ර ලෙස වර්ධනය වූයේ මුද්දරය සොයා ගැනීමත් සමගය. මුද්දරයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික රෝලන්ඩ් හිල් ය. රෝලන්ඩ් හිල්ගේ රැකියාව ලෙස හඳුන්වා ඇත්තේ අය බදු එකතු කිරීමය.   


අද බොහෝ විට පුද්ගලයන්ගේ විනෝදාංශ ඇසූ විට නැන්දම්මාට පොල් ගා දීම, ෆේස් බුක් හි සැරි සැරීම, මෙන්ම මුද්දර එකතු කිරීම ද අනිවාර්ය විනෝදාංශයක් බවට පත් වී හමාරය. 

 
ලොව පළමු මුද්දරය බිහි වූ දිනය ලෙස හැඳින්වෙන්නේ 1840 මැයි මස හය වැනිදාය. රෝලන්ඩ් ගිල්ගේ ජීවන දත්ත පරික්ෂාවේදී පෙනී යන්නේ මුද්දරය සොයා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 45 ක් බවය.   


මුද්දරය නිර්මාණය වෙච්ච තැපැල් සේවාවට වූ සේවයට උපහාර ලෙස ඔහුට 1860 දී නයිට් නාමයක් ද පිරිනමා ඇත. මුද්දරය සොයා ගෙන වසර 39කට පසු ඔහුගේ මරණය සිදු වී ඇත්තේ 1879 අගෝස්තු 27 වැනිදාය. මුද්දරය සොයාගත් පුද්ගලයාගේ අවමංගල්‍යට සහභාගි වීමට නොහැකි වූ මිතුරන් ඔහුගේ බිරිඳට ශෝක ප්‍රකාශ ලියුම් කඩදාසි තැපැල් කර ‘මුද්දර’ අලවා එවීම කෙතරම් දෛවෝපගත සිදුවීමක් ද? 

 
මුද්දරය එංගලන්තයේ සොයාගෙන වසර 17 කින් පසු ලංකාවේ පළමු තැපැල් මුද්දරය බිහි විය. ඒ 1857 අප්‍රේල් 01 වැනිදා ලංකාවේ ප්‍රථම මුද්දරය පැන්ස 6ක වටිනාකමකින් බිහිවීමත් සමගය.   


අපේ මුතුන් මිත්තෝ ඈත දුරට ඇහෙන ලෙස හූ කියමින් පණිවුඩ හුවමාරු කර ගත්හ. ගිනිගොඩවල් ගැසීමෙන් හා ශබ්ද සංඥා මගින්ද පණිවුඩ හුවමාරු කර ගත්හ. අක්ෂර සොයා ගත් පසු ඒ කටයුතු ද වඩාත් පහසු කර වීය.   
මේ පණිවුඩ හුවමාරුව ගැන ඇති දූවිලි වැදුණ ලිපි ගොනු පිරික්සන විට වහල් යුගය නමින් ෆයිල් එකක් ද ඒ අතර විය. එහි සඳහන් වූයේ අමුතුම පණිවුඩ හුවමාරු ක්‍රමයකි. ඒ කියන සංදියේ ප්‍රභූවරයෙක් තවත් ප්‍රභූවරයෙකුට පණිවුඩ යවා ඇත්තේ වහලුන් හරහාය. මුලින්ම කරන්නේ රහස් පණිවුඩය ගෙන යාමට තෝරා ගන්නා හැඩි දැඩි වහලාගේ හිස මුළුමනින්ම මුඩු කිරීම නොහොත් තට්ටය ගෑමය. ඉන්පසු මැකීමට අපහසු තීන්ත ආධාරයෙන් රහස් භාෂාවකින් පණිවුඩය වහලාගේ තට්ටයේ චිත්‍රණය කරනු ලැබේ. ටික දිනක් ප්‍රභූවරයාගේ මන්දිරයේ වහලාට නවතින්නට ඉඩ ලැබෙන්නේ කෙස් ටිකක් වැවී පණිවුඩය වැහෙන තුරු ය. ඉන්පසු දින ගණන් මාස ගණන් පණිවුඩය ලැබිය යුතු ප්‍රභූවරයා සොයා යාම මේ ‘තැපැල් වහලා’ගේ පුරුද්දය. පණිවුඩය අවශ්‍ය ප්‍රභූවරයා වහලාගේ හිස නැවත බූගා පණිවුඩය දැන ගැනීමෙන් පසු වහලාට නැවත යන්නට ඉඩ ලැබේ.   


ලංකාවේත් පොදුවේ ලෝකයේත් තැපැල් සේවාව හැඳින්වෙන්නේ කණුව මුල් කරගෙන ඇරඹුමක් ලෙසය. කණුව ගැන අදහස් දෙන Post ඉංග්‍රීසි පදය පදනම් වී Post Office බිහි වුණා ලෙස සැලකේ. එහෙත් බොහෝ දෙනා අසන්නේ තැපැල් යන තේරුම දෙන Mail යන පදය යොදා මේල් ඔෆිස් (mail Office) යනුවෙන් මෙය භාවිතයට නාවේ මන්ද යන පැනයයි.   


අධිරාජ්‍යවාදීන් තම රටේදී අත්විඳි අධ්‍යාපන, වැවිලි, ඉංග්‍රිසි, වෙදකම, වෙළෙඳාම ආදී සියල්ලක් මෙන්ම තැපැල් සේවාවක් ද මේ සිලෝන් එකේ ඇරඹීම ‘සුද්දා’ හිතූ තරම් ලෙහෙසි කටයුත්තක් නොවීය.   


තැපැල් සේවයක් ලංකාවේ ඇරඹීමට ප්‍රධාන බාධාවක් වූයේ සිලෝන් එකේ ක්‍රමවත් මාර්ග පද්ධතියක් නොවීමය. එවකට ජේම්ස් කෝඩිනර් නමැති දේවගැතිවරයකු පවසා ඇත්තේ සත්‍ය වශයෙන්ම ලංකාවේ පාරවල් යයි කිව හැකි කිසිවක් නැති බවය. අන්තිමට අධිරාජ්‍යවාදීන්ට සිදු වූයේ පාගමනින් යන්නන් මෙන්ම බරකරත්ත අස්රියවලින් තම තැපැල් අවශ්‍යතා ඉටු කර ගැනීමටය.   


ලංකාවේ විදුලි සංදේශ ක්‍රමයේ තීරණාත්මක දිනයක් වන්නේ 1850 සැප්තැම්බර් 24 වැනිදාය. එය ආරම්භ කරන ලද්දේ එවකට ඔබ්සවර් පත්‍රයේ කර්තෘ දොස්තර ක්‍රිස්ටෝෆර් විලියම් විසිනි. ඔහු පණිවිඩ හුවමාරුවට යොදා ගෙන ඇත්තේ පරවියන්ය. මේ ක්‍රමය ක්‍රියාත්මක කොට ඇත්තේ ​කොළඹ හා ගාල්ල අතරය. ගාල්ල එදා සැලකී ඇත්තේ තැපැල් වරාය ලෙසය.   


පරවියකුගේ පාදයක ගැට ගසන ලද පණිවුඩය රැගෙන ගාල්ලේ සිට කොළඹට ඒමට ගත කොට ඇති කාලය පැයකුත් විනාඩි 45කි. මේ පරවියන් අතර පැයකුත් විනාඩි 15 කින් ගමන නිම කළ පරවියෙකු ගැන වාර්තාවක් එදා ඔබ්සර්වර් පත්‍රයේ පළ කොට තිබුණි.   


1857 වසර සැලකෙන්නේ ලක් රජය ටෙලිග්‍රාප්ස් සේවාව හඳුන්වා දුන් වසර ලෙසය. තෙවසරක් ඉක්ම යද්දී මුහුදුබඩ මාර්ගයේ පොල් ගස් යොදාගෙන මෙම ක්‍රමය ආරම්භ කිරීමේ ගෞරවය හාපර් නම් විදුලි සංදේශ අධ්‍යක්ෂවරයාට හිමි වේ.   


එ් කොළඹ ගාල්ල අතර ය. ලංකාවේ තැපැල් ඉතිහාස තවත් හාරා අවුස්සා ගෙන යත් දී 1796 දී ඉංග්‍රීසි ආක්‍රමණයට පෙර ලන්දේසීන් විසින් ලංකාවේ තැපැල් සේවාවක් පවත්වාගෙන ගිය බවට ලිඛිත සාක්ෂි ඇත. ලන්දේසීන්ගේ පෙරදිග ඉන්දියානු සමාගම විසින් කොළඹ වරාය හා ගාලු වරාය අසල තැපැල් කාර්යාල දෙකක් පවත්වාගෙන ගොස් ඇත. ඉංග්‍රීසින් එම තැපැල් කාර්යාල දෙක 1802 ප්‍රතිසංවිධානය කර ඇති අතර ප්‍රථම තැපැල්පති ධුරයට පත් කොට ඇත්තේ ඇන්තනි බර්තොලම් ය. ඔහු ෆෙඩ්‍රික් ​නෝර්ත් ආණ්ඩුකාරයාගේ පුද්ගලික ලේකම්වරයා ය.   

 


අද ජනපති මැදුර හෙවත් රජ ගෙදර අබිමුව ඇති පෝස්ට් මාස්ටර් ජනරාල් ගොඩනැගිල්ලට මෑතක් වන තුරු මහ තැපැල්හල කියා ද කියනු ලැබීය.   


ඕනෑම රටකට ඇත්තේ ප්‍රධාන තැපැල් කාර්යාල (GPO) එකකි. මේ ​ගොඩනැගිල්ල ඉදි කළ බිම ඓතිහාසික එකකි. ඉපැරණි ලේඛන අනුව පෙනී යන්නේ ලොරන්සෝ ද අල්මේදා ලංකාවට ගොඩ බසින ලද ස්ථානය ඒ සමීපයේ වූ බවය. 1748 දී ඔගස්ටින් මිෂනාරිවරුන්ගේ දෙව් මැදුර හා සුසාන භූමිය පිහිටා තිබී ඇත්තේ මේ භූමියේය.   


මෙම භූමිය යෝජිත ලංකාවේ මහ තැපැල් හල ගොඩනැගීමට තෝරා ගත් විට එහි වූ සොහොන් කොත් කොළඹ පිටකොටුවේ ​ඇති වත්මන් ඕලන්ද කෞතුකාගාරයට ගෙන ගොස් ඇත. එය 17 වැනි සියවසේ අගභාගයේ ඕලන්ද ආණ්ඩුකාර තෝමස් වැන් රී සිය නිල නිවාසය ලෙස ඉදිකරන ලද්දකි.   


යෝජිත මහ තැපැල් හල භූමියේ වූ අනෙකුත් ආගමික ස්මාරක හා ඉතිරි සොහොන් ගල් ගෙනගොස​් ඇත්තේ ආදුරුප්පු වීදියේ වුල්ෆොන්ඩල් පල්ලියටය. එහි ඇතුළු බිමට දමා ඇති සොහොන් කොත්වල ඇති වර්ණයන් අධ්‍යයනයේ දී ඒ බව වඩාත් තහවුරු කර ගත හැකිය.   


මෙම ගොඩනැගිල්ල සහිත සාලය නිර්මාණය කොට ඇත්තේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පී එච්.එෆ්. ටොම්ලින්සන් මහතා විසිනි. මෙම ගොඩනැගිල්ල වැඩ ආරම්භ කොට ඇත්තේ 1891 ඔක්තෝබර් 09 වැනිදාවකය. මෙම ගොඩනැගිල්ලේ ඇතැම් ඉදිකිරීම් යුරෝපීය පුනරුද ශෛලියට අනුගත වන බව (රෙනෙයියන්ග්) එයට මුල් ගල තැබූ දින පළ කොට ඇති පුවත් පත් වාර්තාවක සඳහන් වේ. මෙම ගොඩනැගිල්ලට අවශ්‍ය කළු ගල් කුට්ටි කපා ගාල්ලේ වරායේ සිට ​ෙකාළඹ වරායට ගෙනවිත් ඇත්තේ නැව් මාර්ගයෙනි. මෙම ගොඩනැගිල්ල නිම කිරීමේ කර්තව්‍යයට දේශීය මේසන් බාස්ලා මෙන්ම මුර්ස් ජාතික පෙදරේරුවන්ගේ සේවය ද ලබා ගෙන ඇත.   


අදත් කොටුවේ පවතින පැරණි මන්දිරවල නිමවුම්කරුවන් ලන්දේසීන්ය. මේ තැපල් හල ඉදිරිපිට ඇති ජනපති මන්දිරය නොහොත් රජ ගෙදර ලන්දේසි ආණ්ඩුකාරවරයකු වූ වෑන් එන්ජල් බික්ගේ නිවහනය. තැපැල් ගොඩනැගිල්ල ගොඩනැගූ වකවානුව වාර්තා කොට ඇති පරිදි පෙනී යන්නේ 1839 දී යුරෝපීයන් සොයාගත් ඡායාරූප ශිල්පය 1844 වන විට මෙරටට පැමිණි මෙම ගොඩනැගිල්ල ගොඩනගන ආකාරය ගැන එවකට පුවත්පත් ඡායරූප ද සමග වාර්තා කොට ඇති බවය.   


මෙම තැපැල් ​ෙගාඩනැගිල්ල තනන අන්දම බලන්නට එංගලන්තයෙන් ආ රාජකීයන් ගැන ප්‍රවෘත්තියක් ද ඒ අතර ඇත. එම වාර්තාව අනුව නැව කොළඹ වරායට සේන්දු වුවද එයට ගොඩවන්නේ ස්වදේශී වෙළෙන්දන්ය. ඇත් දළ කොටස්, කළුවරලී කැටයම්, රන් ආභරණ හා මැණික් වර්ග ඒ අතර වන අතර මෙම නැවෙහි තැපැල් ගොඩනැගිලිවලට අවශ්‍ය ජනෙල් වීදුරු සොයිබ සරනේරු ආදී දහසකුත් එකක් දේ තිබී ඇත.   


තැපැල් ගොඩනැගිලි ගොඩනැගීම නිරීක්ෂණයට ආ සුද්දාගේ ​ෙලාග් සටහන් පොතේ සටහන් කළ එක් අප්‍රසන්නම කාරණයක් ඇත. ගොඩනැගිල්ලේ වැඩෙහි නියුතු සිංහලයන් බුලත් විට කා කාරා කෙළගැසීම ගැන සුද්දා සටහන් කොට ඇත්තේ මහත් අප්‍රසන්න කටයුත්තක් ලෙසය. නමුත් පසු දිනම වැඩ බිමෙහි බුලත් විට කෑඹ තහනම් කොට තිබේ.   


මෙම තැපැල් ගොඩනැගිල්ල තනා සති දෙකක් මහජන ප්‍රදර්ශනයට තැබූ බව පුවත්පත්වල ඇත. ගොඩනැගිල්ල නිම කිරීමට වසර පහකට ආසන්න කාලයක් ගත වී ඇති අතර එය විවෘත කොට ඇත්තේ 1895 අගෝස්තු 19 වැනිදාවකය. ආණ්ඩු කාර නිවෙස අසලින්ම මෙම මහ තැපැල් හළ ඉදිකිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය නීතිය අනුව ආණ්ඩුකාරවරයා රටෙන් බැහැර ගිය විට එම කටයුතු සොයා බැලීමට වගකිව යුතු පුද්ගලයා ලෙස බලය පැවරී තිබුණේ ​පෝස්ට් මාස්ටර් ජනරාල්වරයාට කියාය.   


ඒනිසා මෙම ගොඩනැගිල්ලට එවකට ඇතැමුන් දෙවෙනි රජ ගෙදර යන නම පට බැඳ තිබේ.   

 

 


වජිර ලියනගේ