​කොටුව පොලීසිය වැඩ වරයි


 

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට සිදුවූ පොලිස් වර්ජනය ගැන 1970 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා “ශ්‍රී ලංකදීප” පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වශයෙන් පළකර තිබුණේ ඡායාරූපයක්ද සමගින්ය.   


ප්‍රධාන පුවත ලියූ මාධ්‍යවේදියාගේ නම එහි සඳහන් නොවුනත් ඡායරූප ශිල්පියාගේ නම සඳහන්වී තිබිණ.   
ඡායාරූප ශිල්පියා ඔලිවර් සෙනවිරත්නය.   


තම සහයකුගේ වැඩ අසාධාරණ ලෙස තහනම් කිරීමට විරෝධය පළකිරීම සඳහා කොටුව පොලිසියේ දෙසිය පනහක් පොලිස් කොස්තාපල්වරු හා සැරයන්වරු ඊයේ සිවිල් ඇඳුමින් සැරසී පෙළපාළියකින් කොටුවේ සිට පොලිස්පතිවරයාගේ නිවස බලා ගමන් ගත්හ. යනුවෙන් සඳහන් කරමින් එම ඡායාරූපය ප්‍රධාන සිරස්තලය සමඟම පළකර ඇත.


එම පුවත මෙසේය.

 

ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ - කොටුව පොලිසියේ කොස්තාපල්වරු හා සාජන්වරු 250ක් ඊයේ වැඩ වර්ජනයක යෙදුණහ.   
 
ඊයේ සවස් යාමයේදී කොටුව පොලිසියෙන් එළියට බට මේ කොස්තාපල්වරු හා සාජන්වරු පොලිසිය ඉදිරිපිට වාඩිවී සිටියහ.   
ඊයේ කොටුව චැතැම් වීදියේ පිහිටි සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට ඇමැතිවරයාගේ මොටෝ රිය නතර කිරීමට වෙන්කොට ඇති භූමි භාගයේ වෙනත් කෙනෙකුගේ මොටෝ රියක් නතර කිරීමට ගොස් එහි මුරකළ ​පොලිස් භටයා අතර වචන හුවමාරුවකින් පසු මේ සිද්ධිය ඇති වූ බව කියයි.   එම මොටෝ රිය එතැන නතර කළ තැනැත්තා නැව් සංස්ථවේ අධ්‍යක්ෂකවරයකු බව කියනු ලැබේ.   
මෙයට මැදිවූ කොටුව පොලිසියේ කොස්තාපල් (841) පෙරේරා මහතා අාපසු පොලිසියට යනවිට ඔහුගේ වැඩ තහනම් කොට තිබූ බව කියති.  ඊයේ රාත්‍රී 7.30ට පමණ පොලිස් නිලධාරිහු පොලිස්පතිවරයාගේ නිෙවසට යන බව කියමින් පේළි සෑදී එහි ගමන් කළහ.  
වර්ජනය ගැන පොලිස්පතිගේ ප්‍රකාශය මෙසේය.   
 
තමා මෙම සිද්ධිය පිළිබඳ විභාගයක් පවත්වන ලෙස සහකාර පොලිස් අධිකාරී කොන්රොඩ් විජේසිංහ මහතාට නියම කළ බවත් එ් පිළිබඳව ඔහු තමාට වාර්තා කරනු ඇති බවත්, පොලිස්පති ස්ටැන්ලි සේනානයක මහතා ශ්‍රී ලංකාදිපයට කීවේය.   
 
කොන්රොඩ් විජේසිංහ මහතා තමාට ඒ පිළිබඳව වාර්තා කරනතුරු වැඩ තහනම් කළ පොලිස් කොස්තාපල් 814 පෙරේරා මහතාගේ තහනම ඉවත් කළ නොහැකි බවත් පොලිස් භටයන් තමා හමුවිමට පැමිණි බවත් හේ කීවේය.   
 
ශ්‍රී ලංකා පොලිසිය උඩු යටිකුරු කළ ඒ පොලිස් වර්ජනය හා පෙළපාළිය ගැන ශ්‍රී ලංකාදීප පුවත් පතේ මීට වසර 40කට ඉහත දී පළවී තිබූ ප්‍රධාන සිරස්තලයට පසුබිම්වූ කරුණු කාරණා හා තොරතුරු සොයාගෙන පසුගිය සති අන්තයේ අප ගම්පොළ හා නුවරඑළිය බලා පිටත්ව ගියේ වර්ජනයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු සොයාය.   
 
එක් අයෙක් විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.බී. දිසානායක මහතාය.   
දිසානායක මහතා පදිංචිව සිටින්නේ ගම්පොළය.   
 
අනෙක් පොලිස් නිලධාරියා නුවරඑළිය හග්ගල මල්වත්තට නුදුරින් වෙෙළඳසැලක් පවත්වාගෙන යන්නේ ඔහුගේ ආදරණීය බිරිදගේ ද උදව් උපකාර ඇතිවය.   
 
මේ වැඩ වර්ජනයට සම්බන්ධ වීම නිසා කොස්තාපල් බණ්ඩාරට පොලිස් සේවයට සමුදීමට සිදුවුණා පමණක් නොව කුමන්ත්‍රණකාරයෙක් ලෙස සැකකොට අත්අඩංගුවට පත්ව මාස හතරක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටීමට ද සිදු වී ඇත.   
වර්තමානයේ සිට වසර 40ක් ආපස්සට මතකය ගෙන යමින් මුලින්ම අප හා කතා බහට එක්වූයේ විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාය.   
 
ඔහු කතාබහට මුල පිරුවේ එදා අපි කළ උද්ඝෝෂණයට හා පොලිසියට බැටන් ප්‍රහාර එල්ලකර හෝ කඳුළු ගෑස් ගසා විසුරුවා හැරීමට කැරළි මර්දන පොලිස් කණ්ඩායම් පැමිණියේ නැතැයි පවසමිනි.   
 
විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතා වසර 40කට පමණ පෙර සිදුවූ එ් සිද්ධිය අාවර්ජනය කරමින් මෙසේ කීය.   
වලපනේ නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වෙලා මම පොලිසියේ සේවයට පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස බැඳුණේ 1968 වසරේදියි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස උසස්වීම් ලබා විශ්‍රාම ගි​ෙය් 2008 වසරේදීය.   
 
කොළඹ - කොටුව සෙලින්කෝ එක පිටුපස දැනට ලෝක වෙෙළඳ මධ්‍යස්ථානය ඇති ස්ථානයේ ලන්දේසි යුගයට අයත් මහල් දෙකකින් යුතු ගොඩනැගිලි පහක් තිබුණා. මේවා හැඳින්වූයේ ඇවිලන් ගොඩනැගිලි ලෙසයි. එයින් එක ගොඩනැගිල්ලක තමයි කොටුව පොලිසිය පිහිටුවා තිබුණේ. ට්‍රේනින් එකෙන් පස්​ෙස මට මුල්ම පත්වීම ලැබු​ෙණ කොටුව පොලිසියටයි. කොටුව පොලිසියේ එවකට පොලිස් නිලධාරීන් 250ක් විතර සේවයේ නිරතව සිටියා. කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වර්තමාන අගවිනිසුරුවරයාගේ පියා වන ඒ.සී. ඩෙප් කොළඹ පොලිස් අධිකාරී ලෙස බී. රාජගුරු මහත්වරුන් කටයුතු කළහ. කොටුව පොලිසියේ ඕ.අයි.සී. වෙලා හිටියේ ටී.ආර්. බොන්සෝ කියා මහත්තයෙක්. බොන්සෝ මහත්තයා දැඩි පාලනයක් ගෙන ගිය පොලිස් නිලධාරියෙක්. ඔහුගේ දැඩි පාලනය නිසා අලුතින් ආ නිලධාරි හුඟ දෙනෙක් රැකියාව අතහැර දමා යන්න ගියා. අපි පොලිසියට බැඳුණේ රුපියල් 191ක මාසික පඩියකට.   
කොටුව පොලිසියේ එදා පොලිස් නිලධාරීන්ට නවාතැන් ගැනීමට තිබුණු ඇවිලන් බැරැක්කය නිලධාරීන්ට නවාතැන් ගැනීමට තරම් සුදුසු තත්ත්වයක තිබුණේ නැහැ. හරිම තදබදයක් තිබුණේ. බැරැක්කයේ බොහොම අපහසුවෙන් සිටියත් අප ඉවසාගෙන සිටියා. බැරැක්කයේ ගත කළ නිලධාරීන් අතර පුදුම සහෝදර බැඳීමක් තිබුණේ. ඒ වගේම සමහර නිලධාරීන් දඩබ්බර වැඩවලට පවා යොමු වුණු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. පුදුම කැපවීමකින් රාජකාරිය ඉටුකළා.   
 
පොලිස් බැරැක්කයේ හිටිය අපි කට්ටියම එකතු වෙලා පොලිස් පොඩ්ඩෝ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. බොහොම රහසිගතව තමා මේ සංවිධානය අපි පිහිටුවා ගත්තේ පොලිස් පොඩ්ඩන්ට පොලිසියේ ​ලොක්කන්ගෙන් 
හා දේශපාලනඥයන්ගෙන් සිදුවිය හැකි අසාධාරණකම් වලට එරෙහිව නැගී සිටීමට තමා පොලිස් පොඩ්ඩන් කියා සංවිධානයක් අප පිහිටුවා ගැනීමට තීරණය කළේ. කොටුව පොලිසියේ රාජකාරී කරන අපි මුලින්ම පිහිටුවා ගත් පොලිස් පොඩ්ඩෝ කියා සංවිධානය ගැන කොළඹ ප්‍රදේශයේ අනෙක් පොලිසිවල රාජකාරී කරන කොස්තාපල් පොලිස් සැරයන් නිලයත් දරන නිලධාරින් දැනුම්වත් කිරීමටද කටයුතු කළා. මේ දැනුම්වත් කිරීමේ වැඩේ කළේ බොහොම රහසිගත ආකාරයටයි. ලිපි මගින්ද අපි මේ දැනුවත් කිරීම සිදුකළා. පොලිස් භෝජනාගාර පාලක යන නමින් තමා මේ දැනුම්වත් කිරීමේ ලියුම් තැපැල් ක​ෙළ්. අපේ මේ අයිතිවාසකම් ගැන තමා දැනුම්වත් කිරීම් කළේ.   
 
අපි පිහිටුවා ගන්නා පොලිස් පොඩ්​ෙඩා් සංවිධානයේ රැස්වීම් කැලණිය පාලම, කොටුව දුම්රිය ස්ථානය හා ගෝල්​ෙෆ්ස් පිට්ටනිය වගේ තැන්වල තිබ්බා. මෙම රැස්වීම් තිබ්බෙත් කිසිම උසස් පොලිස් නිලධාරියකුට ආරංචි නොවන විදිහට බොහොම රහසිගතවයි. ඒ කාලයේ අපේ මාසික පඩිය රුපියල් 191ක් පමණයි. වසරේ නියමිත නිවාඩු හැරෙන්න ඉරිදා සෙනසුරාදා හෝ කිසියම් නිවාඩුවක් අපට තිබුණේ නැහැ. මාසික වැටුප ප්‍රමාණවත් නොවීම, පොලිසියේ සමහර ලොකු ලොක්කන්ගෙන් සිදුවන තාඩන පීඩන, පොලිස් පොඩ්ඩන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව සාකච්ඡා කර ඒවා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන තමා අපි රැස්වෙලා සාකච්ඡා කළේ. පොලිස් පොඩ්ඩෝ කට්ටියක් එකතුවෙලා උද්ඝෝෂණයක් කරලා පොලිස්පතිවරයාගේ නිල නිවසට පෙළපාළියක් යාමට හා එයට හේතුවූ කරුණු කාරණා ගැන එකිනෙකා තොරතුරු පළකරමින් සිටියා ඒ ගැන විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.බී. දිසානායක මහතා කිව්වේ මෙවැනි කතාවකි.    
 
ඔය සිද්ධිය  කාලයේ පොලිස් පොඩ්ඩන් විශාල වශයෙන් අපේ සංවිධානය වටා එක්රොක් වෙලා හිටියේ. ඒ වගේම පොලිස් පොඩ්ඩන් අතර ඒ වෙනකොට ලොකු බැඳිමක් ගොඩනැගී තිබුණා. ඉතිං මේ සිද්ධිය වුණේ 1970 වසරේ ඔක්තෝබර් මාසයේ 21 වැනිදා. 21 වැනිදා උදේ කොටුව පොලිසියේ ​ෙකාස්තාපල් පෙරේරා (841) කියන නිලධාරියා කොටුව චැතැම් වීදියේ වීදි සංචාරයේ නිරතව සිට තිබෙනවා. උදේ 10.00ට විතර ඔරලෝසු කණුව ළඟ නාවික අමාත්‍යංශයේ වාහන නතර කිරීමට ඉඩ කොටසක් තිබෙනවා. එම ඉඩ කොටසේම නාවික ඇමතිවරයාට ඔහුගේ නිලරථය ගාල් කර තැබීමට වෙනම කොටසක් වෙන්කර තිබෙනවා.   
 
නාවික ඇමතිවරයාට ඔහුගේ නිල රථය නවතා තැබීමට වෙන් කර තිබෙන කොටසේ වෙනත් රථයක් පැමිණ ඔහුගේ රථය නතරකර යාමට උත්සාහ කර තිබෙනවා. මේ අවස්ථාවේ කොස්තාපල් පෙරේරා පැමිණ එතැන වාහනය නතර නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කරලා වාහනය නතර නොකරන ලෙස කිව්ව නිසා ඒ පුද්ගලයා කොස්තාපල් පෙරේරාට හොඳටම බැණලා. පරුෂ වචන පවා කියමින් තමා බැණලා තියෙන්නේ. ඔහු අනුර බණ්​ඩාරනායක මහත්තයාගේ හොඳම යාළුවෙක් බවත් අනුර බණ්ඩාරනායක මහත්තයාට කියා තමුසෙට හොඳ පාඩමක් උගන්වනවා කියාත් ඔහු පවසා තිබෙනවා. ඒත් පෙරේරා ඔහුට එතන කාර් එක නතර කරන්න ඉඩ දීලා නැහැ. කෝපයෙන් පුපුරමින් ඔහු කාර් එක එතැනින් ඉවත් කර එය වෙනත් තැනක නතර කර තිබෙනවා.   
 
කොස්තාපල් පෙරේරා ඔහුගේ සේවා මුරය අවසන් කර එදා දහවල් 1.00ට පමණ කොටුව පොලිසියට පැමිණියා. පෙරේරා සේවා මුරය අවසන් කර පොලිසියට එනකොටත් ඔහුගේ වැඩ තහනම් කරලා. පොලිස් හෙඩ්ක්වාර්ට්ස් වලින් මැසේජ් එකක් එවලා ඉවරයි. මේ බව දැනගත්තාම අපේ කේන්තිය ඉහවහ ගියා. රාජකාරිය අවංකව අකුරටම ඉටුකරන්න ගිය පොලිස් නිලධාරියකුට වෙච්ච අසාධාරණය වෙනුවෙන් අපේ පොලිස් පොඩ්ඩන්ගේ සංවිධානය පෙනී සිටිය යුතුයි කියා අපි දැඩි තීරණයක් ගත්තා.  
 
අපි මේ සම්බන්ධව වැඩිදුරටත් සොයා බැලීමේදී කොස්තාපල් පෙ​ෙර්රාට බැණවැදී ති​ෙබන්නේ වරායේ අධ්‍යක්ෂවරයෙක් බව දැන ගැනීමට ලැබුණා. ඔහු අනුර බණ්ඩාරනායක මහත්තයාගේ කිට්ටුම හිතවතෙක් බවත් දැන ගැනීමට ලැබුණා. මේ අධ්‍යක්ෂවරයා වෙනත් තැනක වාහනය නතර කළාට පස්සේ වරාය ඇමැතිට ගොස් සිද්ධිය එක දෙක කරලා අනුර බණ්ඩාරනායක මහතාට දුරකථනයෙන් කතා කරලා ඒ මොහොතෙම දැනුම්දීලා බණ්ඩාරනායක මහත්තයා දුරකථනයෙන් වැඩ බැලූ පොලිස්පතිවරයාට කතා කරලා කියා තිබෙනවා. වැඩ බැලූ පොලිස්පතිතුමාත් මේ ගැන එච්චර සොයන්නේ බලන්නේ නැතුව පෙරේරාගේ වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර තිබෙනවා.   

එවකට පොලිස්පති තනතුර දැරූ ස්ටැන්ලි සේනානායක මහතා නිවාඩු ලබා ගෙන ඔහුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා මහනුවර බලා ගොස් සිටි නිසා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ඒ.සී. ඩේප් මහතාය.   

පෙරේරාගේ වැඩ හරිම අසාධාරණ විදියට තහනම් කළ නිසා පොලිස් පොඩ්ඩෝ සංවිධානයේ අපි රාජකාරි කටයුතු වලින් ඉවත්වී උද්ඝෝෂණයක් කරන්නයි සේවා ලිපියකින් පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාගේ නිල නිවසට ගොස් වෙච්ච අසාධාරණය ගැන කිව්වා.ඔහු තීරණය කළා. මේ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග කවරේද කියා එ්ක ගැන සාකච්ඡාවක් තියන්න කටයුතු සූදානම් කළා. 
ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පිහිටි සෑම පොලිස් ස්ථානයකින්ම අපේ සංවිධානයේ ඉන්න නියෝජිතයෝ දෙන්නා බැගින් එකතු වෙලා මේ ගැන සාකච්ඡා කළා. කොළඹ ප්‍රදේශයේ අනෙක් පොලිසිවලින් ගෙන්වා ගත් අපේ පොලිස් පොඩ්ඩා සංවිධානයේ නියෝජිතයින්ගේ මාර්ගයෙන් ඒ ඒ පොලිසිවල ඉන්න අපේ සංවිධානයේ සාමාජිකයන් වැඩ වර්ජනය ගැන දැනුම්වත් කිරීම් සිදුකළා.   

මෙම සාකච්ඡාවේදී වැඩ වර්ජනය සිදුකරන දවසේ සවස කිසිම පොලිස් පොඩ්​ෙඩක් මත්පැන් පානය නොකළ යුතු බවට තින්දුවක් ගත්තා. ඒ වගේ තින්දුවක් ගත්තේ වෙන කිසිම දෙයක් නිසා නෙමේ. මත්පැන් බීලා හිටියොත් පොලිසියේ බේබද්දෝ පිරිසක් එකතුවෙලා වෙරිමරගාතේ කරපු වැඩ වර්ජනයක් කියා ලොකු චෝදනාවක් එන්න පුළුවන් නිසයි. නිල නිවස දක්වා පා ගමනින් ගියා. අපි පොලිස්පතිතුමාගේ නිල නිවස ළඟට යනකොට රෑ 9.30ට විතර ඇති. සියලු දෙනාම ​ෙපාලිස්පතිතුමා සමඟ කතා නොකර දෙදෙනෙක් පමණක් වෙලා තියෙන අසාධාරණය ගැන එතුමාට කීමට තීරණය කළා.   

අද ව​ගේ පොලිස්පති නිල නිවසට පොලිස් මුර සේවයක් තිබුණේ නැහැ. වැඩට සේවකයෙක් පමණක් සිටියා. ඔහුට කතා කර පොලිස්පතිතුමා මහනුවර ගිහින් ආවාද කියා විමසුවා. දැන් මේ ටිකකට කළින් ​ෙපාලිස්පතිතුමා මහනුවර සිට පැමිණි බව ඔහු කියා සිටියා. පොලිස්පතිතුමාට කතා කරන්න ඕනෑකමක් තිබෙන බව ​ෙස්වකයාට කිව්වා. සේවකයා පොලිස්පතිතුමාට අපි ඇවිත් ඉන්න බව දැනුම්දීමට නිල නිවස තුළට ගියා. සේවකයා ගිහින් ටික වේලාවකින් සිනාසෙමින් අපි ඉදිරියට ආවා. පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහත්තයා මොකද නිලධාරීන්ට කරදරයක්ද කියා අසාගෙන තමා අපි ඉදිරිපිටට ආවේ.   

 පොලිස් කොස්තාපල් බුද්ධදාස (7769) කියන නිලධාරියා සහ මම පොලිස්පතිතුමාට වෙලා තියන දේ අකුරක් නෑර කියා සිටියා. එතුමා බොහොම සන්සුන් ලෙස අපි දෙන්නා කිව්ව විස්තරේ අසාගෙන සිටියා. ඊට පස්සේ නිල නිවස ඇතුළට ගිහින් දුරකථනයෙන් කොටුව පොලිසියට සහ සහකාර ​ෙපාලිස් අධිකාරී කොන්රොඩ් විජේසිංහ මහත්තයාටත් ඇමැතුමක් ලබාගත්තා. වෙලා තියන සිද්ධිය ගැන විමසා සිටියා. ඒ.එස්.පී. මහත්තයා​ෙග් තොරතුරු වාර්තාව ලැබුණාට පස්සේ සාධාරණය ඉටුකරන බවත් කරදර නොකර අපිට ආපසු පෙ​ාලිසියට යන ලෙසත් එතුමා දැනුම් දුන්නා. එතුමා ගැන පූර්ණ විශ්වාසය තබා අපි කෑ ගසමින් පා ගමනින්ම ආයෙත් කොටුව පොලිසියට ගියා. පොලිසියට පැමිණ ටික වේලාවකින් කොස්තාපල් පෙරේරා කියන වැඩ තහනමට ලක්ව සිටිය නිලධාරියාගේ සේවය නැවත පිහිටුවා තිබුණා. ඉන් පස්සේ අපේ වර්ජනය අතහැර සාමාන්‍ය විදියට රාජකාරී ආරම්භ කළා යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කීය.   

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සිදුවූ පළමු වැඩ වර්ජනය සිය අරමුණ ඉටුකර ගැනීමෙන් එසේ නිමාවට පත්ව වැඩි දවසක් යන්නට මත්තෙන් සිදුවූ එක්තරා සිදුවීමක් විශ්‍රාම ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිහිපත් කළේය.   

මේ ඒ කතාවයි.   
අපි පොලිස් වර්ජනය කළ කාල වකවානුවේ රටේ නොයෙකුත් පළාත්වලින් රජයට විරුද්ධව තරුණ බලවේගයක් එ්කරාශී වෙමින් තිබුණ බවට පොලිස් බුද්ධි අංශ මගින් වාර්තා කර තිබුණා. අපේ වර්ජනය ඉවර වෙලා පැය 10ක් වත් ගත වුණේ නැහැ. අපේ ඉල්ලීම දිනා ගැනීමට හැකිවීම ගැන ප්‍රශංසාවට ලක්කරමින් ජනතා විමුක්ති පෙරමුණ කුඩා පත්‍රිකා වගයක් කොටුව පොලිස් ඒරියා එකේ අලවා තිබුණා. ඒ නිසා වර්ජනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් ද ජේ.වී.පී. එකට සම්බන්ධ බවට බුද්ධි අංශ සැක පළ කළා. මේ නිසා බුද්ධි අංශ නිලධාරීන් විශේෂයෙන් කොටුව පොලිසියෙන් වර්ජනයට එක්වූ නිලධාරීන් ගැන විශේෂ අවධානයකින් සෙවිල්ලකින් සිටීමට පටන් ගත්තා. ඒත් ජේ.වී.පී. එකට අපේ නිලධාරීන්ගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. වර්ජනය පසුපස ඔවුන් සිටියෙත් නැහැ.   
එදා පොලිස් වැඩ වර්ජනය වෙනුවෙන් ලොකු කාර්යක් ඉටු කළ ඇම්.ඩී. දිසානායක මහතා පසුකාලයක මධ්‍යම පළාතේ කොටි ක්‍රියාකාරකම් මැඩලීමට සිය ජීවිතයම කැප කර සිටි නිලධාරියෙක් විය.   

දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පවත්වා අල්ලාගත් කොටි ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාවද සුළු පටු නොවෙති.   
අපි ඊළඟට කතා බහ කළේ පොලිස් වැඩ වර්ජනය නිසා පොලිස් සේවයට සමුදීමට සිදුවූ පොලිස් කොස්තාපල් එච්.එම්.පී. බණ්ඩාර හේරත් මහතා සමගය.   

විශ්‍රාමික ප්‍රධාන ​පොලිස් පරීක්ෂකයා නැවැත්වූ තැන සිට කතාව පටන් ගත්තේ හිටපු පොලිස් කොස්තාපල් හේරත් මහතාය.  
මේ වන විට ඔහු 72 වැනි වියේ පසුවේ. මේ හිටපු පොලිස් කොස්තාපල් හේරත් මහතා කියන කතාවයි. මමත් ඔය පොලිස් වර්ජනයට සම්බන්ධ වුණ කෙනෙක්. ඒ නිසාම මට පොලිසියේ රස්සාව අහිමි වුණා. 1971 වසරේ අප්‍රේල් 05 වැනිදා වැල්ලවාය පොලිසියට ජේ.වී.පී. කැරලිකරුවන් පහර දුන්නා. එදා රාත්‍රී වෙනකොට මුළු රට පුරා ඇදිරි නීතිය දැම්මා. වරකාපොළ පොලිසියට ද ජේ.වී.පී. කැරලිකරුවන් ගිනි තබා නිලධාරීන්ද ඝාතනය කර තිබුණා. මේ නිසා කොළඹ ප්‍රදේශ​ෙයන් විශේෂ පොලිස් කණ්ඩායම් වරකාපොළ හා කෑගල්ල ප්‍රදේශයේ ආරක්්ෂාවට යැවීමට තීරණයට කර තිබුණා.  

වෙනදාට විශේෂ රාජකාරි සඳහා යවන්නේ ඕ.අයි.සී මහත්තයාට හිතවත් නිලධාරීන් විතරයි. මෙවර විශේෂ රාජකාරී සඳහා පොලිස් වැඩ වර්ජනයට සම්බන්ධ වෙච්ච නිලධාරීන් යැවීමට තීරණය කළා. මේ නිසා අපි ඒකට විරුද්ධව නැගී සිටියා. අපි 5 දෙනා අසනීප නිවාඩු දමා විශේෂ රාජකාරියට යාමෙන් වැළකී සිටියා.  

එදාම සවස ඩි​ෙපා් පොලිසියේ ට්‍රක් රථ දෙකකින් කැරලි මර්දන කණ්ඩායම් දෙකක් කොටුව පොලිසියට ආවා. ඒ වෙලාවේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණා. අපි සතුව තිබූන අවි ඔවුන්ගේ බාරයට ගෙන ඒවා අවි ගබඩාවට පසුව බාර දුන්නා. ඊට පස්සේ මාත් එක්ක විශේෂ රාජකාරි යාමට බැහැ කියා කිව්ව නිලධාරීන් පස් දෙනා වෑන් රථයක ​ෙගාඩකරගෙන අරගෙන ගියා. පසුව අපිව රිමන්ඩ් බන්ධනාගාරයට පත් කළා.   

එස්.ඩී. බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, වාසුදේව නානායක්කාර, සී.පී.ජේ. සෙනවිරත්න, කරුණාසේන ජයලත් යන මහත්වරුන් ඇතුළු දැවමොට්ටාවේ අමරවංශ හා මිටියාගොඩ ගුණරතන කියන හිමිවරුන්ද අපිත් එක්ක බන්ධනාගාරයේ රඳවා සිටියා. බන්ධනාගාරයේ ඉන්න කාලේ මම කවි ලිව්වා. වාසුදේව නානායක්කාර මහත්තාගෙන් අපිට ඉංග්‍රීසි උගන්වන්න කියා ඉල්ලීමක් කළා. එතුමා අපිට හොඳට ඉංග්‍රීසි ඉගැන්නුවා. මාස හයක් රිමාන්ඩ් එකේ ඉඳලා නිදහස් වෙලා ආවා. කිසිම චෝදනාවක් අපිට නගා තිබුණෙත් නඩු දාලා තිබුණෙත් නැහැ. ආයෙත් පොලිස් සේවයට ගියේ නැහැ. අපෙන් පලිගැනීමට බොරුවට හිරේ දම්මා යැයි හිටපු පොලිසියේ කොස්තාපල් හේරත් මහතා කීය.  

මම පොලිසියේ ඉන්න කාලයේ අනුරාධපුරයේ පොසොන් ඩියුටි ගිය දවසක තරුණියක් හඳුනා ගත්තා. ඇය කිරිබත්ගොඩ පදිංචි කෙනෙක්. පස්සේ අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධක් ඇති වුණා. එයාගේ නම ප්‍රියංගනී කල්දේරා. මම ටික කාලයක් එයාව බලන්න ආවේ නැති නිසා එයා මාව හොයාගෙන කොටුව පොලිසියට ඇවිත් මා ගැන අසා තිබෙනවා. පොලිසියේ මගේ යහළුවෝ මම රිමාන්ඩ් කරලා ඉන්න බවක් නොකියා එක එක බොරු කියා තිබෙනවා. එයා මාව හොයාගෙන ඒ දවස්වල නිතර නිතර පොලිසියට ඇවිත් බැරිම තැන මාව හිතෙන් අයින් කරලා ඉඳලා තියෙන්නේ. මම නිදහස් වෙලා ආපු ගමන් ප්‍රියංගනී බලන්න ගියා. එදා තමා අැය මට මොකද වු​ෙණ් කියා දැනගත්තේ. පස්සේ දෙපාර්ශ්වයේම මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව අපි දෙන්නා කසාද බැන්දා. අපිට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. මම ආයෙත් පොලිසියට ගියේ නැහැ. ඒත් මම අදටත් පොලිසියට ආදරේ යැයි හේරත් මහතා කතා බහ නිම කිරීමට මත්තෙන් පවසා සිටියේය.  
 
 
 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප - පේරාදෙණියේ සෙනරත් බණ්ඩාර