හිමාල අඩවියේ අමනුස්ස ආත්ම


හිමාල අඩවියේ  අබ්රහස්

 

හොල්මන් අවතාර ආදී අමනුස්ස බලවේග ගැන කියද්දී, සිහියට නැගෙන්නේ මූසල සොහොන් පිට්ටනි, ගරාවැටුණු නිවාස, නටබුන් මාලිගා, අඳුරු ගුප්ත වනාන්තර, පාළු මාර්ග ආදියයි. හොල්මන් අවතාර ඇත්තක් වුණත්, සිතලුවක් වුණත් හොල්මන් අවතාර සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය අදහස එයයි. එසේ වී ඇත්තේ පොතපතින්, රූපවාහිනියෙන් සහ චිත්‍රපටවලින් හොල්මන් අවතාර සම්බන්ධයෙන් අපේ සිතට කාවද්දා ඇති චිත්තරූප අනුවය. හොල්මන් අවතාර ගැන විස්මිත කතාන්දර හිමාල අඩවියෙන් ද වාර්තා වෙයි. මේ සටහනට පාදක වන්නේ ලේඛක බ්‍රෙට් ස්වැන්සර් විසින්, හිමාල අඩවියේ හොල්මන් අවතාර සහ අමනුස්ස ආත්ම සම්බන්ධයෙන් සැකැසූ විශේෂාංගයකි.

   
ලෝකයේ උසින් වැඩිම ශිඛර දහයෙන් නවයක්ම පිහිටා ඇත්තේ හිමාල අඩවියේය. කවුරුත් හොඳින් දන්නා ලොව උසම ශිඛරය ‘එවරස්ට්’ පමණක් නොව, තරණය කිරීමට අසීරු යැයි පැවැසෙන ‘කේ 2’ මහා ශිඛරය ද පිහිටා ඇත්තේ හිමාලයේය.   


හොල්මන් අවතාර කෙසේ වෙතත්, හිමාල අඩවිය සම්බන්ධයෙන් පවතින නොවිසඳුණු අබිරහස්වලින් එකක් වන්නේ ‘යෙටී’ ය. මිනිසකුට සමාන යෝධ වානරයකු ලෙස සැලකෙන යෙටී නමැති ගුප්ත මානව වානරයාගේ නිජබිම හිමාල අඩවියයි. ප්‍රමාණයෙන් විශාල පා සලකුණු, ලොම් ගුලි, හිරිගඬු පිපෙන කෑමොරදීම් හැර, යෙටී සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැහැදිලි සාක්ෂියක් ලැබී නැත. ඇමෙරිකාවේ බිග්ෆුට්, කැනඩාවේ සැස්කොච් ආදී ගුප්ත මානව වානරයන්ගේ ඥාතියකු ලෙස ද යෙටී සැලකෙන බව ගුප්ත සත්වවේදීහු පෙන්වා දෙති. කෙසේ නමුත් යෙටීගේ අබිරහස පරයමින්, හිමාල අඩවියෙන් වාර්තා වන හොල්මන් අවතාර පිළිබඳ ඇඟ කිළිපොළා යන වාර්තා සැබැවින්ම විස්මිතය. ඒවා හුදෙක් ‘කතාන්දර’ ද නැතිනම් යම් කිසි සත්‍යයක් සැඟවී ඇති ද යන්න තීරණය කිරීම පාඨක ඔබ කළ යුතුය.   


හිමෙන් වැසී ගොස් ඇති කඳු ශිඛර, තියුණු බෑවුම් සහ ගල් ගොඩැලිවලින් පිරුණු හිමාල අඩවියේ ඇත්තේ සීතල මූසල වටපිටාවකි. හිමාල අඩවිය හුදෙකලා ගුප්ත තැනකි. එහෙයින්, හිමාල අඩවිය තම නිවහන කර ගනිමින් ජීවත් වන ‘ෂර්පා’ නමැති නේපාල සහ ටිබෙට් ගෝත්‍රික වැසියන්, ඔවුන්ගේ ජනකතා සහ මිත්‍යා කතා අතරට දෙවිවරුන් සහ අමනුස්සයන් එක් කර ගැනීම අරුමයක් නොවෙයි. ෂර්පාවරුන්ගේ විශ්වාසය, හිමාල අඩවියේ මියැදෙන ඕනෑ කෙනකුගේ අවසන් කටයුතු නිසි පිළිවෙත් අනුව, සම්පූර්ණ කළ යුතු බවය.   


මියයන අය නිසි ලෙස භූමදානය නොකළොත්, මියයන අයගේ ආත්මවලට සැනසීමක් උදාවන්නේ නැත. ඒ ආත්ම හිමාල අඩවිය පුරා සැරිසරන්න පටන් ගනී.   
මේ අමනුස්ස ආත්ම ජීවත්වන සෙසු අයට අනතුරකි. ෂර්පාවරුන්ට අනුව, නපුරු ආත්ම රැසක් හිමාල අඩවියේ සැරිසරන අතර, ෂර්පාවරුන් නිවසින් එළියට බසින්නේ, එවැනි නපුරු ආත්මයක් හමුනොවේවා යැයි ප්‍රාර්ථනා කරමිනි. ගොම්මන් වෙලාවට ෂර්පාවරුන් නිවෙස්වලින් පිටතට පය තබන්නේ නැති තරම්ය. හිමාල අඩවියට පැමිණ එවරස්ට් සහ කේ 2 යන ශිඛර තරණය කිරීමට යන බොහෝ දෙනා ආපසු එන්නේ නැත. ඔවුහු බිහිසුණු ප්‍රචණ්ඩ හිම කුණාටු සහ අධික සීතලට බිලිවෙති. එසේත් නැතිනම් පය ලිස්සා වැටෙති.   
හිම කඳු නායයෑම්වලට ලක්වී හිම තට්ටු අතරේ වැළළෙති. එසේ මියයන බොහෝ දෙනාගේ සිරුරු යළි හමුවන්නේ ද නැත. සිරුරු සොයා යෑම ද අසීරුය. මළසිරුරු සදාකල් හිම තට්ටු සහ අයිස් තට්ටු අතරේ නොදිරා පවතී. මියයන අය නිසි ලෙස භූමදානය හෝ ආදාහනය කිරීමක් සිදුවන්නේ ද නැත. එහෙයින් ඔවුන්ගේ ආත්ම හිමාල අඩවියේ හොල්මන් කරන බවට සිතුවිල්ලක් පහළ වීම අරුමයක් ද නොවෙයි.   


කඳු තරණයට පැමිණෙන්නන්ට විටින් විට හිම තට්ටු අතරේ සිරවුණු මෙම මළසිරුරු හමුවෙයි. මෙවැනි මළසිරුරු බොහොමයක් හමුවී ඇත්තේ එවරස්ට් ශිඛරයේ ඊසාන දෙසින් පිහිටා ඇති නිම්නය ආශ්‍රිතව යැයි පැවැසෙයි. මළසිරුරු දකින්න ලැබෙන්නේ ඔවුන් ඇඳ සිටින දීප්තිමත් හිම කබායන් සහ සීතලට පොරවා ගත් ඇඳුම්වලිනි. එහෙයින් සිරුරු නොයෙක් නොයෙක් වර්ණයන්ගෙන් යුක්තය. සොහොන් පිට්ටනියක් වූ මේ විශාල නිම්නය ‘දේදුනු නිම්නය’ යනුවෙන් ද හැඳින්වෙන්නේ එහෙයිනි.   


කඳු තරණයට පැමිණෙන ගවේෂණ කණ්ඩායම්වලට හමුවන මෙවැනි මළසිරුරුවලට කළ හැකි දෙයක් නැත. ෂර්පාවරුන්ට එසේ මළ සිරුරක් හමුවුවහොත් ඔවුන් හැකි සෑමවිටම එය භූමදානය කිරීමට කටයුතු කරති. ඒ, අතරමං වී සැරිසරන ආත්මවලට ශාන්තියක් උදාකරදීමේ අරමුණින්ය.   


2004 වසරේ දී, පෙම්බා දොර්ජී නමැති ෂර්පා, එවරස්ට් ශිඛරය තරණය කරමින් සිටියේය. මුදුනට ළං වෙද්දී, හිමේ විසිරී ගිය මළසිරුරු සමූහයක් ඔහුට දකින්න ලැබුණි. කඳු තරණයේදී ආරක්ෂාවට යොදන රැහැන්වලින් මියගිය පිරිස එකිනෙකා සමඟ සම්බන්ධ වී සිටි බව දොර්ජිට දකින්න ලැබුණි. කන්ද නගිමින් සිටිද්දී එක් අයකු හෝ දෙන්නකු පහළට ලිස්සා වැටී ඇති අතර, රැහැනින් සම්බන්ධ වූ බැවින්, සියල්ලෝම පහළට වැටී මරණයට පත් වී ඇති බව දොර්ජීට පැහැදිලි විය. දොර්ජී පහත් වී, මළසිරුරු පරීක්ෂා කරද්දී, හිටිහැටියේ කවුරුන් හෝ තමා වට කරගත්තා යැයි හැඟීමක් දැනෙන්නට විය.   


හිස ඔසවා බලද්දී, මුහුණු නැති අඳුරු කළු පැහැති රූප තමන් වට කරගෙන සිටින බව දොර්ජීට පෙනිණ. ‘උදව් කරන්නැයි, කෑමට යමක් දෙන්නැයි’ ඉල්ලමින් ඒ කළු පැහැති රූප, දොර්ජීට කන්නලව් කරන්න විය.   


මහත් සේ බියට පත් වුණු දොර්ජී එම අවතාරවලින් බේරී, එතැනින් පිටවී ඇත. දොර්ජීගේ අදහස නම්, ඔහුට දකින්න ලැබුණේ මියගොස් සිටි කඳු නගින්නන් කණ්ඩායමේ සාමාජිකයන් බවය. හිමාල අඩවියේ දකින්න ලැබෙනවා යැයි පැවැසෙන සෑම ආත්මයක්ම, අවතාරයක්ම නපුරු නොවෙයි. ඇතැම් අවතාර දර්ශනය වන්නේ උදව් ඉල්ලමිනි. ඇතැම් අවතාර උදව් ලබා දීමට පැමිණෙයි. හිමාල අඩවියේ විපතට පත් වී අතරමං වන අයට මඟපෙන්වන්නන් ලෙස කටයුතු කරති.   

 

 


1975 වසරේ, එවරස්ට් තරණයට ආ බ්‍රිතාන්‍ය කඳු නගින්නන් දෙපළක් වන ඩූගල් හැස්ටන් සහ ඩග් ස්කොට් අතරමගදී ප්‍රචණ්ඩ හිම කුණාටුවකට මැදි වූහ. ගෙනා ආහාර පාන අඩු විය. කුණාටුවෙන් බේරීමට තැනක් නොවිණි. ජීවිත අවදානමක් පැවැති බැවින් දෙදෙනා හිමේ වළක් හාරා ඒ තුළට රිංගුවේ ආරක්ෂා වීමටය. අධික සීතලෙන් සහ දැඩි කුසගින්නෙන් ඩූගල් සහ ඩග් පීඩාවට පත් වී සිටියහ.   


හිම කුණාටුව පිටත මරළතෝනි දෙමින් හමා යද්දී, හිටිහැටියේ තමන් අතර තවත් කෙනකු සිටින බව ඩූගල් සහ ඩග් දෙදෙනාට දකින්න ලැබුණි. ඒ කෙනා ද කඳු නගින්නකු සේ සැරසී සිටියේය. කුණාටුවෙන් බේරී යන්නේ කෙසේදැයි මේ තෙවැනි තැනැත්තා ඩූගල් සහ ඩග්ට උපදෙස් දුන්නේ යැයි පැවැසෙයි.   


මේ ආකාරයේ අත්දැකීමකට ජෝ සිම්ප්සොන් නමැති කඳු නගින්නා ද මුහුණ දුන්නේය. තමාගේ ඒ ත්‍රාසජනක මෙන්ම අපූරු අත්දැකීම පාදක කර ගනිමින්, ජෝ ‘ටචින් ද වොයිඩ්’ යන නමින් පොතක් ලියුවේය. කෙසේ නමුත් ජෝ සිම්ප්සොන් මෙම අත්දැකීමට මුහුණ දුන්නේ හිමාල අඩවියේ දී නොවෙයි ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳුකරයේදීය. මරණය අභියසට ගොස් ආපසු ඒමට තමන් සමත් වුණු බව ජෝ සිම්ප්සොන් පවසයි.  


ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වී පැවැති අවදියේ, එනම් 1966 වසරේදී, පන්ජාබ් රෙජිමේන්තුව, සීනෝ ඉන්දීය (ඉන්දු චීන) දේශසීමාවේ නතුල්ලා දුර්ගයේ රාජකාරි සඳහා යෙදවිණි. පන්ජාබ් රෙජිමේන්තුවේ සිටි එක් ශික් සෙබළකු වූයේ හර්බජාන් සිං ය. 1968 වසරේ ඔක්තෝබර් 4 වැනි දා, අවශ්‍ය බඩුබාහිරාදිය, කොටළුවකු පිට පටවා ගෙන කඳු බෑවුම් අතරින් යද්දී, හර්බජාන් සිං ට අකරතැබ්බක් සිදුවිය. පය ලිස්සා හර්බජාන් සිං අඩි ගණනාවක් පහළින් ගලා ගිය දිය පහරකට ඇදවැටුණේය.   


සැඩ පහර සමඟ ගසාගෙන ගිය හර්බජාන් සිං යළි දකින්න ලැබුණේ නැත. හමුදා සොල්දාදුවන් එක් වී දින ගණනාවක් හර්බජාන් සිං සොයන්න වූ නමුත් ඔහුගේ සිරුර හමුනොවිණි. අසාර්ථක උත්සාහයකින් පසු සිරුර සෙවීම අතහැර දැමුණි. ඉන්පසු දිනක් දෙකක් ගත වෙද්දී, හර්බජාන් සිංගේ හමුදා කණ්ඩායමේ සගයන්ට රෑ හර්බජාන් සිං පෙනෙන්න විය. එය සිහිනයක් ද එසේත් නැතිනම්, හර්බජාන් සිං ගැන සිත් තැවුලෙන් සිටි නිසා ඔහුගේ සගයන්ගේ සිතේ මැවුණු සිතුවිල්ලක් ද නොදනී. කෙසේ නමුත් හමුදා සගයන් හැමෝටම දකින්න ලැබී ඇත්තේ එකම සිහිනයක් බව පැහැදිලි විය.   


අවතාරයක් විලසින් ආ හර්බජාන් සිං හමුදා සගයන්ට පවසා ඇත්තේ, තමාගේ මළසිරුර ඇති ස්ථානයයි. තමන් සැමදා සොල්දාදුවකු ලෙස සිටින බවත්, සදාකල් නතුල්ලා දුර්ගයේ මුර සංචාරයේ යෙදෙන බවත් හර්බජාන් සිං ගේ අවතාරය පවසා ඇත. එය සිහිනයක් යැයි සිතා සොල්දාදු සගයන් ඔවුන්ට දකින්න ලැබුණු දේ බැහැර කරන්න උත්සාහ කළ නමුත්, හැමෝටම පෙනුණේ එකම සිහිනයක් බැවින් කවුරුත් ඒ ගැන උනන්දුවක් දක්වන්නට වූහ.   


ඒ අනුව, සිහිනෙන් ආ හර්බජාන් සිංගේ අවතාරය විස්තර කළ ආකාරයට, සිරුර සෙවීම ආරම්භ විය. අවතාරය පැවැසූ ආකාරයට, හරියටම අදාළ ස්ථානයේ තිබී මළසිරුර හමුවිය. හමුදා සොල්දාදුවන් එක් වී, එය නිසි ලෙස භූමදානය කෙරුණේ හමුදා ගෞරව ද සමඟය. ඉන් දින කිහිපයක් ගතවෙද්දී, ගොම්මන් වෙලාවේ, අසුපිට නැගී දුර්ගයේ සැරිසරන හමුදා සොල්දාදුවකු දකින්න ලැබී ඇත. ඇසිපිය ගසන සැණින් මේ අසරුවා අතුරුදන් වෙයි. වෙනත් තැනක යළි දකින්න ලැබේ. බ්‍රිතාන්‍ය, ඉන්දීය සොල්දාදුවන් පමණක් නොව, දේශසීමාවේ අනෙක් පැත්තේ චීන සොල්දාදුවන් පවා මේ අබිරහස් අසරු සොල්දාදුවා දැක ඇත. හිටිහැටියේ දිස්වන අසරුවා හිටිහැටියේම අතුරුදන් වෙයි. ඉන්දීය සොල්දාදුවන්ගේ විශ්වාසය, මේ අසරුවා හර්බජාන් සිං ගේ ආත්මය කියාය. හොල්මන් අසරුවාට, ගිරි දුර්ග අතරින් යෑමට පමණක් නොවෙයි, විදුලි වේගයෙන් එක් තැනක සිට තවත් තැනකින් මතුවීමටත් හැකියාව ඇත. එපමණක් නොවෙයි, හොල්මන් අසරුවා සිහිනෙන් සිය සොල්දාදු සගයන් වෙත පැමිණ, සටන් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සහ සතුරු සොල්දාදුවන්ට පහර දීම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හමුදාමය උපදෙස් ලබා දුන් බව ද පැවැසෙයි. පහර දෙන්නැයි දුන් උපදෙස් සියයට සියයක් නිවැරදි වූ බව ඉන්දීය හමුදා සොල්දාදුවන් පවසා ඇත.   


හර්බජාන් සිංගේ අවතාරය ගැන ප්‍රසිද්ධියට පත් වෙද්දී, නතුල්ලා දුර්ගයේ රාජකාරි සඳහා පැමිණෙන ඉන්දීය හමුදා සොල්දාදුවන්ගේ ගෞරවය නිරන්තරයෙන් හර්බජාන් සිංගේ අවතාරය වෙත ලැබුණි. ඒ අනුව, හර්බජාන් සිංගේ අවතාරය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම කුඩා නිවහනක් ඉදි කෙරුණි. මේ නිවස කාමර තුනකින් සමන්විතය. එක් කාමරයක් හර්බජාන් සිංගේ අවතාරය වෙනුවෙන් වෙන් කෙරුණු අතර, එහි සුදු ඇඳ ඇතිරිල්ලක් දමා සකස් කළ ඇඳක් විය. හර්බජාන් සිංගේ හමුදා නිල ඇඳුම කාමරයේ එල්ලා තැබුණේ, නිවසට ගොඩවැදී යෑමට පැමිණෙන සැමට දැකිය හැකි අයුරිනි. 

 

 

 


මෙම පූජනීය ස්ථානය බලා කියා ගැනීමට කිහිප දෙනකු ද යෙදවිණි. ඔවුන් පවසන්නේ හැමදාම උදෑසන බලද්දී, හර්බජාන් සිංගේ අවතාරය වෙනුවෙන් වෙන් කළ කාමරයේ ඇති ඇඳේ ඇඳ ඇතිරිලි අවුල් වී ඇති බවත්, කවුරුන් හෝ ඇඳේ වැතිරී සිටි බවක් පෙනෙන්න ඇති බවත්ය. ඒත් ඔවුන්ට කිසිවකු දකින්න ලැබී නැත. ඇඳ ඇතිලිරි පමණක් නොව, කාමරයේ එල්ලා තිබූ නිල ඇඳුම සහ බූට් සපත්තු ද කවුරුන් හෝ කෙනෙකු පාවිච්චි කළ බවක් ද විටින් විට දකින්න ලැබුණු බව පැවසෙයි. එහෙත්, එසේ කළ කෙනකු ඇත්තේ ද නැත.
බ්‍රිතාන්‍ය ජාතික කඳු නගින්නියක වූ ජූලි ටුලිස් සම්බන්ධ කතාව ද ඛේදවාචකයකි. ජූලි ටුලිස් කඳු නගින්නියක ලෙස ප්‍රසිද්ධියට පත් වුණු අයෙකි. කේ 2 ශිඛරය තරණය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් ජූලි ටුලිස් 1986 දී මියගියාය. තද සීතලට හසුවීමෙන්, ජූලිගේ සිරුර භාගයක් පණ නැති විය. දෙපා වාරු නැතිව ඇය ඇදවැටීමෙන් සිදුවුණු තුවාල මාරක විය. එවරස්ට් ශිඛරය සහ කේ 2 ශිඛරය තරණය කරන කඳු නගින්නන්ගේ පහසුව වෙනුවෙන්, ඉහළට යද්දී කඳුවුරු කිහිපයක් පිහිටුවනු ලැබේ. අවශ්‍ය පහසුකම්, ආහාරපාන, ප්‍රථමාධාර ආදිය මෙම කඳවුරුවලදී ලැබෙයි.   


කන්ද පාමුල ප්‍රධාන කඳවුර හැඳින්වෙන්නේ ‘බේස් කෑම්ප්’ යනුවෙනි. ඉහළට යද්දී ‘කෑම්ප් 1,2,3,4’ ආදිය වශයෙන් කඳවුරු නම් කෙරේ. ජූලි ටුලිස් සහ ඇගේ ගවේෂණ කණ්ඩායම අවාසනාවන්ත ලෙස මියගියේ කේ 2 කඳු මුදුනට නුදුරින් ඇති ‘කෑම්ප් 4’ කඳවුර ආසන්නයේදීය. ජූලි ටුලිස් හෝ ඇගේ කණ්ඩායමේ කිසිවකුගේ සිරුරු හමු නොවිණි. 1992 වසරේ කේ 2 ශිඛරය නැගීමට ගිය ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් කණ්ඩායමක් ශිඛරය පාමුල පිහිටි ප්‍රධාන කඳවුරේ රැඳී සිටිද්දී, හිම කුණාටුවක් හමා යන්න විය. ඔවුන්ගේ රේඩියෝ පණිවුඩ හුවමාරුවට උදව් ඉල්ලා සුදු ජාතික කාන්තාවක කළ ඉල්ලීමක් ඇසෙන්නට විය. ඒ, හඬ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේය. ඇය මෙසේ පවසා ඇත. ‘උදව් කරන්න. අපට උදව් ඕනෑ. අපි ඉන්නේ කෑම්ප් 4 ආසන්නයේ. කවුරු හරි අපට උදව් කරන්න’ මේ හඬ ජූලි ටුලිස්ගේ යැයි විශ්වාස කෙරේ. 1992 වසරේ ‘කෑම්ප් 4’ නමින් කඳවුරක් පිහිටුවා තිබී නැති බව ද පැවසෙයි.   

 

 


ලුසිත ජයමාන්න   
අන්තර්ජාලය ඇසුරිනි