හිම කඳු දියවී සාගර ජල මට්ටම ඉහළ යයි ද?


විදුලොව

ඇල්ෆා ඔලිවරාස් ග්ලැසියර කාලයාගේ ඇවෑමෙන් දියවී ඇති ආකාරය

 

ගෝලීය උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පෘථිවියේ ඇති ග්ලැසියර හා හිමපර (ICE SHELF) දියවී ගොස් 2050 වනවිට සාගර ජල මට්ටම අඟල් 19කින් ඉහළ යා හැකි බව මධ්‍යම පරිමාණ ව්‍යාපෘති වාර්තාවක් සඳහන් කරයි. මෙම පර්​ෙ‌ය්ෂණ කණ්ඩායම මේ සඳහා අවශ්‍ය දත්ත උපයෝගී කරගෙන ඇත්තේ එක්සත් ජනපදයේ භූ විද්‍යාත්මක සමීක්‍ෂණ වාර්තාවලිනි. ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩව පැවැතියහොත් 2100 දී සාගර ජල මට්ටම සෙ.මී. 67කින් ඉහළ යා හැකි බව පැරිස් කාලගුණ සමුළුව සඳහන් කරයි.   
පැරිස් සමුළුව යනු කාලගුණික වෙනස්කම් හා හරිතාගාර වායු නිකුත් වීම අවම කිරීමටත් අනුවර්තනය හා මුදල් ප්‍රතිපාදනය කිරීමටත් 2016 අප්‍රේල් 22 දින අත්සන් කළ එක්සත් ජාතීන්ගේ ව්‍යුහමය සම්මුතිය සමග ඇතිකරගත් ගිවිසුමකි. අැමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ මෙම සමුළුවෙන් ඉවත්විය. මෙම සංවිධානය වාර්තා කරන පරිදි වසරකට සාගර ජල මට්ටම මි.මී. 19කින් (අඟල් 0.75) ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී. පසුගිය ශත වර්ෂයේ සිට සාගර ජල මට්ටම ඉහළ යමින් පවතින අතර පසුගිය දශක දෙක තුළ සාගර ජල මට්ටම ඉහළ යාමේ ශීඝ්‍ර වර්ධනයක් වී ඇත.   


1993 වසරේ පැවැති සාගර ජල මට්ටමට වඩා 2014 දී අඟල් 2.6කින් වැඩිවී ඇති බව වාර්තා වේ. නැෂනල් ජෝග්‍රපි සඟරාව පෙන්වා දෙන පරිදි ඇන්ටාක්ටිකාව, ග්‍රීන්ලන්තය හා කඳුකර (ඇල්පයින් ග්ලැසියර) ග්ලැසියර සියල්ලම දියවුවහොත් සාගර ජලය මීටර් 80කින් (අඩි 265) ඉහළ යාමේ අවදානමක් ඇත.   


එසේ වුවහොත් පෘථිවියේ ඇති සියලුම රටවල වෙරළාසන්න නගර ජලයෙන් යටවී යන අතර භූමි ප්‍රමාණය ද කුඩා වේ. 2000 දී සාගර ජල මට්ටමේ වැඩිවීම මි.මී. 3.2ක් වූ අතර 2016 දී මෙම අනුපාතිකය මි.මී. 3.4ක් විය. මෙම ශත වර්ෂය අවසානයේදී මෙම අනුපාතිකය මීට වඩා බොහෝ සේ වැඩිවිය හැකි බව විද්‍යාඥයෝ පවසති. කාලගුණ උච්චාවචනයන්ට ග්ලැසියර ඉතා සංවේදී බවක් දක්වයි. සමහර විද්‍යාඥයින් ප්‍රකාශ කරනුයේ ග්ලැසියර දියවීමට පටන්ගෙන ඇත්තේ 1760 කාර්මික විප්ලවයෙන් පසුව බවය.   
වසර 2000කට පෙර එකම තලයක් ලෙස පැවැති ආක්ටික් හිම පරය 2000 වසරේ සිට කොටස්වලට කැඩීයාමට පටන්ගෙන ඇත. නාසා ආයතනය පවසන පරිදි ධ්‍රැව අයිස් වැස්ම (Polar Ice Cap) 9%ක අනතුරුදායක වේගයෙන් දියවෙමින් පවතී. ආක්ටික් ප්‍රදේශයේ තිබූ හිම ප්‍රමාණය 1960 සිට මේ දක්වා 40%කින් අඩුවී ඇති බව නාසා ආයතනය තවදුරටත් ප්‍රකාශ කර ඇත. ආක්ටික් මුහුදට උතුරින් පිහිටි උත්තර ධ්‍රැවයේ ඇත්තේ පාවෙන හිම පරය.   


වායුගෝලීය පර්​ෙ‌ය්ෂණ සඳහා වූ එක්සත් ජනපද මධ්‍යස්ථානය (US Center for Atmospheric Research) පවසන අන්දමට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ වේගය අඛණ්ඩව පැවැතුණහොත් 2040 වනවිට ආක්ටික් ප්‍රදේශය හිමවලින් තොර කලාපයක් විය හැක. 1988 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවාගත් (IPCC) කාලගුණ වෙනස්වීම් පිළිබඳ අන්තර් රාජ්‍ය මඬුල්ල (Intergovernmental Panel on Climate Change) 2100 වනවිට සාගර ජල මට්ටම අඟල් 18-23 දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව සඳහන් කරයි.   
කාලාන්තරයක් මුළුල්ලේ පතිතවන ජලය ශීත ඍතුවේදී තැන්පත්ව ඝනීභවනයට පත්වී අයිස් තලයක් (Ice Sheet) නිර්මාණය වේ. මේවායේ ඝනකම අඩි දහස් ගණනක් වන අතර සැතපුම් දහස් ගණනක් ඈතට විහිදේ. හිම පර (Ice Shelf) භූමියේ සිට සාගරය දෙසට විහිදෙන හිම තලාවකි. මේවායේ ඝනකම මීටර් 50-600 අතර වේ. හිම වැස්ම (Ice Cap) යනුවෙන් හැඳින්වෙනුයේ වර්ග කිලෝමීටර් 50,000ට වඩා අඩු හිම වැටිය.   


මේවා කිහිපයක් එකතු වීමෙන් හිම පිටියක් (Ice Field) සෑදේ. මේවා බොහෝවිට නිර්මාණය වන්නේ ධ්‍රැව හෝ උපධ්‍රැව ප්‍රදේශවලය. කාලාන්තරයක් තිස්සේ එකතු වන අයිස් ඝන බවට පත්වී කන්දක් ලෙස සෑදේ. මේවායේ ඇති අධික බර නිසා හිම තලයෙන් ගැලවී පහළට රූටා යයි.


මේවා ග්ලැසියර නමින් හැඳින්වේ. ග්ලැසියර මහාද්වීපික ග්ලැසියර හා කඳුකර ග්ලැසියර (මේවා ඇල්පයින් (Alpine) ග්ලැසියර ලෙස ද හැඳින්වේ) යනුවෙන් වර්ග දෙකකි. අැමෙරිකාව ඇන්ඩීස් කඳුවැටිය, යුරෝපීය ඇල්ප්ස් හා හිමාලය වැනි උස් කඳුවල මේවා දක්නට ඇත. ලෝකය පුරා ග්ලැසියර 198,000ක් ඇති අතර ඒවායින් ආවරණය වී ඇති භූමි ප්‍රමාණය වර්ග කි.මී. 726,000 කි. ලෝකයේ ඇති විශාලතම ග්ලැසියරය ලෙස සැලකෙන්නේ ඇන්ටාක්ටිකාවේ පිහිටි ලැම්බර්ට් ෆිෂර් ග්ලැසිරයයයි. මෙය කි.මී. 400ක් දිගින් ද කි.මී. 100ක් පළලින් ද කිමී. 4.7ක් ඝනකමින් ද යුක්තය. විශාල ඇල්පයින් ග්ලැසියරය වනුයේ ඉන්දියාව හා පකිස්තාන තීරුවේ පිහිටි සියාචෙන් ග්ලැසියරයයි.   


ග්ලැසියරයකින් හෝ හිම පරයකින් කැඩී යන විශාල හිම කුට්ටි අයිස්බර්ග් යනුවෙන් හැඳින්වේ. අයිස්බර්ග් හිම කුට්ටිවලට වඩා කුඩා කැබැලි ග්‍රෝලර්ස් හෝ බර්ගි බිට්ස් යනුවෙන් හැඳින්වේ. අයිස්බර්ග් මතුපිටට නොපෙනෙන පරිදි සාගරයේ ගිලී පාවේ. ජාත්‍යන්තර හිම මුරකාය (The International Ice Patrol) සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව විනාශ වූයේ උත්තර ධ්‍රැවයේ සිට පාවී ආ අයිස්බර්ග් කුට්ටියක ගැටීමෙන් බව සොයාගෙන ඇත. අයිස්බර්ග් හිම කුට්ටියක් අවුරුදු දෙක තුනකට පසුව දියවී යයි.   


මෙම අයිස්බර්ග් සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීමත් කාලගුණික වෙනස්කම් නිසාත් ඉක්මනින් දියවේ. අප නොනවත්වා කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහරින්නේ නම් අප වාසය කරන පෘථිවිය අයිස්වලින් තොර ලෝකයක් විය හැකි බව විද්‍යාඥයෝ පවසති. හිමාංකයට වඩා වැඩි උෂ්ණත්වයක් සාගර ජලයෙහි තිබීමෙන් හිම කුට්ටි යටින් දියවීමට පටන් ගනී. නවතම වාර්තාවකට අනුව මඳක් සාගරයේ ගිලුණ ග්ලැසියර කිසිකෙනකු නොසිතූ ලෙස සියක් වාරයක් වේගයෙන් දියවේ.


ලෝකයේ දෙවැනි විශාලතම හිම තලාව ඇත්තේ ග්‍රීන්ලන්තයේය. එය වර්ග සැතපුම් 17,10,000ක් පුරා විහිදී තිබුණි. 2019 නොවැම්බර් 8 පළවූ වාර්තාවකින් කියැවුණේ ග්‍රීන්ලන්ත හිම තලාව වේගයෙන් දියවෙමින් පවතින බවය. දියවීමේ වේගය වැඩිම වර්ෂය ලෙස 2019 සඳහන් කර ඇත. 

 


නාසා ආයතනයේ ජාතික හිම හා අයිස් දත්ත මධ්‍යස්ථානය (National Snow and Ice Data Center) 2019.12.10 දින සඳහන් කර ඇත්තේ 1990 පැවැති දියවීමේ වේගයට වඩා හත් ගුණයක වේගයෙන් ග්‍රීන්ලන්ත හිම තලාව දියවන බවය. IPCC ආයතනය, 2100 වනවිට සාගර ජල මට්ටම සෙ.මී. 67කින් ඉහළ යා හැකි බවත් ඉන් මිලියන 400ක පමණ ජනතාවට දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවන බවත් ප්‍රකාශ කර ඇත.   


ග්‍රීන්ලන්තයේ 1992 වසරේ සිට දියවී ඇති අයිස් ප්‍රමාණය ටොන් ට්‍රිලියන 3.8 කි. පසුගිය දශක දෙක තුළ පමණක් අයිස් ටොන් බිලියන 254ක් දියවී ගොස් ඇති බව වාර්තා වේ. මෙය සාගර ජල මට්ටම ඉහළ යාමට ඍජුවම බලපා ඇත.   


ඇලස්කාවේ ජුනෝ (Juneau) හිම පිටියේ ග්ලැසියර 150ක් අතරින් විශාලතම ඇල්පයින් ග්ලැසියරය වන ටාකු ග්ලැසියරය පසුගිය වසර කිහිපය තුළ නොවෙනස්ව පැවැති බව නිකලස් විද්‍යාලයේ ග්ලැසියර විද්‍යාඥ මෝරි පෙල්ටෝ (Mauri Pelto) සඳහන් කළත් නාසා ආයතනයේ පෘථිවි නිරීක්‍ෂණාගාරයේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්‍ෂණය කිරීමෙන් 2019 ඔක්තෝබර් 9 දින එම ග්ලැසියරය ඉදිරියට ගමන් කරමින් තිබෙන බව වාර්තා කර ඇත. 2019 ඔක්තෝබර් 19 දින රිමෝට් සෙන්සින් තාක්‍ෂණය මගින් ලබාගත් ඡායාරූපවලින් එය තහවුරු වී ඇත.   


ඇන්ටාක්ටිකාවේ නැගෙනහිර පිහිටි විශාලතම ග්ලැසිරයරය වන ටොටෙන් (Totten) ග්ලැසියරය උණුසුම් සාගර ජලය නිසා පතුලේ සිට දියවෙමින් පවතින බව වාර්තා වේ. ඇන්ටාක්ටිකාවේ හිමපරය වර්ග කිලෝමීටර් මිලියන 14ක් වන අතර එහි අඩංගු හිම ප්‍රමාණය ක්‍යුබික් කිලෝමීටර් මිලියන 30ක් පමණ වන බව වාර්තා වේ.   
මෙය ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ භූමියෙන් 98%ක් වසාගෙන සිටී. ලෝකයේ ඇති විශාලතම නොකැඩුණ අයිස් පරය ලෙස මෙය සැලකේ. මින් කොටසක් බටහිර ඇන්ටාක්ටික් ප්‍රදේශය පිහිටා ඇති අතර එය බටහිර ඇන්ටාක්ටික් හිම තලාව (WAIS) ලෙස හැඳින්වේ. මෙම හිම පරයෙහි වැඩි කොටසක් මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටා ඇත. සමහර ස්ථාන මුහුදු මට්ටමට වඩා සැතපුම් 1.5ක් ගැඹුරට විහිදී පවතී.   


ඝනකම වැඩිම ස්ථානය මීටර් 4776 කි. මෙම අයිස්තලාව සමුද්‍රික අයිස් තලාවක් ලෙස හැඳින්වේ. අවුරුදු මිලියන 2.6කට ඉහතදී ඇතිවූ අයිස් යුගයේ පැවැති හිම කුට්ටි මෙම හිම තලාව යට ඇති බව වාර්තා වේ. පසුගිය දශක දෙකක කාලයක සිට බටහිර ඇන්ටාක්ටික් හිම තලාව දියවෙමින් පවතී. විද්‍යාඥයන් පවසනුයේ උණුසුම් සාගර ජලය හා සුළඟේ වෙනස්වීම් මෙයට බලපා ඇති බවය.   


ඇමෙරිකානු හා එක්සත් ජනපද විද්‍යාඥයන් එකතුව කළ අධ්‍යයනයකදී පසුගිය වසරේ අගෝස්තු 12 දින පළවූ නේචර් ජියෝසයන්ස් සඟරාවේ සඳහන් වූයේ ස්වභාවික වෙනස්වීම්වලට අමතරව දීර්ඝ කාලයක සිට පැවැති මානව ක්‍රියාකාරකම් ද මෙයට බලපා ඇති බවය. පෘථිවි හා අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳව මහාචාර්ය එරික් ස්ටෙග් බටහිර අත්ලාන්තික් හිමපරය අසල පවතින සුළං හිම දියවීමට බලපා ඇති බව ප්‍රකාශ කර ඇත.   


එරික් ස්ටෙග් හා කොළම්බියා විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය Pierre Dutrieux එක්ව කළ ගවේෂණයෙන් පසු සුළඟ හිම දියවීමට මිනිස් ක්‍රියාකාරකම් බෙහෙවින් හේතුවී ඇති බව පෙන්වා දී ඇත. හරිතාගාර වායු පිටවීම වැඩිවෙමින් පැවැතියහොත් සුළං වැඩිවන බවත් එයින් හිම දියවීමේ වේගය වැඩිවිය හැකි බවත් තවදුරටත් ප්‍රකාශ කර ඇත.   
2019 නොවැම්බර් 12 වැනි දින ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව බටහිර ඇන්ටාක්ටිකාවේ පාවෙන අයිස්පරවල ඇති ග්ලැසියර සෑම පැත්තකින්ම ඛාදනයට ලක්වී ඇති බවත් කඩාවැටීමේ අවදානමක පවතින බවත් වාර්තා වේ. නවතම පර් යේෂණයකට අනුව තවත් විපතක් ලෙස වායුගෝලීය ගංගා නමින් හඳුන්වන තෙත් හා උණුසුම් සුළං වැල් කරකැවෙමින් වෙරළ දෙසට හමන බවත් එමගින් ඇතිවන අධික වර්ෂාව හිම දියවීමට බලපාන බවත් පෙන්වා දී ඇත.   


ඇන්ටාක්ටිකාවේ වසරකට දියවන හිම ප්‍රමාණය ටොන් බිලියන 250ක් පමණ වේ.   


2017 දී ලාසන් C ග්ලැසියරය කඩා වැටී ඇති අතර ඉන් අයිස්බර්ග් කුට්ටි මිලියනයක් පමණ නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ. ලාසන් හිමපරය 1990 සිට කැඩී වෙන්වීමට පටන්ගෙන ඇති අතර එම කොටස් ලාසන් A, B, C, D, E, F හා G යනුවෙන් හඳුන්වා ඇත. මින් වඩාත් විශාලම හිම පරය වූයේ ඉහතින් සඳහන් කර ඇති ලාසන් C හිම පරයයි. ලාසන් B හිම පරය 2002 ගිම්හානයේදී කඩාවැටෙන අයුරු විද්‍යාඥයන් විසින් චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ නිරීක්‍ෂණය කර ඇත. මෙම හිම පර අඩුම වශයෙන් වසර 10,000කට වඩා පැරැණි බව සඳහන් වේ.   


ජෝජ් VI හිම පරය ඇලෙක්සැන්ඩර් දූපත හා ඇන්ටාක්ටික් අර්ධද්වීපය අතර පාවෙමින් පවතී. මේවා ඇන්ටාක්ටිකාවේ ඇතුළත පිහිටි ග්ලැසියරවලට ආරක්‍ෂාව සපයයි. ජෝර්ජියා තාක්‍ෂණ විද්‍යාලය 2019 ඔක්තෝබර් 23 වන දින පළ කළ වාර්තාවකට අනුව ඇන්ටාක්ටිකාවේ පවතින උණුසුම් ජලය අවුරුදු 10,000කට වඩා පැරැණි හිම පර විනාශ වෙමින් පවතී. මෙය විද්‍යාඥයන් තැති ගන්වන වාර්තාවක් වන්නේ හිම පර විනාශ වීම මගින් අභ්‍යන්තරයේ ඇති ග්ලැසියර කඩාවැටී සාගර ජල මට්ටම වේගයෙන් ඉහළ යා හැකි නිසාය.   
බටහිර ඇන්ටාක්ටිකාවේ හිම පර විහිදී ඇත්තේ දකුණු ඇමෙරිකාවේ උණුසුම් ජලය දෙසටය. ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.5කින් ඉහළ ගොස් ඇත. විද්‍යාඥයන් පවසන්නේ හිම පර කැඩී යාමට උණුසුම් වාතයත්, සාගර ජලයේ ඇති උෂ්ණත්වයත් බෙහෙවින් බලපා ඇති බවය. මේ නිසා සාගර ජලය ඉහළ යාම පමණක් නොව වෙරළ ඛාදනයත් හරිකේන් හා ටයිපූන් වැනි සුළි සුළං ඇතිවීමටත් හැකි බව විද්‍යාඥයෝ පවසති.   


1991 දී අවුරුදු 5000ක් පැරැණි අයිස් මිනිසා යුරෝපීය ඇල්ප්ස්වල පිහිටි ග්ලැසියරයක ආරක්‍ෂිතව තිබී හමුවීම මුළු ලොවම වශී කළ ප්‍රවෘත්තියක් වූ අතර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මින් පැහැදිලි වන්නේ මෙම ග්ලැසියර අවුරුදු 5000කට පෙර සිට දියවෙමින් පැවැති බවය. මිනිසා විසින් සිදුකරන වායු දූෂණය නිසා ග්ලැසියර දියවන බවට දිය හැකි හොඳම නිදසුන ලෙස පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳුවැටිය අසල පිහිටි අවුරුදු 1200ක් පැරැණි Quelccaya හිම වැස්ම පෙන්වා දිය හැක. බොලිවියාවේ පොටෝසිවල ඇති රිදී ආකර අසල ස්පාඤ්ඤ ජාතිකයන් පදිංචිවීමත් සමග ඔවුන් භාවිත කළ මිනිරන්, රසදිය හා රසායනික ද්‍රව්‍ය විද්‍යාඥයන්ට හමුවී ඇත.   


කඳුකර ග්ලැසියර දශක කිහිපයක සිටම දියවී යාමට හේතුව ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි වායු දූෂණය බවයි. පේරු රාජ්‍යයේ පිහිටි ග්ලැසියර හා කඳුකර ජෛව පද්ධතිය පිළිබඳ ජාතික පර් යේෂෂණ ආයතනය (INAIGEM), පේරු රාජ්‍යයේ පිහිටි කෝඩිලෙරා බ්ලැන්කා (Cordillera Blanca) ග්ලැසියරය දියවී යාමට දූෂිත වූ කාබන් බලපා ඇති බව පෙන්වා දෙයි. මෙම කාබන් ග්ලැසියරවල තැන්පත් වන්නේ කැලෑ ගිනි තැබීම්, කෘෂිකර්මාන්තයේදී ඉවතලන අපද්‍රව්‍ය ගිනි තැබීම් හා වාහනවලින් පිටවන කාබන් වායුව නිසා බව INAIGEM ආයතනයේ ග්ලැසියර පිළිබඳ පර් යේෂෂණ අධ්‍යක්‍ෂ ජීසස් ගෝමස් ලෝපස් (Jesus Gomes Lopes) එක්සත් ජාතීන්ගේ පාරිසරික සංවිධානයට පවසා ඇත.   
පර් යේෂකයන් සඳහන් කරන්නේ යුරෝපය, කැනඩාව, අැමෙරිකාව හා නවසීලන්තයේ ඇති ග්ලැසියර 2100 දී සම්පූර්ණයෙන් දියවී යන බවය. IPCC සංවිධානය පවසන පරිදි චීනයේ ඇති ග්ලැසියරවලින් 80% ක් පසුගිය දශක කිහිපය තුළ දියවී ගොස් ඇත.   


ග්ලැසියර දියවීම මිනිසාට හා පරිසරයට බලපාන අයුරු   


ලෝකයේ බොහෝ රටවල ග්ලැසියරවලින් ගලා එන ජලයෙන් ජල විදුලිය ලබාගනී. ග්ලැසියර දියවී ගියහොත් ජල විදුලිය ලබාගැනීමට නොහැකි වේ. සමහර ජීවීන්ගේ වාස භූමි අහිමි වී යන අතර සමහර ජීවීන් මෙලොවින් තුරන් වී යා හැක. නිල් වලහා (ග්ලැසියර ආසන්නව ජීවත් වේ), සීත ජලයේ ජීවත්වන මත්ස්‍යයන් මෙන්ම ඒ ආසන්නයේ ජීවත්වන සමහර කුරුල්ලන් ද වඳවී යා හැක. ආක්ටික් ප්‍රදේශයේ ජීවත්වන සීල් මසුන් බොහෝදෙනකු මාරාන්තික වෛරසයක් වන PDV (Phocine Distemper Virus) වැළඳීම නිසා මියගොස් ඇති බව වාර්තා වේ.   


මෙම වෛරසය සරම්ප වැනි රෝගයක් වන අතර මෙම සතුන්ගේ මොළයට හා පෙනහළුවලට හානිවීමෙන් මිය යන බව සොයාගෙන ඇත. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ට්‍රේසි ගෝල්ඩ්ස්ටේන් (Tracey Goldstein) මහත්මිය පවසන්නේ ගෝලීය උෂ්ණත්වය නිසා ආක්ටික් ප්‍රදේශයේ මුහුදු හිම (Sea Ice) නැතිවීම මෙම වෛරසය හටගැනීමට හේතුවී ඇති බවය.   
සාගර ජලය ඉහළ යාම නිසා ප්‍රමාණවත් පරිදි හිරු එළිය නොලැබීමෙන් කොරල් පර විනාශ වී යා හැක. විද්‍යාඥයන් පවසන පරිදි රසායනික ද්‍රව්‍ය හා පලිබෝධ නාශක ග්ලැසියර තුළ තැන්පත් වී ඇත. මෙවැනි ග්ලැසියර දියවී යාමෙන් ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය පරිසර පද්ධතියට හා ජල මූලාශ්‍රවලට එක්වේ.   


මාලදිවයින වැනි කුඩා දූපත් මුහුදු ජලයෙන් සම්පූර්ණයෙන් යටවිය හැකි අතර සියලුම රටවල වෙරළාසන්න පහත් බිම් යටවී භූමි ප්‍රමාණය අඩුවී යා හැක. මේ නිසා මිලියන ගණනාවක ජනතාවක් අවතැන් විය හැක. ග්ලැසියරවල 70%ක් ඇත්තේ පිරිසිදු පානීය ජලයයි. මිනිසාට ප්‍රයෝජන ගත හැකි පානීය ජලය ඇත්තේ 2%ක පමණ ප්‍රමාණයක් වන අතර ග්ලැසියර සියල්ල දියවී ගියහොත් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදීමට සිදුවනු ඇත. සූර්ය රශ්මිය උරාගැනීමේ හා පරාවර්තනය කිරීමේ හැකියාවක් ග්ලැසියර සතුව පවතින අතර ග්ලැසියර දියවී ගියහොත් පෘථිවියේ උෂ්ණත්වය ද බොහෝ වැඩිවිය හැක.   


2019 ජුනි 5 වැනි දින චීනයේ පැවැත්වූ ලෝක පරිසර දිනයේ මුඛ්‍ය තේමාව වූයේ වායු දූෂණයයි. 2019 දෙසැම්බර් 25 දින මැඩ්රිඩ් නුවර පැවැත්වූ එක්සත් ජාතීන්ගේ කාලගුණ වෙනස්වීම් සමුළුවේදී එයට සහභාගී වූ නියෝජිතයන්ට අනතුරු හඟවන අවවාදයක් දුන්නේ අද දියවන ග්ලැසියර අනාගතයේදී බොහෝ ප්‍රශ්නවලට හේතුවක් විය හැකි බව ප්‍රකාශ කරමිනි.   


ග්ලැසියර දියවී යාමට හේතු වන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා කාලගුණ වෙනස්වීම් පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන බොහෝ ඇතත් ඒවා අවම කිරීමට හෝ පිළියම් යෙදීමට ගන්නා ක්‍රියාදාමයන් ඵලදායී වන්නේ ද යන්න ප්‍රශ්නයකි.

 

 

පී. ඩබ්ලිව්. ගුණතිලක   
තැපැල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධීක්‍ෂණ නිලධාරී