හින්දු බැතිමතුන් ගිනි දෙවියන් පුදන “අග්නි හෝම” පූජාව


 

“අග්නි” යනු ගින්දර යන අර්ථය ඇති සංස්කෘත වචනයක් වන අතර හින්දු ආගමේ මුල් වෛදික සාහිත්‍යයේ ගින්දර දෙවියකු ලෙස අදහස් කරයි. එය පරිභෝජනය, පරිණාමනය, හා සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රාථමික බලයන් පිළිබිඹු කරයි. ගිනි දෙවියන් ගිනිකොණ දිශාවේ ආරක්ෂක දෙවියන් වන අතර සාමාන්‍යයෙන් හින්දු කෝවිල්වල ගිනිකොණ දිශාවේ දක්නට ලැබේ.   


ඉන්දියානු ආගම්වල සම්භාව්‍ය විශ්ව විද්‍යාවේ, අග්නි ලෙස හඳුන්වන ගින්දර යනු අවකාශය, ජලය, වාතය සහ පෘථිවිය සමග නිෂ්ක්‍රීය අනිත්‍ය සංඝටක පහෙන් එකකි. අග්නි දෙවිවරුන්ගේ මුඛය ලෙස සලකනු ලබන අතර, ගින්දර දෙවියන්ට හෝමාවක් මගින් පූජා ප්‍රකාශ කරන මාධ්‍යයක් වේ. ගිනි දෙවියන් හින්දු ග්‍රන්ථවල, පෘථිවියේ ගින්නක් ලෙස, වායුගෝලයේ අකුණ ලෙස ද අහසේ සූර්යා ලෙස ද ආකාර තුතකින් සංකල්පනය කර ඇත.  


මෙම ත්‍රිත්ව සංකල්පය වෛදික චින්තනයේ, දෙවියන් හා මනුෂ්‍යයන් අතර පණිවුඩකරුවා ලෙස අග්නි සම්බන්ධ කෙරේ. සාම්ප්‍රදායික හින්දු විවාහ මංගල්‍යයකදී සප්තපාඩි හෝ අග්නි ප්‍රදක්ෂිණම් ලෙස හඳුන්වන චාරිත්‍රයේදී කේන්ද්‍රීය සාක්ෂිකරු මෙන්ම උත්සවවලදී අග්නි, හින්දු සම්ප්‍රදායන්හි අනිවාර්ය අංගයකි.   


අග්නි යනු ශ්‍රද්ධාව හා පාරිශුද්ධත්වයේ සංකේතයයි. ශක්තිය හා ප්‍රකාශනය ලෙස ආලෝකය සහ තාපය මෙන් අග්නි ජීවිතය හා ක්‍රියාකාරිත්වයේ සංකේතයයි. එය ජීවිතයේ මනෝවිද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක අංශ සදහා සංකේතවාදයක් බව මහා පුරාණ අංශය පවසයි. සෑම මිනිසකු තුළම අග්නි වර්ග තුනක් ඇති අතර එනම්, ක්‍රෝධා අග්නි හෙවත් “කෝපයේ ගින්න”, කාම අග්නි හෙවත් “ආශාවේ ගින්න”, සහ උදර අග්නි හෙවත් “ආහාර දිරවීමේ ගින්න” ලෙසයි. යමෙක් ආධ්‍යාත්මික නිදහස හා විමුක්තිය අපේක්ෂා කරන්නේ නම් දයාව/සමාව දීම, සිතෙහි තැම්පත් බව/විරාගය සහ නිරාහාරව සිටීම පිළිබඳ අභ්‍යන්තර සහ ස්වේච්ඡා පූජාවන් අවශ්‍ය වේ.   


හින්දු බැතිමතුන් අතර අග්නි දෙවියන්ගේ පෙනුම නිරූපණය කිරීම ප්‍රදේශය අනුව වෙනස් වේ. හින්දු ග්‍රන්ථවලට අනුව ඔහු හිස් එකක් හෝ තුනක් ඇති, අත් දෙකක් හෝ හතරක් ඇති, සාමාන්‍ය රතු පැහැ සිරුරක් ඇති, ඔටුන්නෙන් ගිනි දැල් විහිදෙන, රන්වන් සහ දුඹුරු පැහැ කෙස් ඇති, බැටළුවකු වාහනය කරගත්, උඩු රැවුළ ගින්නෙහි පැහැයට සමාන පරිදි සහ ඔහු සිය ගිනි දැල් තුළට පූජා කරන සියල්ල දවා අනුභව කරන නිසා රැවුළ හොඳින් වවා ඇති ශක්තිමත් පෙනුමකින් නිරූපණය කරයි. අත් හතරෙහි පොරවක්, පන්දමක්, හැන්දක් සහ දැවෙන හෙල්ලයක් ඇත.   


අග්නිට ආකාර තුනක් ඇත එනම්, ගින්න, අකුණු සහ සූර්යයා ලෙසයි. එය සංකේතවත් කිරීමට නිරූපකයට හිස් තුනක් හෝ කකුල් තුනක් පෙන්වයි.   


අන්තර්වේදයට අනුව මළවුන්ගේ ආත්මය ඊළඟ ලෝකයේ හෝ ජීවිතයේ නැවත ඉපදීම සඳහා ගෙන එන්නේ අග්නි විසිනි. වෛදික චාරිත්‍රවලට අග්නි අනිවාර්ය අංගයකි. හින්දු විවාහ චාරිත්‍රය අග්නි වටා සිදු කෙරෙන අතර එය සප්තපාඩි ලෙස හැඳින්වේ. එය විවාහයේ නෛතික කොටස නියෝජනය කරයි. මෙම චාරිත්‍රයට යුවළක් අග්නි වටා සත්‍ය හෝ සංකේතාත්මක වට හතක් සම්පූර්ණ කළ යුතු අතර එය එකිනෙකාට කරන භාරයන් පිළිබඳ සාක්ෂියක් ලෙස සැලකේ. කැප කරන ලද ගින්නෙහි සෑම වටයක්ම මනාලිය හා මනාලයා විසින් මෙහෙයවනු ලබන අතර එය ප්‍රජාව සහ ප්‍රදේශය අනුව වෙනස් වේ. මධ්‍යම ඉන්දියාවේ මනාලිය පළමු වට තුන හතර තුළ පෙරමුණ ගනී. සෑම වටයක් සමගම යුවළ එකිනෙකා සඳහා ප්‍රීතිමත් සම්බන්ධතාවක සහ නිවසේ යම් අංගයක් ස්ථාපිත කිරීම සඳහා නිශ්චිත භාරයක් හෝ පොරොන්දුවක් වන අතර, අග්නි එම අන්‍යොන්‍ය භාරයන් සඳහා දිව්‍ය සාක්ෂිකරු ලෙස කටයුතු කරයි.   


හෝම හෝ හවාන් යනු පූජනීය අග්නි දැවීමේ උත්සවයක් වන අතර එහි විවිධ ස්වරූපයන් දෙවි දේවතාවුන්ට පූජනීය ගින්නකින් ආයාචනා කරනු ලැබේ. බොහෝ විශේෂ පූජාවන්හිදී පූජා ද්‍රව්‍ය ගින්නට දමමින් සංස්කෘත මන්ත්‍ර ගායනා කරනු ලැබේ. “ස්වාහා” දේවතාවිය අග්නිගේ බිරිඳයි. අග්නි හෝමයේදී ගින්නට වත් කළ ගිතෙල් සහ ධාන්‍ය සමග ඇගේ නම උච්ඡාරණය කෙරේ. ගින්නෙහි බලවත් ශක්තිය හා සංස්කෘත මන්ත්‍රවල සංයෝජනය හෝමාවට සහභාගී වන සැමට ආශිර්වාදාත්මක වන සුභදායක හා පිරිසිදු තරංග නිකුත් කරයි. හෝමාවෙන් නැගෙන දුමෙහි ප්‍රබල සුව ශක්තියක් අඩංගු වන අතර එය අහසට නැගෙත්ම වායුගෝලය මෙන්ම ශාරීරිකව හා සියුම්ව පවිත්‍ර කර සාමකාමී වාතාවරණයක් සහ මෘදු කාලගුණයක් ඇතිකරයි. දිව්‍ය අනුග්‍රහය නිසා සෑම ආකාරයකම ඍණාත්මක කර්මය ශුද්ධ වූ හෝම ගින්නෙන් පිරිසිදු කරයි.   


අග්නි හෝමය සිදුකරනු ලබන්නේ කොටුවක් ලෙස ගඩොලින් සකසා ගත් ගිනි උඳුනකය (හවාන් කුන්ඩ්). හෝම ගිනි උඳුන වර්ණවත් මල්, කොළ සහ ධාන්‍යවලින් සරසා ගත යුතුය. ඉන්ධන ලෙස භාවිත කළ යුතු දැව විශාල දුමාරයක් ඇති නොකර පහසුවෙන් දැවිය යුතුය. අඹ ගසකින් සපයා ගන්නා දර බොහෝවිට හෝමය සඳහා භාවිත වේ. උඳුනේ ප්‍රමාණයට සරිලන පරිදි හෝම දැව සම්පූර්ණයෙන්ම වියළා කෙටියට කපා දැමිය යුතුය. සමග්‍රි යනු වායුගෝලය පවිත්‍ර කිරීම සඳහා භාවිත කරන ඖෂධ පැළෑටි තිස් හයක එකතුවක් වන අතර සුවඳ දුම් මෙන් ඉතා සුවඳවත්ය.   


සමහර ඖෂධ පැළෑටිවලට ගිතෙල් සහ සීනි එකතු කළ යුතුය. හෝමය සිදු කරනවිට සමග්‍රිවල ඇති රසායනික ද්‍රව්‍ය පුළුස්සා වායුගෝලයේ මිශ්‍ර වන වායුමය ස්වරූපයක් බවට පරිවර්තනය වී හුස්ම සමග ඇතළු වන අතර හෝමය කරන තැනැත්තාගේ සහ අවට සිටින අයගේ ශරීරවලට රසායනිකව ඇතුළු වේ. මෙම රසායනික ද්‍රව්‍ය මිනිස් ජීවියා තුළින් විවිධ ශක්තීන් හෝ හැකියාවන් ලෙස දෙවියන් වෙතට යන බව විශ්වාසයයි.   


නිවසේ හෝම කිරීමට විවිධ හේතු තිබේ. හෝමයේ බලය තුළින් ඍණාත්මක කර්මය විනාශ වී ධනාත්මක කර්මය මගින් ප්‍රතිස්ථාපනය වේ. යම් පුද්ගලයකු යම් ආකාරයක දුෂ්කරතා අත්විඳින්නේ නම්, හෝමයක් කිරීම එම දුෂ්කරතා අවම කර ගැනීමට උපකාරී වේ. ඊට අමතරව හෝමය ඉතා පූජනීය ක්‍රියාවක් ලෙස සලකන අතර එය සියලු දෙනාටම සෙත් සුව ගෙනෙමින් අවසන ඉහළම විමුක්තියට මග පාදන බව හින්දු ආගමික විශ්වාසය වන අතර මෙම පූජනීය චාරිත්‍ර විධි පෘථිවි වායුගෝලය පවිත්‍ර කිරීම, ප්‍රජාව නගා සිටුවීම සහ පුද්ගලයාගේ සෞඛ්‍යය හා සමෘද්ධිය සඳහා ද දායක වේ.

 


පැතුම් වීරසිංහ