හමුදා අවි ආයුධ සෙවූ යළි උපන් දරුවෝ


පෙර භවයේ ප්‍රබල සාක්කි

යුද බිමේදී වෙඩි ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වී මියගිය බැව් හෙළි කළ දරු පිරිසක් ද පුනර්භව පර්​ෙ‌ය්ෂණවලට ඇතුළත්ව සිටිති. ඇතැම් දරුවෝ ඔවුන් යුද බිමේදී භාවිත කළ අවි ආයුධවල නම් පවා ප්‍රකාශ කළේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි. එසේ ප්‍රකාශ කළ වදන් අතර ටී පනස් හය, රයිපල් වැනි ගිනි අවි වල නම් ද ඇතුළත්ව තිබිණි.   


හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය බැව් අනාවරණය කළ එම දරුවන්ගේ හැසිරීම් රටාවන් මගින් පෙරභව ජීවිතය නිරූපණය කළේ ඉතා කුඩා අවදියේ සිටය. ඇතැම් දරුවෝ ගිනි අවි අමෝරාගෙන යන අයුරු නිරූපණය කරමින් එවායින් නිකුත් වන හඬද අනුකරණය කළහ. ඇතැමුන් හමුදා නිලධාරීන්ගේ ආචාර කිරීම් ද නිරූපණය කළේ බහ තෝරන වියටත් පෙර සිටය.   

විශේෂයෙන් බෝම්බ යන වදන කිසි දිනෙක අසා නොසිටි එම දරුවෝ බෝම්බ ප්‍රහාර එල්ල කරන අයුරු ද ප්‍රකාශ කළෝය. එවැනි එක් දරුවකු මේ වන විට තරුණ වියට පා තබා සිටියත් තවමත් ඔහුගේ පෙර ජීවිත තොරතුරු ඔහුට මතකය.   


එක් දහස් නවසිය අසූ හය වසරේදී කොළඹ පෞද්ගලික රෝහලක දී උපත ලද එම දරුවා ප්‍රකාශ කළේ ඔහු අනුරාධපුර හමුදා සේවයේ යෙදි සිටියදී වෙඩි වැදී මියගිය බවකි. මෙම දරුවා පෙර භවය පිළිබඳව මතක සටහන් අනාවරණය කරනු ලැබුවේ වයස අවුරුදු තුනේ පමණ සිටය. දෙපසින් නැගිට ගැනීමට හැකි අවදියේ සිට දෑත් දිගුකරමින් ඩිෂුම් ඩිෂුම් යනුවෙන් ශබ්ද නිකුත් කර වෙඩි තබන අයුරු ඔහු නිරූපණය කළේය.   


කුඩා දරුවන්ගේ එවැනි හැසිරීම් සාමාන්‍ය දෙයක් ලෙස සිතු එම දෙමාපියෝ ඒ පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකළහ. යන්තම් වචන උච්චාරණය කිරීමත් සමග ඔහු ප්‍රකාශ කළ වදනක් වූයේ අනුරාධපුරය යන්නය. ඒ අතර පොලිස් හෝ හමුදා නිල ඇඳුමක් දුටු විගස ඔවුන් වෙත යාමට ද මෙම දරුවා උත්සාහ ගත්තේය. දරුවාගේ මෙම හැසිරීම දෙමාපියන්ගේ අවධානයට යොමු වී තිබිණි. ‘අනුරාධපුරය’ යනුවෙන් ප්‍රකාශ කරමින් සිටි දරුවා දිනක් මව වෙත පැමිණ ‘මට අනුරාධපුරයේදී වෙඩි වැදුණා’ යැයි පැවසීය. තම පුත්‍රයා කිසියම් පෙර භවයක් පිළිබඳව හෙළි කරන්නේ දැයි දෙමාපියන්ට සැකයක් ඇති වීමට එය හේතු විය. ‘මාගේ පිට පැත්තට වෙඩි වැදුණා’ යයි ද ඔහු තවත් දිනෙක ප්‍රකාශ කළේය. පුත්‍රයාගේ ප්‍රකාශ පිළිබඳව පුංචි විමසීමක් කළ මව දිනක්   ‘ඔයාට වෙඩි වැදුණෙ කොහොමද?’ යැයි විමසීමක් කළාය.   


‘එදා අපි බසවක්කුලමෙ හමුදාවෙ තව කොල්ලො ටිකක් එක්ක ඇවිදගෙන ආවා. ස​ෙරාන් ඇඳගෙන හිටපු කට්ටියක් අපිව වෙඩි තිබ්බා. මගේ පිට පැත්තට වෙඩි වැදුණා. මාව වැටුණා. සමහරු මගේ ඇඟට උඩින් පනිනවත් මම දැක්කා’ යැයි පැවසීය. ඒ අයුරින් දිගින් දිගටම පෙර භව තොරතුරු හෙළි කළ මෙම දරුවාට ඔහු ගත කළ ජිවිතය ගැන ඉතා හොඳ මතකයකින් සිටිනු දෙමාපියන්ට දක්නට ලැබිණි.   


ඒ වන විට අනුරාධපුරයට හෝ නොගිය දරුවා බසවක්කුලම යනුවෙන් කරන ප්‍රකාශය දෙමාපියන්ට ඇදැහිය නොහැකි විය. ‘අපි බසවක්කුලමෙ නානකොට තුවක්කු ඉවුරේ තියෙනවා. එදා වෙඩි වැදුණට පස්සේ මම කොළඹ ආවා. ඒ එන කොට අම්මාව දැකලා අම්මා ළඟට ආවා’ යයි ද මෙම දරුවා ප්‍රකාශ කළ බැව් මව අප සමග හෙළි කළාය.   


දැනට තරුණ වියේ පසු වන මෙම දරුවා හෙලි කළ පෙර භවයේ තොරතුරු විමර්ශනය කිරීමට අපට අවස්ථාව ලැබිණ. එහිදී දරුවාට කුඩා කල ප්‍රකාශ කළ තවත් තොරතුරු මව විසින් අප සමග හෙළි කළේ මෙසේය.   
‘පුතා පුංචි කාලෙ ඉඳලම තුවක්කුවලට හරිම ආශාවක් තිබුණා. හමුදා ඇඳුමක් දුටු ගමන් එයා ඒ අය ළඟට යනවා. කිසිම බයක් නැහැ. එයා මුල සිටම අනුරාධපුරේ සිටි බව කිව්වා. බසවක්කුලම කියන නම කිව්වෙත් පුංචිම කාලෙදි. හමුදාවේ සිටිද්දි යාළුවෝ එක්ක නාන්න එතනට ගිය බැව් නිතරම කිව්වා’   


හමුදා ජීවිතයට අමතරව ගෙදර තොරතුරු ප්‍රකාශ කළේ මොනවාද? යැයි මවගෙන් අපි විමසුවෙමු.   


‘එයා කිව්වේ හරිම දුප්පත් ගෙදරක සිටි බවයි. තාත්තා ගොවිතැන් කළ බවත් පොල් අතු හෙවිලි කළ නිවසක සිටි බවත් කිව්වා. ඒ හිටපු පළාතෙදි මිනිස්සු ඒ අයට කිසිම සැලකීමක් කළේ නෑ කියලත් එයා කිව්වා. ඒ ගැන ඇසුවාම එයා කිව්වේ.   


තාත්තලා හරි දුප්පත් කියලා. නිදා ගත්තේ පැදුරක බවත් වෙල් යායක් මැද පිහිටි පුංචි පාරක බයිසිකලයකින් ගිය බවත් එයා කිව්වා’ යැයි මව හෙළි කළාය.   

 

‘දවසක් අපි කැලේ ඉන්න කොට ඩෝං ගාලා ශබ්දයක් ඇසුණා. අපිට තුවාල වුණා. මගේ යාළුවටත් තුවාල වුණා’ යැයි කීය. පාසල් ජීවිතය ආරම්භ කළ මෙම දරුවා මව අමතමින් නිතර නිතර පැවසුවේ ‘මම ආයෙත් හමුදාවට යනවා’ යනුවෙනි. දෙමාපියෝ එයට කිසිදු උනන්දුවක් නොදැක්වූහ. අපොස උසස් පෙළ සමත්වීමෙන් පසු එම දරුවා දිනක් මව වෙත පැමිණ පැවසුවේ ඔහු හමුදාවට බැඳීම සඳහා ඉල්ලුම් කළ බවය. අවසානයේ ඔහු හමුදාවට එක් විය. පෙර භවයේ පුරුද්දට මෙන් ඔහු අද හමුදාවේ නිලධාරියෙකි.   


‘එදා අපි බසවක්කුලමෙ හමුදාවේ තවත් යාළුවෝ එක්ක ඇවිදගෙන ආවා. සරොන් ඇඳගෙන හිටපු කට්ටියක් අපිට වෙඩි තිබ්බා. මගේ පිට පැත්තට වෙඩි වැදුණා. මාව වැටුණා. සමහරු මගේ ඇඟට උඩින් පනිනවත් මම දැක්කා’   

 


මෙම දරුවාගේ ප්‍රකාශ අතර තවත් පුදුම උපදවන තොරතුරක් ද ඔහු අනාවරණය කර තිබේ. අනුරාධපුර සිට ඉහළින් පැමිණි බවකි. මව සිටි නිවසට පැමිණියේ නිවසේ තිබූ ජනෙල් කවුළුවකින් බැව් ඔහුට මතකය.   
‘මම එනකොට අම්මා ගේ අතු ගානවා. මම ආවේ ජනේලයේ ග්‍රිල් එකෙන්’ යැයි ද ඔහු පවසා තිබේ. මෙම දරුවා හෙළි කළ ​තොරතුරු අතර කිසිවෙකුගේ පුද්ගල නම් ඔහුට මතකයේ නොමැත.   


‘මම අනුරාධපුරේ ඉන්න කොට හොඳටම මතක තියෙන්නේ බසවක්කුලමට නාන්න යන හැටියි. අපි අනුරාධපුරයට එතකොට ට්‍රන්ක පෙට්ටි අරගෙන ස්ටේෂන් එකේ බහිනවා. ඊට පස්සේ කෑම්ප් එකට යන හැටි මට තවමත් මැවිල පේනවා’ යැයි ද ඔහු කියයි. පෙර භවයේ සිටි නිවස පිළිබඳව අප ඔහුගෙන් විමසූ විට,   


‘ඒ ගෙදර මැටි ගහපු පොල් අතු සෙවිලි කළ ගෙදරක්. වත්ත මැද්දේ තිබුණේ. වෙල් යායක් දිගේ පුංචි පාරකින් තමයි ගෙදරට ගියේ. ගේ ඉස්සරහ මල් පූජා කරන පුංචි බුදු මැදුරක් තිබුණා’ යැයි පැවසු ඔහු එදා ජීවත්ව සිටි නිවස මතකයෙන් චිත්‍රයක් ද ඇඳ පෙන්වීය.   


ඔහු පවසන අන්දමට ඔවුන් ජීවත්ව සිට ඇත්තේ අනුරාධපුරයේය. සේවය කර ඇත්තේ ද අනුරාධපුර ප්‍රදේශයේ හමුදා කඳවුරක බැව් හෙළි වේ. පියා ගොවිතැන් කළ අයෙකි. ත්‍රස්තවාදීන් සමග ඇති වූ ගැටුම දී මියගිය හමුදා භටයෙකි. පසුගිය යුද්ධ සමයේදී මරණයට පත් වූ රණවිරුවෙකුගේ ජීවිතයක් ඔහු අනාවරණය කරයි. මෙම දරුවා හෙළි කළ පෙරභව ජීවිත තොරතුරු තවමත් පර්​ෙ‌ය්ෂණ මට්ටමේ පවතින අතර ඔහුගේ පෙර භවය සොයා ගැනීමට ඔහු මෙන්ම දෙමාපියෝ ද බලවත් ආශාවකින් පසුවෙති.   


මේ හා සමානවම පෙර භවය හෙළි කළ තවත් දරුවෙක් ගාල්ලේදී උපත ලැබීය.   


එක් දහස් නවසිය අසූ හතේදී උපත ලද එම දරුවා ඉතා කුඩා අවධියේ සිට හමුදා ජීවිතයක තොරතුරු හෙළි කළේය. දෙපයින් යන්තමින් නැගිට ඇවිදීමට හැකි වූ වයසේ සිට එම දරුවා ඇඳේ කොට්ට ඉවතට ගෙන ආවරණ තැනීමට පුරුදුව සිටියේය. බොහෝ විට කොට්ට කීපයක් ගෙන ආවරණයක් ලෙස පුටුවක් මත තබා එය තුළටම වී සිටීම ද ඔහුගේ සිරිත විය. ඇතැම් විට එහි තුළ සිට දෙඅත් ඉවතට දමා තුවක්කුවකින් වෙඩි තබන අයුරුද නිරූපණය කළේය.   


දරුවාගේ එම හැසිරීම් රටාව මගින් හමුදා ආරක්ෂිත ක්‍රියාවක් ඉදිරිපත් කරන බැව් දෙමාපියන්ට දක්නට ලැබිණි. මේ අතර බහ තෝරන වියට පත් වූ දරුවා දිනක් මව අමතා ‘අපි එහෙදී යුනිෆෝම් ඇන්දා’ යැයි කීය. තම පුත්‍රයාගේ හැසිරීම් රටාවන් එම වදන් නිසා ඔහු කිසියම් හමුදාවකට සම්බන්ධ ජීවිතයක් හෙලි කරන බැව් මවට අවබෝධ විය. ඒ පිළිබඳව විමසීමට සිතූ මව ‘ඔයා යුනිෆෝම් ඇන්දේ කොහේදීද?’ යයි විමසීමක් කළාය. එයට පිළිතුරු දුන් දරුවා,   


‘ගාල්ලේදි’ යැයි ක්ෂණිකව අනාවරණය කළේය. මේ අතර දිනක් එම දරුවා දෙමාපියන් සමග මෝටර් රථයකින් ඥාතිවරයෙකුගේ නිවස බලා යමින් සිටියේය. රථයේ වේගය වැඩි ධාවනය නිසා පොලිස් නිලධාරියෙක් රථය නතර කළේය. රියැදුරු රථයෙන් බැස යන විට දරුවා සිය පියා සමග වම් පස අසුණේ සිටියේය. රියැදුරා පොලිස් නිලධාරියා වෙත යන විට දරුවා ද රථයෙන් බැසීමට උත්සාහ කළේය. පියා ඔහු නතර කිරීමට කීප විටක්ම උත්සාහ කළත් දරුවා රථයෙන් බැස්සේය. රථය නතර කළ පොලිස් නිලධාරියා ඉදිරියට ගිය දරුවා අතක් ඔසවා හමුදා නිල ආචාර ලෙස ආචාර කළේය.   


එය දුටු පොලිස් නිලධාරියා මවිතයට පත් විය. ‘බබා කොහෙන් ද ඕවා ඉගෙන ගත්තේ?’ යැයි දරුවාගෙන් විමසීය.   


‘අපි එහෙදි ලොකු අයට සැලියුට් කරනවා’ යයි දරුවාගේ පිළිතුර විය. තම පුත්‍රයා නියත වශයෙන්ම හමුදා ජීවිතයක පෙර භවය හෙලි කරන බැව් දෙමාපියන්ට අවබෝධ විය. දෙමාපියෝ ඔහුගේ පෙර භව ජීවිත තොරතුරු විමසා සිටියහ. වරින් වර පිළිතුරු දුන් දරුවා ඔහු ගාල්ලේ සිටි බවත් මව සහ පියා ගාල්ලේ සිටින බවත් කීවේය.   


‘මට එහෙදී තිබුණ යුනිෆෝම් එකේ තරු මහල තිබුණේ. අපි ජීප් වලින් තුවක්කු ගෙන ගිහින් බංකර්වලට දෙනවා’ යැයි ද ඔහු කීප විටක්ම ප්‍රකාශ කළේය. ඒ වන විට නිවසේදී කිසි වි​ෙටක ‘බංකර්’ යන වදනක් ශ්‍රවණය වීමට හෝ දරුවාට අවස්ථාව නොලැබිණි. එම වදන් මගින් ඔහු හෙළි කරන පෙර භව යුද හමුදාවට සම්බන්ධ බවක් ඇති බැව්ද දෙමාපියන්ට දක්නට ලැබිණි. ‘මට ගාලු යන්න ඕනෑ මගේ යාළුවෝ එහෙ ඉන්නවා’ යැයි පැවසූ දරුවා ගාල්ලට ඔහු රැගෙන යන ලෙස ඉල්ලා සිටින්නට විය.   


එහෙත් එම මිතුරන්ගේ නම් හෝ වෙනත් කිසිවෙකුගේ පුද්ගල නම් අනාවරණය නොවිණි. මව ඔවුන්ගේ නම් විමසූ විට දරුවාගෙන් ඊට පිළිතුරු නොලැබිණි. එහෙත් ඔහු මියගිය අන්දම එම දරුවා හෙළි කළේය.   


‘දවසක් අපි කැලේ ඉන්න කොට ඩෝං ගාලා ශබ්දයක් ඇසුණා. අපිට තුවාල වුණා. මගේ යාළුවටත් තුවාල වුණා’ යැයි කීය. පාසල් ජීවිතය ආරම්භ කළ මෙම දරුවා මව අමතමින් නිතර නිතර පැවසුවේ ‘මම ආයෙත් හමුදාවට යනවා’ යනුවෙනි. දෙමාපියෝ එයට කිසිදු උනන්දුවක් නොදැක්වූහ. අපොස උසස් පෙළ සමත්වීමෙන් පසු එම දරුවා දිනක් මව වෙත පැමිණ පැවසුවේ ඔහු හමුදාවට බැඳීම සඳහා ඉල්ලුම් කළ බවය. අවසානයේ ඔහු හමුදාවට එක් විය. පෙර භවයේ පුරුද්දට මෙන් ඔහු අද හමුදාවේ නිලධාරියෙකි.      

 

 

 

 

 


තිස්ස ජයවර්ධන