සේනා සම්මත වික්‍රමබාහු සහ පශ්චාත් සිංහල ජාතිය නිර්මාණයවීම


ඉතිහාසයෙන් පිටුවක්

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ  පළවිය.


උඩරට සිට සේනා සමග පැමිණි වීදියේ බණ්ඩාර සතර කෝරළේ පිරිස් සමඟ එකතුව දෙවනගල කඳවුරු බැඳ ගති. සීතාවක ටිකිරි කුමරු අලු‍ත්නුවරට (දෙවනගලට) නුදුරු කටුගහ ගමේ කඳවුරු බැඳ ගති. වික්‍රසිංහ මුදලි කටුගහට සමීප කාරියගම කඳවුරු බැඳ ගති. සටන සිදු වූ ආකාරය පෝල් ඊ. පීරිස් මහතා සිය ලංකාව හා පෘතුගීසි යුගය ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙසේය.   


නොබෝ දිනකින් ඇල්පිටිය ඔස්සේ පල්ලම් බැස ගල්බොඩ කෝරළේ හරි මැද කඳවුරු ගසා ගත්තේය. මේ අතර ටිකිරි බණ්ඩාරගේ නායකත්වය යටතේ කටුගහ බලා පැමිණියේය. වික්‍රමසිංහ මුදියන්සේගේ කාරියගම යටත් කරගෙන සිටියේය. දෙවනගල පිහිටි තම කඳවුරේ සිට අට්ටාපිටිය තොටුපොළ අල්ලා ගැනීමට සේනාංකයක් වීදිය බණ්ඩාර විසින් පිටත් කොට හරින ලදී. මෙම ප්‍රයත්නය ආසාර්ථක වූ බව ආරංචි වූ සැණින් ඔහු ඇල්පිටිකන්ද ඔස්සේ කඳුකරයට පළා ගිය මුත් නොබෝ දිනකින් විශාල හමුදාවකුත් රැගෙන ආපසු පැමිණියේය.   


නැවත වරක් ඔහු අලු‍ත්නුවර අල්ලාගත් අතර ටිකිරි රජ්ජුරු බණ්ඩාර හතර කෝරළේ හරහා පෙරමුණට ගමන් කරන්නට විය. මේ ආරංචියෙන් බියපත් වූ වීදිය බණ්ඩාර තම හමුදා දෙක අත්හැර දමා මහ රෑ මිනිසෙකු කර පිටින් කඳුකර කපොල්ල හරහා පැන ගත්තේය. හිමිදිරියේ ටිකිරි බණ්ඩාර අලු‍ත්නුවරට ළඟා වූ අතර තම නායකයා තමා හැර දමා යාමෙන් අධෛර්යට පත්ව සිටි උඩරට හමුදාව සුළු සටනකින් පසු හිස්ලූ ලූ අත පළා යන්නට විය. සීතාවක හමුදාව උන් හඹා ගිය අතර මහත් මිනිස් ඝාතනයක් සිදු විය. වීදිය බණ්ඩාරගේ හමුදාවේ භටයින් හැට දෙනෙකු දෙදෙනා බැගින් එකම යදමක ගැට ගසා තම පියාට තිළිණ කර යැවීය.   


හතර කෝරළයේ රටින් යමින් බලගතු ඈපා මාපා හා සේනාධිපතිවරු මිය ගියේ එසේය. සීතාවක රාජසිංහ සහ වීදිය බණ්ඩාර යනු දෙමස්සිනෝය. ​කෝට්ටේ බුවනෙකබාවන්ගේ දියණිය සමුද්‍රදේවිය හෙවත් සමුද්‍රා සල්පදෝරු විවාහ වූයේ වීදිය බණ්ඩාර සමගය. එම දෙපලට උපන් කුමරු වියජපාල ආස්ථෘන විය. ඔහුට කෝට්ටේ රාජ්‍යත්වය අහිමි විය. සමුද්‍රදේවිය සහ රජ මාලිගාවේ සේවයේ නියුතු කඩවසම් පෘතුගීසි සෙබළෙකු අතර ඇති වූ අනියම් සබඳතාවකින් උපන් කුමරු ධර්මපාල විය. ප්‍රතිඵලය වූයේ වීදිය බණ්ඩාර විසින් සමුද්‍රාදේවිය දියවන්නා ඔයේ ගිල්වා මැරීමය. ඉන්පසු වීදියේ බණ්ඩාර මායාදුන්නේගේ දියණියක් විවාහ කර ගති. තවත් දියණියකගේ දියනියක් විජයපාල අස්ථාන කුමරුට විවාහ කරදුනි. වීදිය බණ්ඩාර හෙවත් වේදිය බණ්ඩාරගේ සැබෑ නාමය කුට්ඨරාය කණ්ඩන් තනියාන්වල්ලන් ඒකාංග වීරන් මදියානු මන්ත්‍රන් විය.   


උඩරට දුර්වලවත්ම එය ආක්‍රමණය කළ සීතාවක රාජසිංහ මිත්‍ර ගිවිසුමකට යැයි පවසා මේණවර තුණයාගේ ද්විතීය පුත්‍ර වීරසුන්දරයන් කැඳවාගෙන අවුත් ගොලබොක්කේදී බොරුවළක දමා මරණයට පත් කළේය. සඟුන් නසා බුදු පිළිම බිඳ දැමීමය. පොත් පත් ගිනි ලවා අගනා විසිතුරු දේ නැසීය. වැසියන් පෙළා ඔවුන්ගේ වස්තුව පැහැර ගත්තේය. මහ බෝවිහාර වල පූජා උදුරා ගෙන රදළ ආදී ජනයන් පෙළා මෙහෙ ගත්තේය. උඩරැටියෝ වීරසුන්දරගේ පුත් කොණප්පු බණ්ඩාර කුමරු පුද පඬුරු සමග ප්‍රතිකාල් ආණ්ඩුකාරයා වෙත යැවීය.   


කෝට්ටේ ධර්මපාල රජු කිතු දහම වැළඳගති. පෘතුගීසීන් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැපයීය. රිබෙයිරෝ සඳහන් කරන පරිදි කාන්තාවන් හා තරුණියන් ගණිකා වෘත්තිය සඳහා විකුණන ලදී. ධර්මපාලගේ අනුමැතියකින් තොරව මෙරට තරුණ තරුණියන් ද ස්වාමිවරුන්ගෙන් පැහැර ගත් වහලු‍න් ද වටිනා කෞතුක වස්තූන් ද නැව් වලින් විදේශ ගත කළහ. මහමඟ ගමන් ගන්නා කාන්තාවන් අතරැඳි වළල්ලක් හෝ කන රැඳි තෝඩුවක් හෝ පැහැර ගැනීමට ඔවුන් මහ මඟ මරා දැමීය.   


දහවැනි ශත වර්ෂය වන විට පාණ්ඩ්‍ය දේශය බලවත් රටක් බවට පත්විය. මහ විජේබාහු රජුගේ කාලයේදී මොවුන් පොළොන්නරුව ආක්‍රමණය කළහ. රජතුමා හතර කෝරළයට පළා ගියේය. මෙම ආක්‍රමණිකයින් සමග පැමිණි පාණ්ඩ්‍යනාර් වීරපෙරුමාල් (මානාභරණ) නැමැත්තාගේ පුතා මහා පරාක්‍රමබාහු විය. රාජ්‍යත්වයට පත්වූ මහා පරාක්‍රමබාහු පොළොන්නරුව සහ රුහුණු රට විනාශ කළේය. සිංහල හමුදාව දුර්වල කිරීම සඳහා දණ්ඩනායක හා කේසධාතු යන සෙනෙවියන් දෙදෙනකු යටතේ 35,000 ක හමුදාවක් යවා ඔවුන් කේරළයෙහි පදිංචි කළහ. වර්තමානය වෙන විට ඔවුන්ගේ සංඛ්‍යාව කෝටියක් පමණ විය හැක. ඔවුන් තවම බුබාගම්කාරයෝය. භාෂාව ද්‍රවිඩය. එහෙත් ඔවුන්ගේ නම් අතර ලීලාවතී, ඥාණවතී, සීලවතී, ජයසූරිය සහ පියදාස වැනි නම් බහුලය. එසේම මෙම පිරිස් බල කාන්තාවන් අතර රෙද්ද සහ හැට්ටය ජනප්‍රිය ඇඳුමකි. මේ පිළිබඳ මහා විස්තරයක් රාජ වෛද්‍ය ඩී.එම්. උභයසේකර මහතාගේ ශ්‍රී ලංකාදීප වර්ණනා නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. (බු.ව. 2477)   


 එංගලන්ත කෞතුගාරයේ තිබී පිටපත් කර ගන්නා ලදැයි සඳහන් පුස්කොළ අටකින් යුත් ලේඛනයක් දොස්තර ඇන්ඩ්‍රියස් නැල් මහතා විසින් ප්‍රසිද්ධ කර ඇත. එහි සඳහන් වෙන්නේ මලයාල දේශයේ මුක්කරුන් සමග කාංචිපුර, කාබේරි පට්ටලම සහ කීලංකරෙයි යන ප්‍රදේශ වලින් මහා පරාක්‍රමබාහුගේ ඉල්ලීම පරිදි මෙරටට පැමිණි ද්‍රවිඩ සේනාවන් පිළිබඳ විස්තරයකි. නිලමක්කාරයින් නව දෙනෙකු ද ආරච්චිවරුන් දහ අට දෙනෙකු ද සෙබළුන් 7740 දෙනෙකු ද පැමිණ ඇත. මොවුන් රටින් නැව් නැගි දිනය ශ්‍රී ශුද්ධ සක රාජ වර්ෂයෙන් එක්වා දහස් එකසිය පනස් වර්ෂය බව සඳහන් වෙයි. එහි සඳහන් පරිදි පැමිණි නිලමක්කාරයින්, වච්චුනාට්ටු දෙවරේ කුරුකුලනාට්ටු දෙවරේ මානික්ක නලවන්ද අදිරස අඩප්ප උන්නැහැ කුරුකුලසූරිය මුදියන්සේ පර්දකුලසූරිය මුදියන්සේ අරසීනීල ඉට්ට මුදියන්සේ වර්ණසූරිය දොඹරනාද සහ අඩප්ප උන්නැහේ යන අයයි.   
(දොස්තර ඇන්ඩ්‍රියස් නැල් සිළුමිණ 1936 නොවැ 1 ඉරිදා)   


රාජාවලිය සහ සීතාවක හටන ග්‍රන්ථ වල සඳහන් වෙන පරිදි සීතාවක රාජසිංහ විසින් සිය හමුදා සේනාංක සහ කුලී භටයන් ලෙස ගෙන්වා ගන්නා ලද්දේ උමං කැණීමේ දක්ෂයින් වූ පල්ලරු (පල්හොරු හෙවත් පල්ලවයෝ) මලලවරු (කේරළයන්) වඩක්කරු (තෙලිඟු‍ බස කතා කරන මධුරාපුර වැසි වඩුගයෝ) මුක්කරු (පුන්නාල දේශයෙන් පැමිණි උන්) දොළුවරුන් (තුළුවරු එනම් ආන්ද්‍රා දේශයෙන් පැමිණි තෙලිඟු‍වරු) කළුසියන් (කාපිරි) උරුමුසියන් (විර්මුජ රටින් ආ) සහ රාජුන්වරු මොවුන් සියලු‍ දෙනා යුද කටයුතු අවසානයේ ආපසු නොගියහ. යුද්ධය පැවති සමයේදී සිංහලයන් සතු දේපළ කොල්ලකමින් සෑහෙන ධනවතුන් බවට පත් වූහ. අවසානයේ සිංහල ස්ත්‍රීන් සරණ පවා ගත්හ. අනතුරුව සිංහලයින් බවට පත් වූහ.   


පෘතුගීසි යුගයේදී සිංහලයන් පදිංචි බොහෝ පෙදෙස් ජන ශුන්‍ය බවට පත් විය. පෘතුගීසීන් විසින් එම පෙදෙස් වල පදිංචි කරවීම සඳහා දකුණු ඉන්දියාවේ වෙරළබඩ තීරයෙන් කරාව කුලයේ 70000 ක් ගෙන්වා ලංකාවේ වෙරළබඩ තීරුවල පදිංචි කරවන ලදී මොවුන් මෙරටට ගෙන ආවේ ක්‍රි.ව. 1555 න් පසුවය. දකුණු ඉන්දියාවේ නයිපුනේ පට්ටනාවන් පටුනේ සිට මොවුන් මෙරටට ගෙන ඇත. එසේ පැමිණීමේදී මොවුන් කුල නවයකට බෙදී තිබුණි. පෝල් ඊ. පීරිස් මහතා මෙසේ සඳහන් කරයි.   


දකුණු ඉන්දියාවෙන් පැමිණි කරාවේ කුලයට අයත් පිරිස අනුක්‍රමයෙන් සිංහල සමාජයට අවශෝෂණය වී තිබිණ. මේ පිරිස දිවයිනේ දකුණු වෙරළබඩ ප්‍රදේශයේ පැලපදියම් වූ අතර ධීවර කර්මාන්තය මුළුමනින්ම ඔවුන්ගේ අතේ රැඳැවී තිබිණ. කරාවේ උදවිය කිතුනු දහම වැළඳගැනීමට එකපයින්ම සැදී පැහැදී සිටි බව කැපී පෙණෙන ලක්ෂණයක් විය.   
සමස්තයක් වශයෙන් මෙම ආගම වැළඳගැනීමේ ප්‍රතිඵලයක් නම් ඔවුන්ගේ වාසගම්වල ඇති පෘතුගීසි නැඹුරුව වේ. උදාහරණයක් වශයෙන් කරාවේ උදවිය විශාල ප්‍රමාණයෙන් ෆර්ඩිනැන්ඩු යන නම පාවිච්චි කරති. මෙම නම එකම අවස්ථාවක බෞතීස්ම කරනු ලැබූ විශාල සංඛ්‍යාවකට පොදුවේ දෙනු ලැබූ නම විය හැක.   


(පෝල් පීරිස් ලංකාව පෘතුගීසි යුගය පිටු 256 - 259)   


දකුණු ඉන්දියාවෙන් පරිවාර ජනයා විශාල ලෙස ගෙන්වා මෙරට ගංගා ඇළ දොළවල ඔරුපාරු පැදීම, හමුදා සේවය මෙන්ම පොල්ගස ආශ්‍රිත කර්මාන්තවල යෙදවූහ. මොවුන් පිළිබඳව විශාල විස්තරයක් නීති රත්නාවලිය ග්‍රන්ථයේ සඳහන් වෙයි. ඉංග්‍රීසි යුගය වෙන විට මෙම පිරිස්වලින් පැවැතෙන්නන්ගෙන් උගතුන් බුද්ධිමතුන් රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් බිහිවිය.   


දකුණු ඉන්දියාවේ දක්ෂ පේෂකාර්මිකයින් වූ හාලි හෙවත් සලාගම් කුලයේ මිනිසුන් මෙරටට ගෙන්වා ඔවුන් පෘතුගීසීන්ගේ දෝළා ඔසවන්නන් ලෙසත් පසුව කුරුඳු තලන්නන් ලෙසත් සේවයේ යෙදවූහ. මෙම පිරිස්වලට දෙනලද ඉඩම් විකිණීමට හෝ අන්සතු කිරීමට අනෙක් ජන කොටස්වලට මෙන් අයිතියක් නොතිබුණි. කුරුඳු ගස පෘතුගීසීන්ට කොතරම් වැදගත්වීද යත් කුරුඳු කාර්යාංශයේ විදානේ තනතුරු පෘතුගීසීන් අත තබාගනී. ආරච්චි තනතුරු පමණක් සලාගම් මිනිසුන්ට හිමිවිය. කුරුඳු මිටි බැඳීම හා පැටවීම සඳහා වෙනත් කුලවලින් මහදුරයින් සහ කුඩාදුරයින් පත් කළහ. මොවුන් විසින් පෘතුගීසීන්ට විරුද්ධව අරගලයක් සිදුකරන ලද නිසා ඔවුන් වහලු‍න් ලෙස නම් කිරීමට පෘතුගාල් රජය තීරණය කළේය. මෙම ජනයා විසින් පෘතුගීසී රජයට යවන ලද පෙත්සමක ඔවුන්ගේ දුක්ගැනවිල්ල මෙසේ සඳහන් කර ඇත.   


චාලියාවන් වන අප මේ දිවයිනට පැමිණියේ අප හලාවතට ප්‍රවාහනය කළ මරක්කල ජනතාවගේ යාත්‍රාවකිනි. චාලේ ප්‍රදේශයෙන් අපගේ ආරම්භය සිදුවන අතර චාලේ වර්ගයට අපෙන් ලැබුණු නම තවමත් පවත්නේය. අප හත්දෙනෙකු පැමිණි නමුත් එක්කෙනෙකු පලාගොස් හයදෙනෙකු මෙහි රැඳුණහ. අපි දිවයිනේ රජුගේ අගනුවරින් කාන්තාවන් විවාහ කර ගන්නෙමු. පළමුවැනි පරවේණි ගම වශයෙන් කළුතර අපට පැවරිණි. එහි සිට අපි දිවයින පුරා ව්‍යාප්ත වුණෙමු. (පෝල් ඊ. පීරිස් ලංකාවේ පෘතුගීසි යුගය පි - 273)   
මෙම සියලු පිරිස් සිංහල පවුල් සමග සම්මිශ්‍රණය වීම අගේ කළ යුතුය. ඒ අනුව පශ්චාත් සිංහල ජාතිය ගොඩනැගුණි. සෙනරත් රජතුමාගේ කාලයේදී මුස්ලිම් පිරිස් 4000 ක් මඩකළපුවේ පදිංචි කරන ලදී. පෘතුගීසීන් විසින් එහි යුද කඳවුරක් පිහිටුවීම වැළැක්වීම රජුගේ අරමුණ විය. දෙවැනි රාජසිංහ විසින් මෙම පිරිස් පරම්පරා දෙක තුනකින් සිංහලයින් බවට පත්විය යුතුයැයි කොන්දේසියක්ද පනවන ලදී. එසේම පස්නයිදේ කුල අතරින් ස්වර්ණකාර කුලයේ ස්ත්‍රීන් සරණපාවා ගැනීමටද අවසර දෙන ලදී. එසේම එම පිරිස්වලට ගේදොර ඉඩකඩම් මිලදී ගැනීමට හෝ විකිණීමටද අවසර නොදෙන ලදී. මෙසේ වුවද මුස්ලිම්වරු සිය ආගම අතහැර සිංහලයින් බවට පත්වූයේ නැත.   


එසේ වුවද කරාව, දුරාව සහ සලාගම් පිරිස් සිංහලයින් බවට පත්වූවා පමණක් නොව බහුතර පිරිසක් බෞද්ධයන් බවටද පත්වූහ. ඉංග්‍රීසි යුගයේදී ඔවුන්ට විරුද්ධව සිදුකළ විමුක්ති අරගල වලදීද ක්‍රියාශීලී දායකත්වයක් ලබාදුනි. සොලී නිකායේ කුල භේදයට විරුද්ධව අමරපුර නිකාය වැනි ප්‍රගතිශීලී නිකායන් ඇති කළහ. ඉංග්‍රීසීන් මෙරට අතහැර යාමේදී මෙරට පාලන බලයද හිමිවූයේ මෙම පිරිස්වලටය. වර්තමාන දේශපාලන පොරපිටියේ වැඩි දායකත්වයක්ද ඔවුන්ට හිමිවී ඇත. මුදලි මුහන්දිරම් තනතුරුවල සිට නිලදරු බලදරු බලයන්ද වැඩි වශයෙන් ඔවුන් සතුවේ. එහෙත් සඳහන් කළ යුතු යමක් ඇත. අප සියල්ලෝම පැවැතෙන්නේ එක් මූලයකිනි. ඒ ඍජු මිනිසා හෙවත් හෝමෝසේපියන් නම්වූ වානරයාගෙනි.  

 

 

එම්.කේ. ජයසේන   
(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)