සෙනසුරු මාරුව ඔ​ෙබි ලග්නයට...


ලග්න රැසකට අනුව ඵල ගෙන දෙද්දී තුලා, කුම්භ සහ මේෂ ලග්න හිමියන්ට ජයග්‍රහණ ගෙන දෙති.  


සෙනසුරු මාරුවේ රටට, සමාජයට නායකයන්ට සහ සංවර්ධනයට වන බලපෑම ගැන අපි සාකච්ඡා කළෙමු. තවද එම මාරුව කවරාකාරයෙන් සිදුවන්නේදැයි න්‍යායාත්මකව එම ලිපියෙන් විග්‍රහ කර බැලුවෙමු. නමුත් පුද්ගලිකව ඒ ඒ ලග්නවලට දෙන විපාක කවරේදැයි සාකච්ඡාවට භාජනය කරන්නට අවස්ථාවක් නොවීය. ඒ කර්තව්‍යය මෙම ලිපියෙන් ඉෂ්ට කරන්නෙමු. පොදුවේ කරුණු ඉදිරිපත් කරනු ලබන අතර ඒ ඒ ලග්නයේ ග්‍රහ පිහිටීම් අනුව තරමක් ප්‍රතිඵල වෙනස් විය හැක. විශේෂයෙන් චන්ද්‍රයා උප්පත්ති කේන්ද්‍රයේ සිටිනා ස්ථානය අනුව සකසන ජන්ම එ්රාෂ්ඨකය අනුව සෙනසුරුගේ බලපෑම සම්පූර්ණයෙන් පවා වෙනස් විය හැක. ඒ නිසා ඒ අනුව අපල සමනයට යොමුවිය යුතු බව තරයේ සිහි තබා ගත යුතුය. වඩාත් නිවැරදි වන්නේ​ මෙම අවුරුදු දෙක හමාරටවත් වරක් සිදුවන සෙනසුරු මාරුවේදී හෝ තමාගේ ජන්ම කේන්ද්‍රය නිවැරදිව පරික්ෂා කරගැනීම වෙයි.  

 

මේෂ ලග්නය - බාධක මඟ හැරී යයි  


ගෝචර ගමනේ සෙනසුරු අටවැන්නෙන් ඉවත් වී නවවැන්නට යාම යහපත් වෙයි. මෙතෙක් කල් වැඩවලට තිබූ බාධක ඉවත් වෙයි. නව වැඩ කටයුතු ඇරඹීමටත්, තම පදිංචි ස්ථානය වෙනස් කිරීමටත් තුඩුදෙන කරුණු ගෙන දිය හැක. ධන ලාභ ගෙන දුන්නද ඒවා තරමක් අතේ රඳන ස්වරූපය අඩුය. පිනට දහමට තරමක අකමැත්තක් ගෙන දුන්නද තමාට ලැබෙන්නට තිබූ පරක්කු වූ දේවල් ලැබෙනවා ඇත. තමාගේ කල්‍යාණ මිත්‍රයකුට හදිසි විපත් පෙන්වයි. සතුරන්ගෙන් ජයග්‍රහණ වෙයි. සෞඛ්‍ය තත්ත්වයේ තිබුණාට වඩා යහපත් තත්ත්වයක් දැකිය හැකිය.  


වෘෂභ ලග්නය - හදිසියේ ගෙන දෙන රෝගාබාධ  


ශරීර පීඩා ගෙන දෙයි. හෘදයාබාධ, ලේ විෂවීම, ජීර්ණ පද්ධතියේ දෝෂ මෙන්ම බෝවෙන රෝග පහසුවෙන් වැළදෙන තත්ත්වයකි. සෙනසුරු 8 වැන්නට යාම නිසා සතුරන් තමාට වඩා බලවත් වන තත්ත්වයකි. නීති විරෝධි වැඩවලට සිත යනවා සේම සිත තද ලෙස රාගාධික වෙයි. ලග්න එරාෂ්ඨකය ගෙන දෙන බැවින් ජීවිතයේ එක් අවාසනාවන්ත කාල පරිච්ජේදයක් ලෙස පෙන්වා දිය හැකිය. ජයග්‍රහණ තමාගෙන් ඈත්ව යන්නේ වෙයි. වැඩකටයුතු ප්‍රමාද වනවා සේම, තමා එම වැඩ කල් දමන්නෙකු බවට පත්වේ. ආදායම් පෙනි පෙනී තිබෙන ඒවා නොලැබී යා හැකිය.  


මිථුන ලග්නය - නිෂ්ඵල වියදම් සහ පවුලේ කරදර  


ඔබට අපල ගෙන දෙනවා සේම මෙම සෙනසුරු හත්වැන්නේ ගමන් කරන කාලයේදී තම සහකරුට හෝ සහකාරියටද අපල යෙදෙන කාලයකි. ස්ත්‍රීන් සමඟ නොසිතනා ලෙස ගැටුම් වලට ලක්විය හැක. ස්ත්‍රීන්ගේ සිත්වල කෝපයද, පුරුෂයන්ට රාගාධික බවද ගෙන දෙන්නේ වෙයි. සිත එක තැනක තබාගෙන කටයුතු කළ නොහැක. හවුලේ කරන කටයුතුවලින් පාඩු සිදුවන බැවින් අන් අය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි කාලයකි. දේපළවලට ප්‍රශ්නය ගෙන දෙයි. බොහෝ කැලඹිලි සහිත චංචල සහගත කාලයක් වෙයි. ශරීරයේ මේ කොටස් දුර්වල වීමටද හේතු වේ.  


කටක ලග්නය - ගෙදර දොර දියුණුව  


සෙනසුරු හයවැන්නට යාම යහපත්ය. එහෙත් කටක ලග්නය නිසා සෙනසුරුගෙන් යහපතක් අපේක්ෂා කළ නොහැක. සතුරන්ගෙන් ජය ලබාගත හැකිය. නමුත් අසනීප කරදර නිසා පීඩාවට ලක්විය හැක. දියුණුවට මාර්ග කිහිපයක් විවර වුවත් බලවත් බාධක යෙදිය හැක. සමාජයෙහි ප්‍රසිද්ධ වීමට කරුණු ගෙන දෙයි. තමාගේ තනි මතයට කටයුතු කරන්නට හැකිය. තරමක් අවිවේකී බවින් තොර නිදහස් කාලයක් වෙයි. නිතර හිතවතුන් සමඟ ගමන් බිමන් යෙදේ. ගේ, දොර වස්තුව ලැබී දියුණුවට පත්වන කාලයකි. තමා කැමැති ආකාරයට අනියම් කම්සැප ලැබේ. තිබුණට වඩා යහපත් කාලයකි.  


සිංහ ලග්නය - බලාපොරොත්තු බිඳ වැටේ.  


සෙනසුරු විද්‍යා ස්ථානය වන පස්වැනට යාම තුළ බලාපොරොත්තු සුන්වන කාලයක් ලෙස පෙන්වා දිය හැක. තරගකාරී කටයුතුවලින් නොසිතන පරාජයත් ගෙන දිය හැක. සුළු වැරදි නිසා ලොකු දඬුවම් ලැබෙන කාලයකි. පවුලේ සහ අඹුදරුවන්ගේ කටයුතු නිසා නිතර නිතර වෙහෙසී කටයුතු කරන්නට සිදුවේ. නමුත් යහපත් තත්ත්වයක් තමාට පවුල තුළ ගොඩනැ​ෙගන්නේ නැත. සිතට කනගාටුදායක ආරංචි අසන්නට සලස්වති. ආරවුල්වලට මැදිහත් නොවීමට වගබලා ගත යුතුය. තමන්ගේ මහන්සියේ තරමට ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක. කල් පවතින අසනීප ගෙන දිය හැක.  


කන්‍යා ලග්නය - ශරීර සනීපයට බාධා  


තමන්ගේ වැඩකටයුතු තමන්ට කරදරයක් ලෙස පෙනෙන කාලයකි. සෙනසුරු හතර වැන්නේ ගමන් කරන පළමු අවුරුද්දක කාලය යහපත් වුවත් දෙවන අවුරුද්දේදී බොහෝ පීඩා කරදර ගෙන දිය හැකිය. මාපියන් සමඟ පවා අමනාප කම් ඇති කරගන්නා කාලයකි. දේපළ පිළිබඳව ගැටලු ගෙන දිය හැකි අතර ඉගෙනීම්වලින් පහළ වැටෙන්නට නියමිතය. නිතර නිතර ඇතිවන රෝගා බාධ තත්ත්වයන් නිසා ශරීර සනීපයට බාධා ගෙන දෙන්නේ වෙයි. මුදල්වලින් කරදර වීම නිසා සිත්තැවුලට පත්වේ. එහෙත් උප්පතියේදී සෙනසුරු බලවත් වී නම් සිතේ සතුටට කාරණා යෙදේ. තරමක කම්මැලි ගතිය උපදී.  


තුලා ලග්නය - තිබූ කරදර පහවී ජය ලැබේ  


තුන්වැන්නට සෙනසුරු හොඳම ස්ථානයකි. සතුරන්ගෙන් ජය ලැබේ. ලග්න එරාෂ්ඨකය සම්පූර්ණයෙන් ගෙවී ඇති නිසා කටයුතුවලින් සෑම අතින්ම දියුණුවක් අපේක්ෂා කළ හැකිය. ලෞකික ලෝකයේ සැප විඳිය හැකි කාලයකි. උසස් අය ආශ්‍රයට ලැබෙන අතර එම තැනැත්තන්ගෙන් උපකාර ද ලැබේ. ආදායම උත්පාදනය වන අතර අලුත් හිත මිතුරන් ද ලැබේ. නවීන සැප පහසුකම් විඳීමට ඉඩ සැලසේ. භූමියෙන් ලැබෙන දේවල් ලැබෙන බැවින් ඒ සම්බන්ධ ව්‍යාපාරවලට බැසීමට හොඳම කාලයකි. නව වැඩකටයුතු අලුතෙන් පටන්ගන්නා අතර ශරීර සෞඛ්‍යද යහපත් වෙයි.

  
වෘශ්චික ලග්නය - ධනයෙන් පහත වැටේ  


දෙවැන්නට සෙනසුරු යාම තුළ පහර වදින්නේ ආදායම් උත්පාදන වෙයි. මහන්සි වී ආදායම උත්පාදනය කළද එය රැකගැනීම ඉතා අසීරු වෙයි. අධික වියදම් යෙදේ. මුඛය ආශ්‍රිත රෝග ගෙනදෙයි. ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් ආශ්‍රය කිරීමට යාම නිසා කල කෝලාහලවලට මැදිවිය හැකිය. වචනය නිසා අන් අය අතර පිළිකුළට, සමච්චලයට භාජනය විය හැක. තමාට වඩා පහත් අය ආශ්‍රයට වැටේ. වැඩකට නැති වැඩ සඳහා තමාව ඇවිද්ද​ෙවන්න වෙයි. ණය ගනුදෙනුවලට පටලවයි. ගුරු ග්‍රහයාද පළමු වසර තුළ අයහපත් බැවින් ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. එරාෂ්ඨකය ඇත.  


ධනු ලග්නය - සිත කලකිරීමෙන් ගතවන කාලයකි  


ලග්න එරාෂ්ඨකය පවතින විට ඔළුව කෙළින් තබාගෙන තම කටයුතු කරගෙන යාමට, ඉඩදෙනු නොලැබේ. අපිරිසිදු ජීවිතයකට හුරුකරයි. පිළිවෙල වෙනස්වීම, රක්ෂාවේ පහත වැටීම් නිසා ලැබෙන ආදායම් වෙනස් වී යා හැකි. පාදයක ආබාධයක් ඇති කිරීමටද, හේතු කාරක වෙයි. වැඩ ප්‍රමාද වෙයි. දේපළ පිළිබඳවද ගැටලු ගෙන දෙයි. පිටපළාත්වල ඇවිද්දවයි. මුරණ්ඩු අදහස් නිසා සමාජය තුළ පිරිහීමට ලක්වේ. සෑම වැඩකටම බාධා එල්ල වීම නිසා තමා ගැන තමාටම කලකිරීම් ගෙන දෙයි. නිෂ්ඵල වියදම් ද යෙදේ. සිතට නිවනක් ඇතිව ජීවිතය පවත්වාගෙන යාම අසීරු කාලයකි.  


 මකර ලග්නය - කෙළවරක් නැති හිරිහැර සහ බාධා  


ලග්නාධිපති සෙනසුරු දොළොස්වැන්ට යාම නිසා ඉතා අධික වියදම් රටාවක් ජනිත කරන්නේ වෙයි. හබවලට පැටලීම් නිසාද, අසත්‍ය චෝදනාවලට ලක්වීම නිසාද නීතිය මගින් කරදර විඳීමට සිදුවේ. හදිසි අනතුරුවලින් අතපය බිදීම් වෙයි. ලග්න එරාෂ්ඨකය පටන් ගන්නා අවධිය නිසා දුක්වලට ඔරොත්තු නොදේ. සමාජයේ තමාට තිබූ ගරු සැලකිලි අඩු වී යනු ඇත. ශරීරය අපිරිසිදු වී තුවාල සකසයි. දිගින් දිගටම වැඩවලට හිරිහැර සහ බාධා පමුණුවයි. ආදායම් මාර්ගද බිඳී යයි. ප්‍රමාණය ඉක්මවා වියදම් කිරීමට පෙළඹෙයි. නින්දාවටද භාජනය වෙයි. මාරක අපල පවා ගෙන දිය හැකිය.  


කුම්භ ලග්නය - ආදායම් වල වර්ධනයක්   


සෙනසුරු ගෝචර ගමනේදී යහපත්ම ස්ථානය 11 වැන්නයි. එසේම ලග්නාධිපතිද වන නිසා නොසිතන ලෙස ආදායම් මාර්ග පාදා දී ආදායමින් ඉහළට ඔසවන්නේ වෙයි. එ් නිසාම ලෞකික ජීවිතය සැපවත් වෙයි. විවාහ වයසේ නම් ඒවා ස්ථීර වෙයි. අලුතෙන් වැඩකටයුතු පටන් ගැනීමටද ඉතා හොඳ කාලයකි. ශරීර සනීපයද ගෙනදෙයි. සෑම කටයුත්තකින්ම දියුණුවට වැඩ සැලසෙනු ඇත. පවුලේ ද සමගිය සහ දියුණුව ගෙන දෙන්නේ වෙයි. තම බලපුළුවන්කාරකම ලොවට පෙන්වන්නට පුළුවන් වෙයි. ගෙදර දොර පවා මිනිසුන්ගෙන් පිරී යයි. කුම්භ ලග්න දේශපාලනඥයන්ට ජය පිට ජය ලැබේ.  


මීන ලග්නය - රැකියාවෙන් පහත වැටී කීර්ති ප්‍රශංසා නැතිවේ. 

 
සෙනසුරු කර්මස්ථානයට යාම තුළ සිත්තැවුල් දුක් දොම්නස්, ධන හානි ඇති කරන්නේ වෙයි. විශේෂයෙන් රැකියාවට පහර වදින්නේ වෙයි. රැකියවේ සහ සමාජයේ තමාට තිබූ ගෞරවය සහ කීර්තිය නැති වී ගොස් නින්දා අපහාස විඳින්නට සිදුවේ. පිනට වඩා පවට සිත දිවයයි. නරක දේ කිරීමට පෙලඹේ. අනුන්ගේ වචන විශ්වාස කර වැඩකරන්නට යාමෙන් තිබූ දේවල් අහිමි වෙයි. ඉගෙනීමේ කටයුතු අතපසු වේ. දරු ශිෂ්‍ය ලාභ වලට ඉඩ තිබේ. පොළොව සම්බන්ධ කටයුතුවලට අලුතෙන් බැසිය යුතු කාලයක් නොවේ. ගෙදර දොර නිදහසටද බාධා එල්ල වෙයි.  
 මේ ආකාරයට එක් එක් ලග්නයට විපාක දෙන බව පෙනේ. බොහෝ ලග්නවලට ධනුවේ සතුරුව ගමන් ගන්නා සෙනසුරුගෙන් යහපතක් බලාපොරොත්තු විය නොහැක. ඒ නිසා තමාගේ ජන්ම කේන්ද්‍රය අනුව අපල සමනයට ප්‍රතිකර්ම කරවා ගත යුතුය. පොදුවේ සෙනසුරු අපලයට කළ යුතු ප්‍රතිකර්ම ගැන අප විසින් මෙයට පෙර ඉදිරිපත් කර ඇති බව මතක් කරමු.  

 

 

 

 

 

 

 

 


ප්‍රවීණ ජ්‍යොතිෂාචාර්ය  
නීතිඥ නාමල් ප්‍රේමවර්ධන  


‘මිනිසාද’ ජ්‍යොතිෂ සේවය ජයන්ති මාවත, පාදුක්ක,  
ශාඛාව - ‘ශ්‍රීපාණි’ මැඳුර, කළල්ගොඩ හන්දිය, පන්නිපිටිය.