සෙනසුරු මහ දශා අපලයෙන් ගැලවෙන්නේ කොහොමද ?


සූර්යයාගේ පුත්‍රයා හැටියට සැලකෙන සෙනසුරු ග්‍රහ තරුව මදක් කුඩාවන්නේ බ්‍රහස්පති ග්‍රහ තරුවටය. අරික පුත්‍ර කෘශාංග කෝණු අසිත අසුර ආදී නම්වලින්ද හඳුන්වයි. චුම්බක වළලු රාශියක් සෙනසුරු ග්‍රහයා වටා ඇති බව පැවසේ. වායෝ ධාතුවට මෙන්ම වියලි සීත යන දෙගුණයටම අධිපති වේ.   


සෙනසුරු දුකට අධිපතිය. අවාසනාව දුක් දොම්නස් කරදර මානසික පීඩාවන්ට ගොදුරුවීමට හදිසි විපත් අනතුරුවලට මුහුණපෑම දුප්පත්කම මෝඩකම හුදකලාවීම දීර්ඝායුෂ ලැබීම මහලුභාවය භය සංඛා ඇතිවීම වැටීම්, තැලීම්, තුවාලවීම්. විශේෂයෙන් වම් පාදයට හානි පැමිණීම. වාතාබාධ, හන්දිපත් කැක්කුම, අක්මාව මහත්වීමේ ආබාධ, තට්ටය පෑදීම, ඇදුම, හිරේ වැටීම, මරණය, සොරබිය ඇතිවීම වැනි දේට කාරක වන සෙනසුරු කකුල්වල තුවාල සහිත මහල්ලකු හැටියට හඳුන්වන අතර විවාහයට අකමැති ගිහිගෙය කලකිරීම්වලට පත්කරවන දුක් දෙන ග්‍රහයෙකු හැටියට සැලකේ.   


සතුන් වශයෙන් වවුල්, බකමූණු, බලු, බළල් ආදීන්ටද මුං තල ආදී ධාන්‍ය වර්ගවලටද යකඩ මිනිරන් පතල් ආදියටද බලපායි.   


සෙනසුරු ග්‍රහයා ශුභඵල ලබාදෙන නැකත් නම් අස්විද, බෙරණ, කැති, පුනාවස, පුෂ, අස්ලිස, හත, සිත, සා, මුල, පුවසල, උත්‍රසල, පුවපුටුප, උත්‍රපුටුප සහ රේවතීය. ඉතුරු නැකත් වූ රෙහෙණ, මුවසිරස, අද, මා, පුවපල්, උත්‍රපල්, විසා, අනුර, දෙට, සුවණ, දෙනට සහ සියාවස ආදී නැකත්වලින් උත්පත්තිය සිදුවූ විට දුක හා නොයෙකුත් කරදර බාධක පැමිණිය හැකිය.   


සෙනසුරු මහ දශාවේ දී ඇති වන අපලය මගහරවා ගැනීම සඳහා විෂ්ණු දෙවිඳුන් ඇත් රජෙකුගේ වේශයක් මවාගෙන වනාන්තර ගතවී ඇත. අවුරුදු හතහමාරක්වූ ඒරාෂ්ටක අපල කාලය ගෙවී ගිය පසු සෙනසුරු වෙත පැමිණි විෂ්ණු දෙවිඳුන් ඒරාෂ්ටක කාලයේ ඔබ මට කුමක් කළේදැයි ප්‍රශ්න කළ විට ඇයි අවුරුදු හතහමාරක්ම බටකොළ කන්නත් මඩේ ලගින්නත් සැලැස්සුවා අමතකදැයි ඇසූ බව ජනප්‍රවාදයේ පවතී. 


මේ අන්දමින් සෙනසුරු කාටවුවත් අපල කාලයේ දුක ඇති කරවන බව අපට සිතාගත හැකිය. තුලා, මකර, කුම්භ, රාශියක ලග්නයේම සෙනසුරු සිටීමෙන් ධනය ඇති උත්සාහවන්ත සම්පූර්ණ ශරීරයකින් හෙබි ප්‍රසන්න පෙනුමැති ජන්මියෙකු බිහිවන්නේය. අනිකුත් රාශි නවයේ සෙනසුරු ලග්න ගතව පිහිටියොත් කල් පවත්නා රෝගවලින් පෙළෙන කෙට්ටු ශරීරයක් ඇති නොදියුණු හුදකලා ජීවිතයකට පත්වන අයෙකුවීමට බොහෝවිට ඉඩ තිබේ.   


සමහරවිට සෙනසුරු ලග්න ගතවීමෙන් අංගවිකල තත්ත්වයන්ද ඇතිකරලීමට හේතු විය හැකිය. මේ අතර හදිසි ධන ලාභද අත්වීමට ඉඩ තිබේ.   


යම් ජන්මියෙකුගේ සෙනසුරු දෙවැන්නේ සිටීනම් රෝගපීඩා ඇතිවීම ගෘහ ජීවිතය ගැන කලකිරීම දුප්පත්වීම සිදුවිය හැකිය. බොහෝවිට උපයන දේ වියදම් වන්නේ තමන්ටම නොදැනුම්වත්වය. රහස් රැකීමට අසීරුය. පියාගෙන් ලැබීමට භාග්‍යය නොමැත. සෙනසුරු උච්ච ස්වක්ෂේත්‍ර වශයෙන් දෙවැන්නේ යෙදී තිබුණොත් අපල බොහෝ දුරට අඩුවේ.   
සෙනසුරු තුන්වැන්නේ තැන්පත් ජන්මියාට බොහෝ විට සතුරන් මර්දනය කළ හැකිවේ. වික්‍රමාන්විත​ වේ. සහෝදරාදීන්ට විරුද්ධකම් කිරීමට ඉඩ තිබේ. ඥාතීන් හා කුළුපග නොවේ. කේන්දරයේ එකොළොස්වැන්නේ පාප ග්‍රහයෙකු තැන්පත් නම් ස්වකීය බිරිඳට අපල උපද්‍රව ඇතිවීමට ඉඩ තිබේ.   


සෙනසුරු සිව් වැන්නේ තැන්පත් ජන්මියා වයස්ගතවීමත් සමගම කලකිරුණු ජීවිතයකට පත්වීමට ඉඩ තිබේ. සිව් වැන්න චර රාශියක්ව සෙනසුරු එහි සිටියහොත් නිත්‍ය වාසස්ථානයක් නොමැතිව තැන් තැන්වල කුලී ගෙවල්වල ජීවත්වීමට ඉඩ තිබේ. ඥාතීන් නිසා දුකට පත්වීමට පුළුවන. පපුවේ රෝග ඇතිවීමට ​ඉඩ තිබේ.   


පස් වැන්නේ සෙනසුරු තැන්පත් ජන්මියාට විවිධාකාර කරදරවලට බාධකවලට මුහුණපාන්නට සිදුවිය හැක. දරු ඵල හීනවන අතර දරුවන් සිටියත් ඔවුන්ගෙන් ඵල ප්‍රයෝජන ලැබිය නොහැකිය. පෙම් සබඳතා විනාශවීමෙන් ජීවිතයම දුකින් ගත කරන තත්ත්වයන්ද උදාවීමට ඉඩ තිබේ. සෙනසුරු උච්චව හෝ ස්වක්ෂේත්‍රව පිහිටා තිබේ නම් ශුභඵල උදාකරයි. ධනු ලග්න හිමියන්ගේ පස්වැන්නේ සෙනසුරු නීචව තැන්පත් නම් ධනය ලැබෙන අතර ශුභඵලද ප්‍රදානය වෙයි. 

 
සෙනසුරු හයවැන්නේ තැන්පත් ජන්මියාට සතුරන් මැඩපැවැත්වීමට හැකි වෙයි. මාමාවරුන් අමනාපවීමට පුළුවන. බොහෝවිට උපතේ සිටම රෝගියෙකුවීමට ඉඩ තිබෙන නමුත් සෙනසුරු ශුභවාදීව පිහිටියොත් රෝගවලට ඔරොත්තුදීමේ පුදුම ශක්තියක් ලබයි. සමහරවිට නොමැකෙන කැළැල් ඇතිවන තුවාල ඇතිවිය හැක.   


සෙනසුරු හත්වැන්නේ තැන්පත් ජන්මියාට විවාහය ප්‍රමාද වුවද බොහෝවිට ප්‍රසන්න පෙනුමැති ප්‍රියමනාප සහකරුවෙකු ලබාදෙයි. හත්වැන්නට දිග්බලවන සෙනසුරු විවාහය රුචිකර නොවුවත් විවාහය කඩාකප්පල් නොකරයි. හතේ සිටින සෙනසුරු අඟහරු ගේ දෘෂ්ටියට ලක්වුවොත් සහකාරියට අශුභඵල ඇතිවීමට ඉඩ තිබේ.   


අටවැන්නේ සෙනසුරු සිටින ජන්මියාට නින්දා අපහාසවලට මුහුණපෑමට සිදුවීමට ඉඩ තිබේ. සමහරවිට ලිංගික රෝගාබාධ ඇති කිරීමට ඉඩ තිබේ. සෙනසුරු අටවැන්නේ උච්චව හෝ ස්වක්ෂ්ත්‍රව බලවත්ව සිටියොත් හදිසි ධනලාභ ලොතරැයි දිනුම් ලැබීමට පුළුවන. දීර්ඝායුෂ ලැබේ.   


සෙනසුරු නවවැන්නේ සිටින ජන්මීන් ආගම ධර්මය කෙරෙහි වැඩි භක්තියක් ඇතිවන අතර තවුස් ජීවිතයකට වඩාත් කැමැත්ත යෙදේ. විවාහ වී පවුල් ජීවිතයක් ගත කළොත් හික්මුණ විනීත දරුවන් ඇති යහපත් පුරවැසියෙකුවීමට පුළුවන.   


සෙනසුරු දහවැන්නේ සිටින ජන්මින්ගේ රැකියා තත්ත්වයන් විටින්විට වෙනස්කරවයි. රැකියා ස්ථානයේ ප්‍රධානීන් භේද කරවයි. පහත් ක්‍රියාවලට පෙළඹෙන්නට ඉඩ තිබේ. සෙනසුරු මහ දශාවේදී හෝ අන්තර් දශා කාලයේදී හෝ ගෝචරයෙන් සෙනසුරු දහවැන්නට පැමිණිවිට සියලු කටයුතු අවුල්කොට අලාභහානි ඇතිවීමෙන් අවසානයේ නැත්තටම නැති තත්ත්වයට පත් කිරීමට ඉඩ තිබේ.   


සෙනසුරු එකොළොස්වැන්නේ සිටින ජන්මීන්ට මිත්‍රයින් අඩුවුවත් මිත්‍රයින්ගේ රැවටීම්වලට අසුවී පාඩු විඳීමට සිදුවේ. වැඩිමල් සහෝදරාදීන්ට ශුභ නැත. ශුභ දෘෂ්ටි ඇතිව සෙනසුරු බලවත්ව සිටියොත් ශුභඵල උදාවේ. ධනයද ලබයි.   


සෙනසුරු දොළොස්වැන්නේ තැන්පත්ව සිටින ජන්මීන්ට සැපක් ප්‍රීතියක් නැති ජීවිතයක් එළැඹිය හැක. සෙනසුරු මහදශාව තිබුණොත් නඩුහබවලට පැටලීමට කරුණු යෙදිය හැක. ඇස්වල රෝග, කල් පවතින රෝග පීඩාදිය ඇතිවීමට ඉඩ තිබේ.   


සෙනසුරු ඒරාෂ්ටකය ජන්ම ලග්න හා අෂ්ටම යනුවෙන් ත්‍රිවිධාකාරය. මෙම ඒරාෂ්ටක තුන ගෙවීමට සෙනසුරුට අවුරුදු හතහමාරක් ගත වෙයි. උපතේදී චන්ද්‍රයා සිටි භාවයට ගෝචරයෙන් සෙනසුරු පැමිණි විට ජන්ම ඒරාෂ්ටකය යෙදේ. අවුරුදු දෙකහමාරක් බලපායි. එම භාවයට අදාළව පවතින ප්‍රතිඵලයට හානි සිදුවේ. සෙනසුරු ගෝචරයෙන් පළමුවන, දෙවන හා දොළොස් වන භාවවල ගමන් කරන විට ලග්න ඒරාෂ්ටකය බලපායි. එයද අවුරුදු දෙකහමාරකි. සෙනසුරු ගෝචරයෙන් අටවැනි භාවයට පැමිණිවිට අෂ්ටම ඒරාෂ්ටකය යෙදී එයද අවුරුදු දෙකහමාරක් පවතී. එම අවස්ථාවේ චන්ද්‍රයා අටවැන්නේ සිටියොත් ජන්ම අෂ්ටම ඒරාෂ්ටක දෙකම එකවර බලපානු ඇත. බලවත් ලෙස අශුභඵල යෙදෙන්නට ඉඩ තිබේ.   


අවුරුදු තිහකට වඩා ජීවත්වන ජන්මියෙකුට මෙම ඒරාෂ්ටකවලට මුහුණ පෑමට සිදුවේ. අවුරුදු තිහෙන් පසු දෙවෙනි වරට සෙනසුරු ඒරාෂ්ටකය ලබයි. හොඳ නමට කැළැල් ඇතිවීම, තමා සිටින තත්ත්වයෙන් පහත වැටීම, සමහරවිට ඔළුව හැරුණු අතේ යාම වැනි දේ සිදුවීමට ඉඩ තිබේ. තෙවැනි වරට සෙනසුරු ඒරාෂ්ටකය යෙදෙන්නේ අවුරුදු හැට ඉක්මවීමෙන් පසුවය. රැකීරක්ෂාවලින් විශ්‍රාම ලබා විවේකයෙන් කාලය ගෙවන මේ සමයේ නැතිවන්නට ඇත්තේ ඒ ජන්මියාගේ ජීවිතය පමණි. විශේෂයෙන් මෙම ඒරාෂ්ටක කාලවලදී දෙමාපිය වැඩිහිටියන්ට ඇප උපස්ථාන කිරීම, ඔවුන්ට සලකා ඔවුන්ගේ ආශිර්වාද ලබාගැනීම, දන්දීම, මහලු අයට සැලකීම, දුගී මගී යාචකාදීන්ට හා ආබාධිතයන්ට අබල දුබල අයට හැකි අයුරින් උපකාර කිරීම, මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම ආදියෙහි නිරතවීම ශුභදායකය.   


සෙනසුරු මහදශාව අවුරුදු දහනවයක් පවතී. මෙම කාලය තුළදී විශේෂයෙන් ඒරාෂ්ටකය යෙදී ඇති කාලවලදී ගිතෙල් මිශ්‍ර කිරිබත් සෙනසුරාදා දිනවලදී උදේ හයත් හතත් අතර කපුටන්ට කන්නටදී විෂ්ණු දෙවි පිහිටෙන් සෙනසුරු ග්‍රහ අපල දුරුවේවායි සෙත් පැතීම ශුභය. කාක නිලක් ඇල්ලූ මුද්දක් පැළඳීම ශුභය. සෙත්කවි කීම සහ සෙනසුරු අපල දුරුවීමට ශාන්තිකර්ම කරවා ගැනීමද ඉතා ශුභ වෙයි. නුග ගසක් වටේ පිරිසිදු කොට ශනි දිනක ශනි හෝරාවෙන් එම ගසමුල බටහිර දිශාවේ මල් අසුනක් සාදා නිල්මල්, නිල් කොඩි, පහන් සුවඳ දුම් ආදිය බුදුරජාණන් වහන්සේට පූජාකොට දෙවියන්ට පිං දී විෂ්ණු දෙවියන් සිහිකර පිං දී සෙත් පැතීම ශුභය.   


පුරිස දම්ම සාරථි බල මහිමෙන් සැඩ සෙනසුරාගෙ   
අපල විකල භූත දෝෂ ගැටුම් වැටුම් හා බන්ධන   
දුරැර සියලු මෙකී දෝෂ විලස සාදු ජය බෝරුක   
ජිනපංජරයක් වේවා සෙනසුරු දොස් දුරුවේවා.   

 

 


ජ්‍යොතිෂ ශාස්ත්‍ර සූරී 
ඩී.බී. වීරතුංග   
ශ්‍රී සම්පත් ජ්‍යොතිෂ කාර්යාලය   
304, දේවාල පාර, බටකැත්තර   
පිළියන්දල