සෙනසුරු මාරුව කොහොමද?


2014.11.02 සිට සෙනසුරු ග‍්‍රහයා සතුරු රාශියක් වූ වෘශ්චික රාශියේ ගමන් කරන වසර 2 1/2 කට පමණ පසුව 2017.10.26 දින සම රාශියක් වූ ධනුවට පැමිණේ. මෙම ග‍්‍රහ ගෝචරයත් සමග මෙම වසරේ සැලකිලිමත් විය යුතු ග‍්‍රහ ගෝචරයන් තුනක් සිදු විය. 2017.08.18 රාහු ගෝචරයන් සතුරු වූ කටකයට පැමිණීමත්, කේතු මකරයට පැමිණීමත් 2017.09.12 ගුරු ග‍්‍රහයා තුලා රාශියට පැමිණීමත් එම අවස්ථා තුනයි. මේ නිසා එම ග‍්‍රහ ගෝචරයන් ද සැලකිල්ලට ගෙන පලා පළ කථනය සිදු කිරීම සුදුසු වේ. කෙසේ වුවද පොදුවේ ගත් කල ප‍්‍රධාන වශයෙන් ලග්න තුනකට ලග්න ඒරාෂ්ටකය ගත කිරීමට සිදු වන අතර වෘෂභ ලග්නයට ලග්න අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය ඇති කරයි. 

එසේම තුලා ලග්නයට වසර 7 1/2 ක ලග්න ඒරාෂ්ටකය අවසන් වේ. මේෂ ලග්න හිමියන්ට ද වසර 2 1/2 ක ලග්න අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය අවසන්වේ. උපතින් සඳු ග‍්‍රහයා වෘශ්චික, ධනු මකර යන රාශියක තැන්පත්ව ඇත්නම් ඒ අයට ජම්ම ඒරාෂ්ටක තත්ත්වය ගත කරන්නට සිදු වේ. 


කෙසේ වෙතත් තම තමන් ගත කරන මහ දශා අතුරු දශා අනුවද ශුභ අශුභ වෙනස් වේ. 


සාමාන්‍යයෙන් ශනි ග‍්‍රහයා ලග්නන් 12 2 වැන්න සහ ලග්න භාවයේ ගමන් කිරීම ලග්න ඒරාෂ්කටය ලෙස හඳුන්වන අතර ලග්නෙන් 8 ශනි ගමන් කිරීම ලග්න අෂ්ටම ඒරාෂ්ටකය වේ. එසේම උපතින් සඳු වෘෂභ රාශියේ තැන්පත්ව සිටින අයට ද චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය ගත කරන්නට සිදු වේ. එය වසර 2 1/2 ක් වේ. 


ශනි ශෝචරයෙන් පැමිණෙන ධනු රාශියේ උපතින් යම් ග‍්‍රහයෙක් සිටී නම්, එම ග‍්‍රහයාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත වේ නම් එම ග‍්‍රහයාගෙන් දෙනු ලබන ශුභ ඵල අඩු විය හැකියි. උපතින් එම ස්ථානයේ ග‍්‍රහයකු නොමැති නම් තද බල අපල ගෙන දෙන්නේ නැත. ශනි අශුභ ග‍්‍රහයෙක් වී 22 වන දෙර්කාණාධිපති හෝ රෝග ස්ථානයේ අධිපතින්ගේ සබඳතාවක් පවතී නම් ශරීර සෞඛ්‍යය පිරිහීමට ඉඩ ඇත. 


ඔබේ ලග්නෙන් 3, 6 හෝ 11 වැන්නට ශනි පැමිණේ නම් එය යහපත් වේ. තද බල අගුණ ඇති වන්නේ නැත. එහෙත් ජම්ම ඒරාෂ්ටක වැනි තත්ත්වයක් ගත කරන්නට සිදු වේ නම් ශුභවල හීන විය හැකිය. 


දැනට ලග්න ඒරාෂ්ටකය ගත කරන වෘශ්චික ලග්න හිමියකු මකර කුම්භ හෝ මීන නවාංශකයකින් උපත ලබා, ශනි දශාවක් ද ගත වේ. ඒ අය තමාගේ ධන ලැබීම් ආදායම් තත්ත්වයන් ගැන සැලකිලිමත් විය යුතුයි. අධික ධන වැය වීම් පාඩු බෙල්ලෙන් ඉහළ අසනීප සහකාරියට හෝ සහකරුට අගුණ ගෙන දීමට ඉඩ ඇත. 


ධනු ලග්න හිමියන්ගේ ලග්න භාවයට ශනි පැමිණීම නිසා විවාහ ප‍්‍රමාද වීම, හිස ආශ‍්‍රිත අසනීප, කළකිරීම් උනන්දුව දියුණුව, අඩු වීම් විවාහ ජීවිතයේ අර්බුද ගෙන දිය හැකියි. 


මකර ලග්න හිමියන්ගේ 12 වැන්නට ශනි පැමිණීම නිසා වසර 7 1/2 ක ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් උදා වේ. මකර ලග්නය වී මේෂ වෘෂභ හෝ මිථුන නවාංශකය වී උපත ලබා ශනි දශා ගත වේ නම් ඒ අය වෙනදාට වඩා පිළිවෙළකට තම වැඩ කටයුතු කර ගැනීමට උනන්දු විය යුතුයි. නීතිමය කටයුතු වලට මැදිහත් වීම් නඩු හබ රෝග පීඩා අධික ධන වැය වීම් පාද අමාරු වැඩ කටයුතුවල අවුල් තත්ත්වය ගෙන දිය හැකියි. 


මේෂ ලග්න හිමියන්ගේ ලග්නෙන් 9 වැන්නට ශනි පැමිණීමට සිදු වේ. මේ නිසා වසර 2 1/2 ක් ගත කළ ලග්න අෂ්ටම ඒරාෂ්ටකය අවසන් වේ. එසේම ශනි 9 ගමන් කිරීම උසස් අධ්‍යාපන කටයුතුවල ප‍්‍රගතිය අඩුවීම්, දේව භක්තිය වැඩිවීම් ස්ථාන වෙනස් වීම් ශරීර සෞඛයය පිරිහීම් නිෂ්ඵල වියදම්, වැඩිහිටියන්ට අගුණ ගෙන දිය හැකියි. 


වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නෙන් 8 වැන්නට ශනි පැමිණීම නිසා ලග්න අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය උදාවේ. එය වසර 2 1/2 ක් පවතී. මේ කාලය ශාරීරික පීඩා, අඹු දරුවන්ගෙන් ඈත් වීම් පියාට හෝ වැඩිහිටියකුට විපත් නරකනාම හදිසි අනතුරු අධික ධන වැය වීම් පවුල් අයට කරදර ගෙන දිය හැකියි. 


මිථුන ලග්න අයගේ 7 වැන්න එනම් විවාහ ස්ථානයට ශනි පැමිණීමට සිදු වේ. එය ශනිට දිග් බල ස්ථානයයි. එසේම බාධක ස්ථානයයි. තුලා වෘශ්චික ධනු නවාංශකයකින් උපත ලබා ඇත්නම් ශනි දශා ගත වේ නම් විවාහ ජීවිතයේ මේ මතභේධකාරී අවස්ථා සහකරුගෙන් හෝ සහකාරියගෙන් ඈත් වීම්, යටි බඩ ආශ‍්‍රිත අසනීපකම් සැපතට බාධා ගෙන දිය හැකියි. 


කටක ලග්න අයගේ 6 වැන්න එනම් රෝග ස්ථානයට පැමිණේ. උපතින් එහි ශුභ ග‍්‍රහයෙක් සිටී නම් කටක සිංහ කන්‍යා නවාංශකයකින් උපත ලබා ඇත්නම් ශනි දශා ගත වේ නම් රෝග පීඩා කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. 
ශනි අයහපත් ග‍්‍රහයෙක් නොවී 6 ගමන් කිරීම යහපත් ප‍්‍රතිඵල උදා කරයි. ණය ලැබීම ණය වලින් නිදහස් වීම් තමන්ට නිදහසේ ගේ දොර පාලනය කිරීමට ලැබීම. ව්‍යාපාර දියුණුව ලැබීම් ද විය හැකියි. 


සිංහ ලග්න හිමියන්ගේ ලග්නෙන් 5 වැන්නට ශනි පැමිණේ. උපතින් ශනි සතුරුව නීචව සිටී නම් ප‍්‍රවේශම් විය යුතුයි. බලාපොරොත්තු ගිවිසුම් වෙන් විය හැකියි. ඉක්මන්කම නිසා වැඩ කටයුතුවල අවුල් ඇති විය හැකියි. පවුලේ අයගේ දරුවන්ගේ අසනීප සඳහා ධනය කාලය වැය වේ. උදරය ආශ‍්‍රිත රෝග ගෙන දිය හැකියි. අවාසනාවන්ත දරුවන් ලැබීමට ඉඩ ඇත. පළ ප‍්‍රයෝජන නැති දේවලට ඇවිදින්න සිදුවේ. නීතිමය කටයුතු නඩු හබවලට පැටලෙන්නට ඉඩ ඇත. අධ්‍යාපනයට ද බාධා ගෙන දේ. කන්‍යා ලග්න හිමියන්ගේ 4 වැන්නට ශනි පැමිණීම පවුලේ වැඩිහිමියකුට මාරක, දේපළ පදිංචි ස්ථාන සම්බන්ධ ප‍්‍රශ්න ගෙන දේ. රැකියා වෙනස් වීම් අහිමි වීමේ විශ‍්‍රාම ගැනීම් සිදු වේ.

මව්පියන්ගෙන් කරදර ඇති විය හැක. අලාභ හානි ඇති වේ. ගොවිතැන් ව්‍යාපාර වලින් පාඩු ගෙන දිය හැකියි. 
තුලා ලග්න හිමියන්ට වසර 7 1/2 ක් පැවති ලග්න ඒරාෂ්ටකය අවසන් වේ. මේ නිසා සෑහෙන සහනයක් ගෙන දේ. එහෙත් උපතින් සඳු 2, 3, 4 යන ස්ථානවල සිටී නම් ජම්ම ඒරාෂ්ටක තත්ත්වය ගෙන දෙන බැවින් ශුභ ඵල හීන විය හැකියි. කෙසේ වුවත් අපල කාල වකවානු යනු පෙර කරන ලද අකුසල් ඵල දෙන කාලයක් නිසා හැකිතාක් ආගමානුකූලව කටයුතු කරන්න. මධ්‍යස්ථ වන්න. ඉවසීම පුරුදු කරන්න. ලද දෙයින් සතුටු වන්න. එවිට අගුණ අඩුවේ. 

 

 

 

 

 

 

 

 

 

 

 


ජ්‍යෙතිර්වේදිනී
ඛේමා සුභාෂිණී වීරතුංග