සූනියම් දෙවියන්ට පහන් තැබීම කාන්තාවන්ට අකැප නෑ


සූනියම් එසේත් නොමැති නම් ගම්භාර දේවතාවන් වහන්සේට නියම ලෙස පහන් ආලෝකයක් වගේම නියමාකාරයට පහන් පැලක් සකසා ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳ කථා කළා.  
අද අපි කථා කරන්නේ දෙවියන්ට පහන් දල්වනවිට කිල්ලකට හසුවී හෝ පහන් දැල්වීම අතපසු වුවහොත් කුමක්ද කරන්නේ යන කාරණය පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් දෙමටගොඩ ලුනාව දේවාලයේ සිටින චන්ද්‍රසිරි සරණගම කපුමහතාගෙන් විමසීමක් කළෙමු.  

 

හදිසියේමත් කිල්ලකට හසුවී පහන තබන්න නොහැකි වූවහොත් අවැඩක් සිද්ධවෙනවා ද?  
අපි කලින්ම කථා කළානේ සූනියම් දෙවියෝ එහෙම අවැඩක් කරන දෙවි කෙනෙක් නොවෙයි. උන්වහන්සේ බුදුබව පතන දෙවියෙක්. අපි මුලින්ම පහන තබන කොටම දෙවියන්ට දැනුම් දුන්නේ යම්කිසි දෙයකින් අතපසු වුණත් පහන තබන්න මට සමාවෙන්න කියලා. මොකද අපි මිනිස්සු නිසා යම් යම් අතපසුවීම් වෙනවා අපට තිබෙන වැඩ රාජකාරිත් එක්ක. ඒක නිසා පහන නොතිබ්බා කියලා අවැඩක් සිද්ධවෙන්නේ නැහැ. හැබැයි අපි දෙවියන්ට ඒ බව කියලා මුලින්ම සමාව ගන්න ඕනෑ.  


ඔය දැන් බොහෝ විට පහන දල්වන්න අතපසු වෙන්නේ කිලිවලට හසු වු​ෙණාත්නේ. කිලි වර්ග කිහිපයක්ම තිබෙනවා. මරණ කිල්ල, කොටහලු කිල්ල, දරුවෙක් ලැබුණට පස්සේ මාස 3ක් යනකම් පහන තබන්න හොඳ නෑ. කිල්ල කියලා කියන්නේ අපිරිසිදුතාවයක්නේ. ඒ අපිරිසිදුතාවය සිද්ධ වෙන කොට අපි කිලි හරණයක් කරලා අයින් කර ගන්න ඕනෑ. ඒකනේ කියන්නේ දරුවෙක් ලැබුණම මාස 3ක් යනකම් දේවාලයකට ගේන්න එපා කියනවා. ඊට පස්සේ මළ ගෙයක් වුණාම දින 21ක් යනකම් පහන දල්වන්න සුදුසු නැහැ. දරුවකු වැඩිවියට පත්වුණාට පස්සේ මාස 3ක් යනකම් දේවාලයකට යන්නෙ නැහැ. ඒ ගෙදර පහන් දල්වන්නේ නැහැ. ඒවායින් වැළකෙන්න ඕනෑ.  


හදිසියේවත් එවැනි කිල්ලකට හසුවුවහොත් දෙවියන්ගෙන් සමාව අයදින්නේ කොහොමද?  
දැන් අපි මුලින්ම පහන තබලනේ තියෙන්නේ. මුල්ම දවසේ පහන තබන කොටම දෙවියන්ට කියලනේ තිබෙන්නේ. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ දින ගණන පසු වුණාට පස්සේ රූපය, පහන් ඒ දේවල් කහ පැන්වලින් සෝදලා පිරිසිදු කරලා සඳුන් කිරිපැන්වලින් සෝදලා ඊට පස්සේ ආපසු කැපකරන්න පුළුවන් ආරාධනා කරලා දෙවියන්ට. එතැනදීත් අපි සමාවක් ගන්න ඕනෑ. මේ කාලය තුළ මට මෙන්න මේ විදිහ කිල්ලක හසුවුණු. ඒ කාලය තුළ මට පහන තබන්න බැරි වුණා. මම ඔබ වහන්සේට අද ඉඳලා නැවත පහන තබනවා කියලා ආශිර්වාද ගන්න ඕනෑ. මේ පහන් මාලාව ඔබ වහන්සේට කැප කරනවා. අපේ අනින් වරදක් සිදු වූවානම් සමාව දෙන්න කියලා. අපේ පහත කැපගන්න කියලා දෙවියන්ට නැවත ප්‍රකාශ කරන්න ඕනෑ.  

 


සෑම දිනකම සූනියම් දෙවියන්ට විලඳ මීපැණි තැබීම අවශ්‍ය ද?  
දැන් ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ කෙම්මුර දවස්වලට පහන තබන්න. කෙම්මුර දවස් කියන්නේ බදාදායි, සෙනසුරාදයි. එදාට බොහෝ දෙනෙක් තැඹිලි ගෙඩියක්, විලඳ ටිකක්, මී පැණි ටිකක් පූජා කරන්න පුරුදු වෙලා ඉන්නවා. සෑමදාකම පූජා කරන්නත් බැහැනේ. එදාට පහනයි සුදුමල් ටිකකුයි පැන් භාජනයකුයි පමණක් තිබ්බත් ඇති. සුවඳ හඳුන්කූරුත් එක්ක කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ  

 


දැන් මතයක් තිබෙනවා සූනියම් දෙවින්ට පහන් තබන්න කාන්තාවන්ට සුදුසු නැහැ කියලා. ඒක ඇත්තක් ද?  
ගොඩක් දෙනෙක් බැලුවොත් ඔය කැඹුරුම් මාලාවන් තිබෙන, වරම් මාලාවන් තිබෙන අය කාන්තාවොනේ. පිරිමි පක්ෂය අඩුයි. ඒ කාන්තා පක්ෂය අද වනතුරුත් වැඳුම් පිඳුම් කරලා දඬුවමක් ලැබුණ කියලා මම නම් අහලාවත් නැහැ. හැබැයි ප්‍රතිපත්තිගරුකව පිළිවෙත් රැකගෙන දෙවියන් පුදනකොට ඒ ශක්තිය තමන්ට ලැබෙනවා. ඒ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා.  

 


ඒ අවස්ථාවේ ආරූඪ වීමක් සිදු වෙනවා ද?  
මෙහෙමයි. තමන්ට ඥාති වරමක් තිබුණාත් ආරූඪ වීමක් සිදු වෙන්න පුළුවන්. ඥාති වරමක් ඇති අයකු නම් ඥාතියා පැමිණ ඇඟ සලිත කරවනවා. ඥාතිවරමක් නැති කෙනෙක් හිටියොත් එයාට ලොකු භක්තියක් ඇති වෙනවා. ලොකු පැහැදීමක් ලොකු ගෞරවයක් ඇති වෙනවා දෙවියන්ගේ. එහෙම වුණාම එයාටම තේරෙනවා මට දේවතාවුන් වහන්සේගෙන් පිහිටක් තිබෙනවා කියලා එයාට හිතෙනවා. අන්න ඒ සිතුවිල්ලත් එක්ක තමයි දේවතාවුන් වහන්සේ බැඳෙන්නේ. දැන් මන්ත්‍ර ගුරුකම් වලින් බන්ධය කරගන්නවා. ඊට පස්සේ මිත්‍ර බන්ධන හදා ගන්නවා. දේවතාවන් වහන්සේගේ ගුණ සඡ්ඣායනා කරලා ගීතිකා කියලා දෙවතාවුන් වහන්සේව මිත්‍ර කරගන්නවා. අපි යාළුවෙක් ව​ෙග් කරගන්නවා. එහෙම යාළුවෙක් වගේ කරගත්තහම තමුන්ට දේවතාවන් වහන්සේ ළඟ ඉන්නවා තේරෙනවා. සෑම දුකේදීම, සෑම සැපතකදීම තමන්ට යම්කිසි දෙයක් වෙන්න තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකෙන් වළක්වනවා.  

 


දේව ස්තෝත්‍ර නිවැරදි ලෙස උච්චාරණය නොකළහොත් ගැටලුවක් තිබෙනවා ද?  
ගැටලුවක් නම් අැතිවෙනවා. මොකද දේව ස්තෝත්‍ර වැඩිපුරම තිබෙන්නේ සංස්කෘත භාෂාවෙන්. ඒවා නිවැරදි ලෙස උච්චාරණය කිරීම ඉතාමත් වැදගත්. උදාහරණයක් වශයෙන් ගත්තහොත් දැන් අපි සෙත් කවියක් කියලා කියමුකෝ. ඒ සෙත් කවිය හරියට ගණ පිහිටවලා නැත්නම් අක්ෂර දෝෂයක් වෙනවානම් සෙත් කවිය කියන්න ප්‍රථමයෙන් අපි දෙවියන්ට කියනවනේ මේ සෙත් කවියේ අක්ෂර දෝෂයක් හෝ ගණ දෝෂයක් අැතිවෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් ඒ ගැන සමාවෙලා මේ දේ යහපත් ආකාරයකට සෙත උදාකරන්න කියලා. ඒවාගේම තමයි මෙතනත් අපිට දේව ස්තෝත්‍ර තේරෙන්නේ නැති නම්, පාඩම් නැතිනම් දෙවියන්ට ඒ බව කලින්ම කියලා ස්තෝත්‍ර කිව්වා කියලා ගැටලුවක් නැහැ. එතනදී ඇකැපක් වෙන්නේ නැහැ. ස්තෝත්‍ර නොකියා වුණත් කමක් නැහැ. පහන විතරක් තිබ්බටත් ගැටලුවක් නැහැ. ඒ දෙවියන්ගේ නාමය සිහිපත් කරලා පහන තියන්න පුළුවන් බදාදයි සෙනසුරාදයි කෙම්මුර දවස් දෙකේ.  
දැන් හුඟාක් දෙනකුගේ මතයක් තිබෙනවා රාත්‍රී 9ට පස්සේ තමයි දේව බැල්ම තිබෙන්නේ කියලා. ඒක නිසා හුඟක් දෙනෙක් පහන තියන්නේ රාත්‍රී 9ට පස්සේ. ඒක ඉතින් පැයක් විතර දැල්වෙනවනේ. එතකොට 10.01 වෙලාව වෙනකොට දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටෙනවා.  


නමුත් ප්‍රතිපත්තිගරුකව සීලවන්තව සූනියම් දෙවියන්ට පහන් තබලා පුද සත්කාර කරනවා නම් සූනියම් දෙවියෝ ජීවමානව වුණත් දකින්න පුළුවන්. හැබැයි ජීවමානව දකින්න නම් ඒ විදියට පිළිවෙත් කරන්න ඕනෑ. එතකොට ඒ නිවස, භූමිය සම්පූර්ණ පිරිසිදු වෙන්න ඕනෑ. එතකොට තමුන්ට දැනෙනනවා මෙතන ලොකු ශක්තියක්, බලයක් තිබෙනවා කියලා.  


පහන තබනකොට අපිට කියන්න පුළුවන්   
“සිවස්තු නමෝ රාමහ්  
ඛන්ධ සේනා සිවාගමක්  
වඩිග තන්ත්‍ර මනි කන්තක්  
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්ගික් ඛන්ධංච හස්තේන  
හස්තේ වඩිග කර්ගසේ  
මුඛේන විෂ සර්පේන  
ශිර්ගේ පංච කේසකේ  
උදරයේ නාග බන්ධාමී  
නීලෝ තුරඟ වාහනේ  
සූනියම් දේව තා නාම  
මහියංදි පාද මේ නමෝ නමඃ.”  


ඔන්න ඔය ගාථාව එක පාරක් හෝ තුන් පාරක් හෝ කියලා පහන දේවතාවන් වහන්සේ සිහිකරලා තබන්න පුළුවන්. ඔය ස්තෝත්‍ර තවත් කිහිපයක් තිබෙනවා. ඒ ස්තෝත්‍ර සඡ්ඣායනා කළාම දෙවියන් සතුටු වෙලා අපි දිහා බැල්ම හෙළනවා. ඔය ගාථාව තමුන්ට සිද්ධි වෙනවා. ඒ සිද්ධි වුණාට පස්සේ ඔය ස්තෝත්‍රවල එක වචනයක් සිහි වුණාම ගාථාවම මතක හිටිනවා.  


ඊට පස්සේ අපට දෙවියන්ට පිංදෙන්න පුළුවන්. අපි සිතින් සිතනවනේ දෙවියන් ඉදීමසේ. අන්න ඒ සිතීම බලවත්. අපි කටින් කියනවාට වඩා සිතින් සිතන සිතුවිල්ලයි බලවත් වෙන්නේ.  


“සිද්ධ අරන් සළු ආභරණ පළඳින්න  
සිද්ධ පහන්හිද සුරතට අරගන්න  
සිද්ධ ගමන් තුරඟකු පිටයන්න  
සිද්ධ සූනියම් දෙවියන් පිං ගන්න”  


දෙවියන්ට පිං දෙන කොට මෙන්න මේ ගාථාව කියලා පිං දෙන්න පුළුවන්. ඒ ඉවර වෙලා අපි දෙවියන්ට පිං දෙන ගාථා කියලා කරණීයමෙත්ත සූත්‍රය කියලා පිං දෙන්න පුළුවන්. දෙවියන්ට දිනපතාම විශේෂයෙන් කෙම්මුර දවස්වලට සූනියම් දෙවියන්ට පහන් තියලා පුද සත්කාර කරනවානම් අනිවාර්යයෙන්ම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. අපිට ඕනෑම වෙලාවක අපිව ආරක්ෂා කරනවා. දැන් මෙතනට පැමිණෙන දහස් ගණනකගේ ගැටලු කරුණු කාරණා දිහා බලනකොට අපි දන්නවා ඔවුනට යම් සහනයක් ලැබිලා තිබෙනවා කියලා.  


ඒ වගේම ස්තෝත්‍ර නොකිව්වා කියලා අවැඩක් වෙන්නේ නැහැ. මම මුලින්ම ප්‍රකාශ කළා වගේ අපි ප්‍රතිපත්තිගරුකව, සිල්වත්ව, තුනුරුවන් නමස්කාර කර දෙවියන් නමදිනවා නම් අපිට කවදාවත් වරදින් නැහැ. අපි පිරිසිදු වෙන්න ඕනෑ. අනික අපි දෙවියන් පිළිබඳ විශ්වාසයක් තිබෙන්න ඕනෑ.  


දැන් බලන්න කොයිදේක වුණත් විශ්වාසයක් නැතිනම් ඵලක් නැහැනේ. ඒ වගේ තමයි දෙවියන් කෙරෙහිත් විශ්වාසයක් තබන්න ඕනෑ. එතකොට දෙවියන් අපිට ආශිර්වාද කරනවා. අපි ලබාදෙන පිං ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ පිං ඔවුන් අරගෙන අපට ආශිර්වාද ලබා දෙනවා.  


මෙතනට පැමිණෙන දහස් ගණන් ජනතාව සමඟ සාකච්ඡා කරනකොට අපිට ඔවුන්ගේ ප්‍රකාශවලින්ම තේරෙනවනේ දෙවියන් ඔවුනට පිහිට වෙලා කියලා. ඒකනේ තවමත් බැතිමතුන් පැමිණෙන්නේ තමන්ගෙ නොයෙකුත් ගැටලුවලට පිළිතුරක් පතාගෙන. මම දන්න විදිහට ඔවුන් බොහෝ දෙනකුගේ ගැටලු විසඳලා දීලා තිබෙනවා.  


ලබන සතියට.... 


සටහන හා ඡායාරූප 
නිශාන්ත කුමාර බණ්ඩාර