සුබ ගමනක් යාමේදී මේ ගැනත් සිතන්න


සුබ ගමනක්, වැදගත් කටයුත්තක් වැනි යහපත් ක්‍රියාවක් සඳහා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි සුබ දවසක් තෝරා ගැනීමට ප්‍රශස්ත ශාස්ත්‍රීය ක්‍රමයක් ඉරිද‌ා ලංකාදීප පාඨක භවතුන්ගේ යහපත සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.  

යහපත් කාර්යයක් සඳහා ගමනක් යාමට බලාපොරොත්තු වන අයට ගමන යාමට ප්‍රථමයෙන් යායුතු දිනයේ ගමන ගියහොත් ගමනේ සුබා සුබ කලින්ම දැනගැනීමේ අවස්ථාව මේ අනුව උද‌ාවෙයි. නැතහොත් කටයුතු සාර්ථක වන දිනයක ගමන යොද‌ා ගැනීමට මෙම ශාස්ත්‍රීය ක්‍රමය තුළින් හැකියාවද ලැබෙනු ඇත.  


රවි ග්‍රහයා සහ සඳු ග්‍රහයා ගමන් ගන්නා නැකත් අනුව මෙම ශාස්ත්‍රීය ක්‍රමය සකස් කර ඇත.  


ඒ අනුව අභිජිත් නැකතක් සමඟ නැකත් විසි අට එක්තරා ශාස්ත්‍රීය ක්‍රමයකට බෙද‌ා වෙන්කර තිබේ. එය ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යනුවෙන් සඳහන් වෙයි.  


ධර්ම මාර්ගය යටතට අස්විද, පුෂ, අස්ලිස, විසා, අනුර, දෙනට, සියාවස නැකත්ද අර්ථ මාර්ගය යටතට බෙරණ, පුනාවස, මා, සා, දෙට, සුවණ, පුවපුටුප නැකත්ද කාම මාර්ගය යටතට කැති, අද, පුවපල්, සිත, මුල, අභිජිත්, උත්‍රපුටුප නැකත්ද මෝක්ෂ මාර්ගය යටතට රෙහෙන, මුවසිරස, උත්‍රපල්, හත, පුවසල, උත්‍රසල, රේවතී නැකත්ද ඇතුළත් වෙයි.  


අවශ්‍ය දිනයට රවි ග්‍රහයා හා සඳු ග්‍රහයා සිටින්නේ කුමන නැකතේදැයි පංචාංග ලිතකින් පළමුව බලාගන්න. ඉන් පසු රවි ග්‍රහයා සිටින්නේ කුමන මාර්ගයේ නැකතකද සඳු ග්‍රහයා සිටින්නේ කුමන මාර්ගයේ නැකතකද යන්න වෙන් වෙන් වශයෙන් බලාගන්න.  


ඒ සඳහා මේ සමඟ ඇති සටහන උපයෝගී කර ගන්න.  


අවශ්‍ය දිනයේ එම ග්‍රහ ගමනින් ලැබෙන සුබා සුබ තේරුම්ගෙන යාමට අපේක්ෂා කරන ගමන සාර්ථක කරගන්න.  


නැකත් චක්‍රය  
ධර්ම අර්ථ කාම මෝක්ෂ  
අස්විද බෙරණ කැති රෙහෙණ  
පුෂ පුනාවස අද මුව සිරස  
අස්ලිස මා පුවපල් උත්‍රපල්  
විසා සා සිත හත  
අනුර දෙට මුල පුවසල  
දෙනට සුවණ අභිජිත් උත්‍රසල  
සියාවස පුවපුටුප උත්‍රපුටුප රේවතී  
ධර්ම මාර්ගයෙහි ප්‍රතිඵල  


රවි ග්‍රහයා ධර්ම මාර්ගයෙහි නැකතක ගමන් කරන විට සඳු ග්‍රහයාත් එම මාර්ගයේම නැකතක ගමන් කරන්නේ නම් එය සුබ නොවේ. එවිට ගමනෙහි ප්‍රතිඵල නැතිවීම බිඳීයාම හෝ හානියක් සිදුවීම වෙයි.  


රවි ග්‍රහයා ධර්ම මාර්ගයේ නැකතක ගමන් කරන විට සඳු ග්‍රහයා අර්ථ මාර්ගයේ නැකතක ගමන් කරන්නේ නම් එම දිනය සුබ ගමනක් යාමට සුබ නොවේ. එම ගමනේදී සොර සතුරු කරදරවලට මුහුණ පෑමට සිදුවෙයි.  


රවි ග්‍රහයා ධර්ම මාර්ගයේ නැකතක ගමන් කරන විට සඳු ග්‍රහයා කාම මාර්ගයේ නැකතක ගමන් කරන්නේ නම් ගමනක් යාමට එදවස සුබ නොවේ. බලාපොරොත්තු සුන්වීම, සොරසතුරු බිය ඇතිවීම එහි ප්‍රතිඵලයයි.  


රවි ග්‍රහයා ධර්ම මාර්ගයේ නැකතක ගමන් කරන විට සඳු ග්‍රහයා මෝක්ෂ මාර්ගයේ නැකතක ගමන් කරන්නේ නම් එය ගමනක් යාමට සුබ දිනයකි. බලාපොරොත්තු ඉටුවීම අදහස් සඵලවීම ස්ථාන ලාබ ආදී යහපත් ප්‍රතිඵල ලැබේ.  


 

අර්ථ මාර්ගයෙහි ප්‍රතිඵල  


රවි ග්‍රහයා හා සඳු ග්‍රහයා අර්ථ මාර්ගයේ නැකතක ගමන් කරන්නේ නම් එදින ගමන යාමට සුබ නොවේ. මන්ද යත් පළමුව ගමන සාර්ථක වෙයි. දෙවනුව බලාපොරොත්තු සුන්වීම හා කරදර ඇතිවෙයි.  


රවි ග්‍රහයා අර්ථ මාර්ගයේ නැකතක වී සඳු ග්‍රහයා කාම මාර්ගයේ නැකතක වී නම් ගමනට එය ඉතා යහපත් දිනයකි. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සඵල භාවයට පත්වෙයි.  


රවි ග්‍රහයා අර්ථ මාර්ගයේ නැකතක වී නම් සඳු ග්‍රහයා මෝක්ෂ මාර්ගයෙහි නැකතක වී නම් එදින සුබ ගමනකට යහපත් දවසකි. සියලු කටයුතු සාර්ථක වන අතර සිතට සතුටක් ලාබ ප්‍රයෝජනයක් හිමිවෙයි.  


රවි ග්‍රහයා අර්ථ මාර්ගයේ නැකතක වී නම් සඳු ග්‍රහයා ධර්ම මාර්ගයේ නැකතක වී නම් එදින ගමනින් බලාපොරොත්තු ඉටුවෙයි. සිතට සහනය ගෙනදේ. ගමනට යහපත් දවසකි.  

 


කාම මාර්ගයේ ප්‍රතිඵල  


රවි හා සඳු ග්‍රහයන් දෙදෙනාම කාම මාර්ගයේ නැකතක ගමන් කරන විට ගමනක් යාමට පිටත්වීම සුබ නොවේ. කටයුතු අසාර්ථක වීම මෙන්ම අසමගිතා ඇතිවීමද සිදුවෙයි.  


රවි කාම මාර්ගයෙහි හා සඳු මෝක්ෂ මාර්ගයෙහි ගමන් කරන විට සුබ ගමනක් ගියේ නම් ඉතා යහපති. රාජ්‍ය පාලකයන්ගෙන් සම්මාන හා විවිධ සත්කාර ලැබේ. ප්‍රභූවරු හමුවීමට ඉතා සුදුසුය.  
රවි කාම මාර්ගයෙහි හා සඳු ධර්ම මාර්ගයෙහි ගමන් කරන විට සුබ ගමනක් ගියේ නම් ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ. ලාබ ප්‍රයෝජන ගරු සැලකිලි සම්මාන ලැබෙන බව ශාස්ත්‍රයෙහි දැක්වේ.  


රවි කාම මාර්ගයෙහි හා සඳු අර්ථ මාර්ගයෙහි නැකැත්වල ගමන් කරන අවස්ථාවලදී සුබ ගමනක් යාම ඉතාම අසුබද‌ායකය. නොයෙක් විදියේ අනතුරු හා විනාශයන් සිදුවන බව ශාස්ත්‍රයෙහි සඳහන් වෙයි.  

 


මෝක්ෂ මාර්ගයෙහි ප්‍රතිඵල  


රවි හා සඳු ග්‍රහයන් මෝක්ෂ මාර්ගයෙහි ගමන් කරන විට සුබ ගමනක් යාමට පිටත්වීම අතිශයින් අසුබය. ගමනේදී අසමගිය වෙන්වීම සහ අනතුරුවලට මුහුණ පෑමට සිදුවිය හැක.  


රවි මෝක්ෂ මාර්ගයේ නැකතක ගමන් කරන විට සඳු ධර්ම මාර්ගයේ නැකතක ගමන් කෙරේ නම් ඉතා යහපති. එම අවස්ථාවේ ගමනක් පිටත් වී නම් වටිනා වස්තු හිමිවීම මෙන්ම උසස් ප්‍රභූවරුන්ගෙන් ලාබ සත්කාරද ලැබෙනු ඇත.  


රවි මෝක්ෂ මාර්ගයේ සහ සඳු අර්ථ මාර්ගයේ ගමන් කරන විට ගමනක් පිටත්වූයේ නම් එම ගමන නිෂ්ඵල ගමනක් වෙයි. එම ගමනින් රජයෙන් මෙන්ම සොර සතුරන්ගෙන්ද කරදර ඇතිවීමට ඉඩ ඇත.  


රවි ග්‍රහයා මෝක්ෂ මාර්ගයේ නැකතක හැසිරෙන අවස්ථාවේ සඳු ග්‍රහයා කාම මාර්ගයේ නැකතක හැසිරෙන අවස්ථාවක සුබ ගමනක් පිටත්වූයේ නම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙයි. සියලු අර්ථ සිද්ධිය මෙන්ම ජයග්‍රහණද සහිතයි. සියලු සුබඵල හා අදහස් සඵලවන ගමනක් වෙයි.  


මෙම ශාස්ත්‍රීය ක්‍රමය අනුව රවි ග්‍රහයා ධර්ම මාර්ගයේ නැකතක හැසිරෙත්දී සඳු ග්‍රහයා මෝක්ෂ මාර්ගයේ නැකතකද රවි ග්‍රහයා අර්ථ මාර්ගයේ නැකතක හැසිරෙත්දී සඳු ග්‍රහයා ධර්ම කාම මෝක්ෂ මාර්ගයේ නැකතකද රවි ග්‍රහයා කාම මාර්ගයේ නැකතක හැසිරෙත්දී සඳු ග්‍රහයා ධර්ම හා මෝක්ෂ මාර්ගයේ නැකතකද රවි ග්‍රහයා මොක්්ෂ මාර්ගයේ නැකතක හැසිරෙත්දී සඳු ග්‍රහයා ධර්ම හා කාම මාර්ගයේ නැකතකද හැසිරේ නම් එම දවස් සුබ ගමන් යාමට අතිශයින්ම ප්‍රශස්ත බව සඳහන් වෙයි.  


මෙම ක්‍රමයට ඕනෑම දිනයක සුබ ගමනක් පිටත් වීමට පෙර එම ගමනේ සුබා සුබ දැනගත හැකිය. එසේම කටයුතු සාර්ථක කරගත හැකි ගමනට සුදුසු දිනයක්ද තෝරාගැනීමට හැකිවනු ඇත. මෙම ශාස්ත්‍රීය ක්‍රමය ගමන් යාමට මෙන්ම අනෙකුත් සුබ කටයුතු සඳහාද ප්‍රයෝජනයට ගත හැකිය.  

 

 

 

 

 

 

 

 


ගම්පහ අබේසේන හේරත්