සිරිදුව කැන්දන ළඳකගෙ ලක්‍ෂණ


විවාහය කෙනකුගේ ජීවිතයේ මිහිරි අත්දැකීමකි. එහෙත් එය අසුන්දර කටු පදුරක් කරන්නටත් නැතිනම් සුන්දර මල් උයනක් කරන්නටත් තම විවාහක බිරිය සමත් වන්නීය. ඇය සොඳුරුවන්නේ ඇය සතු ගතිගුණ සොඳුරු වුවහොත් පමණි. රටට පිළිලයක් වන් සුරා සොඬුන් යහපත් පුද්ගලයක් බවට පත් කරන්නටත්, ද‌ාමරිකයන් සාහසිකයන් හික්ම වුවන් කරන්නටත්, හික්මුණු පුද්ගලයන් ද‌ාමරිකයන් කරන්නටත් ඇයට ඇත්තේ අසීමිත බලයකි. ස්ත්‍රිය මේ අයුරින් විවිධ ගතිගුණ ඇති කළේ ඇගේ දෛවයයි නැතිනම් ඇගේ කේන්ද්‍රයේ පිහිටි සුභ ග්‍රහ පිහිටීම් අනුවමය. යහපත් ග්‍රහ පිහිටීම් ඇති ස්ත්‍රිය පුරුෂයාගේද අපල දුරලමින් නිවසට සිරිදුව කැඳවන්නීය.  
 
මේ අනුව ස්ත්‍රී කේන්ද්‍රයේ නවාංශකයේ හත්වැන්නේ, ගුරු සඳු යෝගය ඇති කාන්තාව ඉතාම වාසනාවන්තය. මකර නවාංශකය උදා වූ විට මෙම සංයෝග මෙසේ වූයේ නම් ඇය පතිවත රකින සැමියාට දෙවියකු මෙන් සලකන උතුම් ළදකි. ගුරු-සඳු බලවත්ම නාවාංශකයේ දෙවැන්නේ සිටියේ නම් ඇය නිසා නිවසට ධන සම්පත් ගලාඑයි. මෙම යෝග කේන්ද්‍රයේ දහවැන්නේ යෙදුනේ නම් සැමියාගේ රැකියා දියුණුවද ඉක්මන් වේ. ඔහු ව්‍යාපාරයක යෙදී සිටියේ නම් එයද දියුණු තත්ත්වයකට පත් වේ. නවාංශකයේ හත අධිපති ග්‍රහයා අස්ථාන ගත වී සිටීම අැය මාර්ග දැඩි දියුණු වීමටත්, එකොළොස් වැන්නේ සිටියේ නම් ස්වාමියාට මිතුරියක මෙන් සද‌ාකල්හිම සිටීමත් පෙන්නුම් කරයි. 


එසේම හත්වැන්න සුභ රාශියේ වීමත්, වාසනාවන්ත යෝගයකි. මෙය දළ විග්‍රහයක් වූවත් එහි බලපෑම වඩාත්ම යහපත් වන්නේ ශුභ ග්‍රහයෙක් හතේ සිටීම හෝ හත දැකීමය. හත්වැන්න සිංහ රාශිය වී ඇතිවිට ශුභ දැකීමක් තිබුණේ නම් ඇය පතිවත රකින වාසනාවන්ත ස්ත්‍රියකි. හත්වැන්න ගුරුගේ බැල්මට හසුව එකොළොස් වැන්නට ගියේ නම් ඇය මහා ධනයක් ලබන්නීය. 


ස්ත්‍රී කේන්ද්‍රයක මැදිහත්ව පිිහිටීමක් නම් චන්ද්‍රකේන්ද්‍ර ගතව ලග්න ස්ථානයේ පිහිටීමය. මෙම අවස්ථාවේදී උත්පත්තිය ලබන ඇය ඉතා සෞම්‍ය ගතිවලින් යුතුවේ. එලෙසම රවුම් වටකුරු අත්පාවලින් යුතු පිරිපුන් දේහ ලක්‍ෂණ වලින් යුතු වේ. තවද මෙවන් යුවතියන් කලා ලොවේද අග තැන් පත් තැනැත්තියෝද වෙති. සංගීතය, චිත්‍ර ශිල්පය, නැටුම් වැනි ක්‍රියාවල දී ඉතා ඉහළ තැනක් හිමිකර ගනිති. මෙවැනි ස්ත්‍රීන් කෙරෙහි දක්නට ලැබෙන ප්‍රධානම ලක්‍ෂණය නම් ඒ හැම දෙයක්ම අභිබවා ඉදිරියට එන ස්වාමි භක්තියයි. එම නිසා මෙවැනි ස්ත්‍රියක් හා විවාහ වන තැනැත්තා ඉතාමත් වාසනාවන්තව ගෘහ ජීවිතය සැපවත් කරගන්නා අයකු වේ. මේ නිසා ඔහු සමාජයේ ද බබලන්නේය. 


ගුරු සිකුරු දෙදෙනාගෙන් කෙනෙක් ලග්නය දැක සිටිය දී බුධහු  උච්චව හතේත් අඟහරු මකරයේත්, සදු කටකයේත් සිටියොත් එලෙස ජන්ම ලාභය ලැබූ තැනැත්තිය මනා රූප  සෞන්දර්යයෙන් යුක්ත වූ ඉතා ගුණවත් බලවත් රජ බිසවක් හා සමාන සැප විඳින්නියක් වේ. අැය හා විවාහ වන පුරෂයාටද හැමද‌ා සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේ. 


පස්වැන්න අධිපති එකොළොස්වැන්නට ගියේ නම් ඇය ඉතා සුහද ලීලාවෙන් හැම අයකුම ආශ්‍රය කරන්නීය. කා සමගත් සුහදශීලිව කතා කරන්නේය. දෙවෙනි රාශියේ සිකුරු, සඳු යන ග්‍රහයන්ගෙන් බලපෑමක් වූයේ නම් මිහිරි කටහඬක් ඇති වූත් ප්‍රිය වචන කතා කරන්නාවූත් ළඳකි. සඳු උච්චරාශි වූයේ නම් ඇය අසහනයට පත්වන සිය සැමියාට සතුට ලබා දෙන්නීය. අනේක විධ ප්‍රශ්න වලින් අවුල්වූ ඔහුගේ මනස නිරවුල් කරවන්නීය. ඇගේ එක් වදනකින් ඔහුගේ මානසික තැවුල් මගහැරී යනු ඇත. දුගී දුප්පත් කෙනකු වූවද මෙම යෝගය යෙදී ඇති ස්ත්‍රියක් සමඟ විවාහය වාසනාවකි. 


සිව් වැන්නේ සෞම්‍ය ග්‍රහයෙක් උච්චවී සිටින විට සඳු ශුභ රාශියක සිටියේ නම් ඇය ඉතා ඉවසිලිවන්ත ලදකි. කවර කටුක වදනක් කන වැටුණ ද ඉසව් දරා සිටින්නීය. බිහිරියක් මෙන් ඇනුම් බැනුම්වලදී මහා ගල්කුළක් මෙන් නොසැලී සිටින්නීය. ඇයගේ මෙම යහපත් ගතිගුණ නිසා සැමියා ඇය අත්හැර නොයති. ඇය දුප්පත්ව ඉපදුණද සතුටින් දිවි ගෙවන්නීය. 


පස් වැන්නාධිපති හත් වැන්නේද සත් වැන්නාධිපති පස් වැන්නෙද ස්ථාන මාරුවී සිටින්නේ නම් ඇය මිතුරු සම්බන්ධතාවකින් විවාහ වන අතර ස්වාමියාගේ ධනය ද දියුණු කරවන්නීය. එසේම ඇය වාසනාවන්ත දරුවන්ද ලබන්නීය. මෙම යෝගයන් ඇති කාන්තාවගේ වාසනාවන්ත දරුවන් උපදින යෝග ද පවතී. එනම් ලග්නාධිපති පස් වැන්නේත් පහ අධිපති ගුරු සමඟ සිටීම ද උසස් ඉගෙනීමක් ලබන දක්‍ෂ දරුවන් ලැබීමට හේතු වේ. දෙවැන්නාධිපති පස්වැන්නේ සිටීම ද ධනය ඉපයීමට දක්‍ෂ දරුවන් ලබන යෝගයකි. මෙම යෝගය ඇති ළඳක් ගැබ්බර වූ මොහොතේ සිටම සැමියාගේ ධනය දියුණු කරවයි. 


ගුරු උච්චව හතේ සිටියදී උපන් තැනැත්තිය ස්වකීය ක්‍රියාවෙන් හා වස්තුවෙන් සතුටට පත්වන්නාවූ ස්වාමි පුරුෂයාට කීකරු වන්නා වූ ඉතා යහපත් තැනැත්තියක් වෙයි. ස්වාමි පුරුෂයා ද එසේම ගුණවතකු වෙයි. 


සිකුරු උච්චව හතේ සිටියදී උපන් තැනැත්ති නැටුම් සංගීත ආදියට ප්‍රිය වූ යහපත් පෙනීමෙන් යුත් සියලු ආභරණ වස්ත්‍රාදියෙන් යුත් ස්වාමි පුරුෂයා ද ප්‍රීතියෙන් පිනවන තැනැත්තියක වන්නීය. 

 

 

 

 

 

 

 

 

 


හිඹුටානේ පියතිලකද අල්විස් 
158 හිඹුටාන 
මුල්ලේරියාව නව නගරය.