සාත්තරකාරයන් එඩීට නොකී රුක්මණීගේ මරණය


සිංහල සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුවේ’ රඟපාමින් ප්‍රථම කතා නායිකාව ලෙස ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයට එක්වූ නිළි රැජිනක හා ගායිකාවක ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ රුක්මණී දේවිය හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී මේ මස 28 වැනිද‌ාට 42 වසරක් සපිරෙයි.  


1978 ඔක්තෝබර් 28 වැනිද‌ා උදෑසන ජා-ඇළ තුඩැල්ලේ දී ඇය ඛේදජනක මරණයට ගොදුරු වූ පුවත එද‌ා රසිකයින් මහත්සේ සසල කරන්නට සමත් විය.  


1978 ඔක්තෝබර් 29 දා ආතර් යූ. අමරසේනයන් මට පැවරුවේ එඩී හමුවී රුක්මණී දේවියගේ ජීවිත කතාව කොටස් වශයෙන් ලියන ලෙසය.  


මා එදින එඩී හමුවීමට හැඳල පල්ලියවත්තට යනවිට මඳක් දහවල් වීලාය.  
එඩීගේ නිවසට ගොඩවැදුණු විගසම ඔහුගේ ඥ‌ාති දියණියක මට කීවේ එඩී මුළු රෑම නිදිවරා මේ දැන් නින්දට ගිය බවයි. එහෙත් ගෙතුළට ගොස් ඇය එඩී කැඳවාගෙන එන්නට උත්සාහ කළාය.  


ඊළඟ මොහොතේ එඩී නිදිගැට කඩමින් අපමණ විඩාපත් ස්වභාවයෙන් යුතුව මා වෙත පැමිණියේය. මගේ කාරණය කියූ විගස එඩී කීවේ, “උදේ තව එක්කෙනෙක් ඇවිත් විස්තර ටික වෙන පත්තරේකට අරගෙන ගියානේ” කියාය.  


මම මඳක් කල්පනා කළෙමි. “එහෙනම් එඩීට රුක්මණීව මුණගැහුණු තැන ඉඳල පටන් ගනිමු” යි මා යෝජනා කළ විට ඔහු ඊට එකඟ විය. එතැන් සිට වෙහෙස මහන්සිය නොබලා එඩී පැයකටත් අධික කාලයක් එඩී රුක්මණී ආදර කතාව විස්තර කළේය.  


රුක්මණී දේවිය මෙන්ම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ බැබලුණු එඩී ජයමාන්නයන් ද කඩවුණු පොරොන්දුවෙන් සිනමා ඉතිහාසයට එක් වූ ප්‍රකට නළුවෙකි.  


මා ඒ සිදුවීම කෙටියෙන් සඳහන් කරන්නේ එඩී වැනි සුප්‍රකට තාරකා කොතරම් නිහතමානි සරල පුද්ගලයන්දැයි කීමටය.   


1979 නොවැම්බර් 13 වැනිද‌ා සිට මරද‌ානේ ටවර් රඟහලේ දී මහා රංගවේදී ගාමිණි ෆොන්සේකා උපහාර චිත්‍රපට උළෙලක් ආරම්භ විය.  


ආතර් යූ. අමරසේනයන් කර්තෘත්වය හෙබවූ ‘‘සිත්සර’’ සිනමා පුවත්පත මගින් සංවිධානය කළ එම උළෙලේ මුල් දිනයේ ප්‍රදර්ශනය වූවේ ‘උතුමාණෙනි’ චිත්‍රපටයයි. ඒ සඳහා ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගි වූයේ ගාමිණි ෆොන්සේකා හා සුමිත්‍රා ෆොන්සේකා යුවළයි.  


චිත්‍රපටය ආරම්භවන්නට තිබුණේ සුළු වෙලාවකි. ටවර් රඟහලේ සියලුම අසුන් පිරී ඉතිරී ගොසිනි. එඩී ජයමාන්නයන් ශාලාවට පිවිසුණේ ගාමිණි - සුමිත්‍රා යුවළ අසුන් ගෙන සිටියදීය. එඩීට අසුනක් නොවීය.  
එක්වරම අසුනින් නැගී සිටියේ ගාමිණීය ඔහු එඩීට එතැන අසුන් ගන්නට ආරාධනා කළේ “අපි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට සලකන්න ඕනෑ”යි කියමිනි. පසුව වෙනත් අසුනක් ගෙනැවිත් එඩීට ආසනයක් සූද‌ානම් කෙරිණ.  


ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටිය ද පසු කලෙක ආර්ථික අපහසුකම්වලට ලක්වූ එඩී රුක්මණී යුවලට බොහෝ විට ගාමිණි නිහඬව උදව් කළේය. චිත්‍රපට ලැබුණු විට ගාමිණී ඔවුන්ටත් එහි අවස්ථාව ලබා දුන්නේය. එඩී කාලයක් හැඳල විජය චිත්‍රාගාරයේ තනතුරක් හෙබවීය. ඊටත් පසු කලෙක රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුරක් ලබාදෙන්නට ද ගාමිණී උදව් කළේය.  


රුක්මණී දේවියගේ මරණයට පැමිණි එඩීගේ මුදල් පසුම්බිය කිසිවෙක් විසින් සොරාගන්නා ලදී. එහි රුපියල් 15,000 ක් තිබිණි. එද‌ා ඒ රුපියල් 15,000 එඩීට දෙන ලද්දේ ගාමිණී විසිනි.  


එය වෙනම කතාවකි.  


ආතර් යූ. හා ශ්‍රියානි අමරසේන ‘‘රිදී තැල්ල’’ චිත්‍රපටය නිෂ්පාදනය කරන විට එහි ප්‍රධාන චරිතය රඟපාන්නට නියමිතව තිබුණේ ගාමිණිය. ආතර් යූ. - ශ්‍රියානි යුවළ දිනක් ගාමිණි හමුවන්නට ගියේ ‘‘රිදී තැල්ල’’ චිත්‍රපටයේ ගිවිසුම අත්සන් කිරීමටය. ඒ සමඟ අත්තිකාරම් මුදලක් ද රැගෙන ගියහ.  
පිළිසඳර පටන් ගැනුණි. සාමාන්‍යයෙන් ගාමිණි සමඟ කතා බහට වැටුණු විට එය පැය කිහිපයක්ම දිග්ගැහෙයි. එහිදී නැගිට යන්නට ද නොහැකිය. එය ගාමිණිට කරන මදිකමකි. කෙසේ හෝ එදිනද බොහෝ වේලා කතා බහ ඇදීගිය අතර කතාවේ අග භාගයේදී ආතර් ආ කාරණය ගාමිණීට කීවේය.  
“කෝ දියන් ඇග්‍රිමන්ට් එක. උඹල මං නොදන්න අයයැ. ඇඩ්වාන්ස් එපා. චිත්‍රපටය දුවල කීයක් හරි ආවොත් මට දියන් යයි කී ඔහු ගිවිසුම අත්සන් කර දුන්නේය.  


රුක්මණී දේවියගේ ඛේදජනක මරණයෙන් මහත්සේ සසල වූ ගාමිණි එදින ආතර් යූ. ට කතා කොට මට රුපියල් 15000 ක් එවපන් යයි කියා ඇත.  
ආතර් යූ. එවෙලේම ඒ මුදල යැව්වේය. ඒ මුදල ගාමිණි එඩීට යැව්වේය. සොරාගන්නා ලද්දේ ඒ මුදලය.  
“ඩේසිගෙ මරණය වෙලාවේ ඒ කටයුතු සේරම ඉවර වෙනකම් ගාමිණි මා එක්ක එකදිගටම රේමන්ඩ් එකේ හිටියා. සේරම වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ මාව මීගමුවට ගිහින් ඇරළුවා.”  


එඩී රුක්මණි ඇමතුවේ ඩේසි යන ඇගේ මුල් නමෙනි  


“ගාමිණි ගැන මට හිතෙන්නෙ එයා අපේ පුතෙක් කියලයි. ඩේසිත් ගාමිණිට හරිම ආදරෙයි. එක අතකින් අපට දරුවෙක් හිටිය නම් එයා ගාමිණිගෙ වයසේ තරමටම ඉන්න තිබුණා.  
“ගාමිණි ගැන මම මෙහෙම කතා කරන්නෙ එයා ලොකු සල්ලිකාරයෙක් හින්ද නෙමෙයි. ඒ කාලෙ අපි ඉන්න චිත්‍රපටයකට රුපියල් 60,000 ක් (එඩී මේ කතා කරන්නේ 1979 නොවැම්බර මුලදීය) අය කළා. ඒ කියන්නේ දැන් රුපියල් හය ලක්ෂයක් විතර (79 දී රුපියල් හය ලක්ෂයක් 2020 දී කීයක් විය හැකිද?) ඒ හින්ද මුදල් ගැන මට අගයක් නෑ. මම ගාමිණිට හිතවත් ඔහු තුළ මහත්මා ගතිගුණ තියෙන නිසයි.”  
“මට ගාමිණීව මුලින්ම මුණ ගැහුණේ 1957 දි. “දෛවයෝගය” චිත්‍රපටයේ රඟපාන්න ඉන්දියාවට ඇවිත් හිටිය එයාට ඒ කාලෙ වයස 21 ක් විතර ඇති. ඒ කාලෙ වන විට ගාමිණි ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටයෙ සහාය අධ්‍යක්ෂවරයෙක් විධියට වැඩ කරල තිබුණා. ඔහුට තිබුණෙ අධ්‍යක්ෂවරයකුට අවශ්‍ය දැනුමක්.  
“ගාමිණි දෛවයෝගය චිත්‍රපටයේ රඟපෑවේ ඉතාම දුර්වල විධියටයි. ඒ රඟපෑම් දැක්කම මට හිතුනෙ නෑ එයා මේ තරම් දක්ෂ නළුවෙක් වෙයි කියලා. මම කිව්ව රඟපෑම අත ඇරල අධ්‍යක්ෂවරයෙක් වෙන්න කියලා. එවෙලෙ ගාමිණි කීවෙ මට ඕනෑ හොඳ නළුවෙක් වෙන්න කියලා.”  


“අපිත් එක්ක ආ අනෙක් අය එහෙ මෙහෙ රස්තියාදු වෙද්දි ගාමිණි අපි ළඟමයි හිටියෙ. ගාමිණි නළුවෙක් වුණේ වැර වෑයමෙන්. අපි ජයරුක් නිවසේ පදිංචිවෙලා ඉන්න කාලෙ එක දවසක් ගාමිණි මාව මුණ ගැහෙන්න ඇවිත් තියෙනවා. මම මගෙ සේවකයාට කීවා මම ගෙදර නැහැ කියන්න කියලා. මම එහෙම කීවෙ ඒ කාලෙ අපට සමහරුන්ගෙන් විශාල කරදරවලට මුහුණපාන්න වූ නිසයි. ගාමිණි ඒක ගැන මතක් කරල මට විහිළු කරනවා.”  


‘‘උඹ මට හිනා  වුණාට දැන් උඹත් එහෙමනේ’’ මම ඒ වෙලාවට උත්තර දෙනවා.   


“සමහර වෙලාවට මගෙ ජවනිකා ගාමිණිගෙ හිතට හරිගියේ නැත්නම් කීප වරක්ම කැමරාගත කරනවා. මම ඒ වෙලාවට අහනවා උඹ මටත් ඇක්ටින් උගන්නන්න එනවද කියලා. මම තත්ත්වය තියාගන්න ඉගෙන ගත්තෙ එඩී රුක්මණිගෙන්. ඒත් ඒ දෙන්න සල්ලි ඉතුරු කරගත්තෙ නෑ. මම එ්කත් පාඩමට අරගෙන මගෙ සල්ලි මම ඉතුරු කරනවා. ගාමිණි ඒ වෙලාවට මට කියනවා.”
 මේ එඩී ජයමාන්නයන් 1979 නොවැම්බරයේ දී මා සමග එක් වූ සම්මුඛ සාකච්ඡාවක දී කී කරුණුය. බොහෝ නළු නිළියන් මෙන් එඩීද සාස්තර විශ්වාස කෙළේය. එහෙත් ඇතැම් විශ්වාස ගණන් නොගත්තේය.  
එකල ඔහුගේ මෝටර් රථයේ අංකය වී තිබුණේ 9 ශ්‍රී 5301 ය. 5-3-0-1 එකතු කළ විට එන උත්තරය ද 9 ය. නමයේ දෙක එකතු කළ විට එන උත්තරය 18 ය. ඉන්පසු 18 අංකයේ 1 සහ 8 එකතු කළ විට එන්නේ ද 9ය. 9-9-9 දිගටම නමය ය.  
බොහෝ දෙනා 9 නපුරුය කීවාට එඩී කීවේ 9 ඔහුට ලකී බවය.  
‘‘මගෙ කාර් නොම්මරේ පිරිලා තියෙන්නෙ 9 ඉලක්කම්වලින් මොකුත් කරදරයක් නෑ’’ ඔහු කීවේය.  
‘‘මට 13ත් ලකී නොම්මරයක්’’ එඩී කීවේය.  


“සිරියලතා ෂූටින් කරන්න ගිහින් අපි මදුරාසියෙ නැවතිලා හිටිය ගෙදර නොම්මරේ 13. ඉතින් අපට මොකද වුණේ? මොකුත් කරදරයක් නැතිව අගේට වැඩ ටික කෙරුණා. හොදයි සිරියලතා සල්ලි හම්බ කෙරුවෙ නැද්ද?” ඔහු ඇසුවේය.  
එහෙත් ඔහු සිහින විශ්වාස කෙළේය. “මට එතකොට අවුරුදු 16 ක් විතර ඇති. ඉස්කෝලෙන් අස්වෙච්ච අලුතම මම මරු හීනයක් දැක්කා. අලියෙක් මාව පිට උඩ තියාගෙන කුංචනාද කළා. මම අම්මට පස්සෙන්ද, මේ ගැන කීවා. අම්මට හීන තෝරන්න පුළුවනි.  


‘‘එඩී උඹ මේක කාටවත් හෙම කියනව නෙමෙයි. උඹ කවද හරි ලංකාවෙ ඉහළම තත්ත්වෙකට එනවා’’  
‘‘මේ රස්සාවකුත් නැතිව හිටිය මම ඕව විශ්වාස කළේ නෑ. ඒ වුණාට ඒ හීන බොරුවක් නෙමෙයි. හැබැයි එද‌ායින් පස්සෙ අද වෙනකම් නම් ඒ වගෙ හැබෑ වෙච්ච සුබ හීන දැක්කෙත් නෑ. අසුබ හීන දැක්කෙත් නෑ’’  
‘‘එඩී අයියා හඳහන් විශ්වාස කරනවාදැයි’’ මම එද‌ා ඇසුවෙමි.  
‘‘මම ඒ දවස්වල ඕවා විශ්වාස කළේ නෑ. ඒ 1943 අවුරුද්ද. ඒ කියන්නෙ ඩේසියි මමයි බැඳපු අවුරුද්ද. හික්කඩුව පැත්තෙ මනුස්සයෙක් මගෙ හඳහන බලල කීවා කවදහරි අගමැති කෙනෙකුගෙ තත්ත්වයකට එනවයි කියලා. ඒ දවස්වල අපි රඟපාන කොට අපි දිහා මිනිස්සු බලන්නෙවත් නෑ. ‘‘යනව අයිසෙ යන්න විහිළු නොකර’’ අපි ඒ මනුස්සයට විහිළු කළා. වැඩේ කියන්නෙ 1954 දී අපට නම්බු නාමයක් ලැබෙන්න තියෙන බව ඒ මනුස්සයා ස්ථිර වශයෙන්ම කීමයි.  


‘‘කීව වගේ 1947 අවුරුද්දෙදි ‘‘කඩවුණු පොරොන්දුව’’ තිරගත කරන දවසේ අපි වටා මිනිස්සු පිරුණා. ඒ විතරක් ද ඩී.එස්. සේනානායක මැතිතුමා මගෙ ළඟට ඇවිත් ‘‘මට හරි සන්තෝෂයි එඩී මේකෙ අත්සන් කරන්න කියල ඔහු අත තිබූ පොතක් දිගු කළා. මම ජීවිතයේ ප්‍රථම වතාවට අත්සන් කළ සමරුපොත ඩී.එස් සේනානායක අගමැතිතුමාගෙ. එද‌ා චිත්‍රපටය බලන්න ඇවිත් හිටපු නොයෙක් රටවල තානාපතිවරුන්ගෙ සමරු පොත්වලත් අපට සමරු සටහන් තියන්න සිද්ධ වුණා.  


“ඒ හරියටම අර කේන්දර කාරයා කියපු 1954 අවුරුද්ද. එළිසබෙත් මහ රැජින ලංකාවට ආවා. ඒ වසරෙයි මට එම්.බී.ඊ. කියන නම්බුනාමය රැජිනගෙන් ලැබුණෙ. මුළු ආසියාවෙන්ම චිත්‍රපට නළුවෙක් ඒ නම්බු නාමය ලැබූ පළමු අවස්ථාව එයයි. තවමත් කිසිම සිංහල නළුවෙක් එවැනි නම්බු නාමයක් ලබල නෑ. හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමාටත් ඔය කාලෙදිමයි ඔය නම්බුනාමය ලැබුණේ. කේන්දර කාරයො ඔය මොනව කිව්වත් ඩේසිගෙ (රුක්මණී දේවි) මරණය ගැන මා එක්ක කලින් කියන්න බැරි වුණා” එද‌ා එඩී එසේ කියා සුසුම් හෙලූ හැටි මට තවමත් මතකය.”


මේ කතා බහ සිදුවීමට අවුරුදු 20 කට පෙර තවත් සාත්තරකරුවකු එඩීගේ අතබලා කියා ඇත්තේ ඔහුට තුන් වරක් හෘදයාබාධ වැලඳෙන බවය. ‘‘හරියට හරි කිව්ව වගේම දැනට තුන් පාරක්ම හාට් ඇටෑක් හැදිල තියෙනවා. හැබැයි සාත්තරකාරයා කීවා අවුරුදු 75 ක් 80 ක් යනකම් මැරෙන්නෙ නෑ කියලා. මගෙ වයස (1980 ජුලිවලට) දැන් අවුරුදු 65 යි. අවුරුදු 80 ක් ජීවත්වෙන එක වැඩියි කියලයි මට හිතෙන්නෙ”යි කී ඔහු මහ හඬින් සැහැල්ලුවට සිනාවුණේය.  


“මේ තලවතුගොඩ පැත්තෙ එක සාත්තරකාරියක් ඩේසිගෙ ආත්මයට ආවේශ වෙනවයි කියල ආරංචි වෙලා ඩේසිගෙ නංගි හෙලන් ගිහින් තියෙනවා. හෙලන් මා එක්ක කීවා ඒ සාස්තරකාරිට ඩේසි ආවේශ වුණාම ඒ කටහඬින්ම කතා කළාලු. “නංගියේ මම දැන් බොහොම ඉහළ තැනකයි ජීවත්වෙන්නෙ කියල” කීවලු.  
“ඩේසි කතා කළාම හෙලන්ට වාව ගන්න බැරිව අඬල තියෙනවා. හෙලන් අඬන්න ගත්තට පස්සේ ඩේසිගෙ කටහඬ නැතිව ගියාලු. හෙලන් එක්ක ගිය සේරම හෙලන් අඬපු එක ගැන දොස් පවරල තියෙනවා.”  
“මේ ළඟදි ඩේසිගෙ සිංදුවක් රේඩියෝ එකේ ගියා. මම ඉක්මනට ඒ සිංදුව රෙකෝඩ් කළා. බැලුවාම ඒ සිංදුව ඩේසිගෙ නෙමෙයි. එයාගෙ නංගි හෙලන් ඩැනියෙල්ස්ගේ. හෙලන්ට ඩේසිගෙ ඔය කටහඬ ඒ දවස්වල තිබුණෙ නෑ. ඒත් දැන් හෙලන් සිංදු කියන කොට මමත් රැවටෙනවා. ඩේසිගෙ කට හඬමයි.”  


“ඩේසි හෙලන්ට කොයිතරම් ආදරේකින් ද හිටියෙ. හෙලන් නිසා ඩේසි මොන තරම් දුක් විඳින්න දුක් ගිනි උහුලන්න ඇද්ද? ඒ ආදරෙ නිසාම ඩේසිගෙ කටහඬ හෙලන්ට දීලයි ඩේසි මේ ලෝකෙන් වෙන් වුණේ. මම මොනව විශ්වාස නොකළත් ඒක නම් තදින්ම විශ්වාස කරනවා. නැතිනම් කලක් නොතිබුණු ඩේසිගෙ කටහඬ හෙලන්ට මෑතක දී ලැබුණේ කොහොමද?”  


“ඩේසි මියගියත් හෙලන්ගෙ පවුලට තිබුණු ආදරයෙ අඩුවක් වෙලා නෑ. හෙලන්ගෙ පුතාට රස්සාවක් ලැබුණා. දැන් ඉන්න හිටින්න තැනක් තියෙනවා. කවුරු මොනව කීවත් ඩේසි වෙන ආත්මයක ඉඳගෙන අපට නොපෙනෙන්න තවමත් හෙලන්ට උදව් කරනවා කියල මම විශ්වාස කරනවා.”   


“හැබැයි මම හොල්මන් අවතාර ගැන නම් විශ්වාස කරන්නෙ නෑ. තාම මම හොල්මන් අවතාර දැකල නෑ. ඒ දවස්වල මම මහ රෑට ගෙදර එන්නෙම සොහොන් පිට්ටනිය මැද්දෙන්.”  
එහෙත් 1915 පෙබරවාරි 15 වැනිද‌ා උපන් වන්නිආරච්චිලාගේ දොන් ඩේවිඩ් වික්ටර් ජයමාන්න නොහොත් එඩී ජයමාන්න 1981 ජුලි 25 ද‌ා හෘදයාබාධයකින් අප අතරින් සදහටම වෙන්විය. හරියටම අප සමඟ කළ සාකච්ඡාවෙන් මාස හතකට පමණ පසුව එනම් වයස අවුරුදු 66 දීයි.  


ඔහු මට අවසන් වරට හමුවුණේ 1981 වසරෙ ජුලි මාසයේ උදෑසන 10.30 ට රීගල් සිනමාහලේ පැවැති ආතර් යූ. හා ශ්‍රියානිගේ ‘‘රිදී තැල්ල’’ චිත්‍රපටයේ පුවත්පත් දර්ශනයේ දීය.  


එදාද සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් සිනාසී එඩී අපෙන් සමුගත්තේය. ඔහු අද ජීවත්ව සිටියා නම් අවුරුදු 105 ක් පමණ වෙයි. එඩී, රුක්මණි, ගාමිණි අද අප අතර නැත. එහෙත් ඔවුහු තවමත් රසික හදවත්වල ජීවත් වෙති.  

 

 

රොඩ්නි විද‌ානපතිරණ