සහෝදර රේඛා සහ මහාත්‍රිකෝණය


පසුගිය ලිපි වලින් අත්ලේ පිහිටන විවිධ රේඛා සලකුණු හා ඒවා ඔබේ ජීවිතයට බලපාන අයුරු පිළිබඳව විස්තර කළා ඔබට මතක ඇතැයි සිතිමි. මෙවර ලිපියෙනුත් විස්තර කරන්නේ තවත් එවැනි විශේෂ රේඛා සලකුණු කීපයක් පිළිබඳවයි. එම සලකුණු ඔබේ ජීවිතයට කුමන ආකාරයකින් බලපානවා ද කියා දැන් සලකා බලමු.   

කෙනෙකුගේ පවුල් ජීවිතය ගැන විමසීමක් කිරීමේ දී සහෝදර සහෝදරියන් ගැනත් විමසන්නට අපි අමතක කරන්නෙ නැහැ. ස​හෝදර සහෝදරියන් කීදෙනෙක් සිටිය ද ඔවුන් කුමන තත්ත්වයේ අය ද ඔවුන්ගෙන් ඒ අයට උදව් ලැබෙයි ද? මේ ආදී වශයෙන් තම තමන්ගේ සහෝදර සහෝදරියන් ගැන තොරතුරු දැනගන්න තිබෙන්නේ ලොකු ආශාවක්. එහෙම නම් කෙනෙකුගේ අත බලල සහෝදර සහෝදරියන් ගණන දැනගන්න පුළුවන් නම් මොන තරම් වටිනවද කියල ඔබටත් හිතෙනවා ඇති. ඒ පිළිබඳවත් දැනුමක් ලාබදෙන්නයි අද අපේ උත්සාහය. දැන් බලන්න මේ සමග පලවෙන අත් සටහන.   


සිකුරු මණ්ඩලයෙන් පහළ මහපටැඟිල්ලත්, මැණික්කටුව ප්‍රදේශයත් අතරයි සහෝදර රේඛා පිහිටා තිබෙන්නේ. මේ සමග පළවෙන රූප සටහනින් එම රේඛාවල සාමාන්‍ය පිහිටීම බලාගත හැකි වේවි. එහි දිස්වෙන දීර්ඝ සෘජු රේඛාවලින් සහෝදරයන්ගේ ගණනත්, කෙට්ටු හෝ ඇදවූ රේඛාවලින් සහෝදරියන්ගේ ගණනත් දැනගත හැකි වෙයි. අත් රාශියක් බලා අත්දැකීම් ලැබූ විට ඔබටත් කෙනෙකුගේ සහෝදර සහෝදරියන්ගේ ගණන හරියටම කියන්න හැකි වේවි.   


හස්ත රේඛා ශාස්ත්‍රය අනුව සහෝදර සහෝදරියන්ගේ නිවැරදි තොරතුරු කියන ආකාරය ගැන මේ වනතුරු විධිමත් පර්යේෂණ කර නැති නිසා අපි වඩාත්ම විමසිලිමත් විය යුතුයි. මුලින් සඳහන් කළ අන්දමට සහෝදරයන් වෙනුවෙන් වැටී ඇති රේඛාවලින් වඩාත්ම පළල්ව පිහිටා ඇති ගැඹුරු රේඛාවලින් උසස්ම දියුණුවක් ලබන සොහොයුරන් ගැන ප්‍රකාශ වෙයි. සහෝදරියන් ගැන කියැවෙන රේඛාවලින් වඩාත්ම කැපී පෙනෙන රේඛා වැටෙනු ඇත්තේ උසස්ම දියුණුවක් ලබන සොහොයුරියන් වෙනුවෙනුයි. ඒ වගේම ත්‍රිශූල ලක්ෂණයකින් අවසන් වූ සහෝදර රේඛාවලින් ද උසස් දියුණුවක් ලබන සහෝදර සහෝදරියන් හඳුනා ගත හැකි වෙයි. සහෝදර රේඛා අතරින් උසින් හා මහතින් වැඩි රේඛා වැටෙනු ඇත්තේ තමන්ට උදව් උපකාර ලබාගත හැකි සහෝදර සහෝදරියන් වෙනුවෙනුයි.   


කිසිම උදව්වක්, ලබාගත නොහැකි සහෝදර සහෝදරියන් වෙනුවෙන් දුර්වර්ණ වූ කෙටි රේඛා වැටෙන බව මතක තබාගත යුතුයි. එක කුස උපන් තමන්ගේම සහෝදර සහෝදරියන් මරාගන්නා අයත් අප අතර ඉන්නා බව රහසක් නොවේ. තැනින් තැන කැඩුනු කළුපාට සහෝදර රේඛාවලින් ඒ වගේ දේවදත්ත වැනි සහෝදරයින් පෙන්නුම් කරයි.   


කෙටි රේඛාවලින් කැපීගිය හෝ දෙකඩ වී ගිය සහෝදර රේඛාවලින් මළගිය සහෝදරයන් ගැන කියැවෙයි. ඒ විදියටම සහෝදරියන් ගැනත් ප්‍රකට වේ. සමහරවිට ඉදිරියේ දී අකල් මරණයකට ගොදුරු වෙයි. සහෝදර සහෝදරියන් වෙනුවෙනුත් එවැනි රේඛා වැටීමට පුළුවන.   


ඒකට ඒකාබද්ධවූ හෝ කරු ලක්ෂණයකින් ආරම්භ වූ සහෝදර රේඛාවලින් බොහෝ විට පෙන්නුම් කරන්නේ නිවුන් සහෝදර සහෝදරියන් ගැනයි.   


මහා ත්‍රිකෝණය   


මහා ත්‍රිකෝණය නිර්මාණය වන්නේ එක පැත්තකින් ජීවන රේඛාවත්, අනෙක් පැත්තෙන් ශීර්ෂ රේඛාවත්, තවත් පැත්තකින් සුඛ රේඛාවෙනුත් මායිම්වූ ඒකාබද්ධ වීමෙනුයි. අත්ල මැද්දේ පිහිටන මේ මහා ත්‍රිකෝණය කලින් ලිපියකින් විස්තර කරදී ඇති කුජ කලාවට බොහෝවිට සමාන ලෙස පෙනුනත් ඔය වගේ විශාල වෙනසක් තිබෙන බව අමතක නොකළ යුතුය. සමහර අයගේ අත්වල සුඛ රේඛාව පිහිටා නොතිබෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක කීර්ති රේඛාව පිහිටා තිබේ නම් එය ඒ පැත්තට මායිම වශයෙන් සැලකිය හැක.   


අත්ලේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින මහා ත්‍රිකෝණයක් පිහිටීම වඩාත්ම වාසනාවන්ත පිහිටීමක් වෙයි. මනා ශරීර ශක්තියක් ඇතිවීමට වගේම ප්‍රගතිශීලී අදහස් මනසේ ඇතිවීමටත් එය හේතුවේ. මහා ත්‍රිකෝණය තුළ තාරකා ලකුණක් පිහිටීම අති සුභදායකය. ඔහුට හෝ ඇයට ජීවිතයේ ජය හා ධනය කීර්තිය සැප සම්පත් යාන වාහන පිරිස් බලය ගෙනදීමට එය හේතුවේ.   


ජීවන, ශීර්ෂ, හෘදය රේඛාව යන රේඛා තුනම රෝස පැහැයෙන් යුක්ත වන අත හා මහා ත්‍රිකෝණයට අයත්වන ප්‍රදේශයක් ළාරෝස පැහැයෙන් යුක්තවීමත් භාග්‍යමත් පිහිටීමක් වෙයි. නින්දිත ගති පැවතුම් ඇතිවන නිසා මෙම මහා ත්‍රිකෝණය ඉතා කුඩාවීම අසුභය. බාධක රේඛාවලින් ව්‍යාකූල නොවී මනාව පිහිටා ඇති මහා ත්‍රිකෝණය නිසා එයට සම්බන්ධ වන්නවූ ජීවන රේඛා සහ සුඛ රේඛාව බලය ද වර්ධනය වෙයි.   


කැඩී බිඳී ගිය ජීවන ශීර්ෂ සුඛ රේඛාවන්ගෙන් නිර්මාණය වන මහා ත්‍රිකෝණය අශුභ පිහිටීමකි. එවැනි සලකුණු ඇති අය ආත්මාර්ථකාමී පුද්ගලයන් වන අතර ඔවුහු දූෂිත චරිත ඇත්තෝ ද වෙති. මහා ත්‍රිකෝණයට සීමාවන අල්ලේ මැද ප්‍රදේශය (කුජ තලාව) වළගැසී තිබීම පුද්ගලයා කුසීත අයෙක් බව ප්‍රකට වෙයි. මහා ත්‍රිකෝණය තුළ දිස්වෙන කුඩා ත්‍රිකෝණයක සලකුණ ද වාසනාවන්තය. රජයේ සේවයේ උසස් තනතුරු ලැබීමට එය හේතුවෙයි. මහා ත්‍රිකෝණය තුළ රතු පැහැති ලප පිහිටීම රුධිර රෝගවලට සහ සිරුරේ හෝමෝන සමතුලිතතාවය බිඳ වැටී ඇති බවට සලකුණකි. කාන්තාවකගේ දරු ගැබක පිහිටීම මෙම ලක්ෂණය තුළින් දැකිය හැකිවෙයි.   


මහා ත්‍රිකෝණය තුළ සුදු පැහැ ලප පිහිටීම බිඳ වැටුණ සෞඛ්‍ය තත්ත්වය පෙන්නුම් කරයි.   


සෙම් රෝග හා කාන්තාවක් නම් විවිධාකාර කාන්තා රෝග ද වැළඳිය හැකි බව කියැවේ. එමෙන්ම මහා ත්‍රිකෝණය තුළ කළු ලප බෙහෙවින්ම අශුභ ඵල ගෙනදෙයි. නෂ්ටකාම රෝග, දරුඵල හීනවීම, ඌෂ්ණ රෝග ආදී විවිධ ලිංගික රෝගාබාධ අැති බවට කළු ලප සලකුණක් විය හැකි බැවින් මහා ත්‍රිකෝණය තුළ පවතින ලප කැළැල් පිළිබඳව ද නිරන්තරයෙන් පරික්ෂාකාරී විය යුතුවේ.   

 

 

 


හිඹුටානේ පියතිලක ද අල්විස්   
158, හිඹුටාන (රෝහල ඉදිරිපිට)   
මුල්ලේරියාව නව නගරය.