සම්බුද්ධ ජයන්තිය දින මට හමුවූ අවතාරය


පෙනෙන ලොව සහ නොපෙනෙන ලොව

 

අප කුඩා කල මාගේ සො​හොයුරු, සො​හොයුරියන් හෝ යාළු මිත්‍රාදීන් පවා මා මෙන්ම හොල්මන්, අවතාර ගැන කිසිවක් නොදැන සිටියහ. එකල අප බියවූයේ අප ප්‍රදේශයේ නිතරම පැවති සූනියම්, තොවිල් ගෙවල් වලදී, දැල්වෙන දෙකොන විලක්කුව කටින්ගෙන, එක් අතකින් කුකුල් බිල්ලද, අනිත් අතින් පන්දමද ගෙන කුඩා අප වෙතටත්, ගැහැනු ළමයින් වෙතටත්, එක්වරම කඩා පනින මහසෝන් යකාටත්, රීරි යකාටත් පමණය.   


ක්‍රි.ව. 1956 යේ වෙසක් මස 2500 සම්බුද්ධ ජයන්ති වෙසක් උත්සවය මහත් අලංකාරයෙන් පැවැත්වීමට රටම සූදානම් වන කාලයයි. මට යන්තම් අවුරුදු දහය ලැබුවා පමණි. එම වෙසක් දිනට ආච්චි සමග සිල් සමාදන් වීමට යාමට ආච්චි මා කැමති කරවා ගත්තේ, සිල්ගත් පසු ලැබෙන ප්‍රණීත ආහාර ගැනත්, මල්වට්ටි වෙන්දේසිය හා මල්වෙඩි සංදර්ශනය ගැනත් බොහෝ විස්තර කීමෙන් අනතුරුවය. අද මෙන් නොව එදා සිල්ගත් පසු රාත්‍රිය ද පන්සලේම ගත කළ යුතුය. දහම් පාසල් ඇඳුමට අම්මා මසා දුන් උතුරු සළුවද පැලඳ, හිමිදිරියේම මම ආච්චි සමග පන්සල් ගියෙමි. ආච්චි පැවසූ සේම නොයෙක් වර්ගයේ ප්‍රණීත ආහාර වර්ග හීල් දානයටත්, දවල් දානයටත් ලැබිණි. බණ, භාවනා, ගිලන් පස, බුද්ධ පූජා වැනි ආගමික වැඩසටහන් තුළින් දිවා කාලය ගෙවී ගියේය.   


අඳුර පැතිරෙත්ම තැන තැන දැල්වූ පැට්‍රල් මැක්ස් ලාම්පු, කොප්පරා පහන් හා පන්දම් ආලෝකයෙන් පන්සල් වත්ත පුරා ආලෝකමත් කර තිබිණි. පාර දෙපස ගොක් කොළ සැරසිලි කර, කෙසෙල් කොටන් වටා රැඳවූ පොල්තෙල් පහන් දල්වා, එම කොටන් උඩ දැල්වූ පන්දම් සවිකර තිබුණි. පාරට උඩින් එල්ලා තිබූ නොයෙක් වර්ණ කොඩිවැල් මඳ සුළඟට තාලයකට ලෙළඳුනි. බෝධි පූජා, සෙත්පිරිත් වැනි වැඩසටහන්වලින් පසු මල් වට්ටි වෙන්දේසියද, ඉන් අනතුරුව සෑම දෙනෙක්ම මහත් අමන්දානන්දයට පත්කළ මල්වෙඩි සංදර්ශනයද විය.   


උවැසි, උවැසියන්ට, දිවා දානය සැපයූ කඩේ මුදලාලිගේ ආරාධනයෙන් එහි පැවැත්වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අප සියලුදෙනාටම එහි යාමට සිදුවිය. තෙල්, මල්, පහන්, රැගෙන ස්වාමීන් වහන්සේ හා ධාතු කරඬුව පෙරටු කරගෙන තාලයට වැයෙන දවුල් තම්මැට්ටන් හඬට සාධු නදද එක් කරමින් අපි සියලුදෙනාම එහි ගියෙමු. සාලය පුරා පැදුරු එලා ඉතා අලංකාර ලෙස සරසා තිබුණි. මම ආච්චි අසලින්ම සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගතිමි.   


මදුරුවෙකු කම්මුලට දෂ්ට කිරීම හේතුවෙන් මට හදිසියේ ඇහැරුණි. මගේ හිසට කොට්ටයක්ද තබා මා පැදුරේ නිදිකර ආච්චි පන්සලට ගොසිනි. මා අසල තවත් නාඳුනන මාමලා දෙදෙනෙක් නිදා සිටියහ. මට මහත් චකිතයක් දැනුණි. පන්සලට සැතපුම් කාලක්වත් නැත. මම පාර හොඳින් දනිමි. බියක්, සැකක් නොමැති අතර මට ආච්චි සමග ඇතිවූ තරහ නිසාම මම පාරට බැස සෙමින් සෙමින් ඉදිරියට ඇදුනෙමි. සඳ එළිය ගස් කොළන් වලින් ආවරණය වී ඇති බැවින් මන්දාලෝකයක් පැතිරුණි.   


ආච්චිට සිතෙන් බැණ, බැණ යන මාහට ගමනින් භාගයක්වත් යාමට නොලැබිණි. මා යන මග දෙපසම ලඳු කැළෑවෙන් යුක්තය. එක් වරම පඳුරු අස්සේ සිටි සුදු ඇඳගත් මිනිස්සු හතර දෙනෙක් මා අසලට පැමිණ, කොහෙද පුතා මේ යන්නේ, දන්නේ නැද්ද දැන් පොලිස් ජීප් එක එනවා, ඔයා පාරේ සිටියොත් අල්ලාගෙන යාවි. එන්න, එන්න, මේ පඳුරු අස්සෙන් හැංඟිලා ඉන්න. ජීප් එක ගියාම යන්න යයි කී මුත්, මම ඒ කීදේ ගණනකට නොගෙන ඉදිරියට ගියෙමි.   


එහෙත් මට ඉදිරියට යා හැකිවූයේ මද දුරක් පමණය. පාරේ අනිත් පසින් එක් වරම තවත් සුදු ඇඳගත් තිදෙනෙක් මට නවතින ලෙස අතින් සංඥා කරමින් මා වෙත පැමිණ, කොහේද ඔය ළමයා ගියේ, දැන් කොහේද මේ යන්නේ යයි ටිකක් සද්දෙන් ඇසූහ. මට කිසිම බියක් දැනුණේ නැත.   


මම උදේ ආච්චි එක්ක සිල් ගන්න පන්සලට ගියා, දැන් ආච්චිලා එක්ක කඩේ මුදලාලිගේ ගෙදර බණ අහන්න ගියා. ආච්චි මාව දාලා පන්සලට ගිහින්, මම මේ දැන් පන්සලට යනවා යයි, කියාගෙන යාමට සැරසුනෙමි. ඉස්සරහට යන්න එපා, දැන් පොලීසිය එනවා, අපිත් මේ හැංගිලා ඉන්නේ ඒකයි, එන්න එන්න මේපැත්තට එන්න යයි කීපවරක්ම කීහ.   
මම මොනවටද පොලිසියෙන් අල්ලන් යන්නේ? යයි අසමින් මම ඉදිරියට ගියෙමි. මට එම මිනිසුන් ගැන කිසිම හැඟීමක් ඇති නොවූ නමුත්, ඒ අය කී ලෙසම මඩපාට වාහනයක් මා ඉදිරියට එයි. මම පසුපස බැලුවෙමි. මිනිසුන් පෙනෙන්නට නැත. මටත් සැඟවීමට සිතුණ මුත් එවිට වාහනය මට ළංවී අවසානය. මම වාහනයට යාමට ඉඩදී අයිනෙන් ඉදිරියට ගියෙමි. පියස්සක් නැති ලයිට් නැති, මඩ පාට වාහනයෙහි පසුපස දෙදෙනෙකු සිටගෙන සිටි අතර, ඉදිරිපස දෙදෙනා වාඩිවී සිටියහ. සියලුදෙනාම සුදු ඇඳුම් ඇඳ සිටියහ. වාහනය ඉදිරියට ගියා මිස මා දෙස බැලුවේවත් නැත.   


පොලිසියත් මම වගේම සිල් අරගෙන කළුවරේම යනවා මම මටම කියා ගත්තෙමි.   


මා පන්සලට හැරෙන හංදියට පැමිණෙන විට, චන්ද්‍ර මාමා කවි පොතක් තාලයට කියනවා ඇසිණි. චන්ද්‍ර මාමාගේ වඩු මඩුව පිහිටියේ හන්දියේ පාරෙන් අනිත් පසය. මඩුවට ගොස් චන්ද්‍ර මාමා හමුවී වතුර එකක් බී යාමට මට එක් වරම සිත්විය. ඔහු අපට ඉතා හිතවත්ය මම පාරේ සිටම මාමේ කියාගෙන ගියෙමි. එක්වරම කලබල වූ මාමා විදුලි පන්දමද, පොල්ලක්ද ගෙන කව්ද යකෝ යයි අැසුවේ මගේ මූණටම විදුලි පන්දම අල්ලාගෙනය.   


සිව්වරන් දෙවියනේ පුතා කොහේද මේ රෑ යන්නේ, කවුරු එකක්ද ආවේ? මහත් තැති ගත් ස්වභාවයෙන් ඇසීය. වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගිය මා උදේ පටන් මේ දක්වා සිදුවුණු සියල්ල පවසා මාමා පොලිස් ජීප් එක යනවා දුටුවේ නැද්දැයි විමසීමි.   


මට ඇහැ පියවෙන්න ඇති පුතේ, මට සෝදිසියක් නැත්තේ ඒකයි. යමු යමු පන්සලට මමත් එන්නම් කියා මා පෙරටු කරගෙන පන්සලට පැමිණ අාච්චිට මා බාරදී ගියේය. මා ආච්චි සමග කතා නොකරම නිදා ගත්තෙමි.   


පසුදා පාන්දරම චන්ද්‍ර මාමා අප නිවසට පැමිණ කෝ අක්කේ සුදු පුතා කියනු ඇසුනෙන් මම ඔහු වෙත ගියෙමි.   


අනේ පුතේ මට පොඩි උදව්වක් කරන්න, ළිඳ ගාව ගෙදරට ගිහිල්ලා පියදාස මාමා ඉන්නවද බලලා එන්න. මම කිව්වා කියන්න එපා, පුතා නිකම් බලාගෙන එන්න. චන්ද්‍ර මාමාට උදව්වක් කරන්න ලැබීම මට මහත් සතුටකි. මම පසුපස දොරෙන්ම පිටවී දිව්වෙමි. කමිසයක් නැතුව එළියට යනවාට අම්මා කැමති නැති බව මගදී මතක් වීම නිසා මම ආපසු පැමිණ ඉදිරිපස දොරෙන් ගෙට ඇතුළුවීමි.   


හොඳ වෙලාවට අක්කේ පුතා පොඩ්ඩක්වත් බයවෙලා නැහැ. රෑ එකට විතර ඇති මට කතා කරන කොට, සේරම හම්බවුණු මිනිස්සුන්ගේ විස්තර කියලා පොලිස් ජීප් එක දැක්කද කියලා අහනවා, පැය ගණනකින් වාහනයක් තියා මිනිහෙක්වත් පාරේ ගියේ නැහැ, බුදු අක්කේ.   


“කොහි හරියෙදිද මල්ලියේ ඔය මිනිස්සු හම්බවෙලා තියෙන්නේ?” අම්මා ඇසුවේ බියෙන් වෙව්ලමිනි.   


“කළු වෙද මහත්තයලගේ ගෙදරට හැරෙන හන්දියේදී අක්කේ දෙපැත්තෙම සොහොන් පිට්ටනිය, මතකද, අක්කේ මාස තුනකට විතර ඉස්සර මිනිහෙක් ඔතනදී අතරමංවෙලා දවස් තුනකට පස්සේ පල්ලෙහා පාළු ළිඳේ තිබිලා මිනිය හම්බ වුණේ. පුතාට දැනගන්න තියන්න එපා හිත ගැස්සේවි අක්කේ.”  

“අනේ දරුවා සිල් අරගෙන සිල් රෙද්ද පිටින් හිටිය නිසා බේරුණේ බුදු මල්ලියේ” අම්මා පැවසුවේ අඬමිනි.  


එදා මා මුහුණ දුන් සිද්ධිය අදද මට ටෙලි සිත්තමක් සේ නිතරම මැවි, මැවී පෙනෙයි. නමුත් මට එදින බියක්, චකිතයක් ඇති නොවූයේ මා හොල්මන්, අවතාර ගැන කිසිත් නොදැන සිටි නිසා යනු මාගේ විශ්වාසයයි. විශ්වයේ යම්කිසි නොපෙනෙන බලවේගයක්, ඇති බව මා විශ්වාස කරන මුත් හොල්මන් අවතාර ඇතැයි කියා විශ්වාස නොකරමි.   

 


ජයසේන හේවාපාත