විදුලිය සේ සටන් කළ රාජසිංහ රජතුමා


ලක්දිව අසහාය රණශූරයෝ-2

 

♦ රාජසිංහ කුමරා පියරජු මැරූ කතාව පරංගින්ගේ මුසාවක් 
♦ සීතාවක රාජසිංහ සටන් පෙරමුණටම ගොස් මුහුණට මුහුණ සටන් කළ රණ ශූරයෙකි 

 

 

කෝට්ටේ නුවර ධර්මපාල කුමරු රාජ්‍යත්වයට පත්වූයේ කිතු සමය ගන්වා දොන් ජුවන් ලොකු බණ්ඩාර යන නමිනි. ඔහු අනුගමනය කරමින් ඔහුගේ මැති ඇමැතිවරු මෙන්ම බොහෝ සාමාන්‍ය පුද්ගලයෝද කිතු සමය වැලඳ ගත්හ. පෘතුගීසීහු සිංහල ස්ත්‍රීන් සරණපාවා ගත්හ. රාජාවලිය කතුවරයා මෙම සිදුවීම විස්තර කර ඇත්තේ මෙසේය. 
“ධර්මපාල රජ දැක කතා කරගෙන ක්‍රිස්තු සමයට ධර්මපාල රජුට දී දොන් ජීවන් පෙරියපන්දාර් කියන නමින් කුලවද්දාගෙන ඒ රජ කුල වදින විට කෝට්ටේ නුවර නැකත් ප්‍රධානිවරුන් කුල වැදුණහ. එදා පටන් කෝට්ටේ නුවර නැකති ගෑනුන් ප්‍රතිකාලුන්ට සැමනී හීන ජාතිද, ඇම්බැට්ට ජාතිද, කරා ජාතිද, හන්නාලි ජාතිද, හාලි ජාතිද, දුරා ජාතිද, ගොයිගෙයි ජාතිද කෝට්ටේ නුවර ප්‍රධාන අය ප්‍රතිකාලුන්ගේ වස්තුවට ලෝබ වෙලා උන්ට සැමැනිලා කුලවැදී බැඳගෙන උන්නාහ. 


...... ප්‍රතිකාලුන්ගේ සැප සම්පත් බලා නොයෙක් හීන ජාතීහු අඩුකුල නොබලා උන් හා හිර ගනුදෙනු කරගෙන කුලවැදීගෙන උන්නාහයි දතයුතු’ 


කරලියද්දේ නිසා කන්ද උඩරටද පෘතුගීසී කොළනියක් වීමේ අවදානමක් ඇතිවිය. උඩරට පස් රටේ සේනාවල සීතාවක රාජසිංහද එකතුව උඩරට රජු එනම් කරලියද්දේ බණ්ඩාරගේ සේනා සහ පෘතුගීසීන් සමග සටන් කොට කරලියද්දේ උඩරටින් පලවා හරින ලදී. අනතුරුව රාජසිංහ විසින් උඩරට රජු ලෙස මෙහෙණවර තුණයාගේ ද්විතීය පුත්‍ර වීරසුන්දර පත් කරන ලදී. ඇතැම් ඉතිහාසකරුවන් වීරසුන්දර බණ්ඩාර ලෙසද සඳහන් කර ඇති නමුත් ඔහු බණ්ඩාර කෙනෙකු නොවීය. වීරසුන්දර උඩරට රජු බවට පත්වූයේ ක්‍රි.ව. 1580දීය. ක්‍රි.ව. 1581 දී මායාදුන්නේගේ මරණයත් සමග ක්‍රි.ව. 1582 දී සීතාවක රාජසිංහ රජු උඩරටට ගොස් උඩරට රාජ්‍යට වීරසුන්දරයන්ට පවරා රාජසිංහ රජු සීතාවක රාජ්‍යයට පත්වී මැදගම මහසෙන් දේවාලය ඉදිකරන ලදී. 


සීතාවක ර​ාජසිංහ විසින් උඩරට රාජ්‍යය ස්වෛරී ලෙස වීරසුන්දරට දෙන ලද්දේ ඇයි? රාජසිංහ රජුගේ යුදමය උපායශීලීත්වය මෙන්ම දුර දක්නා නුවණ එයින් පැහැදිලි වෙයි. උඩරට සේනාසම්මත රජුගෙන් පසු එම රාජ්‍යය ඔහුගේ පුත් දොඩම්වල පරාක්‍රම අෑපාණන්ට දෙන ලද්දේ මෙහෙණවර තුණයා සමග වික්‍රමබාහු රජු ඇති කරගෙන තිබූ ගිවිසුම කඩ කරමිනි. එම නිසා මෙහෙණවර තුණයා ක්‍රි.ව. 1497 දී උඩරට රජු බවට පත්වූයේ සංඝරත්නය, උඩරට ප්‍රභූවරු සහ උඩරට පස් රටේ ප්‍රධානීන්ගේ සහාය මත කැරැල්ලක් ඇති කිරීමෙනි. 


රන්පණන් ගස්වමින් අංගම්පොර කොටවමින් ඔහු රාජ්‍යය පාලනය කළේය. මෙහෙණවර තුණයා යනු දොඩම්වල පරාක්‍රම ඈපාගේ සො​ෙයායුරියගේ ස්වාමි පුරුෂයාය. සේනාසම්මත වික්‍රමබාහු සවුළු පෙළපතට අයත් වූ අතර මෙහෙණවර තුණයා මෙහෙණවර වංශිකයෙකු විය. 


මෙම තුණයාගේ පළමු පුත්‍රයා රන්කොත් පතිරැන්නැගේ රජ හෙවත් වීරවික්‍රම රජුය. වීරසුන්දර යනු තුණයාගේ ද්විතීය පුත්‍රයා විය. උඩරට සිංහල බලවේගය ඒකරාශී වී සිටියේ ඔහු වටාය. වීරසුන්දරයන් පෘතුගීසී සහාය ලබා ගැනීම වළකාලීමටත් උඩරට සිංහල බලවේගය සීතාවක රාජසිංහ හට අවනත කර ගැනීමත් උදෙසා මෙම පියවර ගත් බව පැහැදිලි වෙයි. 


මායාදුන්නේ රජුගේ අභාවයත් සමග පෘතුගීසීහු සීතාවක රාජධානිය අත්පත් කර ගැනීමට බලවත් උත්සාහයක් දැරූහ. ඔවුහු ගෝවේ සිට බලවත් පරංගි බළඇණියක් ගෙන්න ගත් අතර යුද්ධයෙහි මහා දක්ෂතාවක් ඇති කපිතාන්වරුන් දෙදෙනකුද ගෙන්වා ගත්හ. ඔවුන්ගේ හමුදා කැලණි ගඟ සමීපයේ මාඒදණ්ඩ නැමැති ස්ථානයේ කඳවුරු බැඳීය. මීට අමතරව පරංගීහු සීතාවක රාජසිංහ රජුට විරුද්ධව කටකතා ප්‍රචාරය කළහ. රජු සිය පියා මායාදුන්නේ මරා රජකම ලබාගත් බව රටපුරා ප්‍රචලිත කළහ. 


පරංගි ආක්‍රමණයට මුහුණදීම සඳහා රාජසිංහ රජු සහ වික්‍රමසිංහ මුදලි යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ඇත් හමුදා, අස් හමුදා කඩු හා පළිස් ගත් පළිසක්කාරයින් මෙන්ම ඉලංගම් මඩුවල පුහුණුව ලබමින් සිටි සේනාවද යොදාවා ගත්හ. සීතාවක සටන ග්‍රන්ථයට අනුව මෙම සටන සඳහා වරාගොඩ, කඩුවෙල, හෝකන්දර, කොරතොට සහ අතුරුගිරිය යන පෙදෙස්වලින් විශාල ලෙස සිංහල පිරිස් එකතු වූහ. උඩරට පාලකයාගේ ප්‍රධානත්වයෙන් කන්දඋඩ පස් රටින් විශාල පිරිසක්ද සටනට එකතු වූහ. එහිදී වීරසුන්දර රජු ඓරාවණ ඇතා මත නැගී සටන මෙහෙයවූ අතර සීතාවක රාජසිංහ රජු අශ්වයකු පිට නැගී සටන් භූමියේ ඉදිරියෙන්ම සිටි බව සඳහන් වෙයි. සටනින් දෙපිරිසේම විශාල මිනිස් ඝාතනයක් සිදුවූ අතර ජය පරාජයකින් තොරව එය අවසන් විය. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය කතුවරයා ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය. 


‘....... ඇතුන්ගෙන් ජයසුන්දර භාගෙන් වීරධරයා කියන ඇතා සුදු කොඩියක් ගත්තාහ. විජේසුන්දර භාගෙන් අයිරාවණ ඇතා දවුලක් සහ රතු කොඩියක් ගත්තාහ. 


අසුන්ගෙන් ගෝපාල නම් අසා මෙහෙයවා පරංගියකුට කෙටීය. වික්‍රමසිංහ මුදලියාරුන් පරංගියෙකුට කෙටූහ. ඒ ආකාරයෙන් යුද්ධ කොට සේනාව ගෙන්නවා පස්සට වාංගු වූහ. 
යුද්ධයේ බිහිසුණු බව මෙයින් පැහැදිලි වේ. යුද්ධයෙන් පසුබැසීම සඳහා බෙරවාදනයෙන් සහ සුදු කොඩි එසවීමෙන් සංඥාවක් දෙන ලද අතර පසුබසින හමුදාවට පහරදීමට පැමිණි පරංගි දෙදෙනකු මරා දමන ලද ආකාරයද සඳහන් වෙයි. මෙහි ජයසුන්දර භාගය සහ විජයසුන්දර භාගය යනු එම දෙදෙනාගේ නායකත්වය යටතේ යුද්ධ කළ සේනා කාණ්ඩ දෙකය. 


යුද්ධය අවසනයේදී සටනේදී සමත්කම් දැක්වූ පිරිස් වෙත රාජසිංහ විසින් කඳවුරු භූමියේදී විරුදු කොඩි හා ත්‍යාග පිරිනැමීම සිදු විය. වීරසුන්දර හට දවුල හා රතු කොඩිය එනම් ‘දවුන්ඩේ සහ පංචලන්සය’ කොඩිය පිරිනැමීය. සීතාවක රාජ්ජ කාලය කතුවරයා වීරසුන්දර නාමය විජයසුන්දර ලෙස සඳහන් කර ඇත්තේ හිතාමතාමද යන්න ගැටලුවකි. 
තාවකාලික ලෙස පසුබැස්ස සීතාවක රාජසිංහ රජු කඩුදෙවොල සහ රත්ගහවත්ත යන බළකොටු දෙක නවීකරණය කරන ලදී. එහි රැඳවූ සේනාංක දෙක ප්‍රතිසංවිධානය කළ ඔහු කඳවුරු දෙකේ ආරක්ෂාවට දේශීයව නිපදවූ කාලතුවක්කු දෙකක්ද රැඳවීය. ඒ අනුව ඔහුගේ පූර්ව යුද සූදානම අගය කළ යුත්තකි. යුද භූමියේදී අසු මෙහෙයවමින් සතුරු හමුදා ඉදිරියටම යමින් සිදු කළේ සැබෑ යුද නායකයෙකුගේ කාර්යභාරය විය. එසේම ඔහු සටන් බිමේදී නිර්භීත යුද සෙබළෙකුද විය. 


​ෙම් අතර කෝට්ටේ ධර්මපාලගේ හමුදා සහ ගෝවෙන් පැමිණි පරංගි ආධාරක හමුදාවෝ මෝදර වාඩිලා ගත්හ. මුල් සටනින් මාස තුනකට පසු මෙම සටන ආරම්භ විය. කෝට්ටේ සේනාව සහ පරංගි හමුදාව දියෙන් සහ ගොඩින් පැමිණ ප්‍රහාර එල්ල කළහ. මෙහි දියෙන් යනු කැලණි ගඟ දිගේ පැමිණි සතුරු සේනාවන්ය. 


රාජසිංහ රජු කාලතුවක්කු දෙක ගෙන්වා කැලණි ගඟේ ඉවුර දෙපොළකින් කප්පවා පහත්කොට තුවක්කු දෙක ස්ථානගත කළේය. එයට හේතුව ඒවායේ ඉලක්කය ගඟේ ජල මට්ටමට සමාන්තරව තැබිය යුතු නිසාය. පාඩව් නමින් හැඳින්වෙන පොල් කොටන්වලින් සාදාගත් පාරුවල කාල තුවකු බැඳගත් පරංගීන් ගඟ දිගේ ඉහළට පැමිණි අතර ඒ පසුපස යාත්‍රාවල සෙසු සෙබළු පැමිණියහ. දියෙන් පැමිණෙන සතුරාට ප්‍රහාර එල්ල කිරීමේ නායකත්වය රාජසිංහ රජු විසින්ම භාරගත් අතර ගොඩබිමින් පැමිණෙන සතුරාට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ වගකීම වික්‍රමසිංහ මුදලිට භාරවිය. 


ගොඩබිමින් තවද සේනාංකයක් යෙදවීය. ගඟ දිගේ පැමිණි සතුරු හමුදාවට ප්‍රහාර එල්ල කිරීම රාජසිංහ රජු විසින්ම එක් කාලතුවක්කුවක් එල්ලය බලා පත්තු කිරීමෙන් සිදුවිය. 
රජුගේ ප්‍රහාරයෙන් පෘතුගීසීන්ගේ පඩව්වලට සහ යාත්‍රාවලට දැඩි හානියක් සිදුවිය. ගොඩබිම් හමුදා වටලා පහරදීම මගින් පරාජය කළහ. සටන් වලින් දෙපිරිසේම විශාල පිරිසක් මරණයට පත් වුවද රාජසිංහ රජුට ජය අත්විය. ගොඩබිම් හමුදා මෙහෙයවූ වික්‍රමසිංහ මුදලි සිය ජයග්‍රහණය රජුට දැන්වීම සඳහා පෘතුගීසී සොල්දාදුවකුගේ කර මතින් රජු වෙතට පැමිණි බවද සඳහන් වෙයි. මෙම සටනින් පසු රජතුමා විසින් හෝකන්දර ඇතුළු ගම් කීපයක් ‘හේවාගම් කෝරළය’ ලෙස නම් කරන ලදී. 


මෙම සටනින් පසු කාලයක් ගතවන තුරුම දෙපාර්ශවයේ සීමා මායිම් අසල විටින් විට සුළු ගැටුම් ඇතිවිය. එහිදී දෙපාර්ශවයේම නිවාස හා දේපොළ කොල්ලකෑමත් ඒවා ගිනි තැබීමත් සිරකරුවන් ලෙස පුද්ගලයින් පැහැර ගැනීමත් සිදුවිය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ රාජසිංහගේ හමුදා විසින් පරංගීන්ගේ කොළඹ ​ෙකාටුව වැටලීමයි. 

 


මතු සම්බන්ධයි...

 


එම්.කේ. ජයසේන 
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය