විජයබාහුගේ අවමඟුල අත්තනගල්ලේදී


 

දළදා මැදුරේ මහා පිංකම්ය. උදේ පාන්දර තේවාවේ හේවිසි බෙර නාදය කනට මිහිරකි. වාචිස්සර හාමුදුරුවන් ඒ බෙර හේවිසි හොරණෑ හඬට දෙසවන් යොමු කළේ සතුටිනි. මේ හේවිසි හඬ අවසානයට ඇසුණේ මීට වසර විසිඑකකට කලින් පොළොන්නරු දළදා මාලිගයෙනි. එදා ඇසුණු හේවිසි නාදයේත් අද ඇසෙන හේවිසි නාදයේත් කිසියම් වෙනසක් වේදැයි වාචිස්සර හාමුදුරුවෝ කල්පනා කළෝය.   


‘‘වෙනසක් තියෙන්ඩ විදියක් නෑ. අද මෙතැන හේවිසි ගහන්නේ එදා පොළොන්නරුවේ හේවිසි ගහපු උදවියනේ. ඒ ගොල්ලෝ මේ තේවා බෙරපද මතක තියාගෙන ඉන්න ඇති’’   


තමන්ටම කියාගත් වාචිස්සර හාමුදුරුවෝ දළදා මැදුර දෙසට ඇවිද ගියෝය. දළදා හාමුදුරුවන් වෙනුවෙන් ආහාර පාත්තර, පැන් බඳුන්, මල් වට්ටි, සුවඳ දුම් ආදිය පූජා කරන මොහොතට උන්වහන්සේද එක්වූහ.   


පසුගිය දවස්වල නම් විජයබාහු රජ්ජුරුවෝද මේ අවස්ථාවට සහභාගී වුවත් ආපසු දඹදෙණියට ගියේ තවත් රාජ්‍ය පාලන කටයුතු බොහෝමයක් තිබූ බැවිනි.   


මාඝ නමැති ජන පීඩකයාගෙන් රට බේරා ගැනීමේ කටයුතු වහා වහා ආරම්භ කළ යුතුය. ඒ සඳහා ඒ වනවිටත් රට පුරාම සේනා සංවිධානය වෙමින් පැවැතුණි. බොහෝ තරුණයන් රජුගේ හේවා ඛණ්ඩයට එකතු වූයේ ස්ව කැමැත්තෙනි. තවත් සමහර පියවරු මව්වරු තම තරුණ පුතුන් රජුගේ සේනාවට බාර කළහ.   


මොවුනට සටන් ක්‍රම ආයුධ භාවිතය පිළිබඳ බොහෝ පුහුණු වීම් ලබාදිය යුතුය. රටේ තැන් තැන්වල ආයුධ නිෂ්පාදනයද සිදුවෙයි. දුනු ඊතල ආදිය නිෂ්පාදනය සේම අලි ඇතුන් සහ අසුන්ට සටන් පුහුණු කිරීමද නොකඩවාම සිදුවිය.   


මේ අතර තවත් පිරිසක් ආහාර නිපදවමින් සිටියහ. ඔවුන් බොහෝ සේ වෙහෙසෙමින් කුඹුරුවල වී වගාකළ බැවින් දඹදෙණියේ අවට වූ කුඹුරුයායවල් තනිකරම කොළ පැහැයක් ගත්තේය. මේ කුඹුරු යායවල් තව නොබෝ කලෙකින් රන්වන් කරලින් බර වන්නේය. විජයබාහු රජු විටින් විට බැලුම් ගලට නැග හතර දිග්භාගයෙන්ම පෙනෙන කුඹුරුයායවල් දෙස බැලුවේය. වැස්සක් නොවැටුණත් දඹදෙනි වැවේ එකතු වූ ජලය මේ කුඹුරුයායවල්වලට හොඳටම ප්‍රමාණවත්ය.   


මාඝ නපුරා විනාශ කළ පන්සල් සංඝාවාස පිරිවෙන් කීයක් නම් ඇත්ද? මේවාද එකින් එක පිළිසකර කළ යුතුය. ඒවාට සංඝයා වහන්සේලා වැඩම කරගත යුතුය. මේ කටයුතු සඳහා රජතුමා රටේ උගත් පරිනත සංඝ පීතෘවරුන් අතරින් එක් නමක් සංඝනායන ලෙස තෝරා පත්කර ගත්තේය. උන්වහන්සේ නමින් සංඝරක්ඛිත නම් වූහ.  

 

ශාසන අභිවෘද්ධිය පිළිබඳ උපදෙස් ලබා ගැනීමට රජු නිතරම පාහේ සංඝරක්ඛිත තෙරුන් මුහුණගැසෙන්නට ගියේය.   


රජුගේ පළමු අවධානය යොමු වූයේ දඹදෙණිය රාජධානියක් ලෙස සංවර්ධනය කිරීමය. දඹදෙණිය බලකොටුවක් සේ ආරක්ෂිත කිරීම කළ යුතුම කාර්යයකි. නොඑසේව මාඝ ආක්‍රමණයට අත තැබීම අගනුවර අනතුරට වැටීමට හේතුවක් විය හැකිය.   


බලකොටුව වටා පවුරක් ඉදිකිරීම ඒ වන විටත් අවසන්ව තිබිණි. දැන් ඉතිරිව ඇත්තේ අගනුවර පන්සලක් ඉදිකිරීම වැනි කටයුතු ය.   
එහිදී රජතුමා තෝරාගත්තේ අගනුවර පිටත කොටසේ පිහිටි සමතලා නිසංසල භූමියකි. මෙහි ඉදිකරන පන්සල රජමාලිගයේ සියළු කටයුතුවලට පහසුවෙන් සම්බන්ධ කරගත හැකිය. හැරත් සංඝරක්ඛිත තෙරුන්ට නිල වශයෙන් වෙන් වූ විහාරස්ථානයක් අගනුවර රජමැදුර ආසන්නයේම තිබිය යුතුය. පිටත නුවර ඉදිකෙරුණු මේ පන්සලට චෛත්‍යයක් සංඝාවාසයක් මෙන්ම ​බෝධීන් වහන්සේ නමක්ද බුදු මැදුරක්ද අවශ්‍යය. රජු මෙහි චෛත්‍යය නිර්මාණය කළේ ආවරණයක් ඇතුළේය. දඹදෙණි යුගයේ තැනූ චෛත්‍යය සියල්ලම පාහේ කුඩා වට ප්‍රමාණයකින්ද අඩි තිහක හතළිහක තරම් උසකින්ද යුතු විය. මේ නවතම විහාරයේ චෛත්‍යයද ඊට වඩා උස් වූයේ නැත. මේ විහාරයට විජයසුන්දරාරාමය ලෙස නම් තැබිණ.   

 


කැලණි විහාරය වූ කලී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය විහාරස්ථානයකි. වරක් බුදුන් වහන්සේද වැඩම කළ බැවින් කැලණිය බොහෝ බැතිමතුන්ගේ නිරන්තර වන්දනාමානයට ලක්වූවකි. එහෙත් මාඝගේ පොළොන්නරු ආක්‍රමණයට පසුව කැලණි විහාරයටද අත්වූයේ බරපතළ ඉරණමකි. මාඝගේ බිල්ලෝ කැලණියටද පැමිණි අතර උන් චෛත්‍යය සේම අනෙකුත් ගොඩනැගිලිද කඩා බිමට සමතලා කර වටිනා කියන නිදන් වස්තු බොහෝමයක් රැගෙන ගියහ.   


මේ පින්බිමද ඉක්මනටම ප්‍රතිසංස්කරණය කළ යුතු බවට විජයබාහු රජු තීරණය කළේය. ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රාජකීය භාණ්ඩාගාරයෙන් වෙන් කළ රජු කැලණි විහාරය තිබුණු ආකාරයටම ප්‍රතිසංස්කරණය කරන්නැයි තම ඇමතියකුට පැවරුවේය.   


මාඝගේ හමුදාව ඒ වන විට කැලණිය පිං බිමට කර තිබුණේ මහා අපරාධයකි. චෛත්‍යය ගඩොල් ගොඩක් පමණක් වී තිබූ අතර රන්කොත සහ චූඩාමාණික්‍යය පැහැර ගෙන ගොස් තිබිණි. රජුගේ නියෝගය වූයේ චෛත්‍යය තිබුණු ලෙසින්ම පිළිසකර කර රන්කොතක් සහ චූඩා මාණික්‍යයක්ද පලන්දා සුදු පිරියම් කරන ලෙසය.   


මේ කටයුත්තට මාස කිහිපයක්ම ගත විය   


සියල්ල අවසානයේ ඇමතිවරයා රජු හමුවට පැමිණියේය.   


‘‘අවසර දේවයන් වහන්ස, කැලණි පිංබිමේ චෛත්‍යය නැවත පිළිසකර කර අවසන් මේවන විට. ඊට හුණු පිරියම් කර අවසන්. දැන් ඉතිරිව ඇත්තේ කොත නිරාවරණය කිරීම පමණයි’’.   


ඉතින් ඒ පිංකම නිමාකර චෛත්‍යය ජනතාවට වන්දනාමාන කිරීම සඳහා අවකාශ සලසන්න.   


‘‘රජතුමනි, ඒ මාහැඟි පුණ්‍යකර්මය සිදුවිය යුත්තේ ඔබේ සුරතින් බවයි කැලණිය විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ අදහස. ඒ නිසා ඔබතුමාට පහසු දිනයක් දන්වන මෙන් ඒ හිමියන් ඉල්ලා සිටිනවා. ‘‘චෛත්‍යය කොත නිරාවරණය කිරීමේ පිංකම පුරා සතියක් තිස්සේ සිදුකළ යුතු බවයි නාහිමියන් පවසන්නේ’’.   


‘‘එසේනම් මීළඟ පුන්පෝ දිනය වෙන්කරන්න’’.   


කැලණි චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම සඳහා පිංකම් මාලාවක් පැවැත්වීමට දායකයෝ තීරණය කළහ. ධර්ම දේශනා බෝධි පූජා දන්සල්වලින් මේ පිංකම් මාලාව පිරී තිබිණි. ඒ සියල්ල අවසානයේ චෛත්‍යයේ කොත් වහන්සේ රජතුමා​ගේ සුරතින් නිරාවරණය කිරීමටත් ඉන් අනතුරුව දානමය පුණ්‍යකර්මයක් කිරීමටත් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමටත් කටයුතු පිළියෙල කෙරුණි.   


කැලණියේ පමණක් නොව දඹදෙණියේ බෞද්ධයෝද මේ පිංකම් වෙනුවෙන් කැලණියට ආහ. ඒ වෙනුවෙන් පැමිණි පෙරහරට මහා දන්සල් පැවැත්වීමෙන් සංග්‍රහ කෙරිණි.   


මෙදා විජයබාහු රජු සිටියේ අප්‍රමාණ සතුටකිනි.   


‘‘මට ඉතිරිව ඇත්තේ මාඝ නමැති පාපිෂ්ටයාගෙන් පොළොන්නරුව බේරා ගැනීම පමණයි’’. රජ එදා ද පැවසුවේය.  

 
මේ අතරවාරයේ බෙලිගල විහාරයක් ඉදිකිරීම ආරම්භ කෙරිණි. රජතුමා නිතර නිතරම බෙලිගලට පැමිණීමත් දළදා වහන්සේ වෙනුවෙන් නිරතුරුවම පූජා පැවැත්වීමත් සිදු කළේය.   


මේ කටයුතු කිරීමේදී ප්‍රධාන පෙලේ විහාරස්ථානයක් බෙලිගල පර්වතය කිට්ටුවෙන් ඉදිවී තිබිය යුතුය. රජතුමා තම යුවරජු කැඳෙව්වේය.   


‘‘දළදා මැදුරට ආසන්නයෙන් ප්‍රධාන පෙලේ විහාරයක් ඉදිකළ යුතුව තිබෙනවා’’.   

මාලිගාගල මතුපිට

 


රජතුමා​ පැවසුවේය.   


‘‘එහෙමයි රජතුමනි’’   


‘‘ඔබ දන්නවාද දෙතිස් ඵලරුහ බෝධියක් වැඩසිටින ඉපැරණි විහාරය?   


දළදා මාලිගය සහිත කඳු ශිඛරයට මයිල භාගයකට පමණ දුරින්?   


‘‘එහෙමයි රජතුමනි’’   


‘‘අන්න එතැනයි අප අභිනවයෙන් විහාරයක් ඉදිකළ යුතු තැන. මේ සඳහා අවශ්‍ය මිනිසුන් ගම්පොල ප්‍රදේශයෙන් ගෙන්වාගන්නට සිදුවේවි... අතීත පොළොන්නරුවේ සිටි දක්ෂ ගල්වඩුවන් මේ වනවිට කොයි තැනක සැඟව ඉන්නවාදැයි මානම් දන්නේ නෑ’’

  
‘‘එහෙමයි රජතුමනි’’   


යුවරජු පළමුවෙන්ම කළේ ගල්වඩුවන් ප්‍රමුඛ ශ්‍රමික පිරිස සොයා ගැනීමය.   


දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේ වටා ඉදිකර තිබූ බෝධිඝරය ඒ වනවිටත් වැනසී තිබිණි. යුවරජු ඒ බෝධිඝර අලුතින් බැන්දවීය.   
ඉන් ඔබ්බෙහි පිළිම ගෙයක්, එහි දෙපස කොරවක්ගල් දෙකක් බැන්ද වූ යුවරජු පිළිමගෙය වෙත පිවිසෙන ද්වාරයෙහි මනරම් සඳකඬපහණක්ද තැ​නෙව්වේය. ඒ සඳහා දක්‍ෂ ගල්වඩුවකු සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් වූවත් අවසානයේදී පොළොන්නරුවෙන් රහසේ පැන ආ ගල්වඩුවකු සොයාගන්නට හැකිවිය. ඔහු නිර්මාණය කළ සඳකඬපහණ එතෙක් දකින්නට හැකිවූ සඳකඬපහණවලට වඩා සපුරා වෙනස්ය.   


මෙහි අර්ධවෘත්තය දෙපසින් මදක් දිගුකර මකර රූප දෙකක් නිර්මාණය කර තිබේ. එසේම ඒ මකරුන්ගේ විවෘත මුවවල්වලින් සිංහ රූප පේලිය ආරම්භ වේ. ඇත් අස් ලිය ගව රූප නොවීමද විශේ‍ෂිත කරුණකි.   


තෙමහල් සංඝාරාමයක් ධර්මශාලාවක්ද තැනවුණු අතර එම ගොඩනැගිලි දෙකම සිංහල උළු සෙවෙලි කළ පියැසිවලින් සරසනු ලැබිණි.   

 


මේ සියල්ල එකතු වූ විට එය සංසුන් මෙන්ම අලංකාර විහාරස්ථානයක් සේ දිස්විය.   


චෛත්‍ය ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කෙරිණි.   


ශ්‍රී විජයසුන්දරාරාමය ලෙස නම් කෙරුණු මේ විහාරයට ඔබ්බෙන් සුවිශාල පිරිවෙනක්ද ඉදිකරන්නැයි යුවරජුටම පැවරුණි.   


විජයබාහු රජු මේ වනවිට රටේ තැනින් තැන පිරිවෙන් ආරම්භ කළ අතර නැතිවී ගිය බෞද්ධ උරුමය යළි ස්ථාපිත කිරීම ඔහුගේ පරම අභිලාෂය විය. පිරිවෙන්වලින් බිහිවන නව උගතුන් ලවා ඉපැරණි බෞද්ධ පත පොත නැවත ලියවා තැබීම රජුගේ අවශ්‍යතාව වී තිබිණි.   


මේ අතර සිරිපා කරුණාකරන බැතිමතුන් වෙනුවෙන් වන්දනා ගමනට පහසුකම් සැලසීමටද රජු කටයුතු කළේය. බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා පඩිපෙළවල්  ප්‍රතිසංස්කරණය කිරීම, දන්සල් දීම වැනි කටයුතු රාශියක්ම විජයබාහු රජු සම්පාදනය කළේය.   
තම අභිලාශයන්ගෙන් බොහෝ ගණනක් ඉටුවෙද්දි රජු සතුටින් කල් ගෙව්වේය. වැඩි කල් නොගොස්ම මාඝට එරෙහිව සටන ආරම්භ කිරීමට රජුගේ අවධානය යොමුව තිබිණි. ඔහු අවිආයුධ ගබඩා පිළිබඳව ආහාර ගබඩා පිළිබඳව සේනාවන් පිළිබඳව වෙනවෙනම සොයා බැලුවේය. සිය පුත් කැඳවා තමන්ගේ බලාපොරොත්තු සහ රටේ ඉදිරි අවශ්‍යතා ගැන ඔහුට කරුණු කීවේය.  


කොටින්ම තමා සිටින්නේ මහලු වියේ බැවින් රටේ වගකීම් සියල්ල ඉක්මනින්ම පුතු බාරගත යුතු බවද ඇඟෙව්වේය.   


රජ කිරුල දරා ගෙවී ගියේ හතර අවුරුද්දක් පමණි. මහලු විජයබාහු රජු හදිසියේම කාලයාත්‍රා කළේය.  


ඇත්ත වශයෙන්ම ඒ වනවිට රජු සිටියේ මහලු වියේය. එබැවින් ඔහුගේ මරණය සිදුවීම අරුමයක් නොවේ. එහෙත් රට වැසියෝ වේදනාවට පත්වූහ. දඹදෙණියේ රාජධානියක් හදා නටබුන් වෙහෙර විහාර පිළිසකර කරවා ධර්ම ශාස්ත්‍රීය සේවයක් ඉටුකළ මේ මහා රණවිරුවාගේ අභාවය රට වැසියනට පාඩුවක් විය.   


එහෙත් ඊළඟට කිරුළු දැරුවේ රජුගේ වැඩිමහල් පුතුය. ඔහු දෙවැනි පරාක්‍රමබාහු නමින් දඹදෙණියේ රජ වූයේය.   


ඉනික්බිති තුන්වැනි විජයබාහු රජුගේ ආදාහන උළෙල පැවැත්විය යුතුවිය. ඒ සඳහා රජුගේ දේහය අත්තනගල්ලට ගෙනයනු ලැබිණි. සිරසඟබෝ රජු හිස දන්දුන් අත්තනගල්ලේම විජයබාහු රජුගේ ආදාහනය සිදු කරන්නේ විජයබාහු රජුගේ ඉල්ලීමක් අනුවය.  


අලංකාර චිතකයක් තනා ඒ තුළ තැන්පත් කෙරුණු රජුගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට වන්නිවරු පමණක් නොව දුරබැහැර සිට රට වැසියෝද පැමිණියහ. ඔවුන් දණගසා වැන්දේ දෑස්වල කඳුළු පුරවා ගනිමිනි.   

නටබුන්ව තිබූ කැලණි චෛත්‍යය පිළිසකර කර කොත පැලඳවූ හැටි (කැලණි විහාරයේ බිතු සිතුවම්)


සතියක් පුරාවට පැවැති මෙම ගරු බුහුමන් වලින් අනතුරුව සිදුකෙරුණු අවමඟුල් උළලේ ප්‍රධානත්වය ගත්තේ පරාක්‍රමබාහු රජතුමාය.   


ඇමතිවරු බිසෝවරු කුමාරවරු ආදීන්ගෙන් සමන්විත වූ රාජකීය අවමඟුල් උළෙලේදී ආගමික වතාවත් ඉටු​ කෙරු​ෙණ් සංඝරක්ඛිත තෙරුන්ගේ ප්‍රධානත්වයෙනි.   


මරණය පොදු දෙයක් වූවත් මේ රජතුමාගේ මරණය රටට සිදුවූ දැවැන්ත පාඩුවක් වග පැවසූ තෙරුන් වහන්සේ පවා අනුශාසනාව කළේ දෙනෙත් ​ෙතත් කළ කඳුළු පිසදමමිනි.   


ලබන සතියට...  

 

ශාන්ත කුමාර විතාන  
ඡායාරෑප : ඇලෙක්සැන්ඩර් බාලසුරිය