වැඩියෙන් වතුර බොනවා කියා ඔටුවන් දස දහසක් මරා දැමූ ඕස්ට්‍රේලියාව


 

 

වැඩියෙන් ජලය පානය කිරීමේ චෝදනා ලැබූ ඔටුවන්ට මරණ දඬුවම හිමිවීමේ පුවතක් පසුගිය දා මාධ්‍ය කැලඹීමට සමත් විය. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනා ඒ ගැන කනස්සල්ල පළ කළහ. මරා දැමුණේ ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන්ය. ඕස්ට්‍රේලියා රජය දින පහක මෙහෙයුමක් පසුගිය 8 වැනිදා ආරම්භ කළේ හෙලිකොප්ටර් යොදා ගනිමින් ගුවනින් ගොස් ඔටුවන් 10,000 ක් මරා දැමීමටය.   


එම මෙහෙයුම ඇරැඹුවේ, ‘කැන්යිප්’ ඇබොරිජින්ල් ප්‍රජාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. ඇබොරිජින්ල් යනු ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් එසේත් නැතිනම් එරට ස්වදේශික වැසියන්ය.   


ඔටුවන්ට දින ගණනක් ජලය නොමැතිව සිටිය හැකිය. එසේ වුවත් උන් එකවර විශාල ජල ප්‍රමාණයක් පානය කරයි. ඕස්ට්‍රේලියාව මේ වනවිට ළැව් ගිනිවලින් සහ දැඩි වියළි කාලගුණයකින් බැට කයි. කැන්යිප් ඇබොරිජින් වැසියන් ජීවත් වන පළාත්වල ජලාශ සහ පොකුණුවල ජලය තවත් අඩුවීමට හේතුවක් වී ඇත්තේ සිය ගණනින් ඔටුවන් රංචු පැමිණ එම ජලාශ සහ පොකුණු හිස් කිරීම නිසාය.   


ජලාශ සහ පොකුණු මේ අයුරින් හිස් වෙද්දී, ඕස්ට්‍රේලියාවට ආවේණික සතුන් බොහොමයක් පිපාසයෙන් මියගොස් ඇති බව වනවීජී නිලධාරීන් පෙන්වා දී තිබේ. මධ්‍යම සහ බටහිර ඕස්ට්‍රේලියාවේත්, උතුරු පළාත්වලත්, දකුණු ඕස්ට්‍රේලියාවේත්, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේත් ඔටුවෝ නිදැල්ලේ වාසය කරති.   


ඕස්ට්‍රේලියාව දූපත් රාජ්‍යයකි. මහද්වීපයකි. ඕස්ට්‍රේලියාවට ආවේණික වූ හරි අපූරු ජීවීන් රැසකි. කිරිබොන මෙන්ම බිත්තර ද දමන ප්ලැටිපස්, පැටවුන් බිහිවූ පසු පැසක තබා උන් ලොකු මහත් කරන කැන්ගරුවන් ඇතුළු පැසිපොව්වන් ඕස්ට්‍රේලියාවේ අනන්‍යතාවයි. ඇබොරිජින් වැසියන් ජීවත් වූයේ මෙම සතුන් සමඟ සහජීවනයෙනි. සුදු ජාතිකයන්ගේ පැමිණීම ඇබොරිජින්ල්වරුන්ට පමණක් නොව, ඕස්ට්‍රේලියාවට ආවේණික සතුන්ට ද තර්ජනයක් විය.   


ඕස්ට්‍රේලියාවේ ඔටුවන් සිටියේ නැත. සුදු ජාතිකයන් ඕස්ට්‍රේලියාවට ඔටුවන් හඳුන්වා දීම සිදුවූයේ 19 වැනි සියවසේදීය. ඒ, ඉන්දියාවෙන් සහ ඇෆ්ගනිස්තානයෙනි. ඔටුවන් ඕස්ට්‍රේලියාවට ගෙන ඒම සිදුවූයේ ප්‍රවාහන කටයුතු සහ ඉදිකිරීම් කටයුතුවලදී සහාය ලබා ගැනීමටය. ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක පරිසරය මේ ඔටුවන්ට හොඳ තෝතැන්නක් විය. ඔටු ගහණය ඉක්මනින් වර්ධනය වූයේ ඔටුවන් මට්ටු කරන විලෝපිකයකු නොවීම හේතුවෙනි. ඔටුවන්ගේ ගහණය පමණ ඉක්මවා යන්න පටන්ගත්තේය. ස්වදේශිකයන්ට පමණක් නොව, ඕස්ට්‍රේලියානු සුදු ජාතික ගොවිපොළකරුවන්ට ඔටුවන් හිසරදයක් විය. ඒ, ඔටුවන් ගොවිපොළවලට කඩා වැදීම නිසාය. ඒ අනුව, සෑම අවුරුදු 8 කට හෝ 10 කට වරක් ඕස්ට්‍රේලියාවේ ඔටුවන් ගහණය අඩු කෙරේ. ඒ, උන් මරා දැමීමෙනි. 

 
ස්වභාවිකව පාලනය නොවන සතුන්, මිනිසාටත් අවට පරිසරයටත් කරදරයක් වන අවස්ථාවලදී, පාලනය කිරීම (මරා දමමින්) ඕස්ට්‍රේලියාවේ පමණක් නොව රටවල් බොහොමයක සිදුවෙයි. පසුගිය වසරේ නවසීලන්තයේ හාවුන් මරා දැමීම සිදුවිය. ඒ, හාවුන්ගේ ගහණය අධික වීමත් උන්ගෙන් වගා හානි සිදුවීමත් සැලකිල්ලට ගනිමිනි. කැනඩාවේ, ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ ද මේ අයුරින් ඇතැම් සතුන් ඝාතනය කෙරේ. එය වසර පහකට හෝ 10 කට වරක් සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියකි. ඒ සම්බන්ධයෙන් එම රටවල සත්ව අයිතීන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරීන් මැසිවිලි නගන්නේ ද නැත. හේතුව එය කළ යුත්තක් බැවිනි.   

 


ලුසිත ජයමාන්න   
ඒ.එෆ්.පී. ඇසුරිනි