ලෝකයේ තුන් වැනි කෝටිපතියා ලොකු සල්ලිකාරයෙක් වුණේ මෙහෙමයි


අධිෂ්ඨානයක ජයග්‍රහණය

 

 

යන්තම් අවුරුදු එකොළහක් වූ පුංචි කොලු ගැටයකු ඇමෙරිකාවේ කොටස් වෙළෙඳ පොළේ සමාගමක කොටස් මිල දී ගත්තා යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එය එසේම සිදුවිය.   


එලෙස කොටස් වෙළෙඳපොළට අවතීර්ණ වූ කොලු ගැටයා අද වන විට කොටස් ආයෝජන ක්ෂේත්‍රයේ සියලු දෙනාම දන්නා නාමයක් බවට පත්ව ඇත්තේ ලෝකයේ කෝටිපතියන් අතර තෙවැනියා බවට පත්වෙමිනි.   


ඒ ඇමෙරිකාවේ නබ්රාස්කා ඔමාහා හි දී 1930 අගෝස්තු මස 30 වැනි දා උපත ලද එඩ්වඩ් වොරන් බෆට් ය.   


දැන් ඔහු ලෝකයේ ආයෝජකයන්ගේ ආදර්ශවත් චරිතය බවට පත්ව සිටියි.   


බෆට් ආයෝජන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සිය පියාගේ අඩිපාරේ යමිනි. ඔහුගේ පියා එවකට ඇමෙරිකාවේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජන උපදේශකයකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකි. පියාගේ කාර්යාල කාමරය සැකසී තිබුණේ ආයෝජන හා කොටස් වෙළෙඳ පොළ පිළිබඳ වගු, සටහන් සහ විවිධ සලකුණු වලිනි.   


පියාගේ ඇසුරට වඩාත් ප්‍රිය කරන බෆට් ඉඩ ලද සෑම අවස්ථාවක දී ම කාලය ගත කළේ පියාගේ කාර්යාල කාමරයේය. කාමරයේ එල්ලා තිබූ පුවරුවක සමාගම් කොටස් මිල ලකුණු කිරීමේ දී ඔහු පියාට සහාය වූයේ මහත් උද්​ෙ‌යා්ගයකින් සහ ආශාවකිනි.   


සමාගම්වල මුදල් හුවමාරුවන ආකාරයත් ඒවායින් ලාභ ලබන ආකාරයත් ඔහුගේ පුංචි මනසට යම් තරමකින් ගෝචර වන්නට ඇත.   


පියාගේ කාර්යයට දැඩි ලෙස ඇලුම් කළ වොරන් බෆට් සිහින මැව්වේ කවදා හෝ කෝටිපතියකු වන ආකාරය ගැනයි. ඔහු දැන් තම අතීත කතාවක් සිහිපත් කරමින් මෙසේ පවසයි.   
“මම පුංචි කාලේ තාත්තාගේ කාර්යාල කාමරයේ කාලය ගත කරද්දී මුදල් ආයෝජන ගැන ගොඩක් දේවල් දැනගත්තා. මට ලොකු ආශාවක් තිබුණා ඉක්මනින් ම කෝටිපතියකු වීමට. මම දවසක් මගේ හොඳම යාළුවෙකුට කිව්වා මම වයස අවුරුදු 35 දී කෝටිපතියෙක් වෙනවා කියලා. එහෙම වෙන්න බැර වුණොත් මේ නගරයේ තියෙන උසම ගොඩනැගිල්ලෙන් බිමට පැනලා මැරෙනවා කියලත් මම යාළුවට කිව්වා.”   


මුදල් හා ජීවිතය එලෙස ඔට්ටුවට තැබූ වොරන් වයස අවුරුදු 11 දී කොටස් වෙළෙඳ පොළේ දී ඩොලර් 36 බැගින් වැය කර සමාගමක කොටස් කිහිපයක් තමන් සතුකර ගත්තේය. ඒ තම සොහොයුරිය වෙනුවෙන් ද කොටස් තුනක් මිලදී ගනිමිනි. ඒ වොරන්ගේ පළමු ආයෝජනයයි.   


දෙවැනි ලෝක මහා සංග්‍රාමය පැවැති ඒ වකවානුවේ ඇමෙරිකාව හමුවේ ද දැඩි ආර්ථික අර්බුදයක් පැවතියේය. මේ නිසා වොරන්ගේ උත්සාහය සාර්ථක වූයේ නැත. ඔහුට ආයෝජනය කර බොහෝ කල් ඉවසන්නට සිදුවිය. කොටස් වෙළෙඳ පොළ දිගින් දිගටම කඩා වැටිණි. නමුත් හදිසියේම වොරන් දුටුවේ එම සමාගමේ කොටස් ඇමෙරිකන් ඩොලර් 40 දක්වා ඉහළ ගොස් ඇති බවයි. වහාම ඔහු ඩොලර් 4ක ලාභයක් අපේක්ෂාවෙන් කොටස් විකුණා දැමුවේය. නමුත් සිදුවූයේ තවත් දින කිහිපයකින් එම සමාගමේ කොටස් ඩොලර් 400 දක්වා ඉහළ යාමයි.   

 

 

 


“මම එද‌ා කලබල වුණා. මම මිලදී ගත්ත ප්‍රමාණයට වඩා කොටස් සුළු ප්‍රමාණයකින් ඉහළ ගිය වහාම මම කොටස් ටික විකුණා දැම්මා. නමුත් ඉවසීම කොතරම් වැදගත් ද කියා තේරුම් ගියේ මේ කොටසක් ඩොලර් 400 දක්වා ඉහළ ගිය විට. මේ ගනුදෙනුවෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා.”   


දරුවන් තුන්දෙනකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා වූ වොරන් රෝස් හිල් විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ය. පසුව 1942 දී පියා එක්සත් ජනපද කොංග්‍රසයට තේරී පත්වූ බැවින් වොෂිංටනයේ පදිංචියට යාමට ඔහුට සිදුවිය. ඉන් පසු ඇලිස් ඩෙල් විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපන කටයුතුවල නිරතවන ඔහු 1947 දී වුඩ්රෝ විල්සන් උසස් විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට වොරන් හට අවස්ථාව ලැබිණි. එහි දී ව්‍යාපාරික අධ්‍යයනය ඔහුගේ විෂය ක්ෂේත්‍රය විය.   


වොරන් ගේ පවුලට මිල මුදල්වලින් හිඟයක් නොතිබුණ ද ඇමෙරිකාව මුහුණ දුන් යුදමය වාතාවරණය හමුවේ ඔවුන්ගේ ආර්ථිකය ද දැඩි ලෙස කඩාවැටී තිබිණි.   


අධ්‍යාපනය ලබන අතරතුර හැකි අයුරින් මුදල් උපයා ගැනීම ඔහුගේ අපේක්ෂාව විය. අධ්‍යාපනය අතරතුර මුදල් සොයා ගැනීම සඳහා ඔහු යොමු වූයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන අවදියේ දී වීම විශේෂත්වයකි.   


මේ උත්සාහවන්ත කොලු ගැටයා කවදා හෝ කෝටිපතියකු වීමේ අභිප්‍රායෙන් අලෙවි නොකළ දෙයක් නැත. මුල් කාලයේ දී චුයින්ගම්, කොකා කෝලා, මුද්දර, ගොල්ෆ් පන්දු, පුවත්පත්, සඟරා ගෙයින් ගෙට ගොස් අලෙවි කළ වොරන් තම සීයාගේ කඩයක ද වැඩ කිරීමෙන් මුදල් උපයා ගත්තේය. 1944 දී ඔහු රජයට ආදායම් බදු ගෙවන්නකු බවට පත්වූයේ වයස අවුරුදු 14ක කොලු ගැටයකුව සිටිය දී ය.   


1945 වසරේ දී තම මිත්‍රයකු සමග එක්ව ඩොලර් 25ක් වැය කරමින් පින්බෝල් යන්ත්‍රයක් මිලදී ගන්නා ඔහු බාබර් සාප්පුවක එය සවිකිරීමෙන් ආදායම් උපදවා ගැනීමට සමත්වූයේය. මාස තුනක ඇවෑමෙන් තවත් එවැනිම යන්ත්‍ර තුනක් සවිකරන වොරන් සහ ඔහුගේ මිතුරා වසරකින් ඩොලර් 1200ක් ආදායමකට හිමිකම් කීවේය.   


වොෂිංටන් පෝස්ට් පුවත්පත බෙදා හැරීමෙන් ඔහු මසකට උපයාගත් මුදල ඩොලර් 175කි. වයස අවුරුදු 15 දී නෙබ්‍රස්කා හි අක්කර 40ක ගොවිපොළක් මිල දී ගත් වොරන් තම අධ්‍යාපන කටයුතු අවසන් කරන විට ඩොලර් 9,800ක් ඉතිරිකිරීමට සමත්ව සිටියේය.   


ඔහු තම ගොවිපොළ ගැන මෙසේ පවසයි.   


“ගොවිපොළ ඉතා හොඳින් කළමනාකරණය කරන්න මට හැකියාව ලැබුණා. එතැනින් මා හොඳ ආදායමක් උපයාගත්තා. අධ්‍යාපනය ලබන අතරතුර මේ ආදායම මට හොඳටම ප්‍රමාණවත් වුණා. මගේ අපේක්ෂාව වුණේ කෙසේ හෝ හාර්වඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම. නමුත් එය මට සිහිනයක්ම වුණා. වයස ප්‍රමාණවත් නැහැ කියා මට අවස්ථාව දුන්නේ නැහැ.”   


වොරන් හට ඇමෙරිකාවේ සිටි ආයෝජන උපදේශකයකු වන බෙන්ජමින් ග්‍රැහැම් හමුවන්නේ මේ අතරතුරදීය. ඔහුගෙන් ආයෝජන පිළිබඳ උපදෙස් ලබාගන්නා වොරන් ආයෝජනය කෙරෙහි වඩ වඩාත් යොමුවන්නට වූයේය.   


විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර යළි ඔමාහා වෙත යන වොරන් දේශන පැවැත්වීමට හුරු වූයේය.   


1952 දී ගායිකාවක වන සුසාන් තොම්සන් හා විවාහ වන වොරන් බෆට් යළි තම ගුරුවරයා වූ බෙන්ජමින් යටතේ සේවය කිරීම සඳහා ඇමෙරිකාවේ නිව්​ෙ‌යා්ර්ක් නගරයට පැමිණියේය.   


වොරන් බෙන්ජමින් යටතේ සේවය කළ ද දිනපතා සිත යොමු කළේ කොටස් වෙළෙඳ පොළ ආයෝජන කෙරෙහිය. එලෙස ආයෝජන වෙත සිත යොමු කරමින් කෙටි කාලයක දී සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට සමත් වූ ඔහු වයස අවුරුදු 26 වන විට තමන් උපන් නෙබ්‍රස්කාවල විශාල නිවසක් මිලදී ගත්තේය. ඒ වනවිට ඔහු සතුව තිබූ වත්කම් ඇමෙරිකානු ඩොලර් 174,000කි.   


ඔහු පවසන්නේ මේ මුදල එවකට සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට හොඳටම ප්‍රමාණවත් බවයි. කෙසේ වෙතත් ඔහුට සිහිනයක් තිබිණි. තම කුඩා පාසල් මිතුරාට පැවසූ ආකාරයට වයස අවුරුදු 35 වනවිට කෝටිපතියකු වීම ඒ සිහිනයයි. ඒ ඉලක්කය පසුපස හඹා ගිය වොරන් වයස අවුරුදු 34 දී බර්ක්ෂයර් හතවේ සමාගමේ බහුතර කොටස් ප්‍රමාණයක් ලබාගත්තේ ලෝකයේම අවධානය දිනා ගනිමිනි.   


ඔහු තම අයෝජනවල පදනම ලෙස සැලකුවේ බර්ක්ෂයර් හතවේ සමාගමයි. ඒ සමාගම ඔස්සේ තවත් ආයෝජන රැසක් සිදුකළ ඔහු දිගින් දිගටම සාර්ථක වුව ද අසාර්ථක වූ අවස්ථා ද කිහිපයක් තිබේ.   


“මට මේ ආයෝජන සිදුකිරීමේ දී විශාල සහයෝගයක් දුන්නේ මගේ සගයා චාලි මුන්ගර්. නීතිඥයකු වන ඔහු මම කරන ආයෝජන සාර්ථක ලාභ ලබන ව්‍යාපාර බවට පත්කරවන්න සමත්වුණා. ඔහුට ව්‍යාපාර සම්බන්ධ උපාධි නැහැ. නමුත් සහජයෙන් ම උරුම වූ අපූරු ව්‍යාපාර දැනුමක් ඔහුට තිබෙනවා.” වොරන් තම සගයා ගැන එසේ පවසයි.   
ලෝකයේ ව්‍යාපාර පිළිබඳ අධ්‍යයනය කරන්නන් හට පරමාදර්ශී චරිතයක් බවට පත්ව සිටින වොරන් බෆට් තමන්ගේ සාර්ථකත්වය පිළිබඳ වරක් මෙසේ කියා තිබිණි.   
“මම යම් සමාගමක කොටස් මිලදී ගන්නවානම් හොයා බලන ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. ඉන් ප්‍රධානතම දෙයක් තමයි මේ කොටස් හැමදාම මගේ සන්තකයේ තියාගන්න හැකිවේවිද කියා. හැමදාම වටිනාකමක් එකතුවන කොටස් ගැන විතරයි මා හිතන්නේ. එවිට එය මට මා සතුව සදාකාලිකව ම තියා ගන්න හැකියාව තිබෙනවා. නමුත් වටිනාකම අඩුවන, නැතිනම් වටිනාකමක් නැතිවන බවට අවදානමක් තිබෙන කොටස් ගැන මම කිසිසේත්ම හිතන්නේ නැහැ. මම සමාගක ආයෝජනය ගැන හිතන්නේ ඒ සමාගම ලැබූ ලාභය ගැන බලලා නෙවෙයි. ඉදිරියේ දී මේ ව්‍යාපාරයට කොතරම් ඉඩක් තිබෙනවා ද සාර්ථක වීමට හැකියාවක් තිබෙනවා ද කියා බැලීම පමණයි මා කරන්නේ.”   
2008 වර්ෂයේ දී ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අවස්ථාවේ බොහෝ දෙනා ආයෝජනවලින් ඈත් වෙද්දී වොරන් අන් අය විසින් විකුණා දමන කොටස් ටිකෙන් ටික මිලදී ගත්තේය. මේ අතර ඇමෙරිකාවේ දැවැන්ත සමාගම්වල කොටස් ද තිබිණි. ඇමෙරිකන් එක්ස්ප්‍රස්, ක්‍රාෆ්ට් චීස්, හෙයින්ස් සෝස් එවැනි සමාගම්ය. දැන් මේ සමාගම් වර්ධනය වී තිබේ.   

 

 


වොරන් පවසන්නේ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කරද්දී කොටසක මිලත් කොටසක වටිනාකමත් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතු බවයි. සෑම විටෙකම කොටසකට අප ගෙවන මුදල ඒ කොටසේ වටිනාකම නොවන බවත් එයට අගය එකතුකරන බවත් ඔහු පවසයි. තවදුරටත් ව්‍යාපාරය දියුණු වෙද්දී අගය වැඩි වැඩියෙන් එකතුවන අතරම ව්‍යාපාරය බිඳ වැටුණහොත් කොටස්වල අගය අඩුවන බවත් හොඳ අවබෝධයකින් යුතුව කොටස් මිලදී ගත යුතු බවත් හෙතෙම පවසයි.   


ඔහු පවසන්නේ 2008 වර්ෂයේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් තම ආයෝජනවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 27ක් පමණ අහිමි වූ බවයි.   


වොරන් බෆර්ට් පවන්නේ වරින් වර පරාජයන් සහ බිඳ වැටීම්වලට මුහුණ දුන්න ද තිර අදිටනින් යුතුව ඉවසීමෙන් ආයෝජනය කිරීම තුළින් ලෝකය ජය ගත හැකි බවයි.   


ඔහු 2019 මැයි මස 04 වැනි දිනය වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 89.9ක වත්කම්වලට හිමිකම් කියමින් ලෝකයේ කෝටිපතියන් අතර තුන් වැනි තැන වැජඹෙන්නේ ඉවසීමෙන් ආයෝජනය කර ලෝකය ජයගැනීමට හැකි බව සනාථ කරමිනි.   

 


සටහන සජීව විජේවීර