ලොතරැයි වාසනා හිමි සුපිරි ධන යෝගය ඔබටත් තිබේ ද ?


අද සමාජයේ සුළු පිරිසක් සුපිරි ධනවතුන් වී සිටියදී විශාල පිරිසක් දුගී දුප්පත්කමින් මිරිකී සිටිති. මෙයට ප්‍රධානම හේතුව ගිය ආත්මයේ අප කරන ලද කුසල් අකුසල් බව අවිවාදයෙන් පිළිගත යුතුයි.   


උපතින්ම එන්නා වූ මෙම තත්ත්වය බලාගත හැකි හොඳම කැටපත අපේ කේන්ද්‍රයයි. ග්‍රහ බලයයි. මා මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ ඔබටම බලාගත හැකි පරිදි සුපිරි ධනයෝග කීපයකි.   


 1. අපේ කේන්ද්‍රයේ රාශි 12ක් ධනය ගැන පෙන්නුම් කරන්නේ 2 - 11 යන රාශියි. කේන්ද්‍රයේ දෙවැන්නාධිපති හා එකොළොස්වැන්නාධිපති තම ස්ථාන මාරුකරගෙන සිටීම සුවිශේෂ ධන යෝගයකි. මේෂ ලග්න හිමියෙකුගේ කේන්ද්‍රයේ 2 අධිපති සිකුරුය. 11 අධිපති සෙනසුරුය. මේ ග්‍රහයින් දෙදෙනාගෙන් 2 වැන්නේ සෙනසුරුත් 11 වැන්නේ සිකුරුත් සිටීම සුපිරි ධන යෝගයක් වේ. මේ අයට නොසිතු අයුරින් ලොතරැයි වාසනා ද හිමි වේ.   


2. එපමණක් නොව මෙම ස්ථානාධිපතින් බලවත් ශුභ දෘෂ්ටි හිතව සිටීමත් ධනවත් වීමේ ග්‍රහ පිහිටීමකි. තක්කාල කේන්ද්‍රයේ 2 අධිපති හා ලග්නාධිපති අතර පරිවර්තන යෝගයක් තිබීම ද ධනවත් වීමේ ලක්ෂණයකි. හදිසි වාසනාව පෑදේ.   


3. සඳු බලවත් වීම ද ධනවත් වීමට හේතු වේ. සඳු බලවත් වීම යනු සඳු ස්වක්ෂත්‍රව කටක රාශියේ සිටීම හෝ සඳු උච්චව වෘෂභ රාශියේ සිටීමයි. එපමණක් නොව සඳු ශුභ සංයෝග ඇතුළු ශුභ දෘෂ්ටි ලබා සිටීමත් ධනවත් වීමට හේතු වේ. සඳු ශ්‍රභ සංයෝග යනු ගුරු/සිකුරු/බුධ සමග සිටීමයි. මෙසේ කේන්ද්‍රයේ තිබියදී ත්‍රිකෝණ ශුභ දෘෂ්ටියක් මැවේනම් සුපිරි ධනයෝගයකි. හදිසි ලොතරැයි වාසනාව තිබේ.   


 4. තක්කාල කේන්ද්‍රයේ රවි, රාහු, ගුරු බලවත් 11 වැන්නේ සිටීම ද සූදුවෙන් ජය ලබන පිහිටීමකි. ලොතරැයි වාසනා හිමි වේ.   


5. හදිසි වාසනාව ගෙන දෙන තවත් පිහිටක් නම් ලග්නාධිපති දෙවැන්නාධිපතින් ගුරු ග්‍රහයා සමග සංයෝගව තක්කාල කේන්ද්‍රයේ 2 වැන්නේ, ලග්නයේ, දස වැන්නේ, හතර වැන්නේ, 7 වැන්නේ, එකොළොස් වැන්නේ පිහිටීමයි.   


6. රවි/සඳු දෙදෙනා යහපත් රාශිවල හා භාවවල සිටිමින් ඔවුනොවුන්ගේ ත්‍රිකෝණ වීම ද ධනයට පමණක් නොව ගෞරව සම්මාන ලැබීමට හා හදිසි ලොතරැයි ගෙන දීමට හේතු වේ.   


7. චන්ද්‍රයා ශුභ දෘෂ්ටියකින් හෝ සංයෝගයකින් හෝ යුක්ත නම් එය ධනවත් වන ලක්ෂණයකි. එමෙන්ම සඳු දෙවැන්නේ වෘෂභ හෝ කටක රාශිවීම ද ධනවත් වන ග්‍රහ පිහිටීමකි.   
8. සියලුම සුභ ග්‍රහයින් කේන්ද්‍රයේ කේන්ද්‍රස්ථානවල (1-4-7-10) සිටීම ද යහපත් ධන සම්පත් ලැබෙන පිහිටීමකි.   


9. සිකුරු වෘෂභ රාශිගතව සිටියදී උපන් අයට විෂ්ණු යෝගය යෙදේ. මේ යෝගය හතර කේන්ද්‍රයේ යෙදුණු විට විෂ්ණු යෝගයට අමතරව මාලවි යෝගය ද යෙදේ. මෙම යෝගය යෙදීම ධනවත් වීමේ ලක්ෂණයකි. හදිසි වාසනාව පෑදෙනවාට අමතරව සුවිසල් මන්දිර යාන වාහන ද ලැබේ.   


 10. මෙම විෂ්ණු යෝගයට සඳු, ගුරු, බුධ, සිකුරු යන ශුභ ග්‍රහයන්ය. දෘෂ්ටි වැටුණහොත් එය සුපිරි ධනයෝගයක් බවට පත් වේ. නමුත් මෙයට අශුභ ග්‍රහ දෘෂ්ටි වැටුණහොත් ප්‍රතිපල අඩු වේ.   


11. කේන්ද්‍රයේ ලග්නයෙන් සඳුගෙන් 3-6-10-11 යන රාශිවල ගුරු, කිවි, බුධ බලවත්ව (එනම් උච්චව (ස්වක්ෂේත්‍රව) සිටී නම් කේන්ද්‍ර හිමියාට කොයි මොහොතක හෝ හදිසි ලොතරැයි වාසනාවක් ලැබෙනවාව මයි. එය සිකුරුයි. මගේ ගමේ සිටි ඉතාම දුප්පත් අයෙකුට ග්‍රහ බලපෑම් හේතුවෙන් දැනට වසර 18 කට පෙර කෝටි හතරකට ආසන්න මුදලක් ලොතරැයි වාසනාවක් මගින් ලැබුණි. මේ අය කිසි දිනක ලොතරැයි මිලදී ගන්නෙක් නොවේ. මාගේ කීමට ගත් ජයෝද‌ා ලොතරැයි පත් දෙකකට මෙම වාසනාව හිමි වූ බවට පාඨකයාට දැන ගැනීම සඳහා මෙය ඉදිරිපත් කරමි. මොහුගේ කේන්ද්‍රය පරික්ෂා කිරීමෙන් මේ අනාවැකිය ප්‍රකාශ කළ බව සඳහන් කරුණු කැමැත්තෙමි. ඉහත සඳහන් ග්‍රහ පිහිටීම වාසුමතී යෝගය වශයෙන් ජ්‍යොතිෂයේ සඳහන් වේ.   

 


මේ ආකාරයට ඔබගේ කේන්ද්‍රය හා සසඳ‌ා බලා හදිසි ලොතරැයි ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගෙන ඒ අනුව ක්‍රියා කරනු ඇතැයි මගේ විශ්වාසයයි.   

 

 


විශ්‍රාම ලත් විදුහල්පති. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී   
කේ.ඩී.ආර්.පී. රාජකරුණා,   
ගුරු සෙවණ ජ්‍යොතිෂ කාර්යාලය.   
වතුරවෙල, කොස්ගොඩ.