ලේවැල්ලේ පාලම ළඟ මිනිසුන් ගිලෙන මරු කට


මහවැලි ගඟේ  බ්ලිගන්න තැන්

ගොන්ගල පිහිටි ප්‍රදේශය

පොල්ගොල්ල වේල්ල

හෝන්හලාව පිහිටි ප්‍රදේශය. ලේවැල්ල පාලම සහ ජල ටැංකිය ද දක්නට ලැබේ. 

 

 

මෙරට පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසීන් යන ත්‍රිත්ව, බටහිර අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහිව කන්ද උඩරට සිංහලයාට නැගී සිටීමට උපකාරී වූයේ ගිරි දුර්ග, වන දුර්ග සහ ජල දුර්ග වැනි පිහිටීම් ය. උඩරැටියෝ පරදේශක්කාරයන් සමඟ කළ සටන්වල දී කඳුකරයේ පිහිටීමෙන් උපරිම වශයෙන් ප්‍රයෝජන ගත්හ. සිංහල රජුගේ යුද සෙබඵන් සේ සටන් කළේ යුද සරඹ නොදත් ගොවි පිරිසක් බව නෙළුම් ජයතිලක මහතා විසින් රචිත “කන්ද උඩරට සටන් හා ආරක්ෂක විධිවිධාන” කෘතියේ සඳහන් කර තිබේ. එහිදී ඔවුන්ට උපකාරී වූ එක් ක්‍රමෝපායක් වූයේ ජල දුර්ගයට අයත් මහවැලි නදියයි. අප කතාබහ කරමින් සිටින්නේ එම මහවැලි නදියේ බිලිගන්නා තැන් ගැන ය. පසුගිය සතියේ වරාතැන්න “හත්කිඳ” ගැන කතා කළේ මහවැලි ගඟේ බිලිගන්නා ප්‍රධානතම ස්ථානය වශයෙන් එය සැලකෙන බැවිනි. 

 

මෙවර ද මහවැලි නදියට මිනිසුන් බිලිවෙන තවත් ප්‍රදේශයක තොරතුරු සොයා ගඟ දිගේ පහළට ඇවිද ගියෙමු. එහිදී “ලේවැල්ල” නම් වූ පාරිසරික වටිනාකමකින් යුත් ඉතාමත්ම රමණීය භූමියක් හමු විය. වර්තමානයේ ලේවැල්ල සහ සිරිමල්වත්ත යා කරමින් දැවැන්ත “ලේවැල්ල පාලම” ඉදිකර තිබේ. ඊට පෙර එහි තිබුණේ මිනිසුන් ලක්ෂ ගණනින් එතෙර මෙතෙර කළ එල්ලෙන පාලමකි. අදට ද එම පාලම, දැවැන්ත කොන්ක්‍රීට් පාලම අසළ නිසොල්මනේ පවතී. ඒ අසල ජල පොම්පාගාරයක් ඉදිකර තිබුණ ද එය ද ප්‍රයෝජනයට ගන්නේ නැත. 


ලේවැල්ල ඓතිහාසික ම ය වශයෙන් සටන් කිහිපයකට ම මුහුණ දුන් තැනක්. රජ දවස ලේවැල්ල තොටුපළෙන් එතෙර වූයේ ඔරු පාරුවලිනි. ලේවැල්ල යන නම ලැබී තියෙන්නේ ඉංග්‍රීසීන් කණ්ඩායමක් පෙතිගසා මරා ඔවුන්ගේ ලේ වැල්ල දිගේ ගලා ගිය නිසා බවට මතයක් පවතිනවා යැයි වනජීවී පර් යේෂක ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසයි. ඊට පසු ඔහු පැවැසූ කරුණු ගැන අප සැමගේ අවධානය යොමු කිරීම වැදගත් වේ යැයි සිතේ. 
පොල්ගොල්ල වේල්ලේ සිට කිලෝ මීටර් දෙක හමාරක පමණ පහළින් පිහිටි ලේවැල්ලෙන් ගලා යන මහවැලි නදිය ආශ්‍රිත ප්‍රදේශය ද ඉතා වැදගත් ස්ථානයකි. තනි ගල් තලාවක් උඩින් ජලය ගලාගෙන යන අතර පතුලේ ගල් වළවල් සෑදී ඇත. මතුපිටින් බලන කෙනෙකුට ජලය අඩු වගේ පෙනෙමින් නිසොල්මනේ ජලය ගලා ගිය ද අභ්‍යන්තරය භයානකය. එම පරිසරය ගැන නොදන්නා කෙනකු ජලයට බැස ගියහොත් නැවත පිහිනා ඒමට හැකියාවක් නොලැබෙන බව එම ප්‍රදේශයේ බොහෝ දෙනකු ගේ අදහසයි. පසුගිය සතියේ සඳහන් කළ හත්කිද ප්‍රද්ශයේ දක්නට ලැබෙන ආකාරයෙන් මෙහිද පුනීල මෙන් තැන් තැන්වල සෑදී ඇති ගල් වළවල් දක්නට ලැබේ. ඒවාට ඇදී යන මිනිස්සු එහි හිර වී අවසන් ගමන් යයි. 


ශ්‍රී ලංකා “කොළගඩයා” නමැති මත්ස්‍ය විශේෂය පළමුවෙන් ම හමු වී ඇත්තේ ලේවැල්ල එල්ලෙන පාලම අසලිනි. එහි නිදර්ශක බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බව ද ප්‍රදීප් මහතා පවසයි. පොල්ගොල්ලේ වේල්ලෙන් ජලය මුදාහැරිය හොත් පමණක් ගඟ දිගේ ජලය ගලාගෙන යන අතර, වර්තමානයේ එම මත්ස්‍යයා දක්නට නොලැබෙන්නේ ඒ ආකාරයෙන් ජලය ගලා නොයන නිසා බව ඔහුගේ අදහසයි. 

 

 

වර්ෂා කාලයේදී මෙන් නොව පායන දැඩි ඉඩෝරයේ දී මහවැලි ගඟේ ජලය අඩුවෙන් ගලා බසී. ඒ සමයේදී ගඟේ පතුලේ ඇති ගල් වළවල් දක්නට ලැබෙන අතර, එම වළවල් ඇතුළෙන් ජලය ගලාගෙන යන විට කිසියම් ශබ්දයක් පිට වේ. ඒ ආකාරයෙන් ශබ්දය පිටකරන තැනක් වශයෙන් ලේවැල්ල පාලමට තරමක් ගඟේ ඉහළින් “හෝන්හලාව” හමු වේ. ඒ ජලය අඩු කාලයේදී වාහනයක හෝන් එකක් ආකාරයෙන් ශබ්දය පිටකරමින් ජලය ගලාගෙන යන බැවිනි. ඊට තරමක් ඉහළින් “ගොන් තලාව” නැතිනම් “ගොන් ගල” නමින් හැඳින්වෙන ප්‍රදේශයක් ද දක්නට ලැබේ. ඒ නම ලැබී ඇත්තේ ගඟෙහි ඉවුර ගොනකුගේ පිටක ආකාරයෙන් දක්නට ලැබෙන නිසා බව ප්‍රදේශවාසීන් ගේ අදහසයි. එම ප්‍රදේශය අඩි තුන්සීයක් පමණ ගැඹුරට පිහිටා තිබේ. ඒ නිසා ජලය ලබා ගැනීම සඳහා ලේවැල්ල පාලම ළඟ ටැංකියක් පවා සාදා ඇත. මෙම ටැංකිය යට පතුලේ යකඩ වැටක් ආකාරයෙන් සාදා ඇති බැවින් එය ද මිනිසුන්ගේ අයහපතට බලපා ඇත. 


තවත් වැදගත් කරුණක් මෙහි සදහන් කළ යුතුව තිබේ. එනම් ලෝකයේ නරකම ආක්‍රමණික ශාක සියය අතුරින් එකක් වන “යෝධ නිදිකුම්බා” විශාල වශයෙන් ලේවැල්ල ගඟ ආශ්‍රිතව ව්‍යාප්තව පවතින බවය. වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම අඩු වූ ගමන් මෙම නිදිකුම්බා ශාකය නැවත මතු වේ. ඉවුරු දෙපස රොන්මඩ අස්සේ සැඟ වී ඇති එම ශාකයේ බීජ නැවත නැවත පැළ වී, ගඟ දිගේ පහළට ජලය සමඟ මිශ්‍ර වී ගලාගෙන ගොස් ව්‍යාප්ත වේ. මෙය පාලනය කිරීමට අදාළ බලධාරීන් ගේ අවධානය යොමු කළ යුතු බවත් ප්‍රදීප් මහතා අවධාරණය කරයි. තව ද ජලාශවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සහ වගා කටයුතුවලට ජලය සැපයීම ප්‍රධාන අරමුණු අතර පැවැතිය ද මේ ආකාරයෙන් නිදිකුම්බා ශාකයේ බීජ ව්‍යාප්ත වීමෙන් වගා කටයුතුවලට ද සිදුවන්නේ දැඩි හානියකි. 


ලේවැල්ල ගඟ ආශ්‍රිතව මැල්ලුම් මිටි බඳිමින් තම ජීවිකා වෘත්තිය කරගෙන සිටින සිරිමල්වත්තේ පදිංචි ඩබ්ලිව්.ජී. අරනෝලිස් (69) මහතා මිනිසුන් බිලි වෙන ආකාරය සහ සමහර දෙනකු බේරා ගත් අයුරු විස්තර කළේ මෙලෙසිනි. 

 

මීට අවුරුද්දකට පෙර මේ අසල මුස්ලිම් දරුවකුගේ නිවෙසට පැමිණි පිලවල දරුවෙක් යහළුවන් සමඟ මහවැලි ගඟේ නාන්න ගොස් තියෙනවා. ඔහු ගොන්ගල දිගේ ඇවිදගෙන යනකොට ලිස්සා ගොස් ජලයට වැටී පතුලේ ගල් වළක හිර වුණා. ඔවුන් නිවෙසට ගොස් මව්පියන්ට දැන්වීමෙන් පසු එදා මුළු ගමේ ම මිනිසුන් ඇවිත් සොයා බැලුවත් හමු වුණේ නැහැ. පසු දින පොලිසියට පැවැසීමෙන් පසු නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පැමිණ සොයනවා. මම වෙද මහතකු සමඟ සාත්තුවකට ඈත ගමකට ගොස් පැමිණෙන විට ලේවැල්ල පාලම උඩ මිනිසුන් පිරිලා ඉන්නවා දැක්කා. කිමිදුම්කරුවන් ඒ දරුවාගේ මෘතදේහය සොයන්නේ පාලම යට. මම ඔවුන් ළඟට ගොස් විමසා බැලීමේදී දැන ගැනීමට ලැබුණේ දරුවා ගොන්ගල ළඟ දී ජලයට වැටුණු බවත්, ජලයේ ගසා ගෙන පහළට ඇවිත් පාලම යට රැඳී ඇතැයි සිතා සොයන බවකි. 

 


මහවැලි ගඟේ දරුණුම හරිය වශයෙන් ලේවැල්ල පාලමට ඉහළින් පිහිටි හෝන් තලාව, ගොන්ගල ප්‍රදේශය හඳුන්වා දිය හැකියි. රජ දවස සිට දහස් ගණනින් මිනිසුන් බිලි ගත් තැනක්. අතිතයේදී මතයක් තිබුණා ගොන්ගල ප්‍රදේශය වසරකට සැරයක් රතු වෙනවා. එවිට අනිවාර්යයෙන්ම බිල්ලක් ගන්නවා කියා. දැන් ජල මට්ටමට අඩි තුනක් පමණ යටින් ගොන් ගල පිහිටා ඇත. 


මීට අවුරුද්දකට පෙර මේ අසල මුස්ලිම් දරුවකුගේ නිවෙසට පැමිණි පිලවල දරුවෙක් යහළුවන් සමඟ මහවැලි ගඟේ නාන්න ගොස් තියෙනවා. ඔහු ගොන්ගල දිගේ ඇවිදගෙන යනකොට ලිස්සා ගොස් ජලයට වැටී පතුලේ ගල් වළක හිර වුණා. ඔවුන් නිවෙසට ගොස් මව්පියන්ට දැන්වීමෙන් පසු එදා මුළු ගමේ ම මිනිසුන් ඇවිත් සොයා බැලුවත් හමු වුණේ නැහැ. පසු දින පොලිසියට පැවැසීමෙන් පසු නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පැමිණ සොයනවා. මම වෙද මහතකු සමඟ සාත්තුවකට ඈත ගමකට ගොස් පැමිණෙන විට ලේවැල්ල පාලම උඩ මිනිසුන් පිරිලා ඉන්නවා දැක්කා. කිමිදුම්කරුවන් ඒ දරුවාගේ මෘතදේහය සොයන්නේ පාලම යට. මම ඔවුන් ළඟට ගොස් විමසා බැලීමේදී දැන ගැනීමට ලැබුණේ දරුවා ගොන්ගල ළඟ දී ජලයට වැටුණු බවත්, ජලයේ ගසා ගෙන පහළට ඇවිත් පාලම යට රැඳී ඇතැයි සිතා සොයන බවකි. 


මම දන්නවා. ගොන්ගල අසල ජලයේ යට තත්ත්වය. අඩි දෙසිය පනහක් තුන්සීයක් පමණ යටයි. එම නිසා මම කීව, පුතාල ඔහෙ සොයන්න එපා. එන්න මා සමඟ. මම සොයා දෙන්නම් කියමින් කමිසය, සරම ගලවා, ගොන්ගල අසලින් කකුල් දෙක යටට පිහිටන ආකාරයෙන් කෙළින් ජලයේ පතුළට ගියා. එහි දී මගේ කකුල ළමයාගේ හිස කොටසේ වැදුණා. ඒ සමඟ ම මම ආපසු උඩට ආවා. ඇවිත් උඩ සිටි අය දැනුම්වත් කළා සිරුර එහි වළේ හිර වී තිබෙනවා කියා. ඒ අනුව නැවතත් මම ඔළුව පැත්තෙන් ජලයට බැස පිහිනා ගොස් බලද්දී ඔහුගේ කකුල වළේ ගලක හිර වී තිබෙනවා දැක්කා. පසුව කකුල ඉන් මුදවා ගෙන සිරුර උඩට ගෙනාවා. 

 

මහවැලි ගඟේ බිලි ගන්නා හෝන්හලාව ප්‍රදේශය අරනේලිස් මහතා පෙන්වන අයුරු.

පොල්ගොල්ල වේල්ලට පහළින් ගල් වළවල් සෑදෙන මූලික අවස්ථාව

 

තවත් අත්දැකීමක් කියන්නම්. මේ අත්දැකීමට මුහුණ දුන් වසන්ත තවමත් ජීවත් වෙනවා. මම මහවැලි ගඟේ හෝන්තලාව හරියෙන් නාලා යන්න හදනකොටම වසන්ත පැමිණියා. ඔහු සිරිමල්වත්තේ පදිංචිකරුවෙක්. මම මගක් දුර ගොස් ආපසු බැලුවා නිකමට වගේ. එකවරම උඩට ඇවිත් අත්දෙක උස්සාගෙන යට ට ගියා. මට තේරුණා ඔහුට කරදරයක් කියා, ඇඳුම් ගලවන්නෙත් නැතුව මම ගඟට පැන්නා. ඔළුවෙන් අල්ලන්න බයයි. මොකද එයා මාව අල්ලගත්තොත් පිහිනන්න අමාරුයි. ඒ නිසා ඔහුගේ කකුල් දෙකෙන් අල්ලගෙන උඩට පිහිනා ආවා. ඔහුට වතුර පෙවිලා. ඊට පසු ප්‍රථමාධාර දීල ඔහුව බේරා ගත්තා. අදටත් ඔහු ජීවතුන් අතර සිටිනවා. 


මීට වසර කිහිපයකට පෙර ගොන්ගල ළඟ සහෝදරයෝ තිදෙනෙක් නාන්න පැමිණියා. එක සහෝදරයෙක් ලිස්සා යනවා දැක, අනෙක් සහෝදරයා ඔහුව බේරගන්න යනකොට ඔහුත් ලිස්සා ගියා. තෙවෙනි සහෝදරයාත් අර දෙදෙනා බේරා ගන්න ගියා. ඔහුත් ලිස්සා ගියා. පසුව තිදෙනාම මිය ගියා. ගොන්ගලේ පතුළේ ගුහා මෙන් අඩි අටක් දහයක් තරම් දුරට විහිදී තිබෙනවා. ඒවායේ සිරුරු සැඟවිලා. උඩට මතුව එන්නේ නැහැ. යම්තම් වගේ පෙනෙනවා. අපට එහි ඇතුළට යන්න බැහැ. අපිත් හිර වෙනවා. මම එම අවස්ථාවේදි උණ බටයක් ගෙන, එහි අග කටුකම්බි ඔතා. එය ගුහා තුළට යවා කරකවමින් මෘත දේහයන් එළියට ගත්තා. 


පාලමට පහළින් සිල් මෑණියෝ කෙනෙක් නාන්න ගොස් වැඳගෙන ම යට යනවා. ඒ අසල නාමින් සිටි කාන්තාවෝ කෑගසමින් සිල් මෑණියෝ බේරා ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී මම ජලයට පැන ඇය බේරා ගත්තා. තවමත් ඒ සිල් මෑණියෝ ජීවතුන් අතර සිටිනවා.”


පොල්ගොල්ල වේල්ල අසල තේක්කවත්ත ප්‍රදේශය ආශ්‍රිතව ද තැන්නේකුඹුර පාලම ළඟ ද බිලි ගන්නා බව අරනෝලිස් මහතා පවසයි. 


නිමල් ප්‍රියශාන්ත (55) 


“ලේවැල්ලේ ගඟ ගැන දන්නා අය ගඟට බැස නාන්න යන්නේ නැහැ. ප්‍රදේශයේ බොහෝ දෙනෙක් පනිට්ටුවකින් හෝ භාජනයක් ගෙන නානවා. ජලයට බහින්නේ මේ ප්‍රදේශය ගැන නොදන්නා අයයි. මුහුදේ ජලය ඝනකමෙන් වැඩි නිසා කොටයක හරි එල්ලී යාමට හැකියාව පවතිනවා. ගඟේ ජලය මෘදුයි. මුහුදේ නාපු අය ගඟට පැනපු ගමන් යට යනවා. මේ නිසා සිරුරේ වීර්යයෙන් ම පිහිනා උඩට පැමිණිය යුතුයි.” 


විශේෂ ස්තුතිය - වරාතැන්නේ වනජීවී පර්යේෂක ප්‍රදීප් සමරවික්‍රම සහ සිරිමල්වත්තේ එස්.එම්.ආර්. සිරිවර්ධන සහ නිමල් ප්‍රියශාන්ත යන මහත්වරුන්ට. 

 

 

 

 


සටහන සහ ජායාරූප 
සිසිර කුමාර බණ්ඩාර