ලක්ෂ ගණනින් HIT වුණාට සරාගී මියුසික් වීඩියෝ සමාජයට හානියක්ද ?


 

 

‘‘රත්තරනේ මේ දෙවුරු තලාවේ   
ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ   
රත්තරනේ එහි ඉවුරු තලාවේ   
ඉඩ තිබේ ඔබේ රෝස බඳට සැපට සැපේ’’   
‘‘සරාගි සිතාරේ දෙ​තොලේ තුෂාරෙන්   
තෙත් ​ෙකාට මත් වී ඉමි නවත්තන්නෙ නෑනේ   
ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන්   
ජීවත් වෙන්න ළඳේ ඔබවයි මට ඕනේ’’   
වැරදිලාවත් රිදිවන් නෑ සත්තයි ඉතින් නම්   
රිදුනෝතින් සිප සනසා හිස පිරිමදින්නම්   
පෙම් ගී අනුසාරයෙන් තොදොල් වදන් කියලා   
රඟපාලා නළවන්නම් හසරැල් පනිනකන්   
හැරිලාවත් බැලෙන්නෙ නෑ වෙන ඇස් දිහා මං   
අත් පටලන් යන අතරේ ඔබෙ හිත කැඩෙයි නං   
දිවුරමි ශෘංගාරියේ පවරා මගෙ පරාණේ   
දුක මකලා සනසන්නම් මගෙ පණ තියෙනකන්   


මේ වත්මන් තරුණ පරපුර අතර Hit වුණ ගීතයක්. එහි රූ අන්තර්ගත වුණු වීඩියෝවත් බොහෝ දෙනෙකුගෙ කතාබහට ලක්වුණා. ඒ එම වීඩියෝව සරාගී පැත්තට නැඹුරුවක් දක්වා තිබීම නිසා.   


අද බිහිවෙන මේ මියුසික් වීඩියෝ අපේ තරුණ පරම්පරාවට ගැළපෙනවද? නැතහොත් මෙමඟින් ඔවුන් නොමඟ යැවීමක් සිදුවනවාද?   


මේ පිළිබඳ අදහස් දැක්වීමට අපි අලුත් පරම්පරාවේ මේ ගීතයේ හිමිකරු වන දිමංක වෙල්ලාලගේ සම්බන්ධ කර ගත්තා. ඒ සමඟම මෙම වීඩියෝවේ නර්තනයෙන් දායක වන නව පරපුරේ රංගන ශිල්පිනී දිෂ්නි රාජපක්ෂත් අදහස් දැක්වුවා මේ ඒ සංවාද සටහනයි.   


දිමංක,


දිමංකගෙ අලුත්ම මියුසික් වීඩියෝව ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. එය සරාගී පැත්තට වැඩි යොමුවීමක් තියෙනවා කියලා. මේ රූප රචනා අපිට ගැළපෙනවද?   


ගායකයෙකු විදියට මට ඕනෑ වුණේ සංගීත ක්ෂේත්‍රයට අලුත් වෙනසක් කරන්න. මම මීට පෙර ගායනා කරපු ගීත ඔක්කොම වගේ විරහ ගීත. නමුත් මගෙ මේ අලුත් ගීතය ඊට වඩා වෙනස් විදියකට කරන්න ඕනෑ වුණා. ඒ නිසා තමයි පොඩ්ඩක් ඩාන්ස් කරලා සරාගී පැත්තකට යොමුවුණේ. ඉතින් ගීතයට හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබෙනවා.   


ඒ වෙනසේ යහපත් තත්ත්වයක් දකිනව ද?   


මට දැනෙන හැටියට නම් එහි සමාජයට හානියක් වන දෙයක් අන්තර්ගත නෑ. එය නැරඹූ කිසිම කෙනෙකුගෙ මනස විකෘතිවීමක් සිදුවෙන දෙයක් නැහැනෙ. එහෙම බැලුවොත් මීට වඩා දේවල් මේ රටේ මොනතරම් දකින්න තියෙනවද? ඒ නිසා මම හිතන්නෙ නෑ මෙහි වැරැද්දක්. හැමද‌ාම එකම විදියකට එකම රාමුවකට කොටුවෙලා හරියන්නෙ නෑ. කලාකරුවෙකු වුණාම වෙනසකට යන්න ඕනෑ. මුලදි විවේචන එල්ල වුවත් පසුව ඒවා බෙදී යනවා.   


මෙහි තියෙන පෙනෙන දේවල්වලට වඩා මනස විකෘති වන දේවල් උදේ හවස FB භාවිත කරන අය කොයිතරම් දකිනවද? අපේ ප්‍රසිද්ධයි කියලා හිතාගෙන ඉන්න සමහර චරිත සමාජ ජාලා වෙබ් අඩවි තුළ කොයිතරම් පිස්සු වැඩ කරනවද? ඒ නිසා මේ මියුසික් වීඩියෝවෙන් සමාජයට හානියක් සිද්ධ වෙනවා කියලා මං හිතන්නෙ නෑ.   


අද කට්ටිය බැණ බැණ වුණත් මේ ගීත බලනවා නේද?   


රුචිකත්වයක් දක්වන පිරිසක් ඉන්නවා. සමහරු ගීතවලට අකමැතියි කියලා නොබලා ඉන්නෙත් නෑ. මොකද රහත් වුණ අයවත් හැඟීම් දැනීම් නැති අයවත් සමාජ නෑනෙ. සරාගී දර්ශන ඇතුළත් වීඩියෝවලට මිලියන ගණන් විව්ස් තියෙනවා. ඒවා බල බලා විවේචනත් කරනවා.  


අද බොහොමයක් මියුසික් වීඩියෝවල කෙල්ලෙකු දම්මලා අඟ පසඟ පෙන්නලා Hit කරගන්න හදනවා. මේකත් ඒ රැල්ලෙම ගීයක්ද?   


මං පිළි ගන්නවා. අද ගොඩක් ඒ දේ සිද්ධ වෙනවා. ලිංගික දර්ශන සහිතව වීඩියෝ කරන පිරිසකුත් ඉන්නවා. ඒ වෙන වෙන මාකටින්. ඒ ක්‍රම මගේ වීඩියෝව තුළ මම පාවිච්චි කරලා නෑ.   


අද සාරි ඇඳන් යන ගෑනු කෙනෙක් දිහා බලලත් ෆිලින්ග්ස් හදාගන්න මිනිස්සු ඉන්නවා. ඒ තරමට මේ සමාජය පිරිහිලා තියෙන්නෙ.   


ඒ වගේම බිකිනියක් ඇදගෙන කව්රු හරි බීච් එකක හිටියොත් එකත් අපේ සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්. ඒ හැමදේම තමන් විඳින ආකාරය අනුව තමයි වෙනස් වෙන්නේ. අසහනයකින් බැලුවොත් ඒ දේ දකින්නෙ නරක විදියට.  


ඉන්දියානු චිත්‍රපටවල සරාගී දර්ශන අනන්ත අප්‍රමාණව තියෙනවා. රටේ මාධ්‍යවලින් උදේ හවස ඒවා දකින්න පුළුවන්.  


ඒ වගේම නිදි යහන් දර්ශන, කාන්තාවන් ස්පර්ශ කරන ඒවා, ඩබල් මීනින් තියෙන ඒවා අනන්තවත් අපට දකින්න තියෙනවා.  


ඒවා බලන අයට අපේ රටේ මහන්සි වෙලා දෙයක් කළොත් ඒවා වැරදියි. තමන් බලන විදිය අනුව තමයි ඒවගේ වැරදි නිවැරදි භාවය දකින්න තියෙන්නෙ.   


මගේ මේ වීඩියෝවට සම්බන්ධ වුණු නර්ථන ශිල්පිනිය ඇඳගෙන හිටපු ඇදුම තමයි ලොකු ප්‍රශ්නයක් වුණේ සමහරුන්ට. ඒ තුළ මමනම් දකින්නෙ වෙනම කලාත්මක බවක්. ඒ දෙස හොඳ විදියට බලනවනම් ප්‍රශ්නයක් නෑ.  


මේ තුළින් සමාජයට ලැබෙන දෙයක් තියෙනවද?  


සමාජයට ලැබෙන දේ මට වැඩක් නෑ. මොකද සමාජයට වැරදි දෙයක් මම දීලාත් නෑ. මට ඕනෑවුණේ ඒකාකාරි රැල්ලෙන් මිදිලා සංගීත ක්ෂේත්‍රයට වෙනසක් කරන්න. මම කියන්නෙ මේ දේවල් විවේචනය කරන අය ඊට පෙර හිතන්න ඕනෑ අපි ගීතයට කරපු මහන්සිය ගැන.   


මේ ගීතයට ලොකු මුදලක් වැය කරලා කළේ. මේ ගීතය කොහොමද කරලා තියෙන්නෙ? නිෂ්පාදනය? පද රචනය නාද සංකලනය රූප රචනය මේ හැම දේම ගැන බලන්න. හැම නිර්මාණයකම වැරදිම හොයන්න එපා.  


මම කියන්නෙ නෑ වර්තමානයේ බිහිවෙන නිර්මාණ හැම දේම අපේ සංස්කෘතියට ගැළපෙනවා කියලා. වර්තමානයේ පහත් රුචිකත්ව මතු කරන නිර්මාණවලට අපිත් කැමති නෑ.  


ගීතයකට මියුසික් වීඩියෝවක් අත්‍යවශ්‍යමද?  


එහෙම ඕනෑ කියලා. විශේෂයක් නෑ, ඒත් අද වන විට සමාජ මාධ්‍ය ​ගොඩක් ප්‍රබලයි. ඒක ලෝකෙ තාක්ෂණයත් එක්ක දියුණු වෙන්නෙ. ඒ දේ අපිට නතර කරන්න බෑ. අපි කොච්චර අතීතය ගැන කතා කළත් ඒ අතීතයට යළි යන්න බෑ,  


නමුත් වර්තමානය තාක්ෂණයත් එක්ක මිනිස්සු අතරට යන්න පුළුවන්. නිර්මාණකරුවන් විදියට සමාජයට හොඳ දේවල් දිය යුතුයි. ඒක සමාජගත කරන විදිය අනුව. මිනිස්සුන්ට හොඳ දෙයක් දුන්නත් නරක දෙයක් දුන්නත් ඔවුන් අතරට යවන්න ලේසි නෑ. ඉතින් වර්තමානයේ තාක්ෂණය සමඟ අනිවාර්යයෙන්ම මියුසික් වීඩියෝවක් කිරීම අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා.   


ඒ කාලෙ මියුසික් වීඩියෝ කළේ නෑනෙ. ඒත් ඒ ගීත අදටත් ජනප්‍රියයි. මිනිස්සු ආදරෙයි. අද කාලෙ ඇයි එහෙම නැත්තෙ?  


පරණ ගීතවලට අදටත් අප කවුරුත් අාදරෙයි. අමරදේව සර්ගෙ ඉදලා ජෝතිපාල මහත්මයා වැනි ප්‍රවීණයන් ගැයු ගීත අද දක්වා ජනප්‍රියත්වයේ රැදිලා තියෙනවා. ඊට හේතුව ඒවා අතිශය සාර්ථක නිර්මාණ නිසා. එද‌ා අඩු තාක්ෂණයක් යටතේ මේවා බිහිවුණත් ඉතාමත් අද්විතීය විදියට නිර්මාණය වෙලා තියෙනවා. 

 
ඒ කාලෙ රූපවාහිනි නාළිකා තිබුණේ බොහොම අඩුවෙන්. එද‌ා චිත්‍රපටයක් බලන්න වුණත් අනිවාර්යයෙන්ම චිත්‍රපට ශාලාවකටම ගියා. ඒ වගේම ගීත ප්‍රචාරය වුණේ ගුවන් විදුලියෙන් පමණයි. එහි ගී ප්‍රචාරය කරගන්න ලොකු කට්ටක් කාලා තියෙනවා කියල අපි අහලා තියෙනවා ප්‍රවීණයෝ අපට මේ දේවල් ගැන කියලා තියෙනවා. ඒත් අද එහෙම නෑ. සෝෂල් මීඩියා හතර වටේ රූපවාහිනි නාළිකා, ගුවන් විදුලි නාළිකා ගොඩයි.    


අද තාක්ෂණික දියුණුවත් එක්ක ගීත ගායනා කරන්න බැරි අයටත් ගායනා කරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. නමුත් ඒවගේ පැවැත්මක් නම් නෑ. ඒ කාලෙ ගීතවල හරයක්. අගයක් අනන්‍යතාවක් තිබුණා. හොඳ නිර්මාණ බිහිවුණා අද ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බෑ. හොඳ නිර්මාණ කරුවොත් නැත්තෙම නෑ. ඉතින් අපිත් උත්සාහ කරන්න ඕනා හොඳ නිර්මාණ කරන්න. හොඳ දෙයක් එළියට එනවට තමයි කව්රුත් කැමති. කව්රුත් බලාපොරොත්තු වෙන්නෙත් හොඳ නිර්මාණ.   


ඒ හරහා තමයි අපිටත් ප්‍රසංග පවා ලැබෙන්නෙ. ඒ දේවල් නැති වුණොත් අපටත් ප්‍රශ්න නිර්මාණ කරලා ගෙදර හිටියට වැඩක් නෑ. සල්ලි හම්බ වෙන්නෙ නෑ. ඉතින් අද හොඳ නිර්මාණ වලට යන්න උත්සාහ කරන්න ඕනෑ, බැරි වෙන එකක් නෑ.  


අපි කොච්චර හොඳ නිර්මාණ කළත් එක එක්කෙනාට සෙට් වෙන විධි තියෙනවා. මම මේ ගීතය කළේ එළිමහන් ප්‍රසංග වේදිකාව ඉලක්ක කරගෙන. මොකද මට අවශ්‍ය වුණේ වේග රිද්ම ගීතයක් ඒ නිසා “රත්තරනේ” ගීය නිර්මාණය වුණා.   


ඒ වගේම මට ඩාන්ස් කරන්න ඕනෑ වුණා. ඒකට මම පුහුණු වුණා. ඒ හැම දේම එක්ක වෙනසක් කළා කියල මම හිතනවා. දැන් බැන්නත් ටික කාලයක් යද්දි මිනිස්සු ඉතා හොඳින් ගීතය වැළඳගනියි කියලා හිතනවා.   


අද කාලෙ මිනිස්සු වේග රිද්ම ගීතවලට ගොඩක් කැමතියි. කෙනෙකුට නිස්කලංක ඉන්න වෙලාවට මේ ගීත අහලා නටන්න පුළුවන්. නව තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු ශබ්දය කියන දේට හුරුවෙලා. ඒ ගීතවලට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඒ නිසා මියුසීෂියන්ස්ලා විදියට අපිටත් ලොකු සද්දයක් දෙන්න ඕනෑ.  


ඒ ඔහුගේ හඬ.


ඇය දිෂ්නි,


මේ ගීතයට නටන්නේ ඇය. ඇය එම ගීතයට හැඳ සිටිය ඇඳුම් නිසා ලිංගික උද්දීපනයක් වන බව සමහරුන්ගේ මතය ඇයගෙන් අපි ඒ ගැන කෙළින්ම විමසුවා   


මේ මියුසික් වීඩියෝවට දිෂ්නි සම්බන්ධ වෙන්නෙ කොහොමද?  


මේ ගීතයේ මියුසික් වීඩියෝව ඩිරෙක්ට් කරපු ප්‍රසාද් කළුපහනගෙ මාර්ගයෙන් තමයි මම සම්බන්ධ වුණේ. මීට පෙර සම්බන්ධ වුණු නිර්මාණ හරහා ඔහු මා අතර හැඳින ගැනීමක් තිබුණා. ඒ මතකයත් එක්ක ඔහු මට මේ සඳහා කතා කළා. අනෙක මා මේ වෙනුවෙන් ද‌ායක කරගන්න ප්‍රධානම හේතුව වුණේ මගේ නර්තන හැකියාව ඔහු දන්න නිසයි. මීට පෙර මේ වීඩියෝව වෙනුවෙන් ගෑනු ළමයි තුන් දෙනෙකුම බලලා තියෙනවා. ඒක අසාර්ථක වුණු නිසා වැඩේ නැවතිලා තියනවා. කොහොමහරි ඉතින් මාව වැඩේට සෙට් වෙලා තියෙනවා.  


දිෂ්නි මේ වීඩියෝවට සම්බන්ධ වෙද්දි ද‌ැනගෙන හිටියද සරාගී පැත්තට බර වීඩියෝවක් කියලා?  


කොහෙත්ම මං දැනගෙන හිටියේ නෑ මේ වීඩියෝව ගැන. එතැනට ගියාම මට මුලින් සින්දුව අහන්න දුන්නා. එහි ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ අර්ථයත් එක්ක මට හිතුණා මේ ගීතය වෙනස් ලස්සන ගීතයක් කියලා. ගීතයට ආසා හිතුණා. මේ ‘සරාගී දර්ශනයක්’ කියන දේ නෙමෙයි මගෙ හිතේ වැඩ කළේ. මම නර්ථනයට ගොඩක් කැමති නිසා ඒ හැකියාව පෙන්නන්න හොඳ අවස්ථාවක් මේ තුළින් ලැබෙයි කියලා මට හිතුණා. ඒ නිසා නර්තනයට තමයි මම මුල් තැන දුන්නෙ. ඒකත් එක්ක නර්තනයට ​ෙයාදාගත්ත ඇඳුම් ටිකක් ඕපන් නමුත් ඒ නර්තනයට අවශ්‍ය වෙන්නෙ ඒ විදියේ ඇඳුම් කියලත් මට හිතුණා. ඒ ගීතයේ විදිය නිසා කොහොම හරි ඕන වුණේ ඒ ගීතයට සාධාරණයක් ඉටු කිරීම පමණයි.   


දිෂ්නිගෙ කැමැත්ත මත ද හැමදේම සිද්ධ වුණේ?  


කොහොමත් මියුසික් වීඩියෝ එකකට යද්දි වුණත් ඩ්‍රාමා එකකට යද්දි වුණත් මගෙ අම්මගෙන් තාත්තාගෙන් අහන්නෙ නෑ. මොකද මම මේ ක්ෂේත්‍රයට එනවට මගෙ අම්මා, තාත්තා කැමැත්ත දුන්නෙ නෑ. මම මේ හිතුවක්කාරකමට ආපු ගමනක්. ඒත් මම මේ ගමන තුළ හරි විදියට ජීවත් වුණා. ඒ දේ මගෙ ගෙදර අයත් හොඳටම දන්නවා. ඒ නිසා දැන් මම රඟපානවට එතරම් අකමැත්තක් නෑ. ඒවා බලලා සතුටු වෙනවා. තාත්තාත් එහෙමයි. ඒ වුණත් ඒක පෙන්නන්නෙ නෑ.  


මේ වීඩියෝවට ගෙදරින් මොකද කිව්වෙ?  


මේ වීඩියෝව අම්මා දැක්කා. නමුත් මොනවත් කිව්වෙ නෑ. මොකද මගෙ නර්තනයන්ට තමයි අම්මගෙ වුණත් ඇස් යොමු වුණේ. නරකක් කිව්වෙ නෑ. ඒත් ගොඩක් සතුටුත් නෑ මේ ගැන.  


පිටින් විවේචන එල්ල වුණේ නැද්ද?  


නෑ. පිටින් කිසිම විවේචනයක් එල්ල වුණේ නෑ  


ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැනටම මේ වීඩියෝව නරඹලා තියෙනවනෙ. මෙහි අඩංගු දර්ශන දැක්කම දිෂ්නිට මොකද හිතුණෙ?  


මේ එක රැයකින් කරපු ෂූට් එකක්. ඉතින් වුණ මහන්සියේ ප්‍රතිඵලය හොඳයි කියලා හිතෙනවා.   


සමස්තයක් විදියට නිර්මාණය ගැන සතුටුයි. ගීතයත් ලස්සනයි. මේ ගීතය ගායනා කරන ගායන ශිල්පියාවත් මේ හරහා තමයි මමත් දැනගත්තෙ. ඇත්තටම ඔහුත් හරි ගෞරවාන්විත චරිතයක්.   


මෙවැනි දර්ශන අඩංගු වීඩියෝ අපේ සංස්කෘතියට ගැළපෙනවා කියලා හිතනවද?  


සමහර වෙලාවට ඇතැම් මියුසික් වීඩියෝ Hit කරගන්න හදන්නෙ ඇඟේ කොටස් පෙන්නලා. ඒ මියුසික් වීඩියෝවට අවශ්‍ය නිසාම නෙමෙයි. ඒ දර්ශන ඇතුළත් කරන්නෙ ගීතයට රේටින්ස් වැඩි කරගන්න. ගීතය Hit කරගන්න එහෙම නැතිව ඒවා ගීතයට අවශ්‍ය නෑ. නමුත් ‘රත්තරනේ’ ගීතයේ මේ පෙන්නලා තියෙන්නෙ අවමය. මේ ගීතය ටිකක් ඩීප්ලි එහෙම ගීත තියෙනවනෙ. නන්දා මාලිනිය ගත්තොත් ගෝවින්ද්‍ය ගීතයත්, අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතත් තියෙනවා. ඒවගේ අර්ථය කිසිම විටෙක මියුසික් වීඩියෝවකින් පෙන්නන්න බෑ. ඒ වගේම මේ ගීතයත් එහෙමයි. ඒ නිසා මේ ගීතයත් බොහොම ශිෂ්ට සම්පන්න විදියට ‘අවමය’ පෙන්නලා තියෙනවා.   


නිරුවත් නොවී අද නටන්න බැරිද?  


මියුසික් වීඩියෝ එකක් නිරුවත් නොවී නටන්න පුළුවන්. මොකද මහා ලොකු සාහිත්‍ය කෘතියක්වත් චිත්‍රපටයක්වත් නෙමෙයිනෙ. කවියක් වුණත් ශිෂ්ට සම්පන්න විදියට ව්‍යංගයෙන් කියන අවස්ථා තියෙන්නෙ. ඒ නිසා නිරුවත් නොවී නිර්මාණයක් කරන්න පුළුවන් කියන තැන ඉන්නෙ.   


දිෂ්නි නර්තනය ඉගෙන ගත්තෙ?  


මම පොඩි කාලෙ ඉදන්ම නර්ථනයට ගොඩක් ආසයි. මගෙ ගුරුවරු තමයි චන්න විජේවර්ධන සහ උපුලි පණිභාරත. මගෙ පොඩි කාලෙ ඉදන් අරමුණක් තිබුණා කවදහරි ඒ දෙන්නාගෙන් නර්ථනය ඉගෙන ගන්න. ඉතින් මට ඒ අවස්ථාව උදා වුණා. ඒ භාග්‍යය මට ලැබුණා. ඒ ප්‍රසංගවලටත් මම නර්ථනයෙන් ද‌ායක වෙලා තියෙනවා.  

 

 


ධනු විජේරත්න