ලංකාවට බයිස්කෝප් ගෙනා ඡායාරූප ශිල්පියා


 

19 වන සියවසේ අවසන් දශකය වන විට නූර්ති හා නාඩගම් වැනි නාට්‍යරූපී නිර්මාණ රසවිඳීමට හුරු වූ ප්‍රේක්‍ෂක පිරිසක් ලංකාව තුළ සිටි අතර එතුළින් නාට්‍ය කලාවේම වර්ධනීය පියවරක් හැටියට හැඳින්විය හැකි සිනමාව වැනි කලා මාධ්‍යයක ආගමනයට උචිත පරිසරයක්ද නිර්මාණය වී තිබිණි.  


කෲගර් නැමති විදේශිකයෙකු 1873​ දෙසැම්බර් 20දා සිට කොළඹ නගර ශාලාවේදී සංගීතමය වාදනයන් මෙන්ම ගායනාද සහිත මැජික් හා පැනරොමා දර්ශන ඉදිරිපත් කර ඇත. එහිදී ඔහු විසින් සුළං හැමීම, වැසි ආරම්භ වීම, මෙන්ම පර්සියානු යුද්ධයේ දර්ශනද පසුබිම් කථනය සහිතව ඉදිරිපත් කර ඇත. එම දර්ශන ඉදිරිපත් කර ඇත්තේ ආලෝකය උපයෝගී කර ගනිමින් චිත්‍ර හා වෙනත් රූ සටහන් බිත්තියක් මත පතිත කළ හැකි මැජික් ලන්තෑරුම නමැති උපකරණයක් මගිනි. එවැනි මැජික් ලන්තෑරුමක් මේ වන විට දකුණු පළාතේ වැවුරුකන්නල විහාරයේ කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනය කෙරේ.  
නගරවල ගැවසුණු මිනිසුන්ට ‘"බයිස්කෝප් පෙට්ටිය" යනුවෙන් හැඳින්වුණු උපකරණයක් මගින් පින්තූර ප්‍රදර්ශනය කළ පුද්ගලයින් පිරිසක් 19 වන සියවසේ අවසන් දශකයේදී ලංකාව තුළ දැක ගත හැකි විය. දඹදිව සිද්ධස්ථාන මෙන්ම බකිංහැම් මාලිගය වැනි ආකර්ෂණීය ස්ථානවල පින්තූර එමගින් පෙන්වා ඇත්තේ ශත 05ක ගාස්තුවක්ද අය කරමිනි. එය එකල ලාංකිකයින් විශ්මයට පත් කළ අලුත් අත්දැකීමක් විය.  


ලංකාවේදී පළමුවරට චිත්‍රපට දර්ශනයක් පවත්වා ඇත්තේ 1901 දීය. ටයිම්ස් ගොඩනැගිල්ල අභියස පිහිටි බ්‍රිස්ටල් හෝටලයේ උඩුමහලේදී එම දර්ශනය ඉදිරිපත් කර ඇත්තේ ඒ.ඩබ්ලිව්. ඇන්ඩ්‍රි (ඇඩ්ලොප් විලියම්ස් ඇන්ඩ්‍රි) නමැති ඡායාරූප ශිල්පියෙක් විසිනි.   
එකල ලංකාණ්ඩුකාර ධුරය දැරූ සර් ජෝශප් වෙස්ට් රිජිවේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම චිත්‍රපට දර්ශනයේදී අප්‍රිකාවේ බෝයර් යුද්ධය, වික්ටෝරියා රැජිනගේ අවමඟුල් උත්සවය සහ හත්වන ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය යන නිහඬ- වාර්තා චිත්‍රපට තිරගත වී ඇත. එම සිනමා දර්ශනය නැරඹීමේ අවසරය හිමි වී ඇත්තේ ආරාධිත බ්‍රිතාන්‍ය ජාතිකයින් පිරිසකට හා ඉංග්‍රීසි උගත් ලාංකිකයින් කිහිප දෙනෙකුට පමණි.  
ඇඩ්ලොප් විලියම්ස් ඇන්ඩ්‍රි උපත ලැබුවේ යාපනයේදීය. ඔහුගේ පියා එකල ව්‍යවස්ථාදායක සභාවේ බර්ගර් ජනතාව නියෝජනය කළ සී.ඒ. ලෝරන්ස් මහතාගේ බෑනා කෙනෙකු වූ අතර මව යාපනයේ ප්‍රසිද්ධ පවුලකට අයත් දෙමළ කාන්තාවක් වූවාය. අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු වයස අවුරුදු 22 දී තරුණ ඇන්ඩ්‍රි ඇ​ෙමරිකානු ජාතිකයෙක් විසින් පවත්වාගෙන ගිය ඡායාරූප ශාලාවක සේවයට බැඳුනි.  


ඇමෙරිකානු ජාතිකයා ඡායාරූප ශාලාව වසා දැමීමෙන් පසු තම නිවස තුළ කුඩා පරිමාණයේ ඡායාරූප ශාලාවක් පවත්වාගෙන ගිය ඇන්ඩ්‍රි පසුව "නැෂනල් බෑන්ක් ඔන් ඉන්ඩියා’’ සමාගමේ කොළඹ ශාඛාවේ රැකියාවක් ලබා ගත්තේය. ඡායාරූප ශිල්පය පිළිබඳ පැවති අසීමිත ආශාව නිසා ටික කලකින්ම බැංකු සේවයෙන් ඉවත් වූ ඔහු නැවත වරක් ඡායාරූප ශිල්පියෙක් හැටියට කොළඹ යුනියන් පෙදෙසේ ආයතනයක සේවයට බැඳුනි.  
වසර කිහිපයකට පසු සෑහෙන මුදලක් එක් රැස්කර ගත් ඇන්ඩ්‍රි කොම්පඤ්ඤවීදියේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර එහි තමාට අයත් ඡායාරූප ශාලාවක් ආරම්භ කළේය. විදේශයන්හි පැවති ඡායාරූප ප්‍රදර්ශනවලින් ත්‍යාග හා සම්මාන හිමිකර ගත් ඇන්ඩ්‍රි ප්‍රථම වරට මෙරටදී ඡායාරූප සහිත තැපැල් පත් (Picture post Cards) මුද්‍රණය කළ නිර්මාණකරුවා හැටියටද ඉතිහාස ගත වී ඇත.  
වේල්ස්හි කුමාරයා සහ කුමරිය මෙරටට පැමිණි අවස්ථාවේ එම රාජකීයයන් සඳහා වෙන් වූ දුම්රියේ ගමන් කරමින් ඔවුන්ගේ විවිධ ඉරියව් ඡායාරූපයට නැගීමේ වරප්‍රසාදය හිමිකර ගත්තේද ඇන්ඩ්‍රිය. එකල ලංකාව තුළ විශාල ජනප්‍රියත්වයක් ඉසිලූ ‘‘හෙප්ටොවුන් ස්ටුඩියෝ’’ නමැති ඔහුගේ ඡායාරූප ශාලවේ සහායකයා වූයේ බර්ටි ඇන්ඩ්‍රි නමැති ඔහුගේම සොහොයුරාය.   


ප්‍රථම වරට ලංකාවට ග්‍රැමෆෝනයක් ගෙන්වා වාදනය කළ තැනැත්තාද වන ඒ.ඩබ්ලිව්. ඇන්ඩ්‍රි "පර්ලි පියස් ලිමිටඩ්" නමැති ආයතනය වෙනුවෙන් මුතු කිමිදීමේ ව්‍යාපාරය පිළිබඳව ඡායාරූප සහිත ග්‍රන්ථයක්ද නිර්මාණය කර ඇත.  


ඇන්ඩ්‍රි විසින් 1901 දී මෙරට පළමු චිත්‍රපට දර්ශනය පැවැත්වූ බව පිළිගත් මතය වූවද "ඉංග්‍රීසි ක්‍රිකට් ගසන්නෝ" සහ "ග්‍රීක් තුර්කි යුද්ධය" යන වාර්තා චිත්‍රපට දෙක 1898 දී "පබ්ලික් හෝල්" නමැති ශාලාවේදී පෙන්වන ලද බව 1898 ජනවාරි 08දා නිකුත් වූ "දිනපතා ප්‍රවෘත්ති" නමැති පුවත්පතේ සඳහන් ව තිබීමද සැලකිය යුතු කරුණකි.  
කොළඹ, කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට මහා මාර්ගයේ සිට වරාය දෙසට විහිද යන මල්වත්ත පාරත්, පැරණි චාමර්ස් ධාන්‍යාගාරයත් අතර මැද පිහිටි හිස් සමබිම 19 වන සියවසේ දී හඳුන්වා ඇත්තේ "සූරිය කොටුව" යනුවෙනි. සූරිය ගස් වැවී තිබූ බැවින් එලෙස හඳුන්වන ලද එම භූමියේ අලංකාර මල් වත්තක්ද පිහිටා තිබූ බැවින් "මල් වත්ත" යනුවෙන්ද හැඳින්වුණු අතර 1874 වන විට එහි රාත්‍රි කාලයේදී දල්වන ලද ගෑස් පහන්ද සවිකර තිබිණි.  
එකල ලංකාවේ වාසය කළ යු​රෝපීය ජාතීන්ගේ මෙන්ම ලාංකිකයින්ගේද විනෝද්ස්වාදය පිණිස රැඟුම් දැක්වීමට විදේශයන්හි සිට නාට්‍ය හා සංගීත කණ්ඩායම් මෙන්ම මැජික් හා සර්කස් කණ්ඩායම්ද මෙරටට පැමිණ ඇත. ඔවුන් සිය රැඟුම් හා සංදර්ශන ඉදිරිපත් කිරීම පිණිස බොහෝ විට තෝරාගෙන ඇත්තේ මල් වත්ත යනුවෙන් හැඳින්වුනු එම සමබිමයි. විදේශික කණ්ඩායම්වල සංදර්ශනයන්ට අමතරව ලාංකිකයින්ගේ නූර්ති හා නාඩගම් වැනි කලා නිර්මාණයන්ද එහි ඉදිවූ විශාල ප්‍රමාණයේ තාවකාලික කූඩාරම් තුළ මෙන්ම එහි තිබූ "පුෂ්ප ශාලාව" (Floral Hall) නමැති රඟහලේදීද ප්‍රදර්ශනය කෙරිණි.  


මුලදී බ්‍රිස්ටල් හෝටලයේ උඩු මහලේ චිත්‍රපට පෙන්වූ ඇන්ඩ්‍රි විසින් 1903 දී "කොරික් බයිස්කෝප්" යන නමින් සිනමා ප්‍රදර්ශන සමාගමක් අරඹන ලදී. ලංකාවේ පොදු ප්‍රේක්‍ෂකයින් වෙනුවෙන් පළමුවරට සිනමා දර්ශන ඉදිරිපත් කර ඇත්තේ එම කොරික් බයිස්කෝප් සමාගම මගිනි.  
කොළඹ කොටුවේ "පැගෝඩා හෝටලය" එකල පිහිටා තිබුණේ මල්වත්තේය. එම හෝටලය ඉදිරිපිට තැනූ ශාලාවකදී කොරික් බයිස්කෝප් සමාගම විසින් නිහඬ චිත්‍රපට පෙන් වූ අතර එම ශාලාවේ තිරය සවිකර තිබුණේ ශාලාව මැද කොටසේය.  


කොරික් බයිස්කෝප් ශාලාව පළමු පන්තිය, දෙවන පන්තිය හා ගැලරිය යනුවෙන් කොටස් 03කට බෙදා තිබූ අතර පළමු හා දෙවන පන්තියේ ප්‍රවේශපත්‍රවල මිල පිළිවෙළින් ශත 25ක් හා ශත 15ක්ද වූ අතර ගැලරියේ ප්‍රවේශ පත්‍රයක මිල ශත 10ක් විය. නිහඬ - වාර්තා චිත්‍රපට පමණක් පෙන්වූ එම ශාලාවේ පළමු හා දෙවන පන්තියේ ප්‍රේක්‍ෂකයින් සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය (Projector) රඳවා තිබූ පැත්තේ (තිරය ඉදිරිපස) අසුන් ගත් අතර ගැලරියේ ප්‍රේක්‍ෂකයින් වාඩි වූයේ තිරය පිටුපසය.  
නිහඬ චිත්‍රපට නැරඹීමේදී ප්‍රේක්‍ෂකයින් ඒ ඒ දර්ශනවල අදාළ විස්තර දැන ගත්තේ තිරය මත පතිත වූ වාක්‍ය ඛණ්ඩ (උපශීර්ෂ) කියවා බැලීමෙනි. කොරික් බයිස්කෝප් ශාලාව තුළ තිරගත වූයේද නිහඬ චිත්‍රපට වූ බැවින් එහි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදීද තිරය මත ඉංග්‍රීසි අකුරින් එවැනි වාක්‍ය ඛණ්ඩ සටහන් විය.  
එහිදී තිරය පිටුපස බැංකු මත වාඩිවී චිත්‍රපට නැරඹූ ගැලරියේ ප්‍රේක්‍ෂකයින්ට තිරය මත පතිත වූ ඡායාරූප පැහැදිලිව දැක ගත හැකි වුවත් එහි සටහන් වූ ඉංග්‍රීසි අකුරු නොපිටට පෙනීම විනෝදය ගෙනදුන් සිදුවීමක් විය.  


1901 දී ඒ.ඩබ්ලිව්. ඇන්ඩ්‍රි ලංකාව තුළ සිනමා ප්‍රදර්ශන ව්‍යාපාරයකට මුල පුරද්දී ලාංකිකයෙකු විසින් නිපදවන ලද කිසිදු සිනමා නිර්මාණයක් බිහි වී නොතිබිණි. එබැවින් ඇන්ඩ්‍රිගේ කොරික් බයිස්කෝප් සමාගම මගින් ප්‍රදර්ශනය කරන ලද සියලු චිත්‍රපට විදේශීය නිර්මාණයන් විය.  
දේශීය සිනමා ප්‍රදර්ශන ව්‍යාපාරයේ පෙර ගමන් කරුවා වූ ඇඩ්ලොප් විලියම්ස් ඇන්ඩ්‍රි 1910 දී මිය යන තෙක්ම ඔහුගේ කොරික් බයිස්කෝප් ශාලාවේ චිත්‍රපට පෙන්වූ අතර එකල ලංකාව තුළ සිටි එකම චිත්‍රපට ප්‍රදර්ශකයා ද ඔහුම විය. 

 

 

කාශ්‍යප වීරවර්ධන