ලංකා තැපැල් සේවයේ ගාලු සිහිවටන ලියුම් බෙදන්නාගේ ඉතිහාස කතාව මෙයයි


 

 

ලංකාවේ සංදේශ කාව්‍ය රචකයින් අතර අගතැන්පත් නිර්මාණකරුවා වූ තොටගමුවේ ශ්‍රී රාහුල නාහිමිපාණන් සැළලිහිණි සංදේශය මෙන්ම පරෙවි සංදේශයද රචනා කර ඇත්තේ ගාලු දිස්ත්‍රික්කයට අයත් තොටගමුවේ පිහිටි විජයබා පිරිවෙනේ දී බව එම රචනාවන්හි එන ඇතැම් කවි පද තුළින් හෙළිදරව් වේ. එය ගාලු පළාතෙන් බිහි වූ කාව්‍ය නිර්මාණ පිළිබඳ පැරණිම තොරතුරයි.   


සංදේශ කාව්‍ය රචනය ද සන්නිවේදන ක්‍රියාවලියේ කොටසකි. ඒ අනුව ගාලු පළාතේ සන්නිවේදන ඉතිහාසය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ සිටි යුගය දක්වා දිවයන බව පෙනේ. එය යුරෝපීය ජාතීන් ලංකාව ආක්‍රමණය කිරීමට පෙර යුගයකි.   


ලිපිය යනු සංදේශයට තවත් නමක් වන අතර ලිපිය සන්නිවේදනයේ මෙවලමකි. ඒ අනුව ලිපි හුවමාරුව මූලික කරගත් තැපැල් සේවය ද සන්නිවේදන ක්‍රියාවලියේ කොටසකි. ගාලු පළාතේ සන්නිවේදන ඉතිහාසය යුරෝපීය ජාතීන් ලංකාවට පැමිණීමට පෙර යුගය දක්වා දිව ගියද ගාලු පළාතේ මෙන්ම ලංකාවේ ද නූතන තැපැල් සේවයේ ආරම්භය පිළිබඳ පැරණිම තොරතුරු හමුවන්නේ යුරෝපීය යටත් විජිත පාලන සමය තුළිනි. එනම් ලන්දේසි පාලන සමයෙනි.   


ලියුම් බෙදන්නන් යනුවෙන් හැඳින්වුණු පිරිසක් ලංකාව තුළ සිටි බවට මුල් වරට තොරතුරු හමුවන්නේ ලන්දේසි පාලන සමයෙනි. ලියුම් බෙදන්නා තැපැල් සේවකයෙකි. මේ ලංකා තැපැල් සේවයේ ගාලු සිහිවටන පිළිබඳ කෙටි හැඳින්වීමකි.   


තැපැල් සේවයට මුල පිරීම   


අප්‍රිකා මහාද්වීපයේ සුභපැතීමේ තුඩුව හරහා ඕලන්දය හා ජාවා දූපත් අතර නැව් මගින් පවත්වාගෙන ගිය මුහුදු තැපැල් සේවයකට ලන්දේසි යටත්විජිත යුගයේදී ගාලු වරාය සම්බන්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ නූතන තැපැල් සේවයේ ආරම්භය සිදුවී ඇත.   


ඒ අනුව ශ්‍රී ලංකාවේ නූතන තැපැල් සේවයේ ආරම්භය සිදුවූ ස්ථානය හැටියට ගාල්ල නගරය ඉතිහාසයට එක්වූ අතර එය සිදුවූ 1739 වර්ෂය ලංකාවේ කන්දඋඩරට රාජධානියේ පාලනය සිංහල රජවරුන් අතින් නායක්කර් වංශික රජවරුන් අතට මාරු වූ වර්ෂය හැටියට ද ඉතිහාසගත වී ඇත.   


විදේශයකට යැවූ පළමු ලිපිය   


ඉහත කී මුහුදු තැපැල් සේවය මගින් ලංකාවේ සිට විදේශයකට යැවූ පළමු ලිපිය ඉන්දුනීසියාවේ බතාවියට යවන ලද ලිපියක් වූ අතර එය 1757 අප්‍රේල් මාසයේදී ගාලු වරායෙන් පිටත් වූ තැපැල් නැවක් මගින් ගෙනයන ලදී. ඒ අනුව ජාත්‍යන්තර තැපෑල හා සම්බන්ධ වූ ලංකාවේ පළමු නගරය වන්නේ ද ගාල්ලයි. 

 
කෙසේ වෙතත් ලන්දේසි පාලන සමයේදී ලංකාවේ පැවැති තැපැල් සේවය පොදු මහජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාවන් ඉටු කළ සේවයක් නොවූ අතර එය ලන්දේසි රාජ්‍ය නිලධාරීන්ගේ සන්නිවේදන අවශ්‍යතාවන් සඳහා වෙන්වූ සීමිත තැපැල් සේවයක් විය. 

 
පළමු තැපැල් කාර්යාල පහ   


ලංකාව තුළ පළමුවරට තැපැල් කාර්යාල පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදීය. ඒ අනුව 1798 සැප්තැම්බර් 23 දා එවකට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති මුහුදුබඩ නගර කිහිපයක ලංකාවේ පළමු තැපැල් කාර්යාල පහ ආරම්භ කරන ලදී. ඒ අතරින් එක් තැපැල් කාර්යාලයක් පිහිටුවන ලද්දේ ගාල්ල කොටුව තුළ වූ ගොඩනැගිල්ලකය. අනෙක් කාර්යාල හතර කොළඹ, යාපනය, ත්‍රිකුණාමලය හා මන්නාරම යන නගරවල පිහිටුවන ලදී. බ්‍රිතාන්‍ය පාලන සමයේ මුල් කාලයේදී ලංකාවේ අභ්‍යන්තර තැපැල් කටයුතු පවත්වාගෙන යන ලද්දේ එම තැපැල් කාර්යාල මගිනි.   


තැපැල් අශ්ව කෝච්චිය

   
අශ්වයින් විසින් ඇදගෙන යනු ලැබූ රෝද හතරක රථයක් භාවිත කරමින් ආසියාව තුළ පළමුවරට තැපැල් ප්‍රවාහන සේවයක් ආරම්භ කරන ලද්දේ ලංකා​වේදීය. මුලදී කොළඹ කුමාර වීදියේ සිට මහනුවර දක්වා තැපැල් භාණ්ඩ මෙන්ම මගී ප්‍රවාහනය සඳහා ද යොදාගත් එම රථය පළමු වරට ධාවනයේ යෙදී ඇත්තේ 1832 පෙබරවාරි 01 දාය. මේල් කෝච් (Mail Coach) යනුවෙන් හැඳින්වුණු එය ජනතාව අතර ප්‍රචලිත වූයේ තැපැල් අශ්ව කෝච්චිය යන නමිනි.   


1838 ජූලි 02 දා සිට කොළඹ සහ ගාල්ල අතර ද තැපැල් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹූ තැපැල් අශ්ව කෝච්චිය තුළ සීමිත මගීන් පිරිසක් සඳහා ගමන් පහසුකම් ද සලසා තිබිණි. පෞද්ගලික සමාගමකට අයත් වූ එම තැපැල් ප්‍රවාහන සේවයේ ගාලු කාර්යාලය පිහිටා තිබුණේ ගාල්ල කොටුවේ පෙඩ්ලර් වීදියේ අංක 44 දරන නිවසේ උඩු මහලේය.   


පරෙවි තැපැල් සේවය   


කොළඹ නගරයේදී නිකුත් වූ කලම්බු ඔබ්සර්වර් (Colombo Observer) නමැති පුවත්පතේ පළ කිරීම පිණිස යුරෝපයේ සිට විදෙස් පුවත් සහිත ලිපි එවන ලද්දේ තැපෑලෙනි. නැව් මගින් ගාලු වරායට එවූ එම ‘විදෙස් පුවත්’ ගාල්ලේ සිට කොළඹ තැපැල් කාර්යාලයට තැපැල් අශ්ව කෝච්චියෙන් ද එහි සිට ඔබ්සර්වර් පුවත්පත් කාර්යාලයට තැපැල්කරුවකු විසින් ද ගෙන යන ලදී.   


ගාල්ලේ සිට කොළඹට තැපැල් මලු ගෙන යාම සඳහා තැපැල් අශ්ව කෝච්චියට පැය දහයක් පමණ ගතවූ අතර කොළඹ තැපැල් කාර්යාලයේදී එම මලු විවෘත කර එහි වූ තැපැල් භාණ්ඩ පිළිබඳ රාජකාරි සටහන් තැබීමෙන් පසු තෝරාගත් ‘විදෙස් පුවත්’ ඔබ්සර්වර් පුවත්පත් කාර්යාලය දක්වා ගෙන යාමට තවත් කාලයක් ගතවිය. එලෙස ලංකාව තුළදී දින දෙකක පමණ ප්‍රමාදයකට ලක්වීමෙන් පසු මුද්‍රණය කර පුවත් පත බෙදාහරින විට එම විදෙස් පුවත් පිළුණු වූ පුවත් බවට පෙරලී තිබිණි. එම ප්‍රමාදය මගහැරවීමට යොදාගත් නව ක්‍රමවේදය වූයේ පරෙවි තැපැල් සේවයයි. ගාලු වරායට ලැබුණු විදෙස් පුවත් සහිත ලිපිය පුහුණු කරන ලද පරෙවියෙකුගේ පාදයක ගැට ගසා මුදා හරිනු ලබයි. ගාල්ලේ සිට කොළඹ කොටුවේ බේලි වීදියේ (වත්මන් මුදලිගේ මාවත) පිහිටා ඇති පරෙවි කූඩුව වෙත පරෙවියා පියාසර කරයි. පැය 01 ක් වැනි කෙටි කාලයක් තුළදී ගාල්ලේ සිට කොළඹට පරෙවියා පැමිණෙයි. එහිදී විදෙස් පුවත් සහිත ලිපිය පරෙවි පාදයෙන් මුදාගෙන ඔබ්සර්වර් පුවත්පත් කාර්යාලයට භාරදෙයි. ඒ පරෙවි තැපැල් සේවයේ විධි ක්‍රමයයි.   


1850 සැප්තැම්බර් 24 දා ආරම්භ වූ පරෙවි තැපැල් සේවය ඔබ්සර්වර් පුවත්පත් කාර්යාලය මගින් පවත්වාගෙන ගිය තැපැල් ප්‍රවාහන සේවයකි.   


1848 මාතලේ කැරැල්ල පැවැති සමයේ ලංකාව පාලනය කළ වයිකවුන්ට් ටොරින්ටන් නමැති බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරයා ධුරයෙන් පහකර ආපසු එංගලන්තයට කැඳවනු ලැබූ බව සඳහන් ප්‍රවෘත්තිය ද මුලින්ම කොළඹට ගෙන ගියේ එම සේවයට අයත් පරෙවියෙකු විසිනි.   


පළමු විදුලි පණිවුඩය   


තැපැල් ඉතිහාසයට විචිත්‍ර මතක සටහන් රැසක් දායාද කළ පරෙවි තැපැල් සේවය ලංකාවේ විදුලි පණිවුඩ සේවයේ ආරම්භයත් සමග නිමාව දුටුවේය. 1858 ජනවාරි 18 දා ගාල්ල හා කොළඹ අතර ඇරඹුණු එම සේවය මගින් හුවමාරු වූ ලංකාවේ පළමු විදුලි පණිවුඩය ද කොළඹ සිට ගාල්ලට යැවූ පණිවුඩයක් වූ අතර එය ලැබුණේ ගාල්ල කොටුව පැරණි තැපැල් කාර්යාලයේ ටෙලිග්‍රාෆ් අංශයටය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ලංකාවට එවන ලද පළමු විදුලි පණිවුඩය ද එම තැපැල් කාර්යාලයටම ලැබීම විශේෂත්වයක් වූ අතර එය ලංකාවට එවන ලද්දේ 1866 දීය.   


මුහුදේ ගිලුණු තැපැල් නැව   


ගුවන් ගමන් සිදු නොවූ දහනව වන සියවසේ දී යුරෝපයත් ලංකාවත් අතර තැපැල් භාණ්ඩ පිරවූ මලු ප්‍රවාහනය කරන ලද්දේ නැව් මගිනි. තැපැල් මලු ප්‍රවාහනයට අමතරව මගීන් සඳහා ද ගමන් පහසුකම් සලසා තිබූ එම නැව් හැඳින්වූයේ තැපැල් නැව් යනුවෙනි. පී.ඇන්ඩ්.ඕ. (පෙනිසියුලා ඇන්ඩ් ඔරියන්ටල්) නමැති බ්‍රිතාන්‍ය නැව් සමාගමට අයත් ආර්.එම්.එස්. රැන්ගූන් නමැති නැව ද එවැනි තැපැල් නැවකි.   


ගාලු වරායේ සිට බෝට්ටුවකින් තැපැල් මලු තොගයක් රැගෙන එනතුරු වරායෙන් පිටත නවතා තිබූ එය මගීන්ගේ ගමන් මලු මෙන්ම වෙනත් බඩු බාහිරාදිය ද තැපැල් මලු තොගයක් ද සමග 1871 නොවැම්බර් 01 දා ගාලු වරාය අසල ගැඹුරු මුහුදේ ගිලුණු දියවැලකට හසුවී ගල් පරයක ද වැදීමෙන් පසු පැය 06 ක් තුළදී මුළුමනින්ම මුහුදේ ගිලී ගියද එම නැවේ කාර්ය මණ්ඩලයේ හා මගීන්ගේ ජීවිත බේරාගනු ලැබීය. ඒ අනුව ලංකාව අසල මුහුදේ ගිලී ගිය පළමු තැපැල් නැව හැටියට ඉතිහාසයට එක්වූ ආර්.එම්.එස්. රැන්ගූන් නැව ද ගාලු තැපැල් ඉතිහාසයේ අමිල සිහිවටනයකි.   


ගාල්ල කොටුව පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ද ලංකා තැපැල් සේවයේ අමරණීය සිහිවටනයකි. ලන්දේසි පාලන සමයේදී ඉදි කරන ලද එහි මුලදී සහායක නිලධාරියාගේ කාර්යාලය හා ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ වෙළෙඳ කාර්යාලය පිහිටා තිබූ අතර 1760 වසර වනවිට එහි පැවතියේ පොත් තබන්නන් 18 දෙනෙකුගේ හා ලිපිකරුවන් පිරිසකගෙන් සැදුම් ලත් කාර්යාලයකි.   


ලංකා තැපැල් සේවයේ ඉතා පැරණි තැපැල් කාර්යාලයක ගොඩනැගිලි සැලැස්ම වත්මන් පරපුරට දැකබලා ගැනීමට ඉඩකඩ සලසමින්, ඉතා ඉහළ පුරා විද්‍යාත්මක වටිනාකමක් ද රඳවා ගනිමින් මෑතක් වනතුරු නිරුපද්‍රිතව පැවැති එම ගොඩනැගිල්ල තුළ පැරණි ගාල්ල තැපැල් කාර්යාලය පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. එකල එය තැපැල් කාර්යාලයකට සරිලන අයුරින් ප්‍රතිසංස්කරණයකට ද ලක්වී ඇත.   
අවුරුදු 300 ක පමණ ඉතිහාසයකට හිමිකම් කියමින් ලංකා තැපැල් සේවයේ අමරණීය සිදුවීම් ගණනාවකට ඍජු සබඳතාවක් දක්වමින් කාලයක් තිස්සේ ගරාවැටෙමින් පැවැති එම පෞරාණික ස්මාරකය නිසි නඩත්තුවක් නොමැතිකමින් මෑතකදී මුළුමනින්ම කඩා වැටුණි. එය ද ලංකා තැපැල් සේවයේ අමරණීය සිදුවීමක් විය නොහැකිද?   
(පත පොත ඇසුරෙනි)   

 

 

කාශ්‍යප වීරවර්ධන විසිනි