රුසියාවට කඩා වැටුණු ග්‍රහලෝකය


 

පොඩ්කමෙන්නයා තුංගුස්කා නදිය ගලායන්නේ සයිබීරියාව ඔස්සේය. ඒ අවට පිහිටි වනාන්තරයද තුංගුස්කා නමින් හැඳින්වෙයි. 1908 ජුනි 30 වැනිද‌ා මෙම ප‍්‍රදේශයේ ඇති වූ අරුම පුදුම සිදුවීමක් හේතුවෙන් තුංගුස්කා ප‍්‍රදේශය ලෝක අවධානයට ලක් වූයේය. එදින උදෑසන 7.17ට පමණ අහසේ සිට කඩාවැටුණු විශාල වස්තුවක් පොළොවට පතිත වීමට මොහොතකට පෙර පුපුරා ගොස් මහා ගිනි බෝලයක් මෙන් පොළොව මතට පතිත වූයේය. පිපුරුම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 800ක් පමණ දුරකට එහි කම්පනය පැතිර ගියේය. පිපුරුම මෙගා ටොන් 15ත් 30ත් අතර ප‍්‍රමාණයක අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රමාණයක් යොද‌ා පුපුරුවා හරින ලද පරමාණු බෝම්බයකටත් වඩා වැඩි බලයකින් යුක්ත වූ බවට මුලින් අනුමාන කෙරිණි. ඒ අනුව එය හිරෝෂිමාවට පතිත කරන ලද පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයක බලයකි. පසුව සිදු කෙරුණු ගණනය කිරීම්වලදී එය මෙගාටොන් 3ත් 5ත් අතර ප‍්‍රමාණයක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රමාණයකින් සිදු කෙරුණු පිපුරුමකට සමාන බවට නිගමනය වූයේය.

 

තුංගුස්කා පිපුරුම යුරෝපා හා ආසියානු භූකම්පන මධ්‍යස්ථාන රැසකට දැනී තිබිණි. පිපුරුමේ කම්පන තරංග රිච්ටර් භූ කම්පන මාපකයේ සටහන් වී තිබුණේ 5.0ක් ලෙසිනි. එම ප‍්‍රමාණය විශාල නගරයක් මොහොතකින් විනාශ කර දැමීමට ප‍්‍රමාණවත්ය. ඒ අනුව මෙය මෑත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම පිපුරුමක් ලෙස සටහන් වූයේය.   


මෙම ව්‍යසනය මුලින්ම දිස්වූයේ බයිකාල් විල ආසන්නයේ ජීවත් වූ ඉවෙන්කි ගෝත්‍රික දඩයම්කරුවන්ට සහ ආසන්න ගම්මානවල පදිංචි කරවනු ලැබ සිටි රුසියානු වැසියන් පිරිසකටය. එම ස්ථානයට ආසන්නම ගම්මානය පිහිටියේ කිලෝමීටර 200ක් පමණ ඈතිනි. මහා ගිනි බෝලයක් අහසින් පාත් වූ බවත් එය ගිනිකොනදිග සිට වයඹ දෙසට ගමන් කළ බවත් ඔවුහු කියා සිටියහ. ‘‘අපි දැක්කේ හරියට සූර්යයා කඩා වැටුණා වගෙයි. අහසේ සිට පාත් වූ එම වස්තුව විනාඩි 10ක් පමණ ගමන් කොට පුපුරා යනු අපට පෙනුණා. අපි හිතුවේ 1905 මෙන් නැවත වරක් රුසියානු ජපන් යුද්ධය ආරම්භ වී ඇතැයි කියලයි’’ යනුවෙන් ඔවුහු පැවසූහ. ගම්මානයේ පිහිටි නිවෙස්වල වීදුරු බිඳී ගිය අතර ඇතැමුන් ඉහළට විසිවී ගියේය. ඔවුනට ගින්නේ උණුසුම දැනෙන්ට විය. බියපත් පිරිස වීදිවලට බැස සිදුවන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව බලා සිටින්නට වූහ. පිපුරුම සිදුවූයේ ජන ශූන්‍ය ප‍්‍රදේශයක බැවින් මිනිස් ජීවිතවලට හානියක් සිදු නොවුවද වන සතුන් විශාල පිරිසක් මරණය පත් වූහ. වැඩිවශයෙන් මියගොස් සිටියේ පිනි මුවන්ය.   


පසුදිනයේ අහස්කුස පුරා චුම්භක කුණාටු පැතිර යන්නට විය. අහසේ වරින් වර විදුලිය කෙටීම් සහ රිදී පැහැති වලා දිස්වූයේය. විද්‍යාඥයන්ගේ අනුමානය වූයේ මෙය උල්කාවක් කඩා වැටීමෙන් සිදුවන්නට ඇති බවකි. මේ සම්බන්ධයෙන් පළමුවරට විමර්ශනයක් සිදු වූයේ සිදුවීමෙන් වසර 13කට පමණ පසුවය. මැනුම් කටයුත්තක් සඳහා එම ප‍්‍රදේශයට ගිය ඛනිජ විද්‍යාඥයකු වූ ලියොනිඩ් කුලික් මේ සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කළ අතර ඔහුගේ මතය වූයේ දැවැන්ත උල්කාවක බලපෑමෙන් මෙය සිදුවී ඇති බවටය. මේ පිළිබඳ පැහැදිලි ගවේෂණයක් සිදු කළ යුතු බවටත් උල්කාපාත යකඩ සොයාගත හැකි නම් එය සෝවියට් දේශයේ කර්මාන්ත සඳහා ඵලද‌ායි වනු ඇති බවටත් ඔහු සෝවියට් රජයට ඒත්තු ගැන්වුවද 1927 වසර වන තෙක් මේ පිළිබඳ පර්යේෂණ සිදුකිරීමට කිසිදු විද්‍යාඥයකුට අවස්ථාවක් නොලැබිණි.  


1927දී කුලික් තම කණ්ඩායම සමඟ ඉවෙන්කි ගෝත්‍රික දඩයම්කරුවන්ගේද සහය ඇතිව තුංගුස්කා සංසිද්ධිය වූ ස්ථානය සොයා යෑමට තීරණය කළේය. එම ස්ථානයට ළඟාවීම අති දුෂ්කර කාර්යයක් විය. එහි ළඟා විය හැකිව තිබුණේ දකුණු දෙසින් පමණි. ඉවෙන්කි දඩයක්කරුවෝ එක්තරා ස්ථානයකට ළඟාවීමෙන් පසු තවදුරටත් ඉදිරියට යෑම ප‍්‍රතික්ෂේප කළහ. ඒ ඔවුන් විසින් ‘නිම්න මිනිසා’ නමින් හැඳුන්වන ලද කිසියම් පුද්ගලයකුට දැඩි සේ බිය වූ හෙයිනි.  


කුලික් ඇතුළු කණ්ඩායම තම විමර්ශන කටයුතු ආරම්භ කළහ. ඔවුන් මවිතයට පත් කළ සිදුවීම වූයේ උල්කාව කඩා වැටුණු බවට සැක කෙරුණු ස්ථානයේ ආවාටයක් නිර්මාණය වී නොතිබීමය. උල්කාව පොළොවට පතිත වූ බවට සැක කෙරුණු ස්ථානයේ (කිලෝ මීටර 8 පමණ ප‍්‍රදේශයක) ගස්වල අතු කැඩී බිඳී තිබුණද ඒවා මුලින් ඉදිරී බිම වැටී නොතිබිණි. ඉන් මඳක් ඔබ්බෙහි වූ ගස් අඩක් දැවී උල්කාව පතිත වුවායැයි සැක කෙරුණු ස්ථානයට ප‍්‍රතිවිරුද්ධ දෙසට කඩා වැටී තිබිණි. ආකාශ වස්තුවේ බලපෑමෙන් තුංගුස්කා වනාන්තරයේ වර්ග කිලෝමීටර 2150ක භූමිභාගයක් පුරා තිබු දැවැන්ත වෘක්ෂ මිලියන 80ක් පමණ දැවී විනාශ වී තිබූ බැව් අනාවරණ විය. තැන තැන තිබූ විශාල සිදුරු රැසක් හඳුනාගැනීමට කුලික්ට හැකි වූ අතර ඒවා උල්කාපාත සිදුරු යන සාවද්‍ය මතයකට ඔහු එළැඹී තිබිණි.  
ඉදිරි දශකය තුළ මෙම ප‍්‍රදේශයේ ගවේෂණ තුනක් සිදු කෙරුණු අතර එහිදී කුඩා ප‍්‍රමාණයේ මඩවගුරු රැසක් හඳුනා ගැනීමට කුලික් සමත් විය. ඒවා මීටර 10 සිට මීටර 50 පමණ වට ප‍්‍රමාණවලින් යුතු විය. එම සිදුරු උල්කාපාත ආවාට වශයෙන් ඔහු නිගමනය කළේය.  
1938දී ඔහු මෙම ප‍්‍රදේශය ගුවන් ඡායාරූපගත කිරීමට පියවර ගත් අතර පසුව සෝවියට් විද්‍යා සංගමයේ සභාපති යෙව්ගිනි කි‍්‍රනොව්ගේ අණ පරිදි 1500ක් පමණ වූ එම ඍණ ඵලක සියල්ල විනාශ කර දැමිණි. 1950 සහ 1960 අතර කාලයේ මෙම ප‍්‍රදේශයේ ගවේෂණයක් සිදු කෙරුණු අතර එම ප‍්‍රදේශයේ ඇති පසෙහි සූක්ෂම සිලිකේට් සහ මැග්නටයිට් අන්තර්ගත වන බවට අනාවරණ කරගත හැකි විය. බිම පතිත වී තිබූ වෘක්ෂවලද ඒවායෙන් නික්මුණු ලාටුවලද එම රසායනික අන්තර්ගතව තිබිණි. රසායනික පරීක්ෂණවලදී අනාවරණ වූයේ උල්කාවලද පවතින යකඩවලට සමාන නිකල් විශාල ප‍්‍රමාණයක්ද අන්තර්ගතවී ඇති බවයි. හමු වූ රසායනික ද්‍රව්‍ය ඇසුරින් පාරභෞමික සම්භවය පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට පියවර ගැනිණි.  

 


රසායන ද්‍රව්‍ය පිළිබඳ විශ්ලේෂකයකු වූ පීට් බොග්ස් විසින්ද මෙම ප‍්‍රදේශයේ සිදුකරන ලද ගවේෂණ මගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට සමත් වූයේය. පසෙහි වූ ස්ථාවර කාබන්, හයිඩ‍්‍රජන් සහ නයිට‍්‍රජන් වැනි ද්‍රව්‍යයන්ගේ සමස්ථානික ලක්ෂණ හඳුනාගැනීමට ඔහුට හැකි විය.   


මෙම සංසිද්ධිය ‘තුංගුස්කා උල්කාව’ ලෙසින් ප‍්‍රචලිත වුවද අහසින් වැටුණු මෙම වස්තුව සත්‍ය වශයෙන්ම උල්කාවක්ද යන්න සනාථ කිරීමට මඟක් නොවීය. අහසින් පතිත වූ වස්තුවේ විශාලත්වය මීටර් 60 සිට මීටර් 190ක් පමණ විය හැකි බවට අනුමාන කෙරිණි. ඒ පිළිබඳ අද වන තෙක්ම මතවාද පවතී. වස්තුව කඩා වැටුණු ස්ථානයේ ආවාටයක් නිර්මාණය වී නොතිබූ අතර කිසිදු අවශේෂ කොටසක් හමුවූයේ නැත. ඒ අනුව කිසියම් අාකාශ වස්තුවක් පොළොවට පතිත වී කිසිවක් ශේෂ නොකොට අතුරුදන් වන්නට ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කළහ. මෙය පාෂාණ උල්කාවක් ලෙස එක් පිරිසක් සඳහන් කරන අතර තවත් පිරිසකගේ මතය වී ඇත්තේ එය හිම ධුමකේතුවක් බවටය. 30 වසරකට ආසන්න කාලයක් පුරා තුංගුස්කා සංසිද්ධිය පිළිබඳව පර්යේෂණවල නිරත වූ භෞතික විද්‍යාඥ ගෙනාඩි බයිබින්ගේ මතය වූයේ මෙය හිම ධූමකේතුවක් බවය. ඔහු එවැනි නිගමනයකට එළැඹෙන්නට මුල් වූයේ ඉහත කී පරිදි පොළොවට පතිත වූ වස්තුව සුන්බුන් හෝ ආවාටයක් හෝ ශේෂ නොකොට අතුරුදන් වී ඇති බැවිනි. පෘථිවි වායුගෝලයේ පවතින පීඩනය හා තාපය හේතුවෙන් එම ආකාශ වස්තුවේ කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වන්නට ඇතැයි යන්න ඔහුගේ නිගමනය වූයේය.   
මෙම උල්කාව කිසියම් සලකුණක් ඉතිරි කර ගිය බවට වන මතයක්ද පවතී. මෙම සංසිද්ධිය ඇතිවූ ස්ථානය ආසන්නයේ පිහිටා ඇති ‘චෙකෝ විල’ එම පිපුරුම සිදුවූ ස්ථානයේ අපකේන්ද්‍රය නොහොත් ආවාටය බවට ඉතාලියේ බොලෝනා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් මතයක් පළ කර සිටියහ. එම විලේ විශාලත්වය කිලෝමීටර 8ක් පමණ වන අතර එහි පතුලේ ඇති රොන්මඩ සංයුතිය අනුව එය වසර 5000කට වඩා පැරණි විලක් බවට 2016දී සෝවියට් විද්‍යාඥයන් පිරිසක් තහවුරු කර සිටියහ. ඒ අනුව ඉහත කී මතය බිඳ වැටිණි.  


රුසියාවේ සියොල්කොව්ස්කි අභ්‍යවකාශ ඇකඩමියේ භෞතික විද්‍යාඥ ඉවාන් මුර්සිනොව් මේ සම්බන්ධයෙන් තවත් සිද්ධාන්තයක් මතු කර තිබේ. ඔහුට අනුව මෙම උල්කාව පෘථිවියට පතිත වූ කෝණය අනුව එය පෘථිවියේ නොගැටී යන්තම් ස්පර්ශ වී යළි ගමන් කරන්නට ඇති බවයි. පොළොවේ ස්පර්ශ වීමට පෙර එය පුපුරා ගිය අතර එම පිපුරුමෙන් පසු විසුරුණු කැබලි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර දහසක් පමණ ඈතට විසිර යන්නට ඇතැයි ඔහු අනුමාන කරයි. එම කැබලි අත්ලාන්තික් සාගරයට පතිතවන්නට හෝ නැවත අභ්‍යවකාශයට ගමන් කරන්නට හෝ ඇතැයි යන්න ඔහුගේ මතය වී තිබේ.  


තුංගුස්කාවට පතිත වූයේ උල්කාවක්ද, ධූමකේතුවක්ද යන්න පිළිබඳව විද්‍යාඥයෝ තවමත් පර්යේෂණ සිදුකරමින් සිටිති. මෙය පිටසක්වළ ජීවීන්ගේ ක්‍රියාවක් බවටද ඇතැමුන්ගේ මතය වී තිබේ. කෙසේ වුවද වැඩි දෙනකුගේ මතය වී ඇත්තේ මෙය ප‍්‍රතිපද‌ාර්ථ වස්තුවක්් විය හැකි බවයි. එය පෘථිවියේ ස්පර්ශ වීමේදී එහි ශක්තිය මුද‌ාහැර කිසිදු සලකුණක් ඉතිරි නොකර නික්ම ගොස් ඇති බවටය.  
තුංගුස්කා සංසිද්ධිය පිළිබඳව මෙතෙක් ස්ථිර නිගමනයකට එළැඹීමට නොහැකි වුවද එම සිදුවීමෙන් පසු යළි රෝපණය වූ ගස්වැල්වල විවිධ වෙනස්කම් දැකිය හැකි විය. ශාක පත‍්‍රවල ඝනකම, අතු බෙදීම, පැහැය ආදියේ පෙරට වඩා වෙනස්කම් ඇති විය. සතුන් අතරද අසාමාන්‍යතා පෙනෙන්නට තිබිණි. වෙනත් ප‍්‍රදේශවල දක්නට ලැබෙන කෘමින්ට වඩා එහි වෙසෙන කෘමින් විශාලත්වයෙන් වැඩි බවක් පෙන්නුම් කළ අතර වෙනත් සතුන්ගේද විවිධ වෙනස්කම් දැකිය හැකි විය.  

   ගස් කඩාවැටී තිබූ අයුරු

ක්‍රි.ව. 1908 සිට ක්‍රි.ව. 2013 තෙක් තුංගුස්කා සංසිද්ධිය පිළිබඳ විද්වත් ලේඛන 1000කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ. 2013 වසරේ එම ස්ථානයේ ක්ෂුද්‍ර නියැදි පර්යේෂණයක යෙදුණු විද්‍යාඥයන් කණ්ඩායමක් මගින් සනාථ කර ඇත්තේ එම ස්ථානයේ උල්කාශ්මියකින් ශේෂ වූ කොටස් ඇති බවට හඳුනා ගෙන ඇති බවය.  
 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා