රාජාධි රාජසිංහ රජු පූජා කළ පුස්කොළ පොතක්


පූජාකළ විස්තර ඇතුළත්ව ඇත්තේ මේ පත් ඉරුවේය

කදම්බයේ පිට පැත්තේ චිත්‍රයක්

 

 

ක්‍රිස්තු වර්ෂ 1781 සිට 1798 දක්වා වසර 17 ක් කන්ද උඩරට රාජ්‍යයේ රජකම් කළේ රාජාධි රාජසිංහ රජතුමාය. රජතුමා ජීවත්ව සිටි කාලයේදී බෞද්ධ විහාරස්ථානයන්හි වැඩ විසූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නොයෙක් පුද පූජා පවත්වා තිබේ. එසේ කළ පූජාවක් පිළිබඳ සත්‍ය තොරතුරක් පුස්තකාලයකින් මතු කරගන්නට හැකි වී තිබේ.  


රජතුමා මිය ගොස් ඇත්තේ ඉතාමත් අබිරහස් ලෙසිනි. මිය යාමට ප්‍රථමයෙන් නොයෙක් විහාරස්ථානයන්හි වැඩ විසූ භික්ෂූන් වහන්සේලාට ධර්ම පුස්තක පූජා කර ඇත.  


එහෙත් අද වන විට එසේ පූජා කළ පුස්තක දක්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්ය. බොහෝ පොත් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොසිනි. විනාශ නොවී පැවති පොතක් අද පුස්තකාලයක සුරැකිව පවතී. එම පොත පන්සිය පනස් ජාතක පොතකි.
  


පන්හිඳෙන් තල්කොළවල නොයෙක් දේවල් සටහන් කිරීම රජ කාලයේ පැවති ක්‍රමයයි. තල් කොළවලට පවසන්නේ පත් ඉරු යන්නය. පත් ඉරු රැසක් එක්කාසු වී පුස්කොළ පොතක් සෑදෙයි. කම්බය යනුවෙන් පවසන්නේ පොතේ පිටකවරයටය. බොහෝ විට කම්බය සාදා ඇත්තේ දැවයෙන් හෝ ලෝහයෙනි.  


පන්සිය පනස් ජාතකය පුස්කොළ පොතක ලිවීම ලේසි පහසු වැඩක් නොවේ. ඒ සඳහා විශාල කාලයක් ගත වේ. රජතුමා සුදුසුකම් ඇති අයට ජාතක පොත ලිවීමේ කාර්යය භාර දී ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයද ලබා දී තිබේ. එසේ ලියවනු ලැබූ ජාතක පොත රජතුමා එකල පැවති සුද්ධෝදන පිරිවෙණේ පරිවේනාධිපති නාගසේන භික්ෂූන් වහන්සේට 1785 ජනවාරි 5 සිකුරාදා දවසේ පූජා කර තිබේ. පූජා කළ ජාතක පොත වත්මනෙහිදීද ඉතාම සුරැකිව පැවතීම සතුටු විය යුතු කාරණයකි.  


පොතේ පත් ඉරු 966 කි. පළල අඩි 2 ක් වන අතර උස අඟල් 15 කි. කම්බය දැවයෙන් තනා ලාක්ෂා වැඩ යොදා තිබේ. කම්බයේ පිටත ඇඳ ඇත්තේ ලියවැල්ය. මාර පරාජය, නියත විවරණ, පරිනිර්වාණය චිත්‍ර කම්බයේ ඇතුළත ඇතුළත්ය.   


පොතේ එක් පත් ඉරුවක ‘උතුම් අපගේ ශ්‍රී රාජාධි රාජසිංහ දෙවි මහ රාජොත්තමයානන් වහන්සේගේ ආරාධනාවෙන් ලියවා වද‌ාරණ ලද මේ පොත් වහන්සේ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදාස් තුන්සිය විසි අට වර්ෂයක් වූ ශක නරෙන්ද්‍රයානන් වහන්සේගේ වර්ෂ ප්‍රමාණයෙන් එක්වා දහස් සත්සිය සතක් වූ මේ වර්ෂයෙහි දුරුතු මස පුර විසේනියන නම් තිථියලත් සිකුරාදා මේ දවස ශෛසීල්‍යාදි මූණ ගණෙපලක්ෂිත සුද්ධෝදන පරිවේණාධිපති නාගසේන ස්ථවිරයාණන් වහන්සේට පූජා කර වද‌ාරමින් සචින්ත කුසල සම්භාරයන් හේතු කොට ගෙන...’  

 

 කදම්බයේ ඇතුළු පැත්තේ චිත්‍ර

 

 


අවසානයේදී මෛත්‍රී බුදුන් සමීපයේ දන් පින් කර නිවන් අවබෝධය ලබා ගැනීමට රජු ප්‍රාර්ථනා කර ඇති අයුරුද සඳහන් වී තිබේ.  


මහනුවර දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ පුස්තකාලයාධිපති අජන්ත කුමාර සමරකෝන් මහතා මෙසේ පැවසීය.  


රාජාධි රාජසිංහ රජතුමා පූජා කළ ජාතක පොත මේ මොහොතේ තිබෙන්නේ මාලිගාවේ. මේ ප්‍රාචීන පුස්තකාලයේ පුස්කොළ පොතේ සඳහන් සුද්ධෝදන පිරිවෙන ගැන හා නාගසේන භික්ෂූන් වහන්සේ ගැන කිසිම තොරතුරක් දැන් හොයා ගන්ට නෑ. මේ පොත පසු කාලීනව දළදා මාලිගාවට පූජා කරලා තියෙනවා. දළදා මාලිගාවට පූජා කළ හින්දා පොත අදත් සුරැකිව තියෙනවා. රාජාධි රාජසිංහ රජතුමා විසින් ලියවනු ලැබූ මෙවැනි පොත් දැන් තවත් තිබෙනවාද කියා කියන්න දන්නේ නෑ. 

 

 

 

 


සටහන හා ඡායාරූප  
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ