රවි, බුධ මාරුව ඔබට කොහොමද ​?


ග්‍රහ ලොව ප්‍රධානියා වන රවි ග්‍රහයා 2019 ජනවාරි මස 14 වන දින මෙතෙක් ගමන් කළ ධනු රාශියෙන් ශනි හිමි මකර රාශියට පැමිණෙයි. 2019 පෙබරවාරි 13 දක්වා රවි ග්‍රහයා මකර රාශියේ කේතු සමග තැන්පත්ව සිටී. රවි ප්‍රවිෂ්ට වන්නේ මකර රාශියටය. මකර රාශිය ශනිට අයත්ය. ශනි ග්‍රහලොව කම්කරු නායකයා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් මෙම ග්‍රහමාරුව රජතුමා කම්කරු නායකයාගේ නිවසට යෑමට සමානය. මේ අතර බුද්ධියට අධිපති බුධ ග්‍රහයා ද 2019 ජනවාරි මස 20 වන දින සිට 2019 පෙබරවාරි මස 07 වන දින දක්වා මකර රාශියේ තැන්පත්ව සිටී. 

 
කෝණ මාසය නිමවීමත් සමගම 2019 ජනවාරි 14 වන දින සිට ඉදිරි කාලය තුළ නිවාසවලට මුල්ගල් තැබීමට ද විවාහ මංගල කටයුතුවලට ද අලුතින් ඉදිකරන ලද නිවාසවලට පදිංචියට යාමට ද ඉතා ශුභ කාලයක් උදාවේ.   


රවි බුධ මාරුව උපන් ලග්නවලට බලපාන අයුරු   


​මේෂ - මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දසවැන්නට රවි පැමිණෙයි. එවිට රවි දිග්බලය ලබයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට සුබදායක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. රැකියා කටයුතුවල අලුත් තනතුරු ලැබීමට ද ඉඩ තිබේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. නව රැකියා ලාභ අපේක්ෂිතයින්ට රැකියා ලාභ හිමිවේ. මුදල් ආයෝජනවලට සුබවේ.   


වෘෂභ - ඔබේ කේන්ද්‍රයේ නමවැන්නට රවි පැමිණෙයි. භාග්‍යස්ථානයට රවි පිවිසීමත් සමග විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. වන්දනා ගමන්ද යෙදේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. ගෘහ ජීවිතය යහපත් වේ. ඔබේ ලග්නාධිපති සිකුරු ජනවාරි 29 වැනිදා සිට පෙබරවාරි 24 දක්වා අටවැන්නේ ගමන් කරන නිසා තනි තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න. සිත් තැවුල් ඇතිවීමට ද ඉඩ ඇත. ශනි අටේ ගමන් කරන බැවින් ආගමානුකූලව ජීවත්වන්න.   
මිථුන - ඔබේ කේන්ද්‍රයේ අටවැන්නට පැමිණෙන රවි තරමක් අසුබ ඵල උදාකරන බව පෙනේ. රැකියා හා ව්‍යාපාරික කටයුතුවලදී උසස් අය සමග කටයුතු කරනවිට කල්පනාකාරී වන්න. අසල්වාසීන් සමග ඇසුරු කිරීමේදී වඩාත් ඉවසිලිමත් වන්න. බාල සහෝදරයකුට අපල බවක් පෙන්වයි. නිෂ්ඵල ගමන්ද යෙදේ. ඔබේ ලග්නාධිපති බුධ ජනවාරි 20 වැනිදා සිට පෙබරවාරි 07 දක්වා අටවැන්නේ ගමන් කරන නිසා ගෘහ ජීවිත ගත කිරීමේදී හා තීන්දු තීරණ ගැනීමේදී ඉවසීමෙන් කටයුතු කරන්න. රුධිර පීඩනය හා උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න.   


කටක - සඳු හිමි කටක ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ හත්වැන්නට රවි පැමිණෙයි. මිශ්‍රඵලදායකයි. දෙවැන්න අධිපති රවි හත්වැන්නට පැමිණීමෙන් විවාහ ජීවිතය පිළිබඳ කටයුතුවලට වියදම් අධික විය හැකියි. අවිවාහක අයගේ මංගල යෝජනාවලට මිශ්‍රඵලදායක වේ. හවුල් ව්‍යාපාරවලදී ඉවසිලිවන්තව කටයුතු කරන්න. ප්‍රසිද්ධ සතුරන්ගෙන් අවුල් වියවුල් ඇතිවීමට ඉඩ ඇත. උසස් අය සමග කටයුතු කිරීමේදී ඉවසිලිවන්තව කටයුතු කරන්න.   


සිංහ - සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හයවැන්නට රවි පැමිණෙයි. ලග්නාධිපති රවි හයවැන්නට පැමිණීමෙන් සතුරු බලවේග මර්දනය වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට උසස් අයගේ මෙන්ම සේවක සේවිකාවන්ගේ ද උදව් උපකාර ලැබෙන අතර නීතිමය අංශවල සහයෝගය ද ලැබේ. ඔබේ උත්සාහය හා ධෛර්යය වැඩි වේ. ණය මුදලක් ලබාගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. අසනීපවලින් සුව අතට හැරේ.   


කන්‍යා - ඔබේ කේන්ද්‍රයේ පස්වැන්නට රවි පැමිණෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මිශ්‍රඵලදායක වේ. විවාහ අපේක්ෂිත පෙම් සබඳතාවලට සතුටුදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අය සමග ප්‍රවේශමෙන් කටයුතු කරන්න. තත්ත්වය රැක ගැනීමට අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් වැළකීමට සිතට ගන්න. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න.   


තුලා - තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හතරවැන්නට රවි පැමිණෙයි. මෙම මාසය ඇතුළත සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇත. තරමක් කරදර සහිත වේ. ගෘහ ජීවිතය ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. මව්පියන්ටද කරදර සහිත බව පෙනේ. ස්ථාන, ගෙවල්, ඉඩකඩම් පිළිබඳ නීති ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. දේපලවලින් හෝ ගොවිතැන් කටයුතුවලින් පාඩු සිදුවීමට හැකියි. ගෘහාශ්‍රිත ව්‍යාපාරවලින් එතරම් ලාභයක් බලාපොරොත්තු නොවිය යුතුයි. හෘද රෝග ඇති අය විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි.   


වෘශ්චික - ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නට රවි පැමිණෙයි. සුබඵලදායක වේ. ධෛර්යය හා උත්සාහය ඉහළ යයි. සහෝදර හා අසල්වාසීන් සමග සබඳතා අලුත් වේ. ලිපිලේඛනවලට සුබඵලදායකයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට උසස් අයගේ උදව් උපකාර ලැබේ. තනතුරුවල උසස්වීම් ලැබෙයි. රජයේ නව තනතුරු ලැබේ. ආදායම් තත්ත්වය යහපත් වේ. ප්‍රයෝජනවත් කෙටි ගමන් නිතර යෙදේ. සහෝදරයින්ට සුබදායක වේ. 

 
ධනු - ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දෙවැන්නට රවි පැමිණීම නිසා මෙම මාසය සුබාසුබ මිශ්‍ර ඵල ගෙන දෙනු ඇත. ගෘහ ජීවිතය පිළිබඳව තරමක බාධා කරදර ඇතිවීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න. කතා කරනවිට දුරදිග බලා කතා කරන්න. තැන්පත් ධනය වැයවීමට කරුණු යෙදිය හැකි නිසා නිසි කළමනාකරණයෙන් මුදල් පාවිච්චි කරන්න. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. සෙනසුරු අපලයට අදාළ ග්‍රහ ශාන්ති කර්මවල නිරත වන්න.   


මකර - ඔ​බේ කේන්ද්‍රයේ ලග්නයට රවි පැමිණීම නිසා මෙම මාසය සුබාසුබ මිශ්‍රඵල ගෙන දෙනු ඇත. හිතේ අවුල් ස්වභාවයක් ඇතිවිය හැකියි. උත්සාහයේ තරමට ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුය. දැඩි ලෙස අවිවේකී කාලයක් උදා වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සඳහා උසස් අයගේ ආධාර උපකාර ලැබේ. වියදම් පාලනය කරගන්න. හදිසි අනතුරු, හිසේ රෝග උෂ්ණාධික රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ශරීර සෞඛ්‍ය රැක ගැනීමට උනන්දු වන්න.   


කුම්භ - කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට රවි පැමිණීම නිසා තරමක් අපලදායක වේ. උසස් කෙනෙකු හෝ රැකියා ප්‍රධානියෙකු අමනාප වීමට ඉඩ තිබේ. රජයේ රැකියා කරන අය විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය. අනවශ්‍ය වියදම් ඇතිවේ. හවුල් ව්‍යාපාර කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. විවාහ සහකරු වෙනුවෙන් අමතර වියදමක් හෝ දුර ගමනක් යෙදීමට හැකියි. අවිවාහක අයගේ මංගල යෝජනාවලට එතරම් යහපත් නොවේ. මෙම කාලසීමාව නඩුහබ ආදියට එතරම් සුදුසු නොවේ.   


මීන - ගුරු හිමි මීන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට රවි පැමිණීමෙන් සුබඵලදායක වේ. ආදායම් මාර්ග යහපත් වේ. රජයේ රැකියාවල නිරත වන අයට වැඩිපුර ගරු සැලකිලි නම්බුනාම හා තනතුරු ලැබේ. උසස් අයගේ ඇගයීමට ලක්වේ. නීතිමය අංශවල ද ආධාර උපකාර ලැබේ. රැකියා අපේක්ෂාවන් සාර්ථක වේ. සහෝදරයින්ට සුබයි. සමාජ සේවා කටයුතුවලදී නායකත්වය දරන්නට සිදුවේ. ගෘහ ජීවිතය සුබඵලදායක වේ. 

 
මේ අනුව රවි බුධ මාරුව සමහර ලග්නවලට සුබ ඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵලත් ඇති කරන බව පෙනේ. රවි අපලය ඇති අය බුද්ධ පූජා, බෝධි පූජා හා ආලෝක පූජා තැබීම සුබය. සූර්ය පිරිත කියවීමත් යහපත් වේ. මව්පියන්ට උපස්ථාන කිරීම සුබය. බුධ අපලය ඇති අය ධර්ම දානය වැනි ශාන්ති කර්ම මගින් අපල සමනය කරගත හැක.   

 

 


ජ්‍යෝතිර්වේදිනී   
අජන්තා ඒකනායක, 
අංක 121, මාංගොඩ, මැදමහනුවර