රට කැලඹූ චෝදනාවට මහා ලේඛකයන්ගේ පොත් ගිනි දෙවියාට...


 

●     ලෝකයේ පොත් පිළිස්සීම සිදුව ඇත්තේ වසර දහස් ගණනකට පෙරය.
●     යක්කඩුවේ හිමියෝ ඇඟට පතට නොදැනී වන කතාවෙන් ටොකු අනිති. 
●     මේ පොත් විභාගයට නියම කළාට නිදහසට කරුණු විමසති. 
●     ඉස්සර සීතාවක රාජසිංහ රජු කරවූවාක් මෙන් වන කතා ගිනිබත් කරයි. 
●     ඊ.ආර්. එරත්නට අනුරාධපුරයට දඬුවම් මාරුවක් 
●     ජී.බී.ගේ. අම්මා කෙටි කතාව අශ්ලීලලු 
●     කාලෝ ෆොන්සේකාත් තහනම් කළ පළිගැනීම තලු මරා මරා කියවයි. 
●     සමාජ සංදර්ශනය පොත නිසා අතුරු මැතිවරණයෙන් තමා පරාජය වූ පරාජිත මන්ත්‍රීවරයෙක් කියයි. 
●     වසර 57 කට පෙර රට කැලඹූ පුවතක් වන කතා, පළි ගැනීම, සමාජ සංදර්ශනය පොත් තහනම් කිරීම හා ගිනි තැබීම 

 

 

භාවිතයට අයෝග්‍යය යයි කියා පොත් පිළිස්සීමේ සිද්ධියක් මීට වසර 57 පමණ පෙර මෙරට සිදු වූ බවට ඉඟි 1950 වසරේ සැප්තැම්බර් 06 වෙනිදා “ලංකාදීප” පත්‍රයේ පළවූ ලිපියකින් අනාවරණය වෙයි. මේ ලිපියෙන් හෙළිවෙන්නේ මෙසේ පොත් පිළිස්සීම ලෝකයේ සිදුව ඇත්තේ අවුරුදු දහස් ගණනකට පෙර පටන් සිදුවූ බවට ඇති සාක්ෂි ද සටහන් කරමිනි. 


මිසර දේශවාසීන් විසින් සොයා දැන ගන්නා ලද ශාස්ත්‍ර විද්‍යා කලා ශිල්ප අන්තර්ගත ග්‍රන්ථ දහස් ගණනක් ඇලෙක්සැන්ඩි්‍රයා නුවර පුස්තකාලයේ තැන්පත් කොට තිබු අතර මිසරය ආක්‍රමණය කළ අන්තවාදී ඉස්ලාම් භක්තික යුද සේනාධිපතීන් විසින් මේ පුස්තකාලය පුළුස්සා විනාශ කර ඇත. මේ කරුණු එදා (1950) ලංකාදීප පත්‍රයට ලිපියක් ලියූ පී.ඒ. සෝමපාල නම් ලේඛකයා තුර්කියේ සිදුවූ තවත් ඛේදවාචකයක් සඳහන් කරයි. තුර්කියේ කොන්ස්තන්තිනෝපල් නුවර මහා පුස්තකාලය ශාස්ත්‍ර විද්‍යා නීති ධර්ම අන්තර්ගත ග්‍රන්ථයන්ගෙන් පිරි මහා පුස්තකාලය තුර්කින් විසින් පුළුස්සා දැමුවත් ශාස්ත්‍ර විද්‍යා නීති ධර්ම යුරෝපය පුරාම ප්‍රචලිත වී ඇත. 


ඉන්දියාවේ ද මෙයම සිදුව ඇත. ඉන්දියාව ආක්‍රමණය කළ අන්තවාදී මුස්ලිම්වරුන් විසින් බෞද්ධ විශ්වවිද්‍යාලවලත්, බෞද්ධ භික්ෂු ආරාම වලත් තැන්පත් කොට තිබූ බෞද්ධ ග්‍රන්ථ විනාශ කළත්, බුද්ධ ධර්මය ලොව පැතිර යාම එයින් නොනැවතිණි. නිදහස් අදහස් තේමා කොට ගත් පොත් පත් සඳහා ජර්මනියේ හිට්ලර් වාරණ නීතියක් පැනවුවද ලෝකය පුරා නිදහස් අදහස් පැතිර යාම ඉක්මන් විය.


1950 වසරේ රජය විසින් රජයට අභිමත නොවන අදහස් අන්තර් ගත පොත් පාසල් වල භාවිතයට තහනම් කිරීමත්, ඒ පොත් වෙළෙඳුන්ගෙන් මිලයට ගෙන පුලුස්සා දැමීමේ පුවතක් අසන්නට ලැබෙයි. මේ අනුව තහනම් කරන ලද පොත් තුන නම් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ “වනකතා” ජී.බී. සේනානායකගේ “පළි ගැනීම” හා ඩී.ආර්. ජයවර්ධනගේ “සමාජ සංදර්ශනය” කෘතියයි. මේ පොත් තහනම් කිරීම නිසා සාහිත්‍යකාමීන් කැලඹීමට පත් වී ඇත. මේ සිද්ධිය වෙන විට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ රජයට වසර දෙකක් සපිරි තිබුණි. 


මේ පොත් තුන 1950 ජ්‍යෙෂ්ඨ විභාගයට පොත් නියම කළ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය, විශ්වවිද්‍යාලයේ පාලි මහාචාර්ය ගුණපාල මලලසේකර හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ග්‍රන්ථ පරිවර්තන පාලක ඊ.ආර්. එරත්න යන මහත්වරු මේ පොත් ජ්‍යෙෂ්ඨ විභාගයට තෝරා තිබුණේ ඒකමතිකවය. 


යක්කඩුවේ හිමියන්ගේ “වනකතා” කෘතියේ එන මේ කවියට රජයේ ඇස වැඩියෙන්ම යොමු වී ඇත. 


අපායට යන්න ඕනෑ නම් නුඹ    ට 
කරපන් මහ ඇමැතිකම එක දවසක    ට 
නැත්නම් පන්සලක දේවාලයක සි    ට 
අදිපතිකම කරපන් තුන් දවසක    ට 


මේ කවිය ඇතුළත් “වනකතා” ගැන ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සිටි ධර්ම ශ්‍රී කුරුප්පු සඳහන් කර තිබුණේ (1955 දෙසැම්බර් 11 ඉරිදා ලංකාදීප) මෙසේය. 


අපේ සමහර පොත් කතුවරුන් බැරි කම් පුළුවන්  කම් කර පෙන්වමින් නැති ලොකුකම් අටවා ගනිද්දී යක්කඩුවේ හාමුදුරුවෝ ඒ ලොකු කම් බල බලා ඇඟට පතට නොදැනී ටොකු අනිති. ඇතැම් විට වැදිය යුතු තැන්වලට හෙණ පහර මෙන් වදින වන කතා උන්වහන්සේ බණ කතා කියන විදිහට කියති. 


ඉහත කී කවෙන් අග්‍රාමාත්‍ය සේනානායක මහතාට අපහාසයක් කර ඇති බව කියමින් පොත් නියම කළ කොමිටියෙන් අධ්‍යාපන ඇමැති ඊ.ඒ. නුගවෙල මහතා නිදහසට කරුණු විමසා ඇත. මහාචාර්ය දෙපොළ නිදහස් ආයතනයකට සම්බන්ධ නිසා සිංහල නොදත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අල්ලාගත්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වූ එරන්ත මහතාවය. මේ පිළිබඳව එරන්ත මහතා ප්‍රඥාරාම හිමියන්ගෙන් ද අදහස් විමසුවේය. 

 

 


“මහ ඇමැති” කවියේ අදහස “පංච තන්ත්‍රයේ” එන පරණම අදහසක් බවත් වනකතාවේ එය මෙරටටත් මේ කාලයටත් ගැළපෙන හැටියට සකස් කරලා ඇති බවත් තහනම් කරතොත් පංච තන්ත්‍රය මුලින්ම තහනම් කර සිටිය යුතු බවත් කියා පංච තන්ත්‍රයේ සොලෝකයත් ප්‍රඥාරාම හිමියෝ ලියා දුන්හ. 


මේ පිළිබඳව උන්වහන්සේ මෙසේ සඳහන් කර තිබුණේ 1957 වසරේ පළකළ වනකතා පොතෙහිය. 


වන කතාවත් තහනම් විය. දෙවෙනි පොතේ තිබුණ ඒ කවිය නිසා පළමුවෙනි පොතත් වනකතා නමත් තහනම් විය. එපමණක් ද නොවෙයි. ඉස්සර සීතාවක රාජසිංහ රජු කර වූවාක් මෙන් සපයා ගත හැකිව තිබුණු සියලුම වන කතා පොත් රැස් කරවා ගිනිබත් කළහ. 


ප්‍රඥරාම හිමියන්ගේ කරුණු ද සම්පිණ්ඩනය කොට එරත්න මහතා කරුණු ඉදිරිපත් කළ නමුත් ඒ මහතාට මගේ වනකතාවෙන් කිසි සැනසීමක් නොලැබුණු බවද සඳහන් කළ උන්වහන්සේ මෙසේ ද සඳහන් කරති. 


එරත්න මහතාට මුළු අධ්‍යාපන කන්තෝරුවම තහනම් විය. ඒ මහතා අටමස්ථානය වන්දවා තමන්ට ස්වර්ගයේ උත්පත්තිය අත් කරවා ගන්නට දෝ අනුරාධපුරයේ මධ්‍ය විද්‍යාලයට මාරු කළේය. 


ඊ.ආර්. එරත්න මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහි බී.ඒ. උපාධිය පළමුවැනි පෙළ සමර්ථ ලත් ගුරුවරයෙකි. 


රොමාගේ වාසනාව තාගෝර් කෙටි කතා ජීව භාෂාව යන ග්‍රන්ථ ලියූ ඔහු පාරිභාෂික ශබ්ද නිපදවීමේ කටයුත්තෙහි දී රජයට හා සිංහල භාෂාවේ උන්නතියට කළ සේවය ප්‍රශංසනීයය. 1965 ඩඞ්ලි සේනානායක මහතාගේ රජය කාලේ උසස් පෙළ විභාගයට “වනකතා” පොත නියම විය. අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මහතා හා අගමැතිතුමාටත් පටු අදහස් නොතිබූ බවට මෙය කදිම සාක්ෂියකි. 


තහනමට ලක් වූ අනික් පොත ජී.බී. සේනානායකගේ “පළි ගැනීම” කෙටි කතා සංග්‍රහයයි. එහි එන “අම්මා” කෙටි කතාව විවාහක පුරුෂයකු හා ස්ත්‍රියක අතර ඇති වන හාදකමක් දැක්වේ. මෙය සමාජ සම්මත දෙයක් නොවන බවත් එය සාහිත්‍යයට ඇතුළු නොකළ යුතු බවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තීරණය කොට තහනම් කරන ලදි. අම්මා කෙටි කතාව ගැන ලේඛක ජී.බී. සේනානායක “පළි ගැනීම” කෙටි කතා සංග්‍රහයේ පරිශිෂ්ටයේ මෙසේ සඳහන් කර ඇත. 


අම්මා නමැති කථාවෙහි එන “අම්මා” ජීවිතයෙහි දැඩිකම් නොදන්නා මොළොක් සිත් ඇති ගැහැනියකි. තමාත් තම සැමියාත් අතර ප්‍රේමය, සංකීර්ණ වූ සමාජයක කොටසක් බව ඈ නොදනී. මේ කෙටි කතාවේ අවසානයෙත් සිදුවීම් පෙළ කෙළවර කරන අවසානයක් ලෙස සැලකිය හැකිය. එහෙත් පසු බලාපොරොත්තු වීමට කිසිවක් නැත යන හැඟීම පාඨකයා තුළ ඇති වන ලෙස මේ කථා අවසන් කිරීමට මවිසින් කිසිම උත්සාහයක් නොකරන ලදි. කථාවල අවසානයක් මෙසේ වූයේ ඉබේමය. 


1949 වසරේ කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි කාලෝ ෆොන්සේකා (අද මහාචාර්ය) එදා තම විභාගයට නියමිත පළිගැනීම පොත තහනම් කිරීමෙන් පසු පොත අග සිට මුලටත් මුල සිට අගටත් කියවා උසස් රසාස්වාදයක් ලැබූ බව එක්තරා පොත් දොරට වැඩීමක දී පවසා සිටියේය. කොතරම් ඒ පොතට ආකර්ෂණය වූවාද කිවහොත් එහි වරින් වර එන “නිශ්ශබ්දතාව” නම් නිදහස් පද්‍ය මුල සිට අගටම කඩ පාඩමින් කිව හැකි බව පවසා එය සභාවට ඉදිරිපත් කළේ, ඒ කාලේ තහනම් කළොත් පොතක් අපි තලු මර මරා කියෙව්වා. කියමින් සභාව ප්‍රබෝධමත් කළේය. 


එවකට ජී.බී. සේනානායක ප්‍රකට ශ්‍රේෂ්ඨ කෙටි කතා රචකයකුව සිටියේය. 


තහනමට හසු වූ අනික් පොත වූ ඩී.ආර්. ජයවර්ධන ලියු “සමාජ සංදර්ශනය” කෘතියයි. පත්‍ර කලාවේදියකු වූ ඔහු “අපේ කලා ශිල්ප හා සාහිත්‍යය හා ක්‍ැහකදබ ඊරසඑසිය ෑර් කෘති ලියූ ලේඛකයාය. ඔහුගේ සමාජ සංදර්ශනය ප්‍රස්ථාවනාවෙන් තම කෘතියේ පරමාර්ථය මෙසේ දක්වා ඇත. 


ලංකා සමාජය අද පවතින අන්දම ව්‍යාජයෙන් තොරව තත්ත්වාකාරයෙන් විස්තර කිරීමට මෙම ග්‍රන්ථය මගින් ප්‍රයත්න දැරුවෙමු. ඒ වනාහි සමාජයේ දූෂණ ලක්ෂණ නැති කොට එය විනීත තත්ත්වයකට නැංවීමේ අපේක්ෂාවෙන් දරන ලද ප්‍රයත්නයකි. ලංකාව වනාහි ස්වර්ගයට සමාන ස්ථානයක් යයි කියමින් නූගත් ඡන්ද දායකයන් රැවටීමේ නිරත වන දේශපාලනඥයෝ විදේශිකයන්ගේ මේ කියුම් වලින් හොඳ ප්‍රයෝජන ගනිති. 


මේ ග්‍රන්ථයේ එන මේ නිදහස නම්බුනාමවලට ඇති ආශාව ලංකාවේ ස්ත්‍රීන්ගේ තත්ත්වය සමාජයෙන් අතුරු දන් වන විනීතභාවය මහජන සේවයෙහි නියුක්ත පොලිස් සේවය කුරුඳුවත්ත යන පරිච්ඡේදවල එන අදහස් විවාදාපන්නය. ලේඛකයාගේ අදීන බව මේ කෘතියෙන් මොනවට පැහැදිලි වේ. 


සමාජ සංදර්ශනය කෘතියෙන් ඉස්මතු කර පෙන්වන කරුණු 1950 මැයි 20 වෙනිදා පැවැත්වූ අම්බලන්ගොඩ බලපිටිය මැතිවරණ කොට්ඨාසයේ පැවති අතුරු මැතිවරණයෙන් තමා පරාජය වීමට හේතු වූ බව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී වැඩි ඡන්ද 1968කින් පරාජයට පත් වූ ඉයන් ද සොයිසා මහතා කියා ඇත. එබැවින් රජයට ද්‍රෝහිවන අදහස් වලින් පිරි සමාජ සංදර්ශනය කෘතිය තහනම් කරන ලෙස ඉල්ලා ද සොයිසා මහතා අගමැති ඩී.ඇස්. සේනානායක මහතාට ලිපියක් යවා ඇත. අගමැතිතුමා මෙය විභාගයක් පවත්වා තමාට වාර්තාවක් එවන ලෙස අධ්‍යාපන ඇමැති නුගවෙල මහතාට යැවු අතර ඇමැතිවරයා එය සිංහල නොදත් ඉංග්‍රීසි අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට යොමුකරන ලදි. ඔහු රජයේ පාසල් වල පුස්තකාල වල තිබෙන සමාජ සංදර්ශනය පොත් පිටපත් වහාම අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එවන ලෙස ප්‍රධාන ගුරුවරුන්ට චක්‍ර ලේඛයක් නිකුත් කළේය. 


මේ පොත් තහනමට විරුද්ධව ලේඛකයෝ, විද්වත්හු අදහස් දැක්වූහ. තල්පාවිල ශීලවංශ හිමියන් කියා ඇත්තේ ජාතක පොතේ සිංහල මේ පොත තහනම් කළ නායකයන්ට තේරුම් ගත හැකි නම් එය ද තහනම් කරන බවය. ටී.බී. ඉලංගරත්න පවසා තිබුණේ මේ විදිහට පොත් තහනම් කළොත් ඉතුරු වන්නේ “සියරට” හා “දිනමිණ” පත්‍ර දෙක පමණක් බවය. 

ඒ.ඩී. රන්ජිත් කුමාර