මුවෙක් නිසා බිහි වූ මුවන්පැලැස්ස


 

මහ වනය අද්දරින් ඇති කඳු ගැටය දෙකට කපා තැනුණු මහ පාරෙකි. ඒ පාර දිගේ රෙදි පොට්ටනියක් කර තබා ගෙන යන තරුණයෙකි. හේ රෙදි වෙළෙන්දෙකි. නමින් සිංඤාය. වනය තුළට පිවිසි ඔහුට හමුවූයේ ගොවියෙකි. ඔහුගෙන් හේමුවන්පැලැස්සට එනම් හේන්යාය පිහිටි පෙදෙසට යා යුතු මග අසා ගත්තේය. ඒ අනුව පොට්ටනිය කර තබාගත් වනම නුදුරු වනයෙහි සැඟවී ගත්තේය. වනය සුන්දරය. පිපුණ වන මල් තුරුලිය මුදුන් වසා පැතිර ගෙන ඇත. මුවරද මුසුව, සුවඳ දනවමින් මඳ සුළඟ හමා එයි. වර්ණවත් පියාපත් විදහා පියඹා යන පක්‍ෂීහු විසිතුරු දර්ශන මවති. නිදැල්ලේ හැසිරෙන ගෝන, මුව, වළිකුකුළු, මොනර, සා ආදී වන සත්තු කොතෙක්ද? වනයේ සුන්දරත්වයට සජීවීභාවය ආරෝපණය කරන්නෝ ඔවුහුය. වනයේ මේ දර්ශනයන් දක්නා සිංඤා මිනිස් පරිසරය හමුවන තුරු හෙමින් හෙමින් ඉදිරියටම ඇදුණේය.  

 

1969 අගෝස්තු 10​ වැනිදා තිරගත වූ ‘‘බිනරමලී’’ චිත්‍රපටයේ ආරම්භක රූප රාමු පෙළ ඇරඹෙන්නේ මේ පසුබිමක අමරදේවයන්ගේ ගීතයක් සමගය. ගීතයේ රචකයා මහගම සේකරය. සංගීත අධ්‍යක්‍ෂණය සෝමද‌ාස ඇල්විටිගලය.  


රටකින් රටකට පාර අසාගෙන  
බර පොදි උසුලා ගෙන එනවා  
හසරක් නොපෙනෙන
මහ වන කතරට 
ඒ එන ගමනෙදි පිවිසෙනවා.  
පඳුරු පුරා මල් කිනිති පිපී  
​පොකුරු සුවඳ මී ගලා බසී  
අඳුරු ගැබෙහි ඒ තුළින් එබී  
සොඳුරු සොයන ඇස් බලා හිඳී  
දුක සැප දෙපසින් දැනට අරගෙන  
බරපොදි උසුලා ගෙන යනවා  
ඉරණම පසු පස  
පියවර මැන මැන  
කණ වැල අල්ලා ගෙන යනවා  
කුමටද කොයිබද මේ යන්නේ  
කෙදිනද කෙලෙසද නවතින්නේ  
දුක සැප කොයිකද හමුවන්නේ  
ඉරණම මය එය විසඳන්නේ  


මේ ගීතයත් සමග හසරක් නොපෙනෙන මහ වනයකට අපි පිවිසෙන්නෙමු. එහෙත් මේ කතාව ඇසුරෙන් මුදලිනායක සෝමරත්න ලියූ ‘‘මුවන්පැලැස්ස’’ ගුවන් විදුලි නාටක මාලාව මීට වසර 55කට පමණ පෙර අප හඬින් හා මනසින් ඇසූ හා දුටු අයුරු එද‌ා ගුවන් විදුලි අසන්නන්ට මතක ඇති. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවයක අඛණ්ඩව විකාශය වෙමින් වාර්තාවක් තැබූ දීර්ඝතම ගුවන් විදුලි නාටකයක ලෙස එය වාර්තාවක් තබා ඇත.  


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි සංකීර්ණයේ කොරිඩෝවේ එල්ලා ඇති දුර්ලභ ඡායාරූප එකතුවේ ‘‘මුවන්පැලැස්ස’’ නිර්මාතෘ මුදලිනායක සෝමරත්නගේ සේයාරුව යට මෙසේ සටහන්ව ඇත.  


"The original script writer of Muwnapellassa the longest drama in history of Ceylon"  


දැනට ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෝම්යෝපති වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන මුදලිනායක සෝමරත්න ගුවන් විදුලි නාට්‍ය රචකයකු ලෙස සම්බන්ධ වන්නේ 1960 වසරේ සිටය.  


‘‘මම ගුවන් විදුලියේ ප්‍රචාරය වූ’’ කෙටිකතා රංග පීඨයට නාට්‍ය 500ක් පමණ සතිපතා රචනා කළා. ඒ කාලයේ විනාඩි 15ක එක නාට්‍යයකට රුපියල් 75ක් ගෙව්වා. ‘‘ගුවන් විදුලි රඟමඩල’’ට ලිව්ව පැය භාගයක නාට්‍යයකට රුපියල් 100ක් ගෙව්වා. ඒ කාලය හැටියට ඒක ලොකු මුදලක්. ස්වදේශ සේවයට මම ‘‘දියනිල්ලේ රාල කියලා කොටස් වශයෙන් ප්‍රචාරය වන ගුවන් විදුලි නාට්‍යයක් වසර තුනක් තිස්සේ ලිව්වා. ඒක ජනප්‍රිය වුණා. දවසක් මට ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් එස්.බී. සේනානායක මහතා කතා කොට මෙහෙම කිව්වා.  


‘‘මුදලිනායක, අපි සන්ධ්‍යා සේවය අලුතින් පටන් ගන්නවා. ඒකට අලුත් කාලයේ නාට්‍යයක් ලියන්න. බණ්ඩාරනායක මැතිනියට ගැමි ජීවිතය, වන්නියේ ගැමි චරිත කිහිපයක් ඇතුළත් කරලා ලියන නාට්‍යයක් අහන්න කැමති බව කිව්වා. අගමැතිතුමියගේ බලවත් ආසාවක් තියෙනවා. ඒ වගේ ගුවන් විදුලි නාට්‍යයකට. ‘‘කුරුලුබැද්ද’’ වගේ ගැමි නාට්‍යයක් එතුමිය අගය කළා. අෑත ගමකට ගිහින් ඒ චරිත ආශ්‍රය කරගෙන නාට්‍යයක් ලියන්න.’’  


මේ අභියෝගය භාරගත් මුදලිනායක හද්ද පිටිසර ගම්වලට ඇවිද ඇත. ලග්ගල, මහියංගණයේ සොරබොර වැදිගම වෙල්ලස්ස, තෙල්දෙණියේ මීමුර කයිකාවල යන ප්‍රදේශවල සැරිසැරූ ඔහු හේන් ගොවියන් අතරේ කලක් ජීවත් වී ඇත. ඔවුන්ගේ කටවහර, ආචාර ධර්ම, සිරිත් විරිත්, ආහාර පාන ගැන අධ්‍යයනයක්ද කළේය. දිනක් ඔහු වෘත්තීය පැත්තේ ඈත ගමකට ගියේ තමාගේ මාර්ගෝපදේශකයා වූ කීරාල නම් ගොවියා සමගය. එක්තරා කැලෑ සහිත මිටියාවතකට දී ඔවුන්ට මුව රංචුවක් දක්නට ලැබිණි.  


‘‘ආ කීරාල උන්නැහේ, මේ ගමට කියන්නේ මොකක්ද?’’ මුදලිනායක ඔහුගෙන් ඇසීය.  


‘‘මහත්තයෝ මේ පැත්තට කියන්නේ ‘‘පැලැස්ස’’ කියලා.  


ඒ සමගම මුව රංචුවක් එතැනින් පැන ගියහ.  


මුදලිනායක තමා ලියන නාට්‍යයට නමක් ලැබිණ. පැලැස්ස ගමදී දුටු මුවන් නිසා ‘‘මුවන්පැලැස්ස’’ යයි තම නාට්‍යයට නම තැබුවේය. මේ ගුවන්විදුලි නාට්‍යය අතිශයින්ම අසන්නන් අතර ජනප්‍රිය විය. නෙතලි වයලට් (නානායක්කාර) බිනරි ලෙස ද, වික්ටර් මිගෙල් වෙඩික්කාරයා ලෙසද, වොලී නානායක්කාර සිංඤා ලෙසද, වි​ෙජ්රත්න වරකාගොඩ ආරච්චිලා ලෙසද, ධර්ම ශ්‍රී මුණසිංහ පිනා ලෙසද, ගැමුණු විජේසූරිය වෙද මාමා ලෙසද රත්නාවලී කැකුණවෙල එතනාහාමි ලෙසද රඟ පෑ අතර මේ ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය කෙරුණේ නන්දා ජයමාන්න විසිනි.  


‘‘ඒ කාලේ මුවන්පැලැස්ස කොයිතරම් ජනප්‍රිය වූවාද කිව්වොත් නාට්‍යය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන දිනවල රටේ සොරකම් වැඩි වුණා. නාට්‍යය ඇසීමට ගෙදර අය රේඩියෝව අසළ රොද බැඳ සිටින විට, වැලේ තිබෙන රෙදි හොරු අරන් ගිය පුවත් අහන්න ලැබුණා. හොර හතුරෝ ගෙවල්වල කුස්සිවලටත් නිදන කාමරවලටත් ගිහින් බඩු හොරකම් කළ බවට පොලිසිවලට පැමිණි ලැබිලා තිබුණා. ඒ කාලයේ රටේ ආග්‍රාණ්ඩුකාරවරයා වූ සිටි විලියම් ගොපල්ලව මහත්තයා තමාට මග ඇරුණු නාට්‍යය ගුවන් විදුලියේ පටිගත කරන යන්ත්‍රය රජගෙදරට ගෙනත් ඒ කොටස් අහල රස විඳලා තියෙනවා.  


මම පදිංචිවෙලා සිටින්නේ රත්මලාන ගුවන්තොටුපළ අසල තිබෙන පාරේ නිවෙසක. ඒ කාලේ හිටපු අගමැති සර්. ජෝන් කොතලාවල උදේට බස්තමකුත් අරන් ඇවිදින්න යනවා. දවසක් එතුමා මගේ ගෙදර ගේට්ටුවට බස්තමින් තට්ටු කළා.  


‘‘අයිසේ, අර රේඩියෝ එකේ යන මුවාගේ කතාව ලියන්නේ තමුසෙද?   


‘‘ඔව්, සර්, මම තමයි.’’  


‘‘අයිසේ ඔය කතාව මමත් අහනවා. පන්කාදු කතාව.  


ඔය නාට්‍ය රේඩියෝවේ යන වෙලාව වෙනස් කරන්න බැරිද?  


නාට්‍ය රෑ 10ට දාන්න බැරිද? 


‘‘ඇයි සර්.’’  


‘‘ඔය නාට්‍යය යන වෙලාවට අපේ කුස්සි අම්මා බත් මුට්ටිය රොස් කරනවා.’’ තමුසෙ උදේ වරුවක එනවකෝ බිත්තර ආප්පයක් කන්න. තමුසෙව බලන්න කුස්සි අම්මත් මනාප වේවි.  


තව දවසක් ඒ කාලේ හිටිය අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්. ඇෆ්. ද සිල්වා මහත්තයා ඈත ගමනක් ගිහින් කොළඹට එන ගමන් ගමක කඩයකින් කෝපි කෝප්පයක් බොන්න හිතලා කාර් එක නැවත්තුවලු. කඩය වටේ සෙනඟ පිරිලා දැකල උන්නැහේ රියැදුරාව යවලා තියෙනවා මොකද කියලා බලන්න. වැඩිහිටියෙක් ඒ අතර කාර් එක ළඟට ඇවිත් සිල්වා මහත්තයාට මෙහෙම කියලා තියෙනවා.  
‘‘අද මුවන්පැලැස්ස රේඩියෝ එකේ යන දවසනේ මහත්තයෝ අද අපි කෝපි බොන්නත්, ආප්ප කන්නත් ඒක ඉවර වෙනකන් ඉන්න වෙනවා. ඔක්කොම රේඩියෝ එක වටේ.’’  
සිල්වා මහත්තයා මේ කතාව මට පහුවෙනිදා ටෙලිෆෝන් කරල කිව්වා.  


මුදලිනායක තෙල්දෙණියට නොදුරු උඩිස්පත්තුවේ ඉපදී වැඩී මහනුවර ධර්මරාජයේ ඉගෙනගත් කෙනෙකි. ඔහු කුඩා කාලයේ චිත්‍රපට බැලීමට බෙහෙවින් ඇලුම්කොට ඇත. එඩ්ගා රයිස් බරෝස් ගේ කතා ඇසුරෙන් තැනූ ‘‘ටාර්සන්’’ චිත්‍රපටවලට ඔහුගේ විශේෂ කැමැත්තක් තිබුණි. මේ අතර ඔහුට ජපානයට යාමට අවස්ථාවක් ලැබිණ. එහි දී කුරසාවා ඇතුළු ජපන් සිනමාකරුවන්ගේ සම්භාව්‍ය චිත්‍රපට නැරඹීමේ අවස්ථාව ලැබිණ. ඒ නිසාම සිනමාවේ කාර්මික අංශය ගැන ඉගෙනීමට ඔහු අවස්ථාවක් ලබා ගත්තේය. මුවන්පැලැස්ස ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමේ කළල රූපය හට ගත්තේ ජපානයේදීය. දරුදුක, සංවත්සරය, ගිනිකඳු, මහදැනමුත්තා සහ කොණ්ඩ කැවුම් වැනි වේදිකා නාට්‍ය රචනා කොට, නිෂ්පාදනය කොට රාජ්‍ය සම්මාන දිනූ ඔහු ‘‘බිනරමලී’’ නමින් චිත්‍රපටයක් නිපදවීමට සැලසුම් කළේය. එහෙත් තම කතාවෙන් තිර නාටකය ලිවීමට ඔහු තිස්ස අබේසේකරට භාර කළේය. කාර්මික අංශයේ දැනුම වැඩි කර ගැනීමට ඩී. බී. නිහාල්සිංහට කැමරා අධ්‍යක්‍ෂණය හා සංස්කරණයත්, ගුණරත්න රත්නායකට කලා අධ්‍යක්‍ෂණයත් පැවරීය. මේ චිත්‍රපට 1969 අගෝස්තු 10 වැනිදා තිරගත වීම ආරම්භ විය. එහි කතාව විකාශනය වන්නේ මෙසේය.   


රෙදි පොට්ටනියක් කරේ තබා ගෙන වන්නියට පැමිණෙන සිංඤා, වතුර වීදුරුවකින් පිපාසය නිවා ගැනීමට පැමිණෙන්නේ බිනරමලීගේ ගෙදරටය. බිනරමලීගේ පියා වූ ගුරුහාමිගේත් ඔහුගේ බිරිඳ කිරි අම්මාගේත් හිත් දිනා ගැනීමට සමත් වන සිංඤා ඊටත් වඩාත් බිනරීගේ ආදරය දිනා ගැනීමට සමත් වෙයි. ආ- ගිය කතාවලින් සිංඤාගේ පියාගේ මිතුරෙක් බව දැන ගන්න ගුරුහාමි ඔහුට නවාතැන් දීමට කැමැතිවෙයි. වරෙක සිංඤා මේ පිරිස සමග නුවර පෙරහර බැලීමටද යයි.  


බිනරමලීගේ මස්සිනා වූ වෙඩික්කාරයාද බිනරී කෙරෙහි සෙනෙහසකින් පසු වෙයි. ගමේ ආරච්චිල වෙඩික්කාරයාට මෙහිදී සහය පළ කරයි. ඔහු අවස්ථාවාදී කපටියෙකි. මේ අතර බිනරී විවාහ කර ගැනීමට වෙඩික්කාරයා කරන විවාහ යෝජනාවට ඇගේ මාපියෝ එරෙහි වෙති. වෙඩික්කාරයා හා ආරච්චිල එක්ව බිනරි හා ඇගේ මාපියන්ගෙන් පළිගැනීමට සැලසුම් කරති. බිනරිගේ පිහිටට සිටින්නේ ඇගේ සිත් දිනා සිටින තවත් තරුණයකු වූ සුදු බණ්ඩා පමණි. වෙඩික්කාරයා හා ​ෙවන ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් සුදු බණ්ඩාර සිරගෙදරට නියම වෙයි. බිනරී හා විවාහ ​ෙවන සිංඤා වෙ​ෙළඳ‌ාම අතැර හේන් ගොවි තැනට බසී. පිටගම්කාරයකු ගමට පැමිණ බින්නබැහීම ගැන ආරච්චි, වෙඩික්කාරයා බිනරීට හා සිංඤට හතුරුකම් කරයි. සිංඤා යළිත් සිද‌ාදියට යන්නේ ඇය කැඳවාගෙන යන පොරොන්දුව පිටය.  


බිනරීගේ මව හා පියා මිය යාම නිසා ඇය අසරණ වන්නීය. සිංඤා යළිත් ගමට ආවේ නැත. ඇය වෙඩික්කාරයා හා විසීමට එකඟ වෙයි. දැන් ඇය මවකි. මේ අතර සිරෙන් නිදහස් වී එන සුදු බණ්ඩා බිනරී පත්ව ඇති අවාසනාවන්ත ජීවිතය ගැන ආරංචි වී සිංඤා සොයා සිද‌ාදියට ගොස් ඔහු ගමට කැඳවාගෙන එයි. සිංඤා, බිනරිත් දරුවාත් සමග සිද‌ාදියට යාමට සැරසේද්දී වෙඩික්කාරයට හසුවෙයි. ඔහුගේ වෙඩි පහරකින් සිංඤා මිය යයි. වෙඩික්කාරයාද වෙඩි පහරකින් මිය ගිය පසු බිනරි දරුවා සමග තනි වෙයි. දැන් ඇයට පිහිටට සිටින්නේ මනුෂ්‍ය ගනි ඇති සුදු බණ්ඩා පමණි.  


බිනරමලී චිත්‍රපටයේ බිනරී ලෙස ස්වර්ණා කහවිටත්, සිංඤා ලෙස වික්‍රම බෝගොඩත්, වෙඩික්කාරයා ලෙස පියද‌ාස ගුණසේකරත්, ආරච්චි ලෙස ඩී. ආර්. නානායක්කාරත්, සුදු බණ්ඩා ලෙස මුදලිනායක සෝමරත්නත්, ගුරුහාමි ලෙස ධර්ම ශ්‍රී මුණසිංහත්, කිරි අම්මා ලෙස ශාන්ති ලේඛාක් රංහාමි ලෙස ගැමුණු විජේසූරියත්, ගොළු බණ්ඩා ලෙස කිංස්ලි දිසානායකත්, සොබනී ලෙස සුමනා අමරසිංහත් රඟපෑහ. චිත්‍රපටයේ එන ගීත ගායනය, රචනය හා සංගීතය ප්‍රශස්ත මට්ටමක තිබුණු බව විචාරක මතය විය. තේමා ගීතය හැරුණු විට මේ චිත්‍රපටයේ එන මිල්ටන් පෙරේරා ගැයූ ‘‘රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ’’ සුජාතා අත්තනායක ගැයූ ‘‘මල් මල් වන මල් මැද පිපී බිනරමලී’’ නන්දා මාලනී ගැයූ ‘‘වනාන්තරේ කඳුවලියේ’’ ගීත මෙයට උද‌ාහරණය.  


චිත්‍රපටයේ දර්ශන සීගිරිය, දඹුල්ල, කිරින්ද, කඩුවෙල දී රූපගත විය. ඇතුළත් දර්ශන රූ ගැන්වී ඇත්තේ රත්මලානේ මුදලිනායකගේ නිවෙසට යාබද ඉඩමේ කලා අධ්‍යක්‍ෂකවරයා විසින් ඉදි කරන ලද කටු මැටි නිවෙසකය. දඹුල්ලේ රූගත කිරීම් වලදී නළු නිළියෝ අව්වේ පිව්චෙමින්ද, උල් සහිත ගහ කොළවලින් ලැබූ පීඩාවලින්ද සංග්‍රහ ලැබූහ.  


බිනරී ලෙස රඟපෑ ස්වර්ණා කහවිට දඹුල්ල කණ්ඩලම 1 1/2 වත්තේ දී වික්‍රම බෝගොඩ (සිංඤා) හා පියද‌ාස ගුණසේකර (වෙඩික්කාරයා) සමග රඟ පෑ අවස්ථාවක් අපට විස්තර කළේ බිය මුසු මුහුණකිනි. ඇය රෙදි පොට්ටනියකුත් අතැතිව, දරුවකු වඩා ගෙන තුරුලු කරගෙන කැලෑව මැදින් යන දර්ශනයකදී වරෙක ඇගේ පය ලිස්සා වැටී ඇත. එහෙත් දරුපැටියා නම් ඇය අත නොඇර කටු පඳුරු අතරින්, ලේ ගලමින් කන්දකින් පෙරළී ඇත.  


චිත්‍රපටයේ ගොළු බණ්ඩා ලෙස රඟපෑවේ පසුව චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස ‘‘බිනරමලී’’ චිත්‍රපටයේ දෙවන කොටස ‘‘බිනරී සහ සුදු බණ්ඩා’’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ කවියකු ලෙස ප්‍රකටව සිටි කිංස්ලි දිසානායකය. ඔහු රඟපෑමේ දී වූ රසමුසු සිද්ධියකි මේ. එක් දර්ශනයක ගොළුවකු ලෙස රඟපෑ ඔහු සිංඤා පහර දීමට එළවා ගෙන යයි. ටික දුරක් එළවාගෙන කිංස්ලි අධ්‍යක්‍ෂකගෙන් මෙසේ ඇසීය.  


‘‘මම දුවන්නේ කොයි පැත්තටද?’’  


එතැන සිටි සැවොම කිංස්ලිට සිනාසුණේ.  


‘‘මේ ගොළුවට හොඳට කතා කරන්න පුළුවන් නොවැ.’’ අධ්‍යක්‍ෂ මුදලිනායක ඇසූ විට කවුරුත් මහ හඩින් සිනාසෙමිනි.   


‘‘තණ්හාව, ආශාව වැනි විවිධ ක්ලේශයන් පොදි බැඳ ගත් මිනිසා තෙරක් නොපෙනෙන නුහුරු ලොවකට පිවිසි ජීවත් වීමට ගන්නා උත්සාහයක්, ජීවිතයේ අවශ්‍යතාවන් සපුරා ලීමට දරන ප්‍රයත්නයත්, ඊට එරෙහිව නැ​ෙගන සම්බාධකත්, අවසානයේ තණ්හා පාර්ශ්වභාවය මුල් කොට ගෙන නැගෙන සිතැඟි නිසාම ඇතැම් විට ඔහු විනාශ ​ෙවන අයුරුත් මෙහි අභ්‍යන්තර කතාව තුළින් පැහැදිලි වෙයි. බිනරමලී බිහි කිරීමේදී ගත කළ කටුක ජීවිතය මෙතෙකැයි විස්තර කළ නොහැකියි’’ අධ්‍යක්‍ෂ මුදලිනායක කීවේය.  


1970 සරසවි සම්මාන උලෙලේදී හොඳම නිෂ්පාදක ලෙස මුදලිනායක සෝමරත්නත්, හොඳම නිළිය ලෙස ස්වර්ණා කහවිටත්, හොඳම තිරනාටක රචක ලෙස තිස්ස අබේසේකරත්, හොඳම ගීත රචක ලෙස මහගම සේකරත්, හොඳම සහය නළුවා ලෙස පියද‌ාස ගුණසේකරත්, හොඳම සහය නිළිය ලෙස ශාන්ති ලේඛාත්, හොඳම ගායකයා ලෙස ඩබ්ලිව්.ඩී.අමරදේවත්, සරසවි සම්මානයෙන් පුද ලැබූහ. බිනරමලී ගැන විචාරක ජයවිලාල් විලේගොඩ කියා තිබුණේ ‘‘බිනරමලී අනාගතයේ හොඳම සිංහල චිත්‍රපටයක් බිහි කරන බවට දෙනු ලබන පො​ෙරාන්දු පත්‍රයක්’’ බවය.

 

 

 

 

 

 


ඒ. ඩී. රන්ජිත් කුමාර  
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්