මහා සෙන්පති කොබිබෑකඩුව සිහිකර අදත් හඬන හමුදා සෙබළු


මම යුද හමුද‌ාවේ අවුරුදු 23ක සේවා කාලයකට හිමිකම් කියමි. මෙම දිගු සේවා කාල පරාසය තුළ මට නානා තරාතිරමේ නානා ගතිපැවතුම් ඇති නානා පන්නයේ නිලධාරීන් සමඟ රාජකාරී කිරීමේ අවස්ථාව ලැබිණ. ඔවුන් අතරින් සමහර නිලධාරීන් තම නිලය තක්සේරු කරගනු ලැබූයේ එ්වා තමන් සතු බූදලයක් ලෙසිනි. එබැවින් තමන් යටතේ සිටින්නා වූ සෙසු නිලයන් තලාපෙළා තම තේජස විහිදුවාලීම සඳහා එය පරිහරණයට යොද‌ා ගත්තේමය. එය කටුස්සන් කරේ රත්තරන් බැඳීමක් හා සම විය. ඔවුන් සෙස්සන්ට ගරු කළේ නැත. ප්‍රතිචාර දැක්වූයේ නැත. මුහුණේ සිනාවක් නැත. වෙන එකක් තබා ඔවුන් සෙස්සන් ඉදිරියේ හැසිරුණේ රෞද්‍ර ලීලාවෙනි.  

එහෙත් වරින් වර උසස්වීම් ලබා නිලතලවලින් තම උරහිස් බර වෙන්නට බර වෙන්නට වඩ වඩාත් නිහතමානී වී නියම නායකත්ව ගුණාංග විදහා දක්වමින් සෙස්සන් හට උදව් උපකාර ඉෂ්ඨ සිද්ධ කරදුන් නිලධාරීන් නැත්තේම ද නොවේ. එම ​අතලොස්සක් නිලධාරීන් සෙසු නිලයන් වෙනුවෙන් එසේ සේවාවන් කරදීමට ඉදිරිපත් වීමේදී තම නිලතල පිළිබඳ නොසිතුවේමය. අවැසි ප්‍රමාණයටත් වඩා ඉක්මවා ගොස් සේවාව ලබා දුන්නේය. එම නිලධාරීන් සමඟ යම් යම් රාජකාරීන්වල නිරතවීමේදී එම තනතුරු ඔවුනට ලැබුණේ තමන්ට පහළින් සිටින්නා වූ සෙසු නිලයන් නිසා බැවින් එම ගරුත්වය හිමිවිය යුත්තේ ඔවුන්ට බව පවසනවා මම අසා ඇත්තෙමි.  


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිලධාරීන් යැයි කිව හැකි දෙදෙනෙකු මා සිහිපත් කරන්නේ ගරු බහුමානයෙන් යුක්තවය. ඉන් එක් නිලධාරියකු මේජර් ජනරාල් කමල් ගුණරත්න වන අතර සෙසු උත්තමයා වන්නේ රටක් වටිනා ලොවක් වටිනා අපේ පිනට රටේ පිනට අප ලද උතුම් ද‌ායාදයක් වූත් අප සියල්ලන්ගේම අවාසනාවකට රටේ දැයේ අවාසනාවකට 1992 අගෝස්තු මස 8 වැනි දින රුදුරු ත්‍රස්තවාදීන්ගේ බිම් බෝම්බයකට ගොදුරුවීමෙන් යාපන අර්ධද්වීපයේ අරාලි තුඩුවේදී අපෙන් සදහටම සමුගත් යුද හමුද‌ාවේ පියාණන් බඳු වූ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් ලක්‍ෂ්මන් කොබ්බෑකඩුව උතුමාණන්ය.  


1940 ජූලි මස 27 වැනි දින උපත ලබා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හද‌ාරා 1961 වසරේදී කැඩෙට් නිලධාරියෙකු වශයෙන් යුද හමුද‌ාවට එක් වී එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට් රාජකීය යුද හමුද‌ා විද්‍යාපීඨය වෙතින් පුහුණුව ලබා 2වැනි ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ලංකා සන්නාහ සන්නද්ධ බලකායට එක්වන ලදී. වරින් වර තම නිලයන්ට උපරිම දක්‍ෂතාවය විදහා දක්වමින් ඉටුකරන ලද රාජකාරීන් ඇගයීම් වස් උසස් වීම් ලබා 1990 වසරේදී මේජර් ජනරාල් තත්ත්වයට පත්වන ලදී. ඊලාම් යුද්ධය ඇරඹීමත් සමඟ ඍජුවම සටන් බිමට බට ඔහු​ෙග් යුද නායකත්වය අතිශයින් සාර්ථකත්වයට පත්විය. සහජයෙන් ලද්ද‌ා වූ ස්ථානෝචිත ප්‍රඥ‌ාවෙන් නිලධාරින්ගේ සහ සෙසු නිලයන්ගේ සිත් දිනාගැනීම තුළින් ගොඩනගාගත් විශ්වාසයත් මෙම සාර්ථකත්වයට හේතු පාදක වූවාට කිසිදු සැකයක් නැත. ඔහු පහළ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ චිත්ත ධෛර්්‍යය වඩවාලු අතර එයට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ගෙන් පෙරළා එතුමාට ලැබුණේ අසීමිත ගෞරවයකි. මහාමේරු පර්වතය වුව පෙරළාගෙන ඉදිරියට යාමට තරම් චිත්ත ධෛර්්‍ය වැනි ජවයක්, ඔහු සමීපයේ සිටින්නේ නම් සෙසු නිලයන්ට ලැබෙන්නේ එම ගරුත්වය සැලකිල්ල හා විශ්වාසය නිසාය.  


අපි වරක් මාන්කුලම් ආසන්නයේ පිහිටි තුනුක්කායි ප්‍රදේශයේ ක්‍රියාන්විතයක් සඳහා පිටත්ව ගියෙමු. එහි සැලසුම හා උපදෙස් ලබාදෙනු ලැබූයේ කර්නල් කොබ්බෑකඩුව විසිනි. එවකට ඔහු කිලිනොච්චි සම්බන්ධීකරණ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබීය. ක්‍රියාන්විතය නිමවා ආපසු එ්මට සැරසෙන මොහොතේ අප සිටි ඉසව්වට සතුරු මෝටාර් බෝම්බයක් පතිත වූයේ නොසිතූ මොහොතකය. ඒ සමඟම අප කර්නල් කොබ්බෑකඩුව බිම පෙරළාගෙන වසා ගත්තේ පොල් කටුවකින් කෝම්පිට්ටුවක් වසා ගන්නා ආකාරයටයි. ඒ තම ජීවිතවලට වඩා එතුමාගේ ජීවිතය අපට බෙහෙවින් වටිනා නිසාය. වහා ඊට ප්‍රති ප්‍රහාර දැක්වීමෙන් සතුරු ප්‍රහාරය වියැකී ගිය අතර කර්නල් කොබ්බෑකඩුව අප වැළඳ ගත්තේ ‘‘මට හරි ආඩම්බරයි කොල්ලනේ ඔයාලා ගැන, ඒත් මම ආරක්‍ෂා වුණාට වැඩක් නෑ ඔයාලා කාටවත් සීරීම් තුවාලයක් හරි උනානම්’’ යැයි කීවේ ඔහු කෙරේ තිබූ ගරුත්වයට තවත් යමක් එකතු කර ගනිමිනි. කණ්ඩායමේ අණ දෙන්නා වූ එවකට ලුතිනන් කමල් ගුණරත්න සමඟ ‘‘තව ඩිංගෙන් මං මැරෙන්නේ ඔයාගේ කොල්ලන්ට යටවෙලා.’’ යැයි තවදුරටත් කීවේ අප කව්රුත් සිනාගන්වමිනි.  


කෝකිලායි ධීවර ගම්මානය පිහිටියේ උතුරින් මුලතිව් කොක්කුතුඩුවායිවලටත් නැගෙනහිරින් ත්‍රිකුණාමලයේ පුල්මුඩේටත් අතරය. මෙය තනිකරම ධීවර ගම්මානයකි. මීගමුව ප්‍රදේශයේ වාරකන් කාලය එළැඹීමත් සමඟ මුහුද රළු ස්වභාවයක් ගන්නා බැවින් ඒ වනවිට කෝකිලායි ප්‍රදේශයට තලාව කාලය පැමිණ මුහුද ඉතාමත් සන්සුන් බවකින් යුක්තවේ. මා දන්නා තරමට එය නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීම හේතු කොටගෙන සිදුවන්නෙකි. මීගමුව ප්‍රදේශයේ සිට තම ධීවර රැකියාව සඳහා කෝකිලායි ගම්මනයට පැමිණ සිටි ධීවරයින් කොටි ත්‍රස්තවාදීන් විසින් පළවා හැරීම නිසා එම ධීවර ගම්මානයට ආරක්‍ෂක අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමට උසස් මූලස්ථාන වෙතින් පියවර ගන්නා ලදී. ඒ අනුව එහි ලුතිනන් ශාන්ත විජේසිංහ සහ සැරයන් ගමගේ යන දෙදෙනාගෙන් සමන්විත වූ සෙබළුන් 42ගෙන් යුත් අනුඛණ්ඩයක් ගජබා රෙජිමේන්තුවෙන් ස්ථාපිත කරන ලදී. එහි පාලන කටයුතු සිදුකරන ලද්දේ මුලතිව් කළපුවට මෙගොඩින් පිහිටි සිංහපුර අනුඛණ්ඩය කේන්ද්‍ර කොටගෙන අනුරාධපුර සාලියපුර මව් ඒකකය මගිනි.  


අනුඛණ්ඩය ස්ථාපිත කර මසකට පමණ පසු හදිසියේ අළුයම් කාලයේ 02කට පමණ ක්‍රෝපල් ආරියරත්න කඳවුර අවදි කළේ ‘‘කොටි ඇවිල්ලා’’ ‘‘කොටි ඇවිල්ලා’’ යැයි කෑ ගසමින් නොනවත්වා තම අවිය ක්‍රියාත්මක කරවමිනි. මුළු කඳවුරම ක්‍ෂණයකින් ආරක්‍ෂක ක්‍රියා අනුගමනය කර තම ඉලක්ක පථයන්ට හසුවන ත්‍රස්තවාදීන් හට සාර්ථකව ප්‍රහාර එල්ල කරන ලදී. එක් ගොඩනැගිල්ලකින් පමණක් සමන්විත වූ මෙම කුඩා අනුඛණ්ඩයට විදුලි බලය නොවීය. දැඩි අඳුරේම පැවතීම නිසා සියලු දෙනාගේම දෙනෙත් ඒ වනවිට කළුවරට හුරු වී තිබීමේ වාසිය අප සතු වූ අතර පමණට වඩා විශාල නොවීමේ වාසියද හේතුවෙන් බංකර් සහ ආරක්‍ෂිත කපොලු අතර සම්බන්ධතාවය ඉතා ඉහළ මට්ටමක පැවතුණි. ඒ සඳහා ආරක්‍ෂිත කාණු පද්ධතියක් කල්වේලා ඇතිවම සකස්කරගෙන සිටීම අපට මහත් අස්වැසිල්ලක් විය.  


කෙසේ වෙතත් ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාර හමුවේ සෙබළ මහානාම සහ දිසානායක වෙඩි වැදී මද වේලාවකින්ම ජිවිතක්‍ෂයට පත් වූහ. අඳුරේම ඔවුන් දෙදෙනා බේරාගැනීමේ වස් යම් යම් ප්‍රථමාධාර කටයුතු කළද සිදු වී තිබූ තුවාලවල බරපතළකම නිසාම ඒ සබැඳිව වෙහෙසීම නිශ්ඵල කටයුත්තක්ම විය. පැය 3කට පමණ ආසන්න කාලයක් පුරාවට පැවැති සටන කෙමෙන් කෙමෙන් වියැකී ගොස් එළිය වැටීගෙන එනවිට අවසන් වී ගියේ දිවිහිමියෙන් කඳවුර බේරාගැනීමේ ගෞරවය අපට හිමිකර දෙමිනි.  


එම සටනේදී ත්‍රස්තවාදීන් 15 දෙනෙකුගේ සිරුර අවි ආයුධත් සමඟ කඳවුර වටා තැන තැන විසිර තිබෙනු දැකීම අප කටාත් සැනසුමට ​හේතුවක් විය. කෙසේ වෙතත් එම සටනේදී ජීවිතක්‍ෂයට පත් වූ දිසානායක සහ මහානාම පිළිබඳ කවුරුත් දැඩි ලෙස විස්සෝප වූ අතර එය සෙබළෙකුට කවද‌ා කුමන හෝ මෙහොතක අත්විඳීමට සිදු විය හැකි අභියෝගයකි. කෙසේ වෙතත් එකල අද මෙන් දුරකතන සම්බන්ධතා නොතිබූ අතර සියලු සම්බන්ධීකරණ කටයුතු කෙරුණේ ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර මගිනි. ගුවන් විදුලි යන්ත්‍ර මගින් සිංහපුර හමුද‌ා කඳවුරට සහ සාලියපුර කඳවුරට විස්තර ලබාදීමේදී දිසානායක සහ මහානාම ජීවිතක්‍ෂයට පත් වූ බව සටන පැවැත්වෙමින් තිබියදීම ලුතිනන් විජේසිංහ විසින් දන්වා යවා තිබුණි. එම තත්ත්ව වාර්තා දැන්වීමේදී කිසිවෙකුටත් නොදැනීම සිදුනොවිය යුතුම ගනයේ සැලකිය හැකි ප්‍රමාද දෝෂයක් සිදු වී තිබුණි. ඒ දිසානායක නමින් සාමාන්‍ය සෙබළුන් දෙදෙනෙකු ඒ වනවිට කඳවුරේ රාජකාරීයේ නිරතව සිටි අතර පණිවුඩ හුවමාරු මගින් මොනයම් ක්‍රමයකින් හෝ මිය​ගොස් සිටින්නේ ඩී.එම්. දිසානායක බව දන්වා යවා තිබිණ. එහෙත් ඇත්තටම මියගොස් සිටියේ ඩී.එම්.සී දිසානායකය. ඩී.එම්. දිසානායකගේ නිවස පිහිටා තිබුණේ මහනුවර අම්පිටිය ප්‍රදේශයේය. ඩී.එම්.සී. දිසානායකගේ නිවස පිහිටා තිබුණේ ත්‍රිකුණාමලයේ දෙහිවත්ත ප්‍රදේශයේය. ඩී.එම්. දිසානායකගේ මහනුවර අම්ගපිටියේ පිහිටි ඔහුගේ නිවසට ඒ වනවිටත් ඔහු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය බව පොලිසිය මාර්ගයෙන් දන්වා යවා තිබුණි.  
උදෑසන 9ට පමණ වනවිට කර්නල් කොබ්බෑකඩුවත්, කර්නල් විමලරත්නත් හෙලිකොප්ටර් යානයකින් කෝකිලායි කඳවුරට පැමිණියේ සෙබළුනට අත්‍යවශ්‍ය දුම්වැටි තොගයක් සහ උණුසුම් කෑම වේලක්ද රැගෙනය. (එය ඔහුගේ සිරිතය) පළමුව මියගොස් සිටි සෙබළුන් දෙදෙනාට ආචාර කර ගරු බුහුමන් දැක් වූ කර්නල් කොබ්බෑකඩුව ඉන් අනතුරුව කඳවුර බේරාගැනීම සබැඳිව සියලු දෙනාටම එක එකා ළඟට ගොස් තම ස්තූතිය පුද කළේ සිප වැළඳගෙන පිටට තට්ටුවක්ද දමමිනි.  


‘‘යූ ආර් හීරෝස්’’ ‘‘වෙල්ඩන් පුතා’’ ‘‘වෙල්ඩන්’’ ‘‘යූ ආර් එක්සාම්පල් ටූ අදර්ස්’’ යැයි පවසමිනි.  


ඉන් අනතුරුව ලුතිනන් විජේසිංහ විසින් අප එ්කක අණ දෙන නිලධාරි කර්නල් විමලරත්නට දන්වා සිටියේ දිසානායකලාගේ පලහිලව්වේ කතන්දරයයි. සිද්ධිය අසාගෙන සිටි කර්නල් කොබ්බෑකඩුව කර්නල් විමලරත්නට කීවේ ‘‘වී විල් සෙන්ඩ් හිම් බයි ද චොපර්’’ යනුවෙනි. 

 
‘‘කෝ දිසානායකට එන්න කියන්න ශාන්ත’’ කර්නල් කොබ්බෑකඩුව කීවේ ලුතිනන් විජේසිංහ අමතමිනි.  


දිසානායක දුවගෙන දුවගෙන පැමිණියේ හිස්වැස්ම හිසට දමා එය සකස් කර ගනිමිනි. 

 
‘‘හරි හරි ඔහොම එන්න’’ ‘‘ඔහොම එන්න’’ ‘‘දිසානායක’’ ‘‘පුතා ඔයා දන්නවද?’’ පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. කර්නල් කොබ්බෑකඩුව කීවේ එය තමන් අතින් සිදු වූ විශාල වැරැද්දක් සේ සලකා සමාව අයැදින්නාක් මෙනි.   


‘‘ඔව් සර්’’ දිසානයක පිළිතුරු දුන්නේ හැඟීම් බරවයි.’’  


‘‘හරි පුතා පුතා’’ ‘‘ඔහොම තමයි වැඩ කරනකොට අපට වරදිනවා.’’ මහනුවර කොහොද ඔයාගේ ගෙවල්’’ කර්නල් කොබ්බෑකඩුව ඇසුවේ අතතිබූ සිතියමක් දිගහරිමිනි.  


‘‘මහනුවර අම්පිටියේ සර්’’ 

 
‘‘ආ අම්පිටිය එහෙනං අස්ගිරියට කිට්ටුවනේ’’ යැයි කී කර්නල් කොබ්බෑකඩුව දිසානායකට ගෙදර යෑමට සූද‌ානම් වෙන ලෙස දන්වා හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවාට කතාකර කීවේ මියගිය සෙබළුන් දෙදෙනාගේ සිරුරු අනුරාධපුරයට බාරදීමෙන් අනතුරුව මහනුවර ගොස් අස්ගිරිය ක්‍රීඩාංගනයට දිසානායක බස්සවා පැමිණෙන ලෙසයි.  


සාමාන්‍ය සෙබළු දිසානායක හමුද‌ාවේ උසස් නිලධාරියකුට හිමි වරප්‍රසාද ලබාගත්තේ උතුම් නායකත්ව ගුණාංග කර්නල් කොබ්බෑකඩුව සතු වූ බවට මොනවට සපථ කර දෙමිනි. මේ සබැඳිව දිසානායක අදද කතා කරන්නේ මහත් අභිමානයෙන් හා උජාරුවෙනි.  


1986 අවුරුද්ද වනවිට කර්නල් කොබ්බෑකඩුව කිලිනොච්චි ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබීය. පරන්තන් සිට මුලතිව් මාර්ගයෙන් කිලෝමීටර් 7ක් හෝ 8ක් ගිය තැන එල්ටීටීඊ කඳවුරක් ඇති බවට තොරතුරු ලැබී තිබිණ. අප එම කඳවුරට අළුයම් කාලයේ ප්‍රහාරයක් එල්ල කළ අතර එක් ත්‍රස්තවාදියෙකු මිය​ෙගාස් දෙදෙනෙකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවිය. කෙසේ වෙතත් එය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පවත්වාගෙන ගොස් තිබුණු ගොවිපොළකි. රජයේ සමුපකාරවලින් සහ ලොරිවලින් කොල්ල කන ලද හාල් ගෝනි විශාල ප්‍රමාණයක් එහි විය. ඒ සියල්ල කර්නල් කොබ්බෑකඩුවගේ උපදෙස් මත කඳවුරට රැගෙන එන ලදුව කිලිනොච්චි පොළ පැවති දිනයේ එහි රැගෙන ගොස් කිලෝ 10 බැගින් බෑග්වලට දමා ‘‘එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔබලාගෙන් කොල්ල කන ලද සහල් නැවත ඔබලාටම ලබාදෙනවා.’’ යැයි කියා නොමිලේ බෙද‌ා දුන් දැන්වීම් පුවරුවක්ද ගසාගෙනය.  


ත්‍රිකුණාමලය සහ වැලිඔය ප්‍රදේශ ආඥ‌ාපති වශයෙන් රාජකාරී කටයුතු බාරව සිටි අවදියෙහි ගජබා රෙජිමේන්තුවේ බලලත් නිලධාරී සෝමද‌ාස අවුරුදු 22ක සේවා කාලයක් සම්පූර්ණ කර සේවයෙන් විශ්‍රාම ගියද ඔහුට විශ්‍රාම වැටුප් ලබාගැනීම ප්‍රමාද වෙමින් තිබුණ. ඒ ඔහු වැලිඔය ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් ලබාගෙන තිබූ යකඩ ඇඳන් 8ක් නිසිලෙස බාර දී තිබුණද බාරදීම් බාර ගැනීම්, ලිපියක් අස්ථාන ගතවීමේ හේතුවෙන් ඇති වූ ගැටළුවක් නිසාය. ඒ වනවිටත් ඔහු විශ්‍රාම ගොස් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබුණි. දියණියන් 06 දෙනෙකුගේ සහ පුතණුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු විශ්‍රාම වැටුප නොමැතිව ​ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වී සිටි අතර යකඩ ඇඳන් 8 සඳහා ගෙවිය යුතු මුදලද විශාල මුදලක් විය.  


‘‘සර්, බය නැතුව ගිහින් ඔය ප්‍රශ්නේ බ්‍රිගේඩියර් කොබ්බෑකඩුවට කියන්න’’ මා ඔහුට උපදෙස් දුන්නේ බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව ගැන හොඳින් දන්නා නිසාය.  


‘‘ඉන්න දවස හරියටම දැනගෙන වැලිඔය සර්ගේ ඔෆිස් එකට ගියානං එක දවසයි ඔය වැඩේට.’’ මම ඔහුට තවදුරටත් උපදෙස් ලබා දුනිමි.   


එහාට මෙහාට ලිපි හුවමාරු වෙමින් මාස ගණන් විශ්‍රාම වැටුප ප්‍රමාද වෙමින් සිටි බලලත් නිලධාරී සෝමද‌ාසගේ ඉල්ලීමට බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව ක්‍ෂණික ප්‍රතිචාර දක්වන ලදී.  


‘‘ලෙෆ්ටිනන් වික්‍රමසිංහ ඔයාගේ ස්ටෝස්වල යකඩ ඇඳන්වල අඩුපාඩුවක් තියනවද?’’ බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව විමසා සිටියේ ගබඩා පාලක නිලධාරියාගෙනි.  


‘‘නෑ සර් එහෙම අඩුපාඩුවක් නෑ.’’ ​‘‘මේකෙ තියන්නේ මේ Q 5 එකේ ලියුමක් නැතිවේචිචි ප්‍රශ්නයනේ’’ ලුතිනන් වික්‍රමසිංහ තත්ත්වය පැහැදිලි කරන්නට විය. 

 
‘‘ලෙෆ්ටිනන් වික්‍රමසිංහ ඔය වගේ සුළු දේකට ඇයි මේ අවුරුදු 22ක් දුෂ්කර සේවයක් කර පැන්ෂන් ගියාම මේ මිනිස්සුන්ට හිරිහැර වෙන්න ඉඩ හරින්නේ’’ බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව කීවේ ඇත්තම තත්ත්වය හෙළි කරමිනි.  


කඩිනමින් ලිපියක් සකස් කර අතින්ම රැගෙන ගොස් විශ්‍රාම වැටුප් හා ලේඛණ කාර්යාලය, පනාගොඩ වෙත බාරදීමට ලබාදුන්නේ. ‘‘ඇයි මෙච්චර කල් මේක මට කිව්වේ නැත්තේ’’ යැයි බලලත් නිලධාරී සෝමද‌ාසට නොක්කාඩුවක්ද කරමිනි.  


‘‘මාසයක් ඇතුළත මිස්ටර් සෝමද‌ාසගේ පැන්ෂන් එක ලැබුණේ නැත්තං ඔය කොහෙන් හරි මට කෝල් එකක් දෙන්න’’ යැයි තවදුරටත් කීවේ ඔහුට සහජයෙන් ලැබී තිබූ නායකත්ව ගුණාංග යළි යළිත් පෙන්නුම් කරමිනි.  


‘‘දැන් අපේ වාහනයක් අනුරාධපු​රේ යනව ඒකෙම ඔයාටත් ගිය හැකි’’ යැයි යළිත් පවසා සිටියේ ඇවැසි සීමාවටත් වඩා ඔබ්බට ගොස් සාධාරණය ඉටුකර දෙමිනි.  


ඉන් සති 02කටත් අඩු කාලයකදී බලලත් නිලධාරී සෝමද‌ාසගේ විශ්‍රාම වැටුප ලැබෙන්නේ උතුම් ගුණාංග ශ්‍රේෂ්ඨ නායකත්ව ගුණාංගවලට පිංසිදුවෙන්නටය.  


වන්නි මූලස්ථානයේ අපි කීප දෙනෙකු අමාරුවෙන් ට්‍රක් රථයක් පණ ගැන්වීම සඳහා තල්ලු කිරීමට උත්සාහ කරමින් සිටියෙමු. ඒ අසලින් යන්නට පැමිණි බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව එය දැක අප සමඟ ට්‍රක් රථය තල්ලු කිරීමට පැමිණිය හැටි මට අද මෙන් මතකය.  
රණවික්‍රම පදක්කම, රණශුර පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම, උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් 12කින් තම සේවා කාලය තුළදී පුදනු ලැබූ මේ යුග පුරුෂයා 1992 අගෝස්තු මස 8 වැනි දින කයිට්ස් දූපතේ පිහිටි ආරාලි තුඩුවේදී ත්‍රස්තවාදීන් විසින් වළදමා තිබූ බිම් ​බෝම්බයටක හසුවීමෙන් ජීවිතක්‍ෂයට පත්වූයේ මුළුමහත් හමුද‌ාවම වේදනා දුක් කඳුළු රැඳී වියෝ සයුරක ගිල්වමිනි. සාමාන්‍ය කෙනෙකුට වඩා සොල්ද‌ාදුවකු වශයෙන් දුකක් වියෝවක් විඳදරා ගැනීමේ ශක්තියක් වෘත්තීමය වශයෙන් අත්දැකීම් තුළින් ලබා සිටියද මේ පුවත ඇසීමෙන් මම ඉකි ගසගසා හැඬුයෙමි. ඉකී ගස ගසා හැඬීම අතරින් මම මදක් වටපිට බැලීමි. ඒ ඉකි ගස ගසා හැඬුයේ මම පමණක්දැයි සිතමිනි. නොමැත හෘද සාක්‍ෂියට අනුව නොමැතිමය. මුළු යුද හමුද‌ාවක් එලෙසය. යුද හමුද‌ාවේ පියා අපේ ආඩම්බරකාර තාත්තා අනේ ඔහුට තවත් කාලයක් ජීවත් වෙන්නට ඉඩ සලසා ඒ වෙනුවට මා මළානම් කෙතරම් වටනේ ද? මේ මාගේ පෞද්ගලික අදහස යැයි සිතුවද නිකමට හෝ සිත්පිත් නැති මාරයා එවන් කොන්දේසියක් සෙස්සන් හට ඉදිරිපත් කළේ නම් එතුමානන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්නට කී දෙනෙක් නම් ඉදිරිපත් නො​ෙව්ද? ඒ තරමටම එතුමාණන් සෙස්සන් හට උතුම්ම උතුම් සෙන්පතියෙකි. වීරයෙකි. එතුමා ගැන එතුමා කළ කී දෑ ගැන ලියන්නට මට නම් තවත් ඕනෑ තරම් දෑ ඇත. ඒ එතුමානන් යටතේ සේවය කළ ඉතාමත් කෙටි කාලයක මේ මාගේ හෘද සාක්‍ෂියට අද‌ාළ වගතුග සොච්චමක් පමණි. එමෙන්ම අපගේ නෙත් මානයෙන් ඔබ්බෙහි මෙවැනි සිද්ධීන් කොපමණ සම්භාරයක් සිදු වී ඇත්දැයි කාටනම් කිව හැකිද?  


වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුමාණනි, සද‌ාදර පියාණනි, අපවැනි අන්ත අසරණයින් වෙතින් ඔබට නිවන් සුව ප්‍රාර්ථනය කරනවා හැරෙන්නට වෙනත් කුමක්නම් කළ හැකිද?  

 

 

 

 

 

 

 

 


දික්වැල්ල- වත්තේගම,  
පියසිරි අජිත් ලියනගේ