මහල් නිවාසයක් ඇතුළේ ‘ෆාජිගේ’ වධකාගාරය


අගනුවර කුඩු කිරුළ  

 

  • පාතාල නායකයන් කොටු කරගන්න විශේෂ කාර්ය බළකායෙන් අමුතුම උපක්‍රම

 

කොළඹ කුඩු කිරුළට හිමිකම් කියන්නට මාළිගාවත්තේ ඇති වුණු ගැටුම්වලින් හා පොලිසියේ වැටලීම්වලදී කෙරුමෝ කීප දෙනෙක්ම මිය ගිය පසු ප්‍රබලයන් ලෙස ඉතිරි වුණේ ෆාජි හා අයුබ්ඛාන් පමණි. දෙවැනි පෙළ නායකත්වයේ බයියා හා මාමස්මී සිටියහ.   


2007 පළාත් සභා මැතිවරණය වෙන විට ෆාජි සිටියේ රිමාන්ඩ් භාරයේය. මාළිගාවත්ත පාතාලය නිසා ඒ ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන්නට සිදුවෙන අපහසුතා රැසක් විය. පාසලකට ගියත්, රස්සාවක් ගන්න ගියත්, විවාහයක් කරගන්න ගියත් මේ හැම දේකටම මාළිගාවත්ත ගෑවුණොත් එතන ප්‍රශ්නයකි. ඒ නිසා මාළිගාවත්තේ තත්ත්වය වෙනස් කරගන්න සහාය වන ලෙස මාළිගාවත්තේ ඇතැමෙක් දේශපාලනඥයින්ට ලියුම් ලිවූහ. ඒ ලියුම් ලියූ අය අතර පාතාලයට සම්බන්ධ අයත් සිටියහ. කෙසේ වුවද එක් අවස්ථාවකදී ඔවුන්ට ලියුමක් ලැබුණේ එවකට සිටි ප්‍රබල දේශපාලනඥයෙකුගේ පුතෙකුගෙනි. ඒ තමන් ක්‍රියාත්මක කරන තරුණ බලකායත් සමග එක්වෙන ලෙසට කරන ආරාධනාවක් ලෙසිනි.   


 ෆාජිලා සමග සිටි ෆායිස් පෙර කී දේශපාලක පුතා හමුවන්නට ගියේය. “අපේ ආසනය දිනවලා දෙන්න අපි ඔයාලගේ ගමට හැදුන කැත නම වෙනස් කරලා දෙන්නම්” යැයි ඔවුන් අතර ගනුදෙනුව කතා කෙරිණ. “මැතිවරණය දිනවලා දෙන්න නම් ෆාජි එළියේ ඉන්නම ඕනැ.” ෆායිස්ගෙන් ඉදිරිපත් විය. ඒ අනුව ෆාජි නිදහස් කෙරිණ. ප්‍රතිවිරුද්ධ පක්ෂවල කටවුට්, ප්‍රචාරක පෝස්ටර් කිසිවක් මාළිගාවත්තේ දකින්නට නොවීය. සියල්ල සිදුවූයේ ෆාජිලාට අවශ්‍ය පරිදිය. ෆායිස් ඒ හැමදේටම ෆාජිට සහයෝගය දුන්නේය. දේශපාලනඥයා හා ෆජිලා අතර සම්බන්ධතාවය ගොඩනැගුනේ ෆායිස් හරහාය.   


 ආසනය දිනා ගැනීම වෙනුවෙන් ෆාජිලාගේ ගෙදරට කැලණිය පැත්තේ නම ගිය එකල සිටි ප්‍රබල ඇමතිවරයෙක් ඇතුලු දේශපාලනඥයින් කීප දෙනෙක්, හාමුදුවරු කීපනමක් පැමිණියහ. ෆාජි දේශපාලන සටන හොඳින්ම කරගෙන ගියේය. ඒ මුවාවෙන් කප්පම්ද එකතු කරගත්තේය. ප්‍රදේශයේ ෆාජිලාගේ සේවාදායකයාගේ පෝස්ටර්වලින් පිරී ඉතිරි ගියේ වෙනත් ඡන්දෙ ඉල්ලන කෙනෙක් කවුදැයි සොයා ගන්නටවත් නොහැකි ලෙසය. එහෙත් ආසනය දිනාගන්නට ෆාජිලාට නොහැකි විය.   


 ෆාජිලාට ප්‍රශ්න වැඩිවුණේ එතැනින් පසුවය. ෆායිස් සුදු වෑන් එකකින් පැහැරගෙන යනු ලැබිණ. බයියා රට ගියේය. මාමස්මීද රට ගියේය. ඔහු නැවත මාළිගාවත්තට පැමිණියේ ෆාජි ඝාතනය කෙරුණ පසුවය. ෆාජි ඝාතනය කෙරුණේ ඔහුගේම රාජධානිය තුළදීය. මාළිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඉහළම මහලේ එක් නිවසක් ෆාජිගේ කැලෑ උසාවියට වෙන් කෙරිණ. ඔහු වැඩිපුරම කාලය ගත කළේ දෙවන බිරිඳගේ නිවසේය. ෆාජි කොතැනක සිටියත් ඔහු සොයා පොලිසිය ආවේ නම් ඒ පණිවුඩය වේලාසනම ලැබෙන පරිදි ඔත්තුකරුවන් තැන තැන විය. ඔත්තුකරුවන්ගෙන් පණිවුඩය ලැබෙන විට ඔහු නිවසේ වහලයට නැග පළායාම සාමාන්‍ය උපක්‍රමය විය.   


 මේ සියල්ල දන්නා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇළ මාර්ගයක්, උමං මගක් ඔස්සේ ගමන් කරන පයිප්ප බට දිගේ ෆාජි ලැගුම්ගෙන සිටි ඔහුගේ දෙවැනි බිරිඳගේ නිවස වැටලුවේ ඔත්තුකරුවන්ගේ ද ඇස වසාහරිමිනි. හදිසියකදී ෆාජි පළා යන්නට යොදාගත් නිවසේ වහලය මතද පොලිසියේ කීප දෙනෙක් ආයුද අමෝරාගෙන රැඳී සිටියහ.   


 පොලිසිය නිවසේ දොරට තට්ටු කර ඇතුලු වෙනවාත් සමගම බලාපොරොත්තු වූ පරිදි ෆාජි වහලයට නැග ගත්තේය. එහෙත් ඔහු වහලයට ගොඩවෙනවාත් සමගම යකඩ අඬුවකට අසුවුණාක් සේ ෆාජිගේ දෑත් පොලිස් නිලධාරීන්ගේ දෑත් අතර හිරවිණ. එතැනින් එහාට ඔහුට ගැලවීමක් තිබුණේ නැත. එහෙත් උත්සාහය අත් නොහැරි ෆාජි වෙර යොදා දෑත් අඹරවා පොලිසියේ ග්‍රහණයෙන් මිදී පළායන්නට තැත් කරද්දී පොලිස් වෙඩිපහරට ලක්ව මිය ගියේ එය තමන්ගේ උරුමය කරගෙන පැමිණියා සේය. ඒ 2009 අගෝස්තු 23 වෙනිදා අලුයම 3.30ට පමණය.   


 ෆාජි ඝාතනයට ලක්වීමේ පුවතින් මුලු මාළිගාවත්තම හෙල්ලුම් කෑවේය. තවදුරටත් මාළිගාවත්තේ පාතාලයක් ක්‍රියාත්මක නොවණු ඇතැයි ඇතැමෙක් සිතූහ. එහෙත් සිදුවූයේ අනෙකකි. මාමස්මී ෆාජිගේ අඩුව පුරවන්නට විය. නැවතත් මාමස්මී 2010 මහමැතිවරණයේදී එක්තරා දේශපාලනඥයෙකුගේ සහායට වැඩ කළේය. ඔහු වැඩ කළේ කොළඹ සිටි ප්‍රබලතම හා පැරණිතම ඇමතිවරයෙක් වෙනුවෙනි. ෆාජිගේ සහෝදරයෙක් වූ මංජල් අක්‍රම්ද කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුට වැඩ ක​ෙළ්ය. ඔහු කුඩුවලටද නම ගෑවුණ දේශපාලනඥයෙකි. ඒ මහමැතිවරණයෙන් පසුවද පාතලයන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන් ගත්තේය.   


 මුලින්ම මංජල් අක්‍රම් අතුරුදන් විය. ඒ නුවරඑළිය ප්‍රදේශයේදීය. ඔහු පැහැරගෙන තිබුණේ නුවරඑළිය ප්‍රදේශයේදීය. මාමස්මී වෙනුවට ඔහුගේ මල්ලි රසුල් හා මාමණ්ඩියද අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහු නිදහස් කරන්න නම් කොළඹ මහ නගර සභාවේ මුස්ලිම් දේශපාලනඥයෙක් ආණ්ඩු පක්ෂයේ පැත්තට දිනවා දිය යුතුවිය. මාමස්මීට එය කළ නොහැකි විය. එහෙත් රසුල් ඇප මත නිදහස් කෙරිණ.   


 මාමස්මී තමන්ගේම වූ වෙනම රජදහනක් හදාගෙන සිටියේය. ෆාජිට වෙච්ච දේ නිසා ඒ හැමදේකින්ම ගැලවෙන්නට මාමස්මී තම ඔත්තු සේවය යොදවා තිබුණේය. ඒ නිසා ඔහු ගැන ඔත්තු ලබාගැනීමට පොලිසියට වෙනම ක්‍රමයක් අවශ්‍ය විය. රහීම් නමැති කෝකියා මාළිගාවත්තට පැමිණියේ මේ අතරවාරයේදීය. ඔහු කෙටි කලකින්ම පාතාලයටද රිංගුවේය. රහීම් පොලිස් ඔත්තුකරුවෙක් යැයි සැකකළ මාමස්මී තම කැලෑ උසාවියේදී නඩු අසා ඔහුට දස වධ දී ඝාතනය කළේය. මාමස්මීට ජුම්මා මස්ජිත් පල්ලිය අසලදී 2012 ජනවාරි 02 වෙනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තැබීම රහීම් ගැන සැකයක් ඇතිවීමට හේතුවක් විය. එහිදී මාමස්මීගේ සොයුරු රසුල්ඩීන්ට වෙඩි වැදී එතනම ඝාතනයට ලක්විය.   


 මෙම සිදුවීමෙන් කිපුණ මාමස්මී මාළිගාවත්තේ ජනතාවගෙන් හා තම හිතවතුන්ගෙන් ඉල්ලා සිටියේ මාළිගාවත්ත පොලිසිය වටකර පහරදීමට එකතුවෙන ලෙසය. එහෙත් එතරම් බරපතළ දෙයක් කරන්නට ඔවුන් මැළිවිය. එයින් කිපුණ මාමස්මී වෙළෙඳසැල් කීපයක් හා ජුම්මා මස්ජිඩ් පාරේ දෙපස නතර කර තිබුණ ත්‍රිරෝද රථ 09ක් ඇතුලු වාහන 18ක් ගිනි තබා විනාශ කළේය. එයින් මුලු මාළිගාවත්තම ගිනි ගත්තේය. පොලිස් විශේෂ කාර්ය බළකාය පමණක් නොව යුද හමුදාව පවා ඇති වුණ තත්ත්වය පාලනය කිරීමට යොදවන්නට රජයට සිදුවිය. මාමස්මීලා පෙට්‍රල් බෝම්බ, භාවිතා කරමින් වෙඩි තබමින් තත්ත්වය තව තවත් තීව්‍ර කරනු ලැබීය.   


 මාමස්මී මේ සියල්ල කළේ මාළිගාවත්තේ කාන්තාවන්ද පෙරටු කරගෙනය. කාන්තාවන් පෙරටු කරගත් කල පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පහසු නැති බව ඔවුන් සිතන්නට ඇත. මුලු මාළිගාවත්තේම කාන්තාවන් පාරට ගෙනවිත් පොලිසියට එරෙහිව යොදවා ඇත්තේ මාමස්මීගේ මව බවද කියවේ. කාන්තාවන් උද්ඝෝෂණයේ යෙදෙන අතරේ බුර්කාවකට රිංගාගත් මාමස්මී මාළිගාවත්තෙන් පළා ගියේය. ෆාජි ජීවත්ව සිටියදී රාත්‍රි කාලයේ කොළඹ සැරිසරන්නට බුර්කාවක් භාවිතා කළ බවද කියවේ. කෙසේ වුවද එතැන් සිට මාමස්මී සිය රැකවරණය සලසා ගත්තේ බුර්කාවෙනි. ඔහු ඒ ඇඳුමට මුවාවී නිදහසේ ගමන් බිමන් ගියේය.   


 එහෙත් ඒ රහසද වැඩිකලක් අල්ලාගෙන සිටින්නට මාමස්මීට හැකියාවක් ලැබුණේ නැත. ආරක්ෂක අංශවලට මාමස්මීගේ ඇඳුමේ පලහිලව්ව වාර්තා විය. බුද්ධි අංශ නිලධාරීන්ද බුර්කාව හැඳ මාළිගාවත්තේ සැරිසරන්නට වූයේ ඌරාගේ මාලු ඌරගේ ඇ​ෙඟ් තියලාම කපන්නා සේය. එලෙස දිගු කලක් තොරතුරු සොයා රැස්කර ගැනීමෙන් පසු මාමස්මී අල්ලා ගැනීමට දැලක් එලනු ලැබිණ.   


 එය ක්‍රියාවට නැගුනේ 2013 ජුලි 04 වෙනිදා අලුයම් කාලයේදීය. යුද සමයේ ත්‍රස්තවාදීන්ගේ තිප්පොළකට කඩා වදින්නා සේ උපක්‍රමශීලිව පොලිස් විශේෂ කාර්ය බළකාය සිව් දිගින් සේනා සංවිධානය කර මාළිගාවත්තේ බිලාල් පල්ලිය ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මහලේ පිහිටි මාමස්මීගේ තෙවැනි බිරිඳගේ කුටිය කරා මෙහෙයවනු ලැබිණ.   
 මාමස්මී සිටියේ මර නින්දේය. කාටත් නොදැනෙන්නට කාටත් නෑසෙන්නට මාමස්මී රැගෙන පැන යන්නට ආරක්ෂක අංශවලට අවශ්‍ය විය. එහෙත් මාමස්මීට ඉවෙන් මෙන් වෙන්න යන අනතුර දැනිණ. ඔහු නිවසේ ජනේලයෙන් වහලයට පැන ඊට පහළින් පිහිටි නිවසක වහලයට පනිද්දී ආරක්ෂක නිලධාරීන් ඔහුව අල්ලා ගනු ලැබීය. ඔහු නිරුපද්‍රිතව රැගෙනගොස් වාහනයට නංවා ගත් අතර ටික වේලාවකට පසු ඔහු ඝාතනය කෙරුණ බවට ආරංචි පැතිරිණ. පොලිසිය කීවේ දෑතේ වූ මංචු කුට්ටම පොලිස් ජීප් රජයේ රියදුරුගේ ගෙලට දමා සිර කරන්නට තැත් කළෙන් ආරක්ෂාවට තැබූ වෙඩි පහරකින් ඔහුව මරණයට පත්වූ බවය.   


 මාමස්මීද ඝාතනය කෙරුණ පසු මාළිගාවත්තේ පාතාල අංකුර මතුවුවත් ඒවා බරපතළ ලෙස ඉහළට එසවුණේ නැත. ඉන් පසුව කොළඹ කුඩු කිරුළට හිමිකම් කියන්නට කා කොටා ගත්තේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල් ප්‍රදේශවලය.   


ඒ පිළිබඳව අප ලබන කලාපයෙන් කතා කරමු.   

 


මුදිතා දයානන්ද