මමියේ ශාපය


 

අද්භූත කතා පිළිබඳ ලන්ඩන් ඉතිහාසයේ ක්‍රි.ව. 1860 දී ඉංග්‍රීසි ජාතිකයකු කයිරෝවේ දී මිලට ගත් මමියක් එංගලන්තය දක්වා පැමිණීමේදී සිදුවූ හදිසි මරණයක් හා විපත් පිළිබඳ විස්මය දනවන කතාවකි.   


1860 පමණ ඊජිප්තුවේ කයිරෝ නුවර හස්ත රේඛා විශේෂඥයකු වශයෙන් හා සංඛ්‍යා විද්‍යාව හද‌ාළ ගුප්ත ශාස්ත්‍රඥයකු වූ කවුන්ට් ලුවිස් හැමන් එංගලන්තයෙන් පැමිණ එහි නතර වී සිටියේය. වරෙක ඔහු වෙත ඩග්ලස් මුරේ නම් තරුණ ඉංග්‍රීසි ජාතිකයකු අත බලාගැනීමට පැමිණියේය. එම අත බැලූ හැමන්ට එකවරට සිහියට නැගුණේ, එම පුද්ගලයාට ඔහුගේ දකුණු අත වැඩි කලක් යන්නට මත්තෙන් අහිමිවන බව හා එසේම ඔහුට යම්කිසි වටිනා වස්තුවක් කල් නොයවා හිමිවන බවය.   


ඉහත කී අනාවැකිය ලද පුද්ගලයා නැවත හැමන් හමුවට කලකට පසු පැමිණියේය. ඒ වනවිට ඔහුගේ දකුණු අත අහිමිව තිබූ අතර තමාට සිදුවූ අකරතැබ්බය හැමන්ට මෙසේ විස්තර කර දුන්නේය. අවුරුදු දෙකක්ම මිත්‍රයන් දෙදෙනකු සමඟ ඊජිප්තුවේ වාසය කරද්දී මුරේ කයිරෝ නගරයේදී අරාබි ජාතිකයකු ඔහුට හොඳින් ආරක්ෂාවී ඇති මමියක් සමඟ මිනී පෙට්ටියක් අලෙවි කිරීමේ අදහසින් පෙන්නුවේය. එම මිනී පෙට්ටියේ ලියා තිබූ පැරැණි අකුරුවලින් කියැවුණේ, එම මමිය අමෙන්රා දෙවොලේ උසස් පූජකවරියගේ බවය. එසේම පෙට්ටිය මත අමෙන්රා කුමරියගේ රූප විලාශය රත්රන් හා එනමල්වලින් කැටයම් කර තිබුණි. 

 
මුරේ ද ඔහුගේ යහළුවකුද යන දෙදෙනාම මේ අත්භූත පුරාවස්තුව සැබෑ එකක් බව වටහාගෙන, එය මිලදී ගැනීමට ඉදිරිපත්වීම නිසා, මමිය හිමිකරුවාට කුසපත් ඇදීමෙන් ගැනුම්කරු තෝරා ගැනීමට සිදුවිය. එයින්ද එය ලැබීමේ වාසනාව උදා වූයේ ඩග්ලස් මුරේට ය. එදාම සවස මේ පුරාවිද්‍යා භාණ්ඩය මිලදී ගැනීමේ ලියකියවිලි සම්පූර්ණ කරන ලදුව මමිය භාරගෙන එය ලන්ඩනයට යවනු ලැබීය.   


මමිය යවා තවදුරටත් කයිරෝවේ වාසය කළ මුරේ ඉන් දින කිහිපයකට පසුව නයිල් ගංගා මිටියාවතේ තාරවුන් දඩයමේ ගියේය. එහිදී ඔහු තාරාවකුට වෙඩි තැබීමට යාමේදී පුපුරා ගොස් ඔහුගේ දකුණු අත කැබලි වී ගියේය. මේ විපතින් ප්‍රතිකාර සඳහා ආපසු කයිරෝ නුවරට යා යුතු වුවද, ඒ ගමනට තද කුණාටුවලින් බාධා පැමිණුනි. තුවාලය සිදුවී දින දහයක් යනතුරු ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වීමෙන්, ඒ වනවිට අත කුණු වී තිබූ බැවින් දකුණු අත ඉවත් කිරීමට සිදුවිය.   


එංගලන්තය බලා ආපසු යන ගමනේදී යහළුවන් දෙදෙනාම මරුමුවට පත්වූ බැවින්, ඔවුන්ව මුහුදේ වළලා දමන්නට සිදුවිය. මුරේ එංගලන්තයට ගොස්, තම නිවසට යන විට මමිය එහි ළඟා වී තිබුණි. නිවසේ ශාලාවක එය තැන්පත් කර තිබුණි. එය පරීක්ෂා කළ මුරේට මමියේ අමුත්තක් දැනුණි. ඔහු කයිරෝවේදී දුටු මමියේ ප්‍රියංකර තරුණ මුහුණ නොව ඉතා මහලු රැලි වැටුණු භයංකර පෙනුමක් ඇති එකක් බව පෙනුණි. මේ අතර ප්‍රවෘත්ති වාර්තාකාරියක් මමිය පරීක්ෂා කිරීමට එය තමාගේ නිවසට එවන ලෙස දැනුම් දුන්නේය. ප්‍රවෘත්ති වාර්තාකාරිනියගේ නිවසට මමිය රැගෙන යාමත් සමඟ අවාසනාවන්ත සිදුවීම් මාලාවක ආරම්භය පටන් ගනී. වාර්තාකාරියගේ මව නිවසේ තරප්පුවෙන් වැටී මිය ගියේය. ගෙදර බල්ලන්ට වියරුව සැදුනු අතර ඇගේ ආදායම් තත්ත්වය පහළ බැස්සේය. ඇය මේ වනවිට මමිය මුරේගෙන් මිලදී ගැනීමට නීතිඥයකු මගින් ලියකියවිලි සකස් කරමින් සිටියේය.   
ඇගේ නීතිඥයා ඇයට පැමිණ තිබෙන කරදර මේ මමිය නිසා සිදුවන බව පැහැදිලි කිරීමෙන් අනතුරුව ඇය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළාය. නැවත මමිය ඩග්ලස් මුරේගේ නිවසට පැමිණියේය. මමියේ තතු වටහාගත් මුරේ එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකට භාරදී නිදහස්වීමට සිතා තමාගේ සහායකුගේ ආධාරයෙන් ඒ බව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට දන්වන ලදුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඊජිප්තු අංශ භාර ප්‍රධානියාව මුරේගේ නිවසට යවන ලද්දේ මමී බහාලුමේ අක්ෂර සැබෑ ඒවා දැයි පරීක්ෂා කිරීමටය. ඒවා පරීක්ෂා කළ විශේෂඥයා සති කිහිපයක් ඇතුළත මිය ගියේය. මමිය ගෙදරට ගෙන ආ ද‌ා සිට මුරේට නින්ද නොගියේය.   


මමිය සැබෑ පුරාවස්තුවක් බව පැහැදිලිවීම නිසා එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය භාරගත්තේය. මෙතැන් පටන් සිදුවූ විශේෂත්වය නම් එම මමිය ඡායාරූප ගැනීම, පරීක්ෂා කිරීම වැනි දෙයට ළං වූවන්ට අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණදීමට සිදුවීමය. අවසානයේ මමිය මහජන ප්‍රදර්ශනයෙන් ඉවත්කොට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර කෞතුකාගාරයට එය යැවීමට පිඹුරුපත් සැකසීම කරන ලදී. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කළ සේවකයා ද සතියකින් මළේය. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති වෙනත් මමී සමඟ එකට තැබූ විට මේ මමියෙහි කිසිදු අමුත්තක් සිදු නොවීය.   


එංගලන්තයේ හොල්මන් අද්භූත සිදුවීම් පරීක්ෂකයකු වූ තර්ස්ටන් හොප්කින්ස් ද මේ මමිය පිළිබඳ සිදුවීම් එක්රැස් කළේය. ඔහු සඳහන් කරන පරිදි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදී මමිය පරීක්ෂා කළ ඡායාරූප ශිල්පියකු පසුවදා කෞතුකාගාරයට පැමිණ ඊජිප්තු අංශ ප්‍රධානි අර්නස්ට් වෙලිස්ට්ට එහි ඡායාරූපයක් දුන් විට එහි කුරිරු මුහුණක් තිබුණු බවත් ඡායාරූප ශිල්පියා නිවසට පෙරලා ගොස් සිය දිවි හානි කරගත් බවත් සඳහන් කරයි. මමිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබියදී එම අංශයේ සේවකයන්ට මිනී පෙට්ටියෙන් පැමිණි අමුතු ශබ්දය ඇසී ඇත. පසුව ප්‍රදර්ශන කුටිය යහපත් එකක්කොට ප්‍රදර්ශන පුවරුවද යළි සකස් කිරීමේදී මමියේ කරදර ඉවත් වී ගියේය.

 

දර්ශනපති
කෝරළේ ගෙදර ආරියරත්න